ඉවසීමේ සද්ගුණය (The Virtues of Patience)

පවුල් ජිවිතයේ මෙන්ම සමාජය තුල ජාතින් අතර ගැටුම් ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඉවසීම නැතිකමය. ඉවසීම ඇතොත් මිනිසාට බොහෝ දේවල් ජය ගත හැකි වනු ඇත. අඩුම තරමින් සිදුවීමට යන විශාල අලාබහානි  වලක්වා ගත හැකිය. කෙසේ වෙතත් වර්ථමාන සමාජය තුල ඉවසීමේ ගුණය විශාල ලෙස පිරිහීමට පත්ව තිබීම කනගාටුවට කරුණකි.
ඉවසීම ගැන අල්-කුරානයේ බොහෝ වදන් දැකිය හැකිය. එක් වදනක සඳහන් වන්නේ ඉවසිලිවන්තයින් සමහ දෙවියන් සිටින බවයි. එසේ වන්නේ එය ඉතා අමාරු කාර්යයක් බැවිනි. එහෙත් එහි කුලිය විශාලය. ඉවසීම ගැන අල්-කුරානයේ නබිවරුන් සම්භන්දයෙන් බොහෝ සිද්ධීන් දැකිය හැකිය. ඒවා සෑම එකක්ම අපට මහඟු ආදර්ශයන් ලබා දෙන්නේය.

අල්-කුරානයේ දැක්වෙන යුසුෆ් නබිතුමාගේ කථා පුවතකින් ඉවසීම ගැන බොහෝ දේවල් පවසා ඇත. ඉන් එක් සිද්ධියකදී යුසුෆ් නබිතුමාගේ ඥාති සහෝදරයින් ගැන සඳහන් වන්නේය. ඔවුන් තම පියාගේ සම්පුර්ණ ආදරය තමන් වෙත දිනාගැනීම සඳහා කුඩා යුසුෆ්ව සෙල්ලම් කිරීමට යැයි පියාට බොරුවක් පවසා නිවසින් රැගෙන ගොස් පාළු ලිඳක දමා ගෙදරට පැමිණ ඔවුන්ගේ පියා, යඃකුබ් නබිතුමාට පැවසුවේ ඔවුන් සෙල්ලම් කරමින් සිටියදී තම සහෝදරයාව වෘකයෙක් අල්ලාගත් බවයි. මෙය ඇසු යඃකුබ් නබිතුමා ඉතාමත් දුකින්  එය ඉවසාගත්තේය. ඒ ගැන ඔහු සිය දරුවන් සමග වාද විවාද කලේද නැත. මෙම දුක වසර දහයක් පමණ දරාගැනීම නිසා ඔහුගේ දෑසේ පෙනීම ද නැති විය. කෙසේ වෙතත් දීර්ඝ සිදුවීම් මාලාවකින් පසු පිය පුතු සියලු දෙනාම නැවත එකතු වුහ. එපමණක් නොව යුසුෆ් නබිතුමා ඔහුගේ සහෝදරයින්ට සමාවද ප්‍රධානය කළේය. යඃකුබ් නබිතුමාගේ ඇස්වල පෙනීමද දෙවියන්ගේ අනුග්‍රහයෙන් නැවත ලැබුනේය. මෙයින් පැහැදිලි වන්නේ ඉවසීමෙන් ලැබිය හැකි ජයග්‍රහණය යි.

එක් අවස්ථාවකදී මුහම්මද් නබිතුමා තායිෆ් නගරයට ගොස් එහි ප්‍රභූවරුන් හමුවී ඉස්ලාම් දහම සඳහා අරාධනා කොට ඇත. එහෙත් නබිතුමා බලාපොරොත්තු වූ පරිදි එම ප්‍රභූවරුන් නබිතුමාගේ ආරාධනය පිළිගෙන නැත. ඒ වෙනුවට නබිතුමා හට නොයෙකුත් නින්දා අපහාස කර තිබේ. එම නින්දා අපහාස සියල්ලම ඉවසා දරාගෙන නැවත හැරී පැමිණෙමින් සිටින විට කුඩා ළමුන් ලවා නබිතුමාට එලව එළවා ගල් වලින් පහර දීමට ඔවුන් කටයුතු කොට ඇත. දෙවියන්ගේ වක්තෘවරයාට කළ මෙම වදහිංසා නිසා ඔහුගේ දුකට පිහිට වීම සඳහා ජිබ්‍රිල් දේවදුතයාව යවා ඇත. එවිට ජිබ්‍රිල් දේවදුතයා පැමිණ එම ජනතාව කඳු දෙක අතර සිරකොට මරා දමන්නදැයි නබිතුමාගෙන් විමසා තිබේ. එහෙත් කාරුණික මුහම්මද් නබිතුමා පවසා ඇත්තේ එම ජනතාව වෙනුවට ඔවුන්ගේ මතු පරම්පරාව හරි ඉස්ලාම් දහම වැළඳ ගැනීමට ඉඩ ඇති බැවින් එසේ නොකරන ලෙසය. මෙයින් අපට නබිතුමාගේ කරුණාවන්ත බව සහ ඉවසීම දැක බලාගත හැකිය.

මිනිසා බොහෝ විට ඉවසීම නැතිකර ගන්නේ සාතන්ගේ උගුල්වලට හසු වීම නිසාය. එසේ වීමෙන් අත්වන අලාභය මිනිසාටමය. බොහෝ දෙනෙක් එය තේරුම් ගන්නේ සිදු විය හැකි සෑම අලාබයක්ම සිදු වූ පසුවය. ඇතැම් අවස්ථවලදී ඉවසීම නොමැතිකම නිසා වටිනා ජිවිතවලට පවා හානි සිදු වන්නේය. ඉන් පසුව සිර ගෙවල්වල සම්පුර්ණ ජිවිත කාලයම ගෙවීමට සිදු වන්නේය. සමහරුන්ට මොහොතක් ඉවසීමට නොහැකි වීම නිසා තමන්ගේ සියළුම වත්කම් නඩු හබ වෙනුවෙන් වියදම් කිරීමට සිදු වන්නේය. ඇතැම් විට සුළු සිදුවීම් නිසා මැරෙන තුරු ඥාතින් සමග කථා බහ නොකර සිටීමට සිදු වන්නේය. ඉවසීමට පුරුදු වන්නේ නම් මේවායින් බොහොමයක් වලක්වා ගත හැකි ඒවාය.

මිනිසුන් අතර සිදුවන බොහෝ දික්කසාදවලට හේතුවද ඉවසීම නැතිකමය. සමහර විට එවැනි දෙයකට හේතුව විනාඩි පහක් කෑම පරක්කු වීම විය හැකිය. නැතිනම් කෑම වල ලුණු නැති නිසා විය හැකිය. මෙවැනි සුළු සිද්ධීන් ඉවසීමට පුරුදු වන්නේ නම් ජීවිතය කොතරම් සුන්දර කර ගත හැකිද?

දහමින් ඈත්වන මිනිසා තුල කරුණාව, මෛත්‍රිය, පරෝපකාරී බව නැතිවගොස් ඒ වෙනුවට ඉරිසියාව, වෛරය, ක්‍රෝධය ඇතුළුවන්නේය. මේ නිසා නාම මාත්‍රිකව නොව ප්‍රායෝගිකව දහම තුල ජිවත් වීමට උත්සාහ කිරීම සමාජයටම කරන උදව්වකි.

සෑම දහමකම ඉවසීම ගැන උගන්වා ඇත.  එබැවින් ඒවා කුඩා කාලයේ සිටීම ළමුන්ට ඉගැන්වීම ඉතා වැදගත් වේ. එසේ කිරීම ජාතින් අතර සමගිය ඇති කිරීමට මහඟු උපකාරයක් වනු ඇත. මෙම පියවර නොගතහොත් අනාගත පරපුර ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ පානු ඇත.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.