| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 53 views

නීතිය යුක්තිය හා දණ්ඩනය!

කතුවරයා/දේශකයා: on 30th November 2017

සියලු සංස්කෘතීන් හා සමාජ ක්‍රමයන්හි මිනිසාගේ යහ පැවැත්ම සහතික කරනු වස් නීතිරීති පද්ධතියක්ද එම නීතිරීති ක්‍රියාත්මක කිරීම සඳහා වූ සාධාරණ හා යුක්ති ගරුක අධිකරණ ක්‍රමයක්ද සකසා ගෙන තිබීම දක්නට ඇත. විශේෂයෙන් ම නීතිය, යුක්තිය හා දන්ඩනය අවශ්‍ය වන්නේ සමාජයේ සදාචාරාත්මක බව සුරක්ෂිත කොට සාරධර්ම පෝෂණය කිරීමේ අරමුණු ඉටු කරගැනීම සඳහාය. 
පුද්ගලයා ඇතැම් විට අන්‍යයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන අවස්ථා මෙන්ම සමාජ යහ පැවැත්ම සඳහා වූ සම්මතයන් බිඳ දමන අවස්ථා ඇති වූ විට නීතිය, යුක්තිය හා දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සිදුවෙයි. මේ පිළිබඳ ප්‍රධාන දහම් ඉදිරිපත් කොට ඇති ඉගැන්වීම් කෙරෙහි පළමුව අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නෙමු.

බෞද්ධ ඉගැන්වීම් දෙස අවධානය යොමු කිරීමේ දී මිනිස් සමාජයේ ආරම්භක යුගයේදීම විෂම ක්‍රියා ඇති වූ ආකාරය දීඝනිකායේ අග්ගඤ්ඤ සුත්‍රයේ සඳහන් වෙයි. එම සුත්‍රයේ සඳහන් වන කාරණා අනුව සොරකම බොරුව වංචාව කාමයෙහි වරදවා හැසිරීම මේ ආදී දුරාචාර මිනිස් සමාජයෙහි ඇතිවිය. මේ නිසා එම තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා නායකයෙකු පත්කර ගැනීමට අවශ්‍ය විය. එසේ පත් කරගත් පාලකයා “රජ” නමින් හැඳින් විය. විෂම දේ ක්‍රියාත්මක වීමේදී ඒ පිළිබඳව සාධාරණ අන්දමින් යුක්තිය ඉටු කරනු සඳහා ගැටළු විනිශ්චය කරනු ලැබුවේ රජතුමාය. පංචශීලයෙන් ද කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම දක්වා ඇත.

ගුණසේන ගමගේ මහතා විසින් රචිත “පැරණි හා මධ්‍ය කාලීන නීතිය සහ අධිකරණ ක්‍රමය” නම් ග්‍රන්ථයේ 106 වැනි පිටුවේ සඳහන් පරිදි ස්ත්‍රී දුෂණ හා කාමයේ වරදවා හැසිරීමේ වරදට මරණ දඬුවම නියම කිරීම සිංහල රජ දවසේ පැවති දඬුවමක් බව දක්වා ඇත.

කිතුනු දහම නීතිය හා දණ්ඩනය පිළිබඳ ඉදිරිපත් කරන අදහස් අපට බයිබලයෙන් දැක ගත හැක. විශේෂයෙන්ම කාමයේ වරදවා හැසිරීම සඳහා වූ දණ්ඩනය පිළිබඳ කිතුනු දහමේ ඉගැන්වීම් බයිබලයේ සඳහන් වී ඇති අයුරු පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“යමෙකු වෙන කෙනෙකුගේ භාර්යාවක සමග පරදාර සේවනය කළොත්, දෙදෙනාම මරණයට පත් කළ යුතුය” (බයිබලය – ලෙවී ව්‍යවස්ථාව 20:10)
“යම් පුරුෂයෙකු අන් විවාහක කාන්තාවක සමග සංවාසයේ යෙදුණොත් ඒ පුරුෂයාත් කාන්තාවත් දෙදෙනාම මරනු ලැබිය යුතුය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතුවේ. යම් මිනිසෙකු අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් දුන් කන්‍යාවක් සමග නගරය තුළ දී හමු වී ඇය සමග සංවාසය කළොත් ඔබ ඔවුන් දෙදෙනා ඒ නගරයේ වාසල් දොරකඩට ගෙනවුත් ගල් ගසා මරණයට පත් කළ යුතුය” (බයිබලය – ද්විතීය නීති සග්‍රහය 22 – 22 : 24).

හින්දු දහම කාමයේ වරදවා හැසිරීම සඳහා වූ නීතිය හා දණ්ඩනය දක්වා ඇත්තේ හින්දු දහමේ වැදගත් මූලාශ්‍රයක් වූ ‘මනුස්මෘති’ ග්‍රන්ථයෙහි ය.
“බ්‍රාහ්මණයෙකු නොවන්නෙකු කාමයේ වරදවා හැසිරියහොත් ඔහුට මරණ දඬුවම ලබා දිය යුතුය” (මනුස්මෘති 8 : 359).

“ඕනෑම පිරිමියෙකු අවිවාහක කාන්තාවක්ව ලිංගික අතවරයට පත් කළහොත් වහාම ඔහුගේ ඇඟිලි දෙකක් කපා දැමිය යුතුය” (මනුස්මෘති 8 : 367).

ඉහත ඉගැන්වීම් අනුව අනෙකුත් දහම් ද විවාහයෙන් බාහිර ලිංගික ක්‍රියාකාරකම් අනුමත නොකරන බව හා එය බරපතල විෂමාචාරයක් ලෙස සලකා එයින් ජනයා වළකා සමාජ සදාචාරය ආරක්ෂා කිරීම අරමුණු කොට ගෙන බරපතල දණ්ඩනයන් නියම කොට ඇති බව පැහැදිලි වෙයි. මීළඟට ඉස්ලාමීය නීතිය කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.

ඉස්ලාමීය නීතියේ මුලික අරමුණ වන්නේ ප්‍රතිපත්තියක් වශයෙන්ම මිනිසුන් මුහුණපාන දුෂ්කරතාවන් ඉවත් කොට ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු වලට යහ විසඳුම් ලබා දීමය. පොදු වශයෙන් ‘ෂරිආ’ පිළිවෙත මගින් පුද්ගලයින් හා සමාජයට දැහැමි වීම සඳහා දිරි ගන්වන අතර දෙවිඳුන්ට සමීපතාවක් ගොඩ නගා ගන්නට මඟ පෙන්වයි. සමාජයන් ආරක්ෂිතව සහයෝගීතාවකින් යුක්තව ඒකීයත්වය පිළිබඳ හැඟීමකින් හා විශ්වාසයකින් මෙන්ම සැවොම එකිනෙකාට උපකාර කර ගනිමින් යහකම දිරිගන්වමින් හා දෙවිඳුන් හට අප්‍රිය වූ අයහකමින් එකිනෙකා වළකමින් කටයුතු කිරීම මිනිස් සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය කරුණකි.

දහම සුරක්ෂිත කිරීම ෂරිආ හි අරමුණු අතරින් වැදගත් ස්ථානයක් ගනියි. මිනිස් ජීවිතයේ හරය හා සාරය ලෙස ගැනෙන්නේ දහමය. මිනිසාගේ මෙලොව හා මතුලොව ජය රැඳී ඇත්තේ දහමේ නිවැරදි මග පෙන්වීම් අනුගමනය කිරීම මතය.

ජීවිත ආරක්ෂණය ෂරිආ හි තවත් වැදගත් අරමුණක් වෙයි. කිසිදු ජීවියෙකුට හිරිහැර කිරීමට හෝ අන් අයගේ ජීවිත හානි කිරීමට හෝ අයිතියක් කිසිවෙකුට නොමැත. අන් අයගේ ජීවිත අනුල්ලංඝනීය බව ඉස්ලාමය උගන්වන අතර අහිංසක ජීවිත වලට හානි සිදු කිරීම මහා පාපයක් ලෙස ද සලකයි.

බුද්ධිය ආරක්ෂා කිරීමද ෂරිආ හි තවත් වැදගත් අරමුණක් වෙයි. මුස්ලිම් වරයෙකු සෑම විටම සන්සුන් හා තැන්පත් කමකින් යුක්ත විය යුතුය. මත් පැන් මත් කුඩු හා අනෙකුත් සියලුම මත් ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටීම අත්‍යාවශ්‍ය වෙයි. බුද්ධිය හා මනස ව්‍යාකුලත්වයට පත් කරන්නා වූ මත්ද්‍රව්‍ය හා අනෙකුත් දෑ පුද්ගලයාට හා සමාජයට අති හානිකරය.

දේපළ හා ධනය ආරක්ෂා කිරීම ඉතා වැදගත් තැනක් ෂරිආ පිළිවෙතේ අන්තර්ගතය. පුද්ගල ආරක්ෂණය පිළිබඳ හැඟීම පරිපුර්ණ වීමට නම් තම ශ්‍රමයේ ඵලය ලෙස සැලකෙන දේපළ හා ධනය සුරක්ෂිත විය යුතුය. සොරකමින් හා බලහත්කාරකමින් හානියක් නොවන පරිදි තම වස්තුව රැක ගැනීමේ සහතිකයක් තිබීම පුද්ගල ආරක්ෂණයේ වැදගත් ස්ථානයක් ගනී.

පරපුර පිරිසිදුව හා නිවැරදිව පවත්වා ගෙන යෑම ෂරිආ පිළිවෙතේ ඉතා වැදගත් අංගයක් වෙයි. විවාහයට පුර්ව හා විවාහයෙන් පසු ඉන් බාහිර සියලුම ලිංගික සම්බන්ධතාවන් තහනම් වන අතර ඒවා දඬුවම් ලැබීමට හේතු වන කරුණු ලෙස සලකයි. මිනිස් සමාජයේ මුලික ඒකකය පවුලයි. පවුල් සංස්ථාව බිඳ දමා සමාජයේ බරපතල ආකාරයේ අස්ථාවරත්වයක් ඇති කිරීමට සෘජුවම බලපාන සාධකය වන්නේ කාමයෙහි වරදවා හැසිරීමයි.

ලිංගික ක්‍රියාව හා ප්‍රජනනය සත්ව ලෝකයේ සාමාජිකයින්ට මෙන්ම මිනිසාට ද පොදුවූ යථාර්ථයකි. නමුත් තිරිසන් ලෝකය හා මිනිසා අතර ප්‍රධාන වෙනස වන්නේ මිනිසා විසින් ලිංගික ක්‍රියාව පවුල් සංස්ථාවට සීමාකොට එමගින් තම පරපුරේ පාරිශුද්ධිය ආරක්ෂා කොට ඔවුන් පිළිබඳ වගකීමකින් යුක්තව හා ඥාතිත්වය රැකෙන පරිදි කටයුතු කිරීමයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් මෙම උත්තරීතර බැඳියාවන් සියල්ල බිඳ වැටී මිනිසා හා තිරිසනා අතර කිසිදු වෙනස්කමක් නොමැති තත්ත්වයක් ඇතිවීමේ දොරටු විවෘත කොට දෙයි.

එහෙයින් අවිවාහක මෛථුනය, විවාහකයින් සිදු කරනු ලබන කාමයේ වරදවා හැසිරීම්, අනාචාරය, ලිංගික අපචාරය, ගණිකා වෘත්තිය ආදී සියලුම ආකාරයේ ලිංගික වැරදි මෙන්ම එම වැරදි කරා යොමු කරවන සියලු සාධක පිළිබඳව ෂරිආ පිළිවෙත දැඩි විරුද්ධ ස්ථාවරයක සිටී.

කාමයෙහි වරදවා හැසිරීම ඔප්පු කිරීම පිණිස පහත සඳහන් නිර්ණායකයන් ඉස්ලාමීය නීතිය ඉදිරිපත් කරයි.

1. නීත්‍යානුකුල ලෙස විවාහ නොවූ ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර සිදුවන ලිංගික ක්‍රියාව සෘජුව දුටු හතර දෙනෙකුගේ සාක්ෂි. මෙම හතරදෙනාම පුරුෂයාගේ ශිෂ්ණය ස්ත්‍රියගේ යෝනියට ඇතුලත් කිරීම දැක තිබිය යුතුය. මෙවන් ආකාරයේ සාක්ෂි හතරක අවශ්‍යතාව මත ඉස්ලාමීය ඉතිහාසයේ මෙතෙක් මේ ආකාරයෙන් වරද ඔප්පු කොට දඬුවම් දීමේ සිද්ධියක් වාර්තා වී නොමැත. සදාචාර පිරිහීම සිදුවන වේගය දෙස අවධානය යොමු කරන විට ඇතැම් විට මෙවන් සාක්ෂි ඉදිරිපත් කොට වරද ඔප්පු කිරීමේ කාලයක් අනාගතයේ දී ඇතිවිය හැක.

2. තමන් විසින් අධිකරණය ඉදිරියේ කිසිදු බලපෑමකින් තොරව වරද පිළිගත් අවස්ථාවන් හි අධිකරණයට දඬුවම් දීමේ හැකියාව ඇත. නමුත් වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය ඉදිරියේ තම දොෂෝච්චාරණය ඉල්ලා අස්කර ගතහොත් එවන් තත්ත්වයකදී ද දඬුවම් ලබාදිය නොහැක. විවාහක ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කාමයෙහි වරදවා හැසිරීමේ චෝදනාව ඉහත දැක්වූ හා මෙවන් ආකාරයෙන් අධිකරණයක ඔප්පු වුවහොත් ඉස්ලාමීය නීතිය අනුව ඔවුන් ගේ දඬුවම ගල්ගසා මරණයට පත් කිරීමය.

3. අවිවාහකයින් සඳහා කස පහර 100 ක් දඬුවම ලෙස නියම කරනු ලබන අතර ඔප්පු කිරීමේ පිළිවෙත ඉහත ආකාරයෙන් සිදුවිය යුතුය.

දඬුවම දැඩි කොට තිබීම හේතුවෙන් වරදට පෙළඹීමේ හැකියාව දුර්වල කොට සාරධර්ම සපිරි සමාජයක් ගොඩ නැගීම මෙහි මුලික අරමුණ බව පැහැදිලිව පෙනෙන්නට ඇත. මෙම චෝදනාව ඔප්පුකිරීමේ දී සඳහන් කොට ඇති ඉතා අසීරු ක්‍රමවේදයෙන් ද අදහස් වන්නේ දඬුවම් දීම කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා ජනයා එවන් දුශ්ශීල ක්‍රියාවන්ගෙන් වළකාලීම බව පැහැදිලිය.

මෙයට ටික කලකට පෙර ශ්‍රී ලාංකේය ගෘහ සේවිකාවක් මෙවන් චෝදනා ලබා මරණ දඬුවමට ලක් කොට තිබීම හේතුවෙන් විවිධ ආකාරයේ මතවාදයන් ගොඩනැගිනි.

මෙම දඬුවම ලබා දීමට පදනම් වී ඇත්තේ විවාහක කාන්තාවක් වූ ඇය කාමයේ වරදවා හැසිරුණු බවට අධිකරණය ඉදිරියේ පිළිගැනීම බව දැනගන්නට ඇත. මෙහිදී අප විසින් පැහැදිලි කරගත යුතු කරුණු කිහිපයක් ඇත.

1. බොහෝවිට අරාබි භාෂාව හා ඉස්ලාමීය නීතිය පිළිබඳ නිවැරදි දැනුමක් නොමැති මෙම කාන්තාව තමන් විසින් පිළිගනු ලැබුවේ කුමන වරදක් ද යන්න ගැන ඇයට අවබෝධයක් තිබේ ද?

2. භාෂා පරිවර්තකයින් විසින් ඇයට චෝදනා ව පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දී තිබේ ද?

3. අපගේ තානාපති කාර්යාලය මගින් මෙම කාන්තාව සඳහා නීතිඥ සහාය ලබා දීමට කටයතු කොට තිබේ ද?

4. විදේශ රැකියා කාර්යාංශය මගින් විදේශ රැකියාව සඳහා යන ස්ත්‍රී පුරුෂ සියලු දෙනා වෙත තමන් යන රටේ නීතිරීති පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකොට තිබේ ද?

5. සවුදි අරාබියේ ක්‍රියාත්මක වන්නේ සහමුලින්ම ඉස්ලාමීය නීතිය බව කිව නොහැක. ස්ත්‍රියකට දුරබැහැර ගමනක් යාමේදී තම පුරුෂයා හෝ තමන්ට විවාහ වීමට අනුමත නැති පියා, සහෝදරයා, පුත්‍රයා වැනි ආරක්ෂකයෙකු අනිවාර්යයෙන්ම සිටිය යුතුය. මෙය ඉස්ලාමීය පිළිවෙතේ ‘මහ්රම්’ යනුවෙන් හැඳින්වේ. විදේශ රැකියා සඳහා යන කාන්තාවන් සඳහා මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සවුදි අරාබිය විසින් නොසලකා හැර ඇත. තවද විවාහක අඹුසැමියන් ව දීර්ඝ කාලයකට ඈත්කොට තැබීම ද ඉස්ලාමය අනුමත නොකරයි. මෙම වැදගත් සාධකය ද මෙහිදී නොසලකා හැර ඇත.

6. විදේශ රැකියා සඳහා කාන්තාවන් යැවීමේ දී ඉහත සඳහන් ‘මහ්රම්’ සංකල්පය ආරක්ෂා වන පරිදි එනම් තම ස්වාමි පුරුෂයා හෝ අන් අනුමත ආරක්ෂකයෙකු සමග යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කළ යුතුව ඇත. සේවාදායක රටෙන් ද මෙම කොන්දේසිය අනුව කටයුතු කිරීමට වගබලා ගත යුතුව ඇත.
එහෙයින් ඉස්ලාමීය නීතිය දෝෂදර්ශනයට ලක් කිරීමට වඩා එහි හරය හා අරමුණු අවබෝධ කරගත් විට එම නීතියේ ඇති මානුෂීය හා සදාචාර සම්පන්නත්වය තේරුම් ගැනීමට හැකිවේ යැයි විශ්වාස කරන්නෙමු. මිනිස් සමාජය හා තිරිසන් ලෝකයේ ක්‍රියාකාරකම් අතර වැඩි වෙනසක් දැකිය නොහැකි ආකාරයෙන් සිදුවෙමින් පවතින භයානක සදාචාර පිරිහීම වලක්වාලීමට කටයුතු කිරීම අප සැමගේ වගකීමක් බව දකින්නෙමු. මෙම කාන්තාවගේ අධිකරණ ක්‍රියාවලිය විධිමත් අයුරින් සිදු කිරීම සඳහා වගකිවයුත්තන් ඉදිරිපත් වී කටයතු කරයි කියා අපේක්ෂා කරන්නෙමු. ඉදිරියේ දී මෙවන් සිදුවීම් වලක්වාලීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග ගැන විදේශ රැකියා කාර්යංශය සුදුසු පියවරයන් ගනියි කියා ද බලාපොරොත්තු වන්නෙමු.

සකස් කිරීම: ඉබ්නු මන්සූර්

www.yayuthumaga.com

Related Posts

  • “ෂියා” දහම දැනගනිමු – 1January 23, 2017 “ෂියා” දහම දැනගනිමු – 1 (0)
    මෑතක සිට ලංකාව තුළත් කලක පටන්  අනෙකුත් රටවල්වලත් ‘ෂියා’ දහම පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොර වූ ව්‍යාකුලත්වයක් දක්නට ඇත. එහෙයින් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම කාලෝචිත හා […]
  • ෂඃබාන් මස තුළ සුදුසු  හා නුසුදුසු  ක්‍රියාවන්!May 21, 2015 ෂඃබාන් මස තුළ සුදුසු හා නුසුදුසු ක්‍රියාවන්! (0)
    ෂඃබාන් මස ඉස්ලාමීය දින දර්ශනයේ 8 වැනි මාසයයි. චන්ද්‍ර මාස අනූව 8 වැනි මාසය වන ෂඃබාන් රමළාන් මාසයට පෙරවූ මාසයයි. ෂඃබාන් මාසයෙහි අධිකව වෛකල්පිත උපවාසයන් ඉටු කිරීම නබි (සල්) තුමන්ගේ උතුම් […]
  • ‘අල් ට(ත)ක්යා සංකල්පය ෂියා දහමේ පිළිවෙතකි’January 29, 2017 ‘අල් ට(ත)ක්යා සංකල්පය ෂියා දහමේ පිළිවෙතකි’ (0)
    ‘අල් ට(ත)ක්යා’ යන අරාබි පදයේ ශබ්ද කෝෂ අර්ථය පළමු ව විමසා බලමු. “Lane’s Lexicon” නමැති අරාබි - ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව ‘ටක්යා’ යන අරාබි පදයේ මුලය වන්නේ ‘වකා’යන පදයයි. ‘ආත්මාරක්ෂාව’ හා  […]
  • අපිරිමිත කරුණාවන්තයාගේ දාසයන් සතු උසස් ගුණාංග!May 28, 2012 අපිරිමිත කරුණාවන්තයාගේ දාසයන් සතු උසස් ගුණාංග! (0)
    සකස් කිරීම: ඉබ්නු අබ්දුර්රහ්මාන් - බදුල්ල අර්රහ්මාන් - උසස්වු අල්ලාහ්ගේ විශේෂ ගුණාංගයන් කියාපාන ශුද්ධවූ නාමයකි. එනම් අර්රහ්මාන් යනු අපිරිමිත අසමසම මහා කරුණාන්විතය. අල්ලාහ්ගේ දයාව, කරුණාව, […]
  • සංවාදයෙන් සවියක්!March 7, 2009 සංවාදයෙන් සවියක්! (0)
    මෙය මමත් භාර්්‍යාවත් ඉස්ලාමයට ආ මුල් කාලයයි. සර්ව බලධාරි අල්ලාහ් දෙවිඳුන්ගෙන් යහ මග ලබා යන්තම් මුස්ලිමෙක් ලෙස ගමන් ඇරඹුවා පමණි. ඉස්ලාමය වෙත පැමිණෙන මුද්ගලයා මුහුණ දෙන ඊළඟ අභියෝගය නම් […]
  • දුල් හජ් මස මුල් දින දහය පිළිබඳ මීට පෙර ඔබ දැන සිටියාද?August 16, 2017 දුල් හජ් මස මුල් දින දහය පිළිබඳ මීට පෙර ඔබ දැන සිටියාද? (0)
    මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.   සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා උතුම්වූ දින […]

November 30, 2017 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , ,  · Posted in: විවිධ

Leave a Reply