| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 43 views

ඉස්ලාමීය දේව සංකල්පය කුමක් ද? නුදුටු දෙවි කෙනෙකු විශ්වාස කිරීම හරි ද?

කතුවරයා/දේශකයා: on 28th November 2017

ඉස්ලාමීය දේව සංකල්පය පිළිබඳ ව වඩාත් නිවැරදි විග්‍රහයක්  සඳහා අප පහතින් උපුටා දක්වා ඇති අල් කුර්ආනයේ 112 පරිච්ඡේදය වෙත අවධානය යොමු කරමු.

“අල්ලාහ් ඒකීය යැයි (නබිවරය) පවසන්න.

අල්ලාහ් (සෙස්සන් විසින්) පතනු ලබන (කිසිවෙකුගේ) අවශ්‍යතාවක් නොමැත්තෙකි.

ඔහු කිසිවෙකු ජනිත නොකළේය. තව ද ඔහු ජනිත කරවනු නොලබුවේය.

තව ද ඔහුට සමාන කිසිවක් නොමැත”. (අල් කුර්ආන් 112:1-4)

මෙම වැකි හතරකින් යුත් අල් කුර්ආන් පරිච්ඡේදය දේවත්වය පිළිබඳ උරගල ලෙස හැඳින්විය හැක. සත්‍යය දෙවිඳුන්ගෙන් මිත්‍යා දේවත්වය වෙන්කර හඳුනා ගැනීමේ නිර්ණායකයන් ලෙස ඉහත අල් කුර්ආන් වැකි මගින් ඉදිරිපත් කරන්නාවූ කරුණු දැක්විය හැක. අප අතරේ විවිධ ආකාරයේ දෙවිවරු හා එම දෙවිවරු සඳහා ඉදිකළ දේවාල දක්නට ඇත. මෙම දෙවිවරු සියල්ල පාහේ මෙයට පෙර ජීවත් වූ යහ මිනිසුන් සඳහා පසු කාලීන ව ජනයා විසින් දේවත්වය ආරුඪ කිරීමෙන් ඇති වූ දේව සංකල්පයකි. ඉස්ලාමයේ දෙවිඳුන් හැඳින්වනු ලබන්නේ ‘අල්ලාහ්’ යන නාමයෙනි. මෙම ‘අල්ලාහ්’ යන අරාබි පදයට එම භාෂාවෙහි බහු වචනයක් හෝ ස්ත්‍රී පුරුෂ ලිංග භේදයක් හෝ නොමැත. එහෙයින් විශ්වය සහ එහි අඩංගු සියල්ලෙහි නිර්මාතෘ මෙන්ම විශ්ව පාලක හා පෝෂක මහා කාරුණික ඒකීය සත්‍යය දෙවිඳුන් ආමන්ත්‍රණය කිරීමට වඩාත් සුදුසු නාමය ‘අල්ලාහ්’ ය. එයට අමතරව මහා කාරුණික දෙවිඳුන්ටම ආවේනික වූ සුවිශේෂී ගුණාංග මත ගුණාංග නාමයන් 99ක් අල් කුර්ආන් හා මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශන අනුව ගොනුකොට ඇත.

අල්ලාහ් ඒකීයය හා අසමසමය

  • අල්ලාහ් හට හවුල්කරුවන්, සමානයන් හෝ ප්‍රතිවාදීන් නොමැත
  • අල්ලාහ් හට පියෙකු, මවක්, පුතුන්, දියණියන්, බිරින්දන් හෝ පවුලක් නොමැත
  • නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු හෝ කිසිවක් නොමැත
  • විශ්වයේ සියල්ල කෙරෙහි පරිපුර්ණ අධිකාරය, ශක්තිය හා බලය අල්ලාහ් සතුය
  • සියල්ලෙහි සදාතන සරණ අල්ලාහ් වෙතය
  • අල්ලාහ් වෙත අවනත වීමෙන් අල්ලාහ්ගේ බලය වැඩිවීමක් හෝ අවනත නොවීමෙන් බලය අඩුවීමක් හෝ සිදු නොවේ
  • අල්ලාහ් පරම පරිපුර්ණත්වයෙන් යුක්ත වන අතර මිනිස් සීමාවන් කිසිවක් අල්ලාහ් හට නොමැත
  • මිනිස් ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය අල්ලාහ් විසින් තම ධර්ම දූතයන් මගින් ලබාදුන් මාර්ගෝපදේශයන් අනුව ජීවිතය සකස් කර ගනිමින් අල්ලාහ්ට අවනත අයුරින් ජීවත් වීමය. මෙම ධර්ම දූත මෙහෙවරේ අවසාන ධර්ම දුතයා ලෙස පැමිණ ඇත්තේ මුහම්මද් තුමාණන් වන අතර එතුමා මගින් ලබා දුන් දේව පණිවිඩය අල් කුර්ආන් වෙයි. මෙම මාර්ගෝපදේශය මුළුමහත් මනුෂ්‍ය වර්ගයාට වෙනුවෙන් ම ලබා දුන්නකි.

නුදුටු දෙවිකෙනෙකු විශ්වාස කිරීම හරි ද?

වර්තමාන ලෝකයේ නැමදුම් කරුණු ලබන සියළු දෙවිඳුන් ම නුදුටු දෙවිවරුන්ය. එම දෙවිවරුන් පිළිබඳ ව ඇත්තේ මනුෂ්‍ය හස්තයෙන් භෞතික ද්‍රව්‍යයන් උපයෝගී කරගෙන සෑදු ප්‍රතිමා පමණි. අපගේ දෑතින් ම නිර්මාණය කරගන්නා වූ ප්‍රතිමා නැමදුම ඉස්ලාමය සහමුලින් ම ප්‍රතික්ෂේප කරයි. අපගේ නැමදුම් සියල්ල යොමු විය යුත්තේ අපගේ නිර්මාතෘ වූ සත්‍යය වූද ඒකීය වූද අල්ලාහ් වෙත පමණක් යන්න ඉස්ලාමීය ඉගැන්වීමයි.

අදේවවාදී සංකල්ප හා අදේවවාදී දහම් අදහන්නන් අතරේ ද ඇතැම් විට සෘජු ව මෙන්ම වක්‍ර ආකාරයෙන් දේව විශ්වාසයක් දැක ගත හැකිය. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස කරන බව මෙතුළින් පැහැදිලි වෙයි. ඇත්තෙන්ම සෑම මිනිසෙකුගේම චෛතසිකය අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබෙනවා යන හැඟීමක් පවතී. මෙම විශ්වාසය ඔවුන්ට ලැබී තිබෙන්නේ උපතින්මය. මනෝ විද්‍යාඥයින් ද මේ බව පැහැදිලිවම සඳහන් කරති. මේ පිළිබඳ ව කර ඇති විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵල පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක වූ ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච් පවසා සිටි පරිදි බිළින්දන් දේව විශ්වාසය හා තදින් බැඳී ඇති අතර අදේවත්වය ඔවුන් පසු ව අත් කර ගන්නක් බවයි. බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය මගින් ‘දහම හා මනෝ විද්‍යාව’ යන තේමාව යටතේ පවත් වන ලද සම්මන්ත්‍රණයකදී පෙර පාසැල් දරුවන් පවා ඔවුන්ගේ භෞතික ලෝකය පිළිබඳ අවබෝධය තුළ දේවධර්ම සංකල්පයන් නිර්මාණය කළ බවද ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච් පවසා සිටියාය. දහම් පිළිබඳ මනෝ විද්‍යාත්මක විශේෂඥවරියක් වන ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච් පවසා සිටියේ මිනිසාගේ ස්වභාවිකත්වය දේව විශ්වාසය ද නැතහොත් අදේවත්වය ද යන්න පිළිබඳ  මනෝ විද්‍යාඥයින් අතරේ විවාදයක් තිබු අතර ඇගේ මතය වුයේ දේව විශ්වාසය උගන්වනු ලබන්නක් නොව ස්වභාවයෙන් ම වර්ධනය වන්නක් බවයි. ‘The Age’ සඟරාව වෙත ඇය පවසා සිටියේ දේව විශ්වාසය මිනිස් චෛතසිකයට ඉතා තදින් ම බැඳී ඇති බවය. ආචාර්ය පෙට්‍රොවිච් පවසා සිටියේ තම නිගමනයන් විවිධ අධ්‍යයනයන් මත පදනම් වූවක් වන අතර විශේෂයෙන්ම වයස අවුරුදු 4 සිට 6 දක්වා වූ ජපාන දරුවන් අතරේ හා ආගමික විශ්වාසයන් හතකට අයත් වූ වයස අවුරුදු 5 සිට 7 දක්වා වූ බ්‍රිතාන්‍ය දරුවන් 400 ක් අතරේ කළ අධ්‍යයනයන් මෙම නිගමනයට ඒමට උපකාරී වූ බවය. අදේවත්වය සහතික වශයෙන්ම තමන් විසින් අත් කර ගන්නා ස්ථාවරයක් වන අතර මිනිස් සහජත්වයේ කොටසක් නොවන බව ඇය විසින් තරයේම පවසා සිටින ලදී”. මේ පිළිබඳ වැඩි විස්තර ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච්ගේ “Child’s Theory of the World” නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි. [Dr Olivera Petrovich – “Child’s Theory of the World”].

එලෙසම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව හා මනස පිළිබඳ මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂකයෙකු වූ ආචාර්ය ජස්ටින් බැරට් (Dr. Justin Barrett) ද මිනිසුන් තුළ තිබෙන මෙම සහජ දේව විශ්වාසය පිළිබඳ ව මෙසේ පවසයි: “පසුගිය දශකයක පමණ කාලයක් තුළ ඒකරාශී වූ විද්‍යාත්මක සාක්ෂීන් විමසුමකට ලක් කිරීමේදී තවත් වැදගත් කරුණක් අනාවරණය වෙනවා. එනම් අපි පෙර සිතුවාට වඩා බොහෝ දේවල් ළමා මනසේ වර්ධනය තුළ සහජයෙන්ම අන්තර්ගත වී තිබෙනවා. ස්වභාවික ලෝකය නිර්මාණය වූ එකක් හා එයට අරමුණක් ඇති බවත් යම් ආකාරයක ඉහළ බුද්ධියක් මෙම අරමුණ පසුපස සිටින බවත් පිළිගැනීමේ හුරුපුරුදු බවක්  ළමා මනසේ ස්වභාවිකවම ඇති වී තිබෙන බව දැකගන්න පුළුවන්”

ආචාර්ය ජස්ටින් බැරට් (Dr. Justin Barrett) පවසන අන්දමට “යොවුන් වියේ සිටින්නන් ලොව සියලු දෑ අරමුණක් ඇති ව නිර්මාණය කොට ඇති බව සිතන නිසා ඔවුන් අතර උත්තරීතර දෙවි කෙනෙකු විශ්වාස කිරීමේ පූර්ව නැඹුරුවක් තිබෙනවා. එනම් කෙනෙක් දෙවියන් ව විශ්වාස කරන්නේ මිනිස් මනස එසේ විශ්වාස කිරීමට ස්වභාවිකවම හැඩ ගැසී තිබීම නිසයි”. ජස්ටින් බැරට් පවසන්නේද මෙම විශ්වය නිර්මාණය කර පරිපාලනය කරන්නා වූ නිර්මාණකරුවෙකු සිටිනවා යන විශ්වාසය සමාජයේ බලපෑමෙන් කෙනෙකුගේ සිත තුළ ඇති නොවන බවයි [Justin L. Barrett, Jonathan A. Lanman – “The Science of Religious Beliefs”]. දෙමව්පියන් විසින් හෝ පාසල් අධ්‍යාපනය තුළින් දේවත්වය පිළිබඳ ඉගැන්වීමක් නොකළ ද කුඩා දරුවන් තුළ දේව විශ්වාසයක් ඇති වන බව පවසන ඔහු කාන්තාර දූපතක තනි ව හදා වඩා ගත්තත් මෙම විශ්වාසය ඇති වීම වැළැක්විය නොහැකි බව ඔහුගේ අවසාන තීරණයයි.

“අපි ළමුන් කිහිප දෙනෙක් එක් දූපතකට දැමුවාට පසු එහි ඔවුන් විසින්ම ස්වභාවික ව හැදී වැඩුණා නම් ඔවුන් දෙවියන් ව විශ්වාස කරනවා” [Justin L. Barrett – “Why Would Anyone Believe in God?”]. මෙම පරීක්ෂණ වලින් අපට පෙනී යන්නේ මිනිසා සහජයෙන් අදේවවාදියෙකු හෝ නාස්තිකවාදියකු නොව දෙවි කෙනෙක් විශ්වාස කරන්නෙක්, දේවවාදියෙක් ලෙස උපදින බවය. මුහම්මද් ධර්ම දුතයාණන් වරෙක පවසා සිටියේ සෑම දරුවෙක් ම මෙම පිවිතුරු සහජ හැඟීම (ෆිත්රා) සමග බිහි වන අතර එම දරුවාගේ දෙමව්පියන් විසින් විවිධ විශ්වාසයන් කරා දරුවා ව යොමු කරවන බවයි [Sahih Muslim, Hadees No:2658]. මෙම සත්‍යය ස්වභාවයෙන් බැහැර ව එයට පටහැණි වූ ආදේශකයන් තබා ගැනීමයි අද සිදු වෙමින් පවතින්නේ. එනම් සමාජයේ කිසිදු බලපෑමකින් තොර ව මිනිසුන් හැදී වැඩුණා නම් ඔවුන් විශ්වයට ම අධිපති පාලක  එක් දෙවි කෙනෙකු විශ්වාස කරන පිරිසක් ලෙස සිටීම නියතය. මෙය ඇතැම් ගවේෂකයන්ගේ ගවේෂණ ප්‍රතිඵල වලින්ද සනාත වී ඇත.

‘එමිල් ඩර්ක්හයිම්’ නමැති සමාජ විද්‍යාඥයා විසින් බාහිර ලෝකය සමග කිසිඳු සබඳතාවකින් තොර ව වර්ෂ දහස් ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික සමාජ සංස්ථාවන් සහිත ව ජීවත් වූ ආදිවාසී ජන සමුහයක් පිළිබඳ ව පවත් වන ලද පර්යේෂණයක කරුණු අන්තර්ගත කොට ඩබ්ලිව්. එස්. එෆ්. පිකරින්ග් විසින් සකස් කරන ලද “Durkheim on Religion” නමැති ග්‍රන්ථයේ පහත සඳහන් අයුරින් කරුණු විග්‍රහ කොට තිබේ.

“මෙම ආදිවාසී පිරිසගේ දෙවිඳුන් සදා ජීවමාන සදාතනිකයෙකි. ඔහුගේ ආරම්භය අන් කිසිවක් මත නොමැත. විශ්වයේ සියල්ල කෙරෙහි බලය ඇත්තෙකි. හිරු සඳු ආදී සියලු තාරකාවන් පාලනය කරන්නේ ඔහුය. සියල්ලෙ හි නිර්මාතෘ ඔහුය. විදුලි කෙටීම් හා අකුණු සැර ඔහුගේ අණ පරිදි සිදු වේ.” [W. S. F. Pickering, “Durkheim on Religion” Routledge and Kagan Paul, London 1975]. මෙම ආදිවාසී ජන සමුහයේ දේව විශ්වාසය හා ඉස්ලාමයේ දේව විශ්වාසය අතර කිසිඳු පරස්පරතාවක් නැත. බාහිර සමාජ බලපෑම් කිසිවක් නොමැති ව තම ජන්මතාවට අනුකූල ව  ‘විශ්වාසය’ සකස් කර ගන්නට යමෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔහුගේ තත්ත්වය සත්‍යය වශයෙන්ම සැකසෙන්නේ මේ අයුරින් බව කිසිදු සැකයක් නොමැත. මෙම කරුණු මගින් සනාත වන්නේ ‘දේව විශ්වාසය’ මිනිසාගේ සහජ හැඟීම් වලින් එකක් බව නොවේද? මෙලොව ජනිත වන සෑම මිනිසෙකුම මෙම ප්‍රතිඥාව ‘පරමාධිපති’ දෙවිඳුන් වෙත ලබා දී බිහි වී ඇති හෙයින් ඔවුන්ට කුමන සංස්කෘතික හා සමාජයීය තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වුවත් තම චෛතසිකයේ නොමැකිය හැකි ආකාරයෙන් සනිටුහන් වී ඇති දේව විශ්වාසයෙන් බැහැර විය නොහැකිය. ඉහත ගවේෂණය මෙයට ඉතා උචිත අයුරින් සාක්ෂි සපයයි.

සකස් කිරීම: ඉබ්නු මන්සූර්

www.yayuthumaga.com

Related Posts

  • දේව සංකල්පය මිථ්‍යාවක්ද-1 ?January 21, 2009 දේව සංකල්පය මිථ්‍යාවක්ද-1 ? (0)
    මෙලොවට පැමිණුනු හැම ශාස්තෘරවයෙකුගේම ප්‍රචාරයෙහි මූලික තේමාව හා දර්ශනය ඒක දේවත්වයයි. බහු දේවවාදය ප්‍රතිෙක‍ෂ්පකරමින්, මිනිසා, ගස්, ගල්, ප්‍රතිමාවන් ඉදිරියේ නොවැටි එකම බලය එකම ශක්තිය එකම […]
  • දේවවාදය සහ අදේවවාදය (Theism and Atheism}April 24, 2017 දේවවාදය සහ අදේවවාදය (Theism and Atheism} (0)
    මිනිසාගේ විශ්වාසයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කළ හැකිය. එකක් දේවවාදය අනෙක අදේවවාදයි. දේවවාදියා ඔහුගේ විශ්වාසය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කලත් අදේවවාදියා දෙවියන් නැතැයි […]
  • දෙවිඳුන් විශ්වය මිනිසා-15November 7, 2017 දෙවිඳුන් විශ්වය මිනිසා-15 (0)
    අල් කුර්ආනයේ සඳහන් ඓතිහාසික හා අනෙකුත් තොරතුරු පිළිබඳ ප්‍රාතිහාර්යයන් කිහිපයක් මෙම මාතෘකාව සාකච්ඡා කිරීමේදී ‘ප්‍රාතිහාර්ය ය’ යන්නෙන් අදහස් වන්නේ කුමක් ද යන්න පිළිබඳ දැනුවත්වීම වඩාත් […]
  • දෙවිඳුන් විශ්වය මිනිසා-14November 2, 2017 දෙවිඳුන් විශ්වය මිනිසා-14 (0)
    මිනිසා හා සත්වයින් අතර ඇති සමාන අසමානකම් මිනිසා සහ සත්ව ලෝකයේ සාමාජිකයින් අතර පවතින සමාන හා අසමානකම් පිළිබඳ අවධානය යොමු කළහොත් අපට මිනිසාගේ මිහිතලය මත හා ඉන් පශ්චාත් ජීවිතයේ ජය අත්පත් […]
  • දෙවිඳුන් විශ්වය මිනිසා-11October 9, 2017 දෙවිඳුන් විශ්වය මිනිසා-11 (0)
    පරිණාමවාදය පරිණාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්.එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත් ව ගිය ඩාවින් විසින් පුරා වසර පහක් තිස්සේ විවිධ සත්වයින්ගේ […]
  • දේව විශ්වාසය විද්‍යාව හා මිනිසා -1February 7, 2009 දේව විශ්වාසය විද්‍යාව හා මිනිසා -1 (0)
    ආගම් හා දර්ශනයන් නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා අවිද්‍යාවෙන් මිදෙන බවට වහසි බස් දොඩමින් විද්‍යාවේ සරණ පැතීය. ගින්දර යුගයේ සිට අඟහරු යුගයටත් එතැනින් 21 වන සියවසටත් පා තබන මිනිසා භෞතික […]

November 28, 2017 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , , ,  · Posted in: ප‍්‍රතිපත්තිය

Leave a Reply