| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 36 views

මුස්ලිම් නොවන අයෙකුට සත්‍යය වූ, ඒකීය දෙවිඳුන් විශ්වාස කිරීමට ඇති සාධක මොනවාද?

කතුවරයා/දේශකයා: on 4th December 2017

මුස්ලිම් නොවන අයෙකු හට  පාරභෞතික මහා කාරුණික දෙවිඳුන් පිළිබඳ විශ්වාසය එක්තරා අයුරින් ප්‍රහේලිකාවක් බවට පත් ව තිබිය හැක. එවන් අයෙකුට විචාරය, යථාර්ථය, බුද්ධිය හා විද්‍යාව පදනම් කර ගනිමින් කරුණු කිහිපයක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇත්තෙමු. දෙවිඳුන් පිළිබඳ විශ්වාසය ඇති කර ගැනීම පිණිස ඇති සාධක අතුරින් ඉතාම අල්පයක් ඔබගේ අවධානය පිණිස දක්වා ඇත්තෙමු. 

අල් කුර්ආනය සදාතනික ප්‍රාතිහාර්යයකි

අල් කුර්ආනය යනු දෙවිඳුන් විසින් මනුෂ්‍යය වර්ගයාට නිවැරදි මඟ පෙන්වීම උදෙසා පහළ කරන ලද අවසන් දිව්‍යමය මාර්ගෝපදේශයයි. මිනිසා මිහිතලය මත තම ජීවිතය ආරම්භ කළ පළමු දිනයේ සිට වරින් වර මිනිසුන්ගෙන් තෝරා ගනු ලැබූ ශ්‍රේෂ්ඨ මිනිසෙකුට දෙවිඳුන් විසින් නිවැරදි මාර්ගෝපදේශයන් පහළ කොට මිනිස් වර්ගයා ව යහ මගට ආරාධනා කිරීම ඉතිහාසය තුළින් අප දක්නා සත්‍යයකි. අල් කුර්ආනය පහළ කරනු ලැබුවේ දැනට වර්ෂ 1450 කට පමණ පෙර මක්කාහ් නගරයේ ජීවත් වූ කිසිදු සම්මත අධ්‍යාපනයක් නොලැබූ අනාථ දරුවෙකු ලෙස මෙලොව එළිය දුටු මුහම්මද් තුමාණන්ගේ හතළිස් වන වියේ සිට එතුමාණන් මෙලොවින් සමු ගත් හැට තුන් විය දක්වා වූ අවුරුදු විසි තුනක කාල පරාසයක් තුළය.

“(නබිවරය) මෙය (අල් කුර්ආනය) ට පෙර නුඹ කිසිදු පුස්තකයක් කියවා නොමැත. තවද නුඹ නුඹගේ දකුණතින් එය ලියා (පුරුද්දක්) ඇති අයෙකුදු නොවන්නේය. එසේ වුයේ නම් මෙම අසත්‍යවන්තයින් (මෙය) ඔබ විසින් මනඃකල්පිත කරගත්තේ යැයි මිස අල්ලාහ් විසින් පහළ කළේ නැතැයි සැක සිතන්නට  ඉඩ තිබිණි”. (අල් කුර්ආන් 29:48)

මහ පොළොව හා කඳු

ලොව බොහෝ විශ්ව විද්‍යාලයන්හි භූ විද්‍යාව හදාරණ සිසුන් භාවිත කරන පෙළපොතක් වන ‘පෘථිවිය’ (The Earth) ග්‍රන්ථයේ එක් කර්තෘවරයෙකු  වු මහාචාර්ය ෆ්‍රෑන්ක් ප්‍රෙස් (Frank Press) හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්ගේ විද්‍යා උපදේශකයා ව සිටි අතර ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ (National Science Academy of U.S.A.) සභාපති ලෙස අවුරුදු 12 ක් කටයුතු කළ අයෙකි. මෙම ‘පෘථිවීය’ නම් ග්‍රන්ථයේ 435 වන පිටුවේ  සඳහන් වන්නේ  විශාල කඳු වැටි  වලට පොළොව අභ්‍යන්තරයට  දිව යන මුල් ඇති බවය. මෙම මුල් ඉතා තදින් පොළොව හා බද්ධ වී ඇති අතර එය කුඤ්ඤයක් (peg) ලෙස කටයුතු කරමින් පොළොවෙහි ස්ථායිභාවයට උපකාරි වන බවයි. ටර්බක් (Tarbuck) හා ලුට්ජෙන්ස් (Lutgens) විසින් ලියන ලද ‘භූ විද්‍යාව’ (Earth Science) නැමැති ග්‍රන්ථයේද 157 පිටුවෙහි මෙවැනිම අදහසක් මහා කඳු සම්බන්ධ ව සදහන් කොට ඇත. පෘථිවි තැටි (Plate Tectonics) භු විද්‍යාඥයින් විසින් පෘථිවිය සම්බන්ධ ව සොයා ගත් ඉතා නුතනම සොයා ගැනීමයි. මෙම තැටි ස්ථායි තත්ත්වයේ තබා ගැනිමටත් කඳු උපකාරි වන බව විද්‍යාඥයින්ගේ මතය වේ.

“ඔබ හා පොළොව කම්පා නොවන පරිදි විශාල කඳු ද පිහිටෙව්වේය” (අල් කුර්ආනය 16:15)

“අප පොළොව ඇතිරිල්ලක් ලෙස ද කඳු කුඤ්ඤයක් ලෙස ද (නොකළෙම් ද?) (අල්කුර්ආන් 78:6-7)

විශ්වයේ කොටසක් වූ අප පය ගසා ජීවත් වන පෘථිවියේ සැකසුම පිළිබඳ ව ඇති ඉතාම නූතන විද්‍යාත්මක සොයා ගැනීම් වර්ෂ 1450 ක් පමණ පැරණි අල් කුර්ආනයේ අංශු මාත්‍රයක පරස්පරතාවකින් තොරව සඳහන් වී තිබේ නම් අල් කුර්ආනයේ කර්තෘවරයා හා විශ්වයේ නිර්මාතෘවරයා එක් අයෙකු බව පිළිගැනීමට කා හට නම් අපහසුතාවක් තිබිය හැකි ද?

නැවතත් සඳහන් කළ යුතුව ඇත්තේ මෙතරම් සූක්ෂම අයුරින් මහත් පරිශ්‍රමයක් හා නවීනතම විද්‍යාත්මක ක්‍රම උපයෝගී කර ගනිමින් සොයා ගනු ලබන නව්‍ය සොයාගැනීම් ශත වර්ෂ ගණනාවකට පෙර පාරිශුද්ධ අල් කුර්ආනය කිසිදු පරස්පරතාවකින් තොරව සුමට සරල ලෙස පවසා සිටීම තුළින් විශ්වයේ නිර්මාතෘ හා සත්‍යය එකම දෙවිඳුන් අල්ලාහ් බවත් සර්වඥානී අල්ලාහ් විසින් මිනිස් වර්ගයාට නිවැරදි දිවි පෙවෙත පෙන්වා දීම තකා තෝරා පත් කර ගනු ලැබූ මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් බවත් ලෝ වැසි සැමට සුරම්‍ය නිවැරදි සුමග පවසා සිටින හා පෙන්වා දෙන පාරිශුද්ධ අල් කුර්ආනය අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බවත් එය මිනිසෙකුගේ නිර්මාණයක් නොවන බවත් සක්සුදක් සේ මොනවට පැහැදිලි වෙයි.

මහා සාගරයේ අන්ධකාරය

සාගරය පිළිබඳ ව අල් කුර්ආනය පවසන කරුණු කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු. මුහුදු පත්ලේ මීටර් 200 ක් පමණ ගැඹුරට ගිය විට අන්ධකාරය ආරම්භ වි මීටර් 1000 ක් ගිය විට එහි සම්පුර්ණයෙන්ම අඳුර පවතින තත්ත්වයක් දැකිය හැක. මේ බව Elder සහ  Pernetta විසින් ලියන ලද ‘The Oceans’ නම් ග්‍රන්ථයේ 27 වන පිටුවේ සඳහන් වේ. මිනිසාට කිමිදුම් උපකරණයන් හි ආධාරය නොමැති ව මීටර් 40 කට වඩා කිමිදිය නොහැකිය. විද්‍යාඥයින් ඉතා මෑතකදි සබ්මැරින් හා අධිතාක්ෂණ උපකරණයන්හි ආධාරයෙන් ගැඹුරු සාගරයේ මෙම අන්ධකාරය සොයා ගත් අතර එයට අමතර ව ගැඹුරු සයුරේ අභ්‍යන්තර ජල රළ ඇති බව ද සොයා ගන්නා ලදි. මේවා සියල්ල නුතන විද්‍යාත්මක සොයා ගැනිම්ය. මේ සම්බන්ධ ව අල් කුර්ආනය පවසන කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.

“(ප්‍රතික්ෂේප කරන්නන්ගේ තත්ත්වය) ගැඹුරු මුහුදේ අන්ධකාරය බඳුය. එය රළෙන් වැසි ඇත. ඒ මත රළකි. ඒ මත වලාකුළුය. එකක්  මත එකක් වන සේ අන්ධකාරයය. යමෙක් ඔහුගේ හස්තය දික් කරන්නේ ද ඔහු එය නොදකින්නේය. අල්ලාහ් යමෙකුට ආලෝකය නොදෙන්නේ ද ඔහුට ආලෝකයක්  නොමැත”. (අල් කුර්ආන් 20:40)

අල් කුර්ආනය මිනිසාගේ පියවි ඇසින් නිරීක්ෂණය කොට නිගමනය කර ගැනීමට නොහැකි ආකාරයේ ඉතා සුවිශේෂී තොරතුරු පෘථිවිය අභ්‍යන්තරය හා සාගර පත්ල පිළිබඳ ඉතාම නිවැරදි හා නුතන විද්‍යාත්මක තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් ඔබට එළඹිය හැකි නිගමනය කුමක් ද යන්න කරුණාකර සිතා බලන්න.

මෙම වැකියේ විද්‍යාත්මක ප්‍රාතිහාර්යයට වඩා වැදගත් වන්නේ මිනිස් ජීවිතයේ ආලෝකය අත්පත් කර ගැනීම පිණිස අප විසින් කළ යුතුව ඇති කාර්යයන් පිළිබඳ සිතා බැලීම නොවේ ද?

පාරාවෝ – ෆිර්අව්න් (Pharaoh)

දැනට වර්ෂ 3000 කට පමණ පෙර ඊජිප්තුවේ පාලකයා වු දෙවන රැම්සෙස්ගේ  පුත් මෙරනෙප්තාගේ මෘත දේහය දැනට තැන්පත් කර තිබෙන්නේ කයිරෝ නගරයේ  තිබෙන ජාතික කෞතුකාගාරයේ ය. මෙම රජ පරපුර එම යුගයේ හඳුන්වනු ලැබුවේ පාරාවෝ – ෆිර්අව්න් (Pharaoh) යනුවෙනි. මෙර්නෙප්තා ෆිර්අව්න්ගේ ඉතිහාසය අනුව ඔහු තමන් අධිපති දෙවිඳුන් බව හඳුන්වා දි තිබු අතර විශ්ව පරමාධිපතිඳුන්ගේ තවත් ධර්ම දුතයෙකු වු මෝසෙස්  තුමාගේ සමකාලිනයෙකු ව ද සිටීය. මෝසෙස් තුමා සමග නිතර ගැටුණු මෙම ෆිර්අව්න් මෝසෙස් තුමා හා එතුමාගේ අනුගාමිකයන් ව මරා දමන්නට ලුහුබැඳ ආ අවස්ථාවේදී, දෙවිඳුන් විසින් රතු මුහුද දෙබෑ කොට මෝසෙස් තුමා හා පිරිසට රතු මුහුදින් එතෙර වන්නට ඉඩ සලසා දුන් අතර ෆිර්අව්න් හා ඔහුගේ හමුදාව රතු මුහුදට අවතිර්ණ වු විගස දෙබෑවු ජලකඳ එකට එකතු වීමෙන් ඔහු හා ඔහුගේ පිරිස මියගිය බව ආගමික ඉතිහාසය අපට උගන්වයි. මේ සම්බන්ධ ව ඇති අල් කුර්ආන් වැකියන් අනුව අවුරුදු 3000කට පමණ පෙර මිය ගිය ෆිර්අව්න් ගේ මළකඳ විනාශයට පත් වන්නට ඉඩ නොදී මතු පරම්පරාවට අවවාදයක් වනු පිණිස සුරක්ෂිත කරන ලද බව දෙවිඳුන් අපට දන්වා ඇත. දැනට අවුරුදු 1400ට පමණ පෙර පහළ කරනු ලැබු අල් කුර්ආනයට මෙම කරුණු ඇතුළත් වීමට නම් මෙම මෘත දේහය සොයා ගෙන ඒ පිළිබඳ ව දැනුමක් තිබූ උදවිය එම යුගයේ ජීවත් ව සිටිය යුතුය. මෙවැනි තත්ත්වයක් අවුරුදු 1400 කට පෙර නොතිබුණේනම් එය එසේ විය හැක්කේ අල් කුර්ආනයේ පණිවිඩය පහළ කරනු ලැබුවේ සර්වඥතාවයකින් යුත් මුලාශ්‍රයකින් බව අපට අවිවාදයෙන් පිළිගැනිමට සිදුවෙනවා නොවේ ද? මේ සම්බන්ධ ව විකල්ප මතයක් ඉදිරිපත් කිරීමට අවකාශ තිබේ ද? මේ සම්බන්ධ ව අල් කුර්ආන් වාක්‍යය පළමු ව විමසා බලමු.

“නුඹට පසුව එන අයට ප්‍රාතිහාර්යයක් වනු පිණිස මෙදින නුඹගේ සිරුර අපි ගොඩ දමා ආරක්ෂා කරන්නෙමු. නියත වශයෙන්ම මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් අපගේ ආයාත් (වදන් – සංඥා) ගැන නොතකන්නෝම යැයි (අල්ලාහ් පැවසීය)”.  (අල් කුර්ආන් 10:92)

ෆිර්අවුන්ගේ මෘත දේහය විනාශ නොවී සුරැකී ඇති බව සොයා ගන්නට වසර 1300 කට පෙර අල් කුර්ආනයේ ඉහත වැකියෙන් පහළ කළ පණිවිඩය එම යුගයේ ජනයාට එක්තරා අන්දමින් ප්‍රහේළිකාවක් වුවා විය හැක. මහාචාර්ය ලොරට් නම් විද්‍යාඥයා විසින් මෝසෙස් තුමාගේ  යුගයේ ජීවත් වු ෆිර්අව්න්ගේ මෘත දේහය සොයා ගත්තේ 1898 වසරේදීය. මහාචාර්ය ලොරට් විසින් සොයා ගත් ෆිර්අව්න්ගේ සිරුර වසර 3000 කට වැඩි කාලයක් තීබ්ස් නුවර නෙක්රෝපොලිස් සොහොන තුළ ඇතිරිල්ලක ඔතා තැන්පත් කොට තිබිණ. 1907 ජුලි මස 8 වැනි දින මහාචාර්ය එලියට් ස්මිත් නම් විද්‍යාඥයා විසින් මෙම සොහොන  විවෘත කොට මෘත දේහය විද්‍යාත්මක පරික්ෂණයන්ට ලක් කරන ලදී. ඉන් අනතුරු ව “Royal Mummies” නමින් මෙම විස්තර අඩංගු පොතක් ද ඔහු පළ කළේය. මහාචාර්ය ලොරට් විසින් 1898 දී සොයා ගනු ලැබුවේ මෝසෙස් තුමාගේ යුගයේ මිසරයේ රජකම් කළ එමෙන්ම තමන් ව අති උත්තරිතර දෙවිඳුන් ලෙස හඳුන්වා දෙමින් ද, මෝසෙස් තුමාගේ සියලු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරමින් ද අවසානයේදී මෝසෙස් තුමා ව මරා දැමීමේ අදහසින් එතුමා ලුහුබැඳ ගිය ගමනේදී ජලයේ ගිලී මියගිය ෆිර්අව්න්ගේ දේහය බවට මෙම විද්‍යාත්මක පරික්ෂණයන්ගෙන් සනාථ කර ගන්නා ලදී.

කයිරෝ නගරයට ගෙන යන ලද මෙම දේහය සම්බන්ධ ව 1975 වසරේදී ප්‍රංශ විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වූ ද ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥයෙකු වූ ද මහාචාර්ය මොරිස් බුකෙයිල් විසින් නුතන තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගි කර ගනිමින් වැඩි දුර පරික්ෂණ පවත් වනු ලැබිණි. සියලු පර්යේෂණ අවසානයේ දි විස්මයට පත් ඔහු විසින් පහත සඳහන් ප්‍රකාශයනය නිකුත් කරන ලදී.

“නුතන දත්ත අතර ශුද්ධ වු ග්‍රන්ථ පිළිබඳ ව සාධක සොයන පිරිස ෆිර්අව්න්ගේ සිරුර පිළිබඳ ව අල් කුර්ආන් වැකි පවසන අතිශයින් විස්මයජනක සාධක දැක ගන්නට නම් කයිරෝ  නුවර ජාතික කෞතුකාගාරයේ රාජකිය මෘත දේහ තබා ඇති කාමරයට යා යුතුයි”.

තම රට බලා ගිය මොරිස් බුකෙයිල් විසින් අල් කුර්ආනය හා බයිබලය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමකට යොමු කොට ‘The Bible Quran and Modern Science’ නැමැති ග්‍රන්ථය 1978 දි ප්‍රකාශයට පත් කළේය. මධ්‍යස්ථ විග්‍රහයක යෙදෙන  ජාත්‍යන්තර කිර්තියට පත් ප්‍රවීණ විද්‍යාඥයෙකු වු මහාචාර්ය මොරිස් බුකෙයිල් තම ග්‍රන්ථයේ පහත සදහන්  අයුරින් කරුණු පැහැදිලි කිරීමක යෙදින.

“අල් කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය සාවද්‍ය එකක් බව ඉහත සදහන් කරුණු (ඔහු විසින් අල් කුර්ආනය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමෙන් සොයා ගත් කරුණු) වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ  විශිෂ්ටතම සාහිත්‍යධාරියා විය හැක්කේ කෙසේ ද? නුතන යුගයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටි විද්‍යාත්මක සත්‍යයන් අල්ප මාත්‍ර වරදකින් තොරව  ශත වර්ෂ දාහතර කට පෙර හෙළිදරව් කළ හැක්කේ කෙසේ ද?” (‘The Bible Quran and Modern Science’ 125 පිටුව)

ෆිර්අව්න්ගේ සිරුර මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට අවවාදයක් ලෙසින් ආරක්ෂා කරන බව අල් කුර්ආන් හත්වන සියවසේ සඳහන් කළ ද මෙම තොරතුරු සනාථ වුයේ 19 වන සියවසේ එම සිරුර සොයා ගැනීමෙන් අනතුරුවය. අල් කුර්ආනය විශ්වයේ පරමාධිපති විසින් පහළ කරන ලද පණිවිඩය බවට සහතික කරන්නට තවත් සාක්ෂි අවශ්‍ය දැයි ඔබෙන් විමසන්නට කැමැත්තෙමු.

මිනිසාගේ සම්භවය

දේව නිර්මාණයට අනුව පළමු මිනිසා සහ ස්ත්‍රිය  නිර්මාණය කළ ආකාරය එක් වරක් පමණක් සිදු වු ඓතිහාසික සිද්ධියකි. ඉන් පසුව මිනිසාගේ නිර්මාණය සිදු වුයේ හා සිදුවෙමින් පවතින්නේ ස්ත්‍රියකගේ හා පුරුෂයෙකුගේ ලිංගික සම්බන්ධතාව පදනම් කර ගෙනය. වර්තමානයෙහි අපට දක්නට ඇත්තේ මෙලෙසින් නිර්මාණය වෙමින් පවතින්නා වු මිනිස් පරපුරයි. විද්‍යාවට ගෝචර වන්නේ වත්මනෙහි සිදුවෙමින් පවතින්නා වු මෙම මිනිස් නිර්මාණයයි. මෙම මිනිස් නිර්මාණය පිළිබඳ ව ඇති නුතන විද්‍යාත්මක  සිද්ධාන්තයන් කොතෙක් දුරට විශ්වයේ පාලක පරම අධිපති විසින් පහළ කරන ලද තොරතුරු හා සැසඳේ ද  යන්න සොයා බැලීමෙන් අපට පළමු මිනිසාගේ හා ස්ත්‍රියගේ නිර්මාණය පිළිබඳ ව ඇති කරුණු පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරිමට හැකි පදනමක් ගොඩ නගා ගන්නට හැකි වේ යැයි සිතන්නෙමු.

මෙම තොරතුරු විමසීම නුතන කලල විද්‍යාත්මක කරුණු ගැන අවධානය යොමු කරමින් ආරම්භ කරන්නට අපේක්ෂා කරන්නෙමු. මෙහි කලල විද්‍යාවට අදාළ වැදගත් තොරතුරු අල් කුර්ආනයේ වැකි සමග සැසඳීමක් කරමින් කරුණු ඉදිරිපත් කරන්නට අපහසු වි ඇත්තේ මෙම ලිපියේ ප්‍රමාණය සිමා කරන්නට සිදු වි ඇති හෙයිනි. එහෙයින් ලොව පිළිගත් ප්‍රධාන පෙළේ කලල විද්‍යාඥයින් අල් කුර්ආනයේ ඉගැන්වීම් තුල ගැබ්වී ඇති කලල විද්‍යාත්මක තොරතුරු සසඳා දැක්වූ මත පළමු ව ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. දැනට ලොව ප්‍රධාන පෙළේ වෛද්‍ය විද්‍යාලයන්හි නාරිවේදය පශ්චාත් උපාධිය හදාරණ සිසුන් කලල විද්‍යාව හැදැරිම සඳහා උපයෝගි කර ගන්නේ  කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කීත් මුවර් (Keith Moore) විසින් ලියන ලද “The Developing Human” යන ග්‍රන්ථයයි. භාෂා අටකට පරිවර්තනය කොට ඇති මෙම ග්‍රන්ථය ඇමරිකානු විද්වත් මණ්ඩලයක් විසින් එක් අයෙකු විසින් ලියන ලද ශ්‍රේෂ්ඨතම විද්‍යාත්මක ග්‍රන්ථය ලෙස තෝරා ගෙන ඇත. කැනේඩියානු ව්‍යුහ විද්‍යාඥයින්ගේ සංගමය මගින් මෙම ක්‍ෂේත්‍රයේ දෙනු ලබන සම්මානනීය තිළිණය වු J.C.B. Grant සම්මානය 1984 දි එතුමාට ප්‍රදානය කරන ලදී. එතුමාගේ එක් ප්‍රකාශනයක් “This is the Truth” යන ග්‍රන්ථයෙන් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. එතුමාගේ මෙම ප්‍රකාශනයන් අඩංගු දේශනයට අන්තර් ජාලයේ  youtube.com වෙබ් අඩවිය මගින් ද ඔබට සවන් දිමට  හැකිය. එහි සංක්ෂිප්ත විස්තරයක්  පහතින් දක්වා ඇත්තෙමු.

“අප විසින් කලල විද්‍යාව අනුව අල් කුර්ආනයේ හා නබිවරයාගේ වදන් වල සඳහන් කරුණු ගැන මහාචාර්ය මුවර්ගේ විශ්ලේෂණාත්මක අදහස් ඉදිරිපත් කරන ලෙස  ඉල්ලා සිටි විට මෙම තොරතුරු සොයා බැලූ එතුමා පුදුමයෙනුත් පුදුමයට පත් විය. පසුගිය දශක තුන ඇතුළත  විද්‍යාඥයින් විසින් කලලය හා කලලයේ වර්ධන අවධින් සම්බන්ධ ව සොයා ගත්  කරුණු මෙතරම් සවිස්තරාත්මක ව  හා පුර්ණ නිරවද්‍යතාවකින් යුක්ත ව ශත වර්ෂ 14 කට පෙර  මුහම්මද් තුමා විසින් හෙළිදරව් කර ඇත්තේ කෙසේ ද කියා සිතා ඔහු අතිශයින් මවිතයට පත් විය. 1981 දි සෞදි අරාබියේ දමාම් නගරයේ පවත්වන ලද හත් වන වෛද්‍ය සම්මන්ත්‍රණයේ දි මහාචාර්ය මුවර් මෙසේ පැවසිය. “මනුෂ්‍ය වර්ධනය සම්බන්ධයෙන් අල් කුර්ආනයේ අඩංගු කරුණු පිළිබඳ ව පැහැදිලි කිරීමක් කරන්නට  අවස්ථාවක් ලැබීම ගැන අතිශයින් සතුට ට පත් වෙමි. මෙම විස්තර මුහම්මද් තුමාට ලැබී ඇත්තේ දෙවිඳුන්ගෙන්ම බව මට ඉතාමත්ම හොඳින් පැහැදිලිය. මෙයට ප්‍රධාන හේතුව මෙම දැනුම මනුෂ්‍ය වර්ගයා තම පර්යේෂණ මගින් දැන ගන්නේ එතුමාට ශත වර්ෂ කිහිපයකට පසුවයි. මේ අනුව මුහම්මද් තුමා නිසැකවම හා නියත වශයෙන්ම දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨ නියෝජිතයෙක් බව ඉතා මනා සේ ඔප්පු වන්නේය”.

මිනිසාගේ නිර්මාණය පිළිබඳ ව එනම් ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංශ්ලේෂණය වීමෙන් හටගන්නා වු (යුක්තානුවේ) කලලයේ වර්ධනය පිළිබඳ ව අල් කුර්ආනය අවුරුදු 1400 කට පෙර විද්‍යාඥයින් විසින් දශක කිහිපයකට පමණක් පෙර සොයා ගත්තා වූ කරුණු ඉතා සවිස්තරාත්මක ව හා පුර්ණ නිරවද්‍යතාවයකින් යුක්ත ව ඉදිරිපත් කිරීමට හැකි නම් පළමු මිනිසාගේ හා ස්ත්‍රියගේ නිර්මාණය පිළිබඳ ව අල් කුර්ආනයේ සඳහන් කර ඇති කරුණු සත්‍යය බව අපට පිළිගන්නට සිදු වෙනවා නොවේ ද?

“මනුෂ්‍යයිනි, සැබැවින්ම අපි ඔබ ව එක් පුරුෂයෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. එකිනෙකා හඳුනා ගැනිම පිණිස ඔබ ව ජාතින් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. (එබැවින් ඔබගෙන් කෙනෙකු තවත් කෙනෙකුට වඩා උසස් යැයි උඩඟු විමට කිසිවක් නැත. එහෙත්) ඔබ ගෙන් කවුරුන් ඉතාමත් බිය බැතියන් ව සිටින්නේද ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියසෙහි ඉතාමත් ගෞරවනීය තැනැත්තෙකි. ඇත්තෙන්ම අල්ලාහ් සර්වඥානි හා සියල්ල දැනුවත්ව ද සිටින්නේය”. (අල්කුර්ආනය 49:13)

“අහස් ද (විශ්වයද) මිහිතලය ද නිර්මාණය කිරීම මනුෂ්‍යයන් නිර්මාණය කිරීමට වඩා මහත්ය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් (මෙතරම් දෙයක්වත්) නොදකිත්”. (අල්කුර්ආනය 40:57)

ඇමයිනෝ අම්ල ප්‍රෝටීන් සහ ඩී.එන්.ඒ.

ජීවී සෛලයක් තුළට සංචාරයක යෙදෙන්නට අපි ඔබට ආරාධනා කරන්නෙමු. අපට වහාම දැක ගත හැකි වන්නේ අති විශිෂ්ට විස්තර සහිත අදහාගත නොහැකි ආකාරයේ නිර්මාණාත්මක සැලසුමකින් යුත් අති සංකීර්ණ විවිධ එමෙන්ම කොටස් නිශ්චිත කාර්යයන් ඉටු කරන ඉතා සුක්ෂම සමායෝජනයකින් යුත් ලෝකයකි.

ඇමයිනෝ අම්ල නිශ්චිත දම්වැලකින් එකිනෙකට බැඳීමෙන් ප්‍රෝටීනයක් සෑදේ. මේ පිළිබඳ විද්වතෙකුගේ මතය විමසා බලමු.

“නමුත් ඇමයිනෝ අම්ල ක්‍රියාකාරී ප්‍රෝටීන බවට පත් වන්නේ ඒවා නිශ්චිත අනුක්‍රමික සැකසුමක් අනුව පිළියෙළ වුවහොත් පමණි. මෙය වාක්‍යයක අක්ෂර නිසි සැකසුමකින් පිළියෙළ වී තිබීම හා සමානය. එනම් ඇමයිනෝ අම්ල පමණක් ප්‍රෝටීන බවට පත් නොවේ. එය හුදු අක්ෂර පමණක් කාව්‍යයක් බවට පත් නොවීම හා සමානය. ඇමයිනෝ අම්ලයන් හි නිශ්චිත අනුක්‍රමික සැකසුම අනුව එහි ක්‍රියාකාරිත්වය හෝ අක්‍රියත්වය තීන්දු වේ. ප්‍රෝටීනයන් හි හා ඩී. එන්. ඒ. අණුවේ අනුක්‍රමික සැකසුමේ මූලාරම්භය විග්‍රහ කිරීම වර්තමාන භෞතිකවාදී පරිණාමවාද චින්තනයේ බරපතළ අර්බුදයක් ඇති කොට ඇත”. (Stephen C. Meyer, ‘DNA and other Designs’ Page 9).

සෛලයක පුනර් නිර්මාණය සදහා ඩි.එන්.ඒ (සෛලයේ සැලසුම් ව්‍යුහය) හා ආර්.එන්.ඒ. (නව සෛලය නිර්මාණය කිරීමේ පිටපත් ක්‍රියාවලිය) අත්‍යවශ්‍ය වෙයි. මිනිසාට සිතා බලන්නටවත් නොහැකි ආකාරයේ ඉතා සංකීර්ණ ව්‍යුහයක් ඇති මෙම සාධක දෙක එක් වරම අහම්බෙන් කෙසේ බිහිවුයේ ද නැතිනම් බිහිවිය හැක්කේ ද යන්න ඩාවින් හෝ නුතන විද්‍යාඥයෙකුට වුවද පැහැදිලි  කිරීමක් ඉදිරිපත් කළ නොහැකි කරුණක් වී ඇත. මිනිස් ඩී.එන්.ඒ. එක් අණුවක් තුළ අඩංගු  වී ඇති තොරතුරු සම්භාරය මුද්‍රණය කළහොත් එය විශාල පුස්තකාලයක් පිරවිමට තරම් ප්‍රමාණවත්ය. එක් ජීව සෛලයක් පුනර්නිර්මාණය කිරීම සදහා අත්‍යවශ්‍ය ඩි.එන්.ඒ. සහ ආර්.එන්.ඒ.අණු කෙසේ නම් එක්වරම ඇති වුයේ ද යන්න ඩාවින්ට හෝ අන් අයෙකුට විග්‍රහ කළ හැකි දෙයක් නොවේ. මෙම නිර්මාණ ක්‍රියාවලිය පිටුපස අතිශය බුද්ධිමත් සැලැස්මක් ඇති බව කාටත් පෙනෙන කරුණකි. මෙය නිසැකව ම හා නිශ්චිත වශයෙන්ම සිදුවිය හැක්කේ සර්වඥානි නිර්මාතෘ කෙනෙකුගේ සැලසුම් සහගත නිර්මාණයක ප්‍රතිඵලයක් වශයෙන් පමණක් බව බොහෝ විද්‍යාඥයින්ට නුතනයේ දී පිළිගැනීමට සිදු වි ඇත.

පරිණාමවාදයේ අවිද්‍යාත්මකභාවය පෙන්වීම සදහා ඩි.ඇන්.ඒ. අණුවේ ව්‍යුහය පිළිබඳ අදහස් කිහිපයක් කෙටියෙන් සඳහන් කළෙමු. ඒ පිළිබඳ ව තවදුරටත් විස්තරාත්මක ව  සාකච්ඡා කළහොත් ජීවයේ සම්භවය පිළිබඳ ව අර්ථවත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ යැයි සිතන්නෙමු. ඩි.එන්.ඒ. අණුව තුළ රසායනික ද්‍රව්‍ය හතරක් ඇත. ඇඩිනින්, තයිමින්, ගුඅනින් හා සයිටොසින් ‍නම් වූ රසායනික ද්‍රව්‍ය හතරකි. මෙම රසායනික ද්‍රව්‍ය හතර සංක්ෂිප්ත ව A,T,G,C, යනුවෙන් හැදින්විය හැක. මෙම රසායනික ද්‍රව්‍ය හතර DNA අනුව තුළ සකස් වී ඇති ආකාරය අනුව මිනිස් ශරීරයේ සියලු විස්තර එහි අන්තර් ගත කොට ඇත. මෙම සංකේත භාෂාවේ අන්තර්ගත විස්තර ව්‍යවහාර බසට හැරවුවහොත් පිටු 500 ක පොත් 900 ක් පමණක අන්තර්ගත කළ හැකි තොරතුරු දැන ගත හැකි බව විද්‍යාඥයෝ පවසති. DNA අනුව තුළ මෙම ATGC රසායනික ද්‍රව්‍යය කටයුතු කරන්නේ භාෂාවක අක්ෂර ලෙසටය.

ජාන විද්‍යාඥයින්  DNA අණුවේ ඇති සංකේත භාෂාවේ අන්තර්ගත තොරතුරු ව්‍යවහාර භාෂාවට පරිවර්තනය කොට එම සෛල හිමි ජිවියාගේ විශේෂයෙන්ම කායිකවේදී තොරතුරු ලබා ගනිති. මෙයින් පැහැදිලි වන්නේ DNA අනුව තුළ අති විශාල තොරතුරු සම්භාරයක් ගබඩා කර තැබීමේ භාෂාවක් ඇති බවය. සංකේත භාෂා ඇතුළු ව සියලු භාෂාවන්ට එය අර්ථවත් භාෂාවක් වීමට නම් එහි අඩංගු විය යුතු  අනිවාර්ය කොටස් හතරක් ඇත. ඒවා නම් අක්ෂර, ව්‍යාකරණ, පද සංයෝජනය (syntax), හා අර්ථය යන කරුණුය. මෙම කරුණු නොමැතිව භාෂාවක් මගින් අදහස් හුවමාරු කර ගැනීමට නොහැකිවනු ඇත. එලෙස කරුණු දැක්වීම අවබෝධකර ගැනීමට ද නොහැකි  වනු ඇත. සංකේත භාෂාවෙන් DNA අනුව තුළ ගබඩා කොට ඇති තොරතුරු කියවා තේරුම් ගැනීමට හැකි වී ඇත්තේ එය භාෂාවක් වන අතර  එහි භාෂාවක අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු ඉහත සඳහන් කරුණු හතරම ඇති නිසාත්ය. මෙතෙක් සාකච්ඡා කළ කරුණු වලින් මතු වන තර්කානුකුල හා යථාර්ථවාදී නිගමනයන් පහතින් සංක්ෂිප්ත ව දක්වා ඇත්තෙමු.

  • යමක් ක්‍රියාත්මක කිරිමට පෙර අදහසක් චින්තනය තුළ තිබිය යුතුය. අදහසක් චින්තනය තුළ නොමැතිව කිසිවක් සැලසුමක් හා බුද්ධිමය පදනමකින් ක්‍රියාත්මක කළ නොහැකිය. මෙසේ චේතාන්චිත ව ක්‍රියා කළ හැකි වන්නේ බුද්ධිමය ශක්තියකට පමණි.
  • සියලුම භාෂාවන් උත්පාදනය වන්නේ මනස හා චින්තනය පදනම් කරගෙනය.
  • මනස හා චින්තනයකින් තොරව බිහි වු කිසිදු භාෂාවක් නොමැත.
  • DNA අණුව තුළ ගබඩා කොට ඇති තොරතුරු අවබෝධ කර ගත හැකි වී ඇත්තේ එය භාෂාවකින් සැකසී ඇති නිසාය.
  • එමනිසා DNA අණුව නිර්මාණය කොට ඇත්තේ චේතාන්චිත ලෙස මනස හා චින්තනය උපයෝගී කරගෙනය. DNA අණුවෙහි ඇති සංකීර්ණතාව ගැන සැලකිල්ලක් දක්වන විට නිසැකවම එය නිර්මාණයට මුල් වූ මනස හා චින්තනය සර්වඥානියෙකුට හිමි වුවක් විය යුතුය.
  • DNA පිටුපස ඇති මනස හා චින්තනය එම අණුවේ නිර්මාතෘට හිමි බව අපට පිළිගන්නට සිදු වේ.
  • එමනිසා DNA අණුව අහම්බෙන් බිහි වුවක් නොව සර්වඥානි මනසකින් හා චින්තනයෙන් නිර්මාණය වුවක් බව අපට පිළිගන්නට සිදු වේ.
  • එම සර්වඥානි මනස ජීවයේ නිර්මාතෘගේ බවත් අපට පිළිගන්නට සිදුවනවා නොවේ ද? කරුණාකර ඔබගේ බුද්ධිමය විචාරය අනුව මේ පිළිබඳ නිගමනයකට එන ලෙස ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නෙමු.

විශ්වයේ ආරම්භය

විශ්වයට ආරම්භයක් ඇති බව නුතන විද්‍යාව සනාථ කරයි. මෙම මතය සත්‍යය බව පිළිගැනීමට ඇති විද්‍යාත්මක සාක්ෂි කුමක් ද?

මේ සඳහා අපට උපයෝගි කරගැන්මට පහසුම විද්‍යාත්මක සිද්ධාන්තය නම් තාපගති විද්‍යාවේ සිද්ධාන්තයන්ය (Laws of Thermodynamics). මෙහි සිද්ධාන්තයන් දෙකක් ඇති අතර එය පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

පළමු සිද්ධාන්තය – විශ්වයේ ඇති සම්පුර්ණ භෞතික පදාර්ථ – ශක්තිය නියතයකි (The Total Amount Of Mass – Energy in the universe are constant)

දෙවන සිද්ධාන්තය – ප්‍රයෝජනයට ගත හැකි  ශක්ති ප්‍රමාණය ඌණ වෙමින්  පවතී. කාර්යයන්ට උපයෝගි කර ගත නොහැකි ශක්ති ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය  වෙමින් පවතී. The Amount of the Energy Available for Work is Running Out or Entropy is Increasing to a Maximum)

තාපගති විද්‍යාවේ පළමු සිද්ධාන්තය වෙත අපගේ අවධානය පළමු ව යොමු කරමු. මේ අනුව විශ්වයේ ඇති භෞතික පදාර්ථ හා ශක්ති ප්‍රමාණය නියතයක් වන අතර එය විනාශ කිරීමට හෝ අලුතින් නිර්මාණය කිරීමට හෝ නොහැකිය. මෙය විද්‍යාත්මක න්‍යායක් නොව සිද්ධාන්තයකි. මේ අනුව සියලු භෞතික පදාර්ථ හා ශක්තිය සදාතනික ව නොපැවති බවත් කාලයේ එක් මොහොතක මේ සියල්ල බිහි කරන ලද බවත් දැක් වේ.

තාපගති විද්‍යාවේ දෙවන සිද්ධාන්තය වෙත අපගේ අවධානය යොමු කරමු. මෙම සිද්ධාන්තය අනුව ප්‍රයෝජනයට ගත හැකි  ශක්ති ප්‍රමාණය ඌණ වෙමින්  පවතින අතර කාර්යයන්ට උපයෝගි කර ගත නොහැකි ශක්ති ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය  වෙමින් පවතී.

විශ්වයේ ඇති භෞතික පදාර්ථ – ශක්ති  (Mass – Energy) ප්‍රමාණය නියතයක් නම් හා ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින්නේ නම් ඉතා විද්‍යානුකුල මතය විශ්වය සදාකාලික ව පවතින්නක් විය නොහැක යන්නය. එසේ සදාකාලික පවතින්නක් නම් දැනටමත් ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය  අහෝසි වි විශ්වය තාප අභාවයකට (Heat Death) පත් වී තිබිය යුතුය. බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් ඩී. බරොව් විසින් ප්‍රකාශිත “Origin of The Universe” යන ග්‍රන්ථයේ 3-6 පිටු වලින් ඉදිරිපත් කොට ඇත්තේ ද මෙම මතයයි.

විශ්වයට ආරම්භයක් ඇත්නම් එය ආරම්භාවන්නට පෙර තිබී ඇත්තේ කුමක් ද? විශ්වය ආරම්භාවන්නට පෙර තිබිය හැක්කේ විශ්වය ආරම්භ කළ ශක්තිය බව පිළිගැනීමට අපට කිසිදු අපහසුතාවක් තිබිය නොහැක. එම ශක්තිය විශ්ව නිර්මාතෘ බව ඉතා පැහැදිලිය. කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ බිහි විමෙන් පසුව නම් විශ්වයේ නිර්මාතෘ කාලයෙන් පරිබාහිර වු අයෙකු විය යුතුය. එනම් විශ්වයේ නිර්මාතෘට කාලය පදනම් කර ගත්  ආරම්භයක් තිබිය නොහැකි බව  මෙම තොරතුරු පිළිබඳ ව බුද්ධිය හා විචාරය පදනම් කර ගනිමින් තර්කානුකුල ව සිතන විට අපට පිළිගන්නට සිදු වේ. මෙය නුතන විද්‍යාත්මක  සිද්ධාන්තයන්ට අනුකුල වු සංකල්පයකි.

  1. විශ්වයට (කාලය,ශක්තිය හා අවකාශය ඇතුළු ව) නියත වශයෙන් ම ආරම්භයක් ඇති බව විද්‍යාත්මක සිද්ධාන්තයන් පදනම් කර ගෙන සනාථ වන කරුණකි.
  2. ආරම්භයක් ඇති සෑම දෙයකටම අනිවාර්යයෙන් ම හේතුවක් තිබිය යුතුය. ආරම්භයක් ඇති කිසිවක් හේතුවකින් තොරව පවතින්නේ යැයි පැවසීම විද්‍යාත්මක හා යථාර්ථවාදි සංකල්පයක් නොවේ.
  3. එහෙයින් විශ්වයට ආරම්භයක් ඇති බව විද්‍යානුකුලව ඔප්පු වි ඇති හෙයින් නියත වශයෙන්ම  විශ්වයේ ආරම්භයට හේතුවක්  තිබිය යුතුය.
  4. කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ ආරම්භ වීමත් සමගය.
  5. විශ්වය ආරම්භ විමට පෙර අවකාශය හා භෞතික පදාර්ථ නොමැති තත්ත්වයක් තුළ තිබිය හැක්කේ  විශ්වය උත්පාදනය කළ හේතුව පමණි.
  6. එහෙයින් විශ්වයේ උත්පාදන ශක්තිය (නිර්මාතෘ) කාලයෙන් පරිබාහිර එකක් වන හෙයින් විශ්වයේ උත්පාදන ශක්තිය (නිර්මාතෘ) ට ආරම්භයක් නොමැත. ආරම්භයක් නොමැති දෙයකට අවසානයක් තිබිය නොහැක. එහෙයින් විශ්වයේ නිර්මාතෘ සදාතනික විය යුතුය.
  7. ආරම්භයක් නොමැති ව සදාතනික වූවක් සඳහා හේතුවක් තිබිය නොහැක. එහෙයින් විශ්ව‍යේ නිර්මාතෘට හේතුවක් නොමැත.

විශ්ව ආරම්භය දෙස අවධානය යොමු කිරීමේ දී විශ්ව නිර්මාතෘ සත්‍යය ඒකීය දෙවිඳුන් පිළිබඳ විශ්වාසය තහවුරු කර ගැනීමට බලවත් සාධකයක් දැකිය හැක.

විශ්වය විධිමත් සැලසුමකින් යුක්ත වීම

විශ්වය අහඹු ලෙස ඇති වූවක් නම් එය අවිධිමත් හා කිසිදු නියාමයන් එනම් සිද්ධාන්තයන් අනුව ක්‍රියාත්මක නොවන පිළිවෙලකින් තොර එකක් විය යුතුය. විශ්වය දෙස අවධානය යොමු කරන ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි වැදගත් සත්‍යයක් නම් මුළු මහත් විශ්වයම නිශ්චිත නියාමයන් හා සිද්ධාන්තයන් අනුව ඉතා විධිමත් සැලසුමක් අනුව ක්‍රියාත්මක වන බවය. එහෙයින් මෙම විශ්ව නියාමයන් පිළිබඳ විමසුමක යෙදීමෙන් මෙම නියාමයන් ලබා දුන් නිර්මාතෘ බලයක් පිළිබඳ සත්‍යය අවබෝධ කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

විද්‍යාඥයින් ව විස්මයට පත් කළ විශ්ව නියාමයන් (සිද්ධාන්තයන්) 

විශ්ව නියාමයන් පෘථිවියට පමණක් අදාළ නොවන අතර මුළු මහත් විශ්වයම මෙම නියාමයන් ඔස්සේ පාලනය වන බව විද්‍යාඥයින් විසින් පිළිගෙන ඇත. මේසය මත තබන ලද උණු තේ කෝප්පය ක්‍රමයෙන් සිසිල් බවට පත් වෙයි. මෙය කිසිදු වෙනස් වීමකින් තොරව නිරතුරු ව සිදු වේ. ගුරුත්වාකර්ෂණය ඒකාකාර ලෙස ක්‍රියාත්මක වෙයි. ආලෝකයේ වේගය සැම තැන එකාකාරී  ලෙස පවතී. සෞර ග්‍රහ මණ්ඩලය ඇතුළු මුළු මහත් විශ්වයේ සියලු ග්‍රහ තාරකා ඉතා සුක්ෂම ලෙස ගණනය කළ හැකි ක්‍රමවත් අයුරින් චලනයේ යෙදෙයි. මෙවන් විශ්වීය නියාමයේ නියතයන් හා සිද්ධාන්තයන් රාශියක් ඇත. මේ සියල්ල අපට හඬ නගා පවසා සිටින්නේ මුළු මහත් විශ්වයම නිශ්චිත නියාමයන් අනුව ක්‍රියාත්මක වෙමින් කිසිදු වැරැද්දක් හෝ දෝෂයකින් තොරව ඉතා ක්‍රමවත් අයුරින් සැකසී ඇති බව නොවේ ද? මෙය ඉබේ සිදු විය හැක්කක් ලෙස පැවසිය හැක්කේ කාහට ද?

භෞතික විද්‍යාවේ සිද්ධාන්තයක් යනු ස්වභාවික පරිසරය කිසිදු බැහැරලීමකින් හෝ අතහැර දැමීමකින් තොරව අනුගමනය කරන්නා වූ සම්මතයක් ලෙස විශ්වවේදී (Cosmologist) සෝන් කැරොල් පවසයි (Sean Carroll, a cosmologist at the California Institute of Technology, quoted by the New York Times, nytimes.com; 2007). විශ්වීය නියාමයන් සංඛ්‍යාත්මක පදනමකින් යුක්ත ව සටහන් කර ගත හැකිය. තාර්කික පදනමකින් බලන විට නියාමයන්ට අනුකූල ව පැවතෙන විශ්වයක අවශ්‍යතාවක් නොමැත. එම නියාමයන් ගණිතමය සිද්ධාන්තයන්ට සම්පුර්ණ අනුකුලත්වයකින් යුතු ව පැවතීම සැමගේ විස්මයට හේතු වී ඇත. ආලෝකය පැමිණෙන්නේ විදුලි පන්දමකින් ද නැතහොත් අති දුරස්ථ තාරකා මණ්ඩලයකින් ද යන වෙනසකින් තොරව එහි වේගය තත්පරයකට සැතපුම් 186,000 ක නියතයක් ලෙස පවතී.

ස්වභාවික පරිසරය ගණිතමය නියතයන් අනුව ක්‍රියාත්මක වීම විස්මය ජනක අභිරහසක් ව ඇති බව භෞතික විද්‍යාඥ ඉයුජීන් විග්නර් පවසයි (Eugene Wigner, “The Unreasonable Effectiveness of Mathematics in the Natural Sciences,” in Douglas Campbell and John Higgins, eds., Mathematics (Belmont, CA: Wadsworth, 1984), Vol. 3, 117.)

ස්වභාවික පරිසරය ගණිතමය නියාමයන් අනුව ක්‍රියා කිරීම මහත් විස්මය ජනක අභිරහසක් ව පවතින බව ක්වොන්ටම් විද්‍යුත් ගති විද්‍යාව පිළිබඳ නෝබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ රිචඩ් ෆෙයින්මන් පවසයි  (Richard Feynman, The Meaning of It All: Thoughts of a Citizen-Scientist (New York: Basic Books, 1998), Page 43).

මෙම කිසිදු නියාමයක් කාලය හෝ ස්ථානය අනුව කිසිදු වෙනස්වීමකට භාජනය නොවී නියතයක් ලෙස පවතී. නුතන අධ්‍යයනයකට අනුව භෞතික විද්‍යාවේ ඉතා වැදගත් ගණිතමය සිද්ධාන්තයක් වූ ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන ස්කන්ධ අනුපාතය මිහිතලය මත ලෙසින්ම ආලෝක වර්ෂ බිලියන හයකට එපිට පිහිටා ඇති ක්‍ෂීරපථයේ තාරකාවක ද එය නියතයක් ව පවතී (Dr. Emily Baldwin; “Earth’s Laws Still Apply in Distant Universe”; AstronomyNow.com; June, 2008).

පොදු  එකම නියාමයන් අනුව මුළු මහත් විශ්වයම ක්‍රියාත්මක වීම තුළින් අප වැදගත් කරුණු කිහිපයක් දකින්නෙමු. විශ්වයේ නිර්මාතෘ එකීය බවත් බහු නිර්මාතෘවරුන් සිටියේ නම් මෙලෙස ඒකීය නියාමයන් අනුව විශ්වය ක්‍රියාත්මක වීම සිදු නොවනු ඇත. මෙමගින් මහත් වූ ව්‍යාකුලත්වයක් ඇති වීම වැළැක්විය නොහැක්කක් වනු ඇත. සරල නිදර්ශනයක් හෝ දෙකක් ගෙනහැර පෑම සුදුසු යැයි සිතන්නෙමු. කිසියම් රටක හෝ සමිති සමාගමක එක සමාන බලතල සහිත නායකයින් දෙදෙනෙකු සිටියදී එහි වැඩ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට බාධා ඇති වේ. එක සමාන බලතල ඇති විදුහල්පති දෙදෙනෙකු සිටියහොත් එම පාසලේ කටයුතු නියමාකාර ලෙසින් පවත්වා ගත නොහැකි වෙයි. එක් කුටුම්බයක එකම බලතල සහිත දෙදෙනෙකු සිටී නම් තත්ත්වය කෙබඳු වේද?

රටක් සමිති සමාගමක් පාසලක් හෝ ගෘහයක් සේ නොව අති මහත් විශ්වය හා එහි අන්තර්ගත ක්‍රියාකාරිත්වය බහු නිර්මාතෘන්ගේ නම් විශ්ව පාලනය හා ක්‍රියාකාරිත්වය මේසා ලංකෘතාකාරයට සිදු විය හැකි ද?

“අහස්හි සහ මිහිතලයෙහි කෙතරම් සංඥාවන් තිබේ ද? ඔවුහු ඒවා ගැන කිසිදු තැකීමකින් තොරව ඒවා පසු කර යති”. (අල් කුර්ආන් 12:105)

“(අහස් හා මිහිතලය යන) ඒ දෙකෙහි අල්ලාහ් හැර වෙනත් දෙවියන් වෙත් නම් ඒ දෙකම ව්‍යසනයට පත් වනු ඇත” (අල් කුර්ආන් 21:22).

දේව විශ්වාසය පිළිබඳ ජන්මයෙන් ලද සහජ හැඟීම

විශ්ව නිර්මාතෘ, පාලක හා පෝෂක සත්‍යය වූ ඒකීය දෙවිඳුන් විශ්වාස කිරීම පිළිබඳ පළමු හා ප්‍රධානතම සාධකය සෑම මිනිසෙකුගේම චෛතසිකයෙහි අන්තර්ගතව ඇත. මුහම්මද් ධර්ම දුතයාණන් වරෙක පවසා සිටියේ සෑම දරුවෙක් ම දෙවිඳුන් විශ්වාස කිරීමේ පිවිතුරු සහජ හැඟීම (ෆිත්රා) සමග බිහි වන අතර එම දරුවාගේ දෙමව්පියන් විසින් විවිධ විශ්වාසයන් කරා එම දරුවා ව යොමු කරවන බවයි [Sahih Muslim, Hadees No:2658]. මෙම සත්‍යය මෑතකදී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙනෙකුගේ පර්යේෂණ මගින් ද සනාථ වී ඇත. “ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක වූ ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච් පවසා සිටි පරිදි බිළින්දන් දේව විශ්වාසය හා තදින් බැඳී ඇති අතර අදේවත්වය ඔවුන් පසු ව අත් කර ගන්නක් බවයි” (Child’s Theory of the World-ආචාර්ය ඔලිවේරා පෙට්‍රොවිච්).

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව හා මනස පිළිබඳ මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂකයෙකු වූ ආචාර්ය ජස්ටින් බැරට් පවසන අන්දමට “යොවුන් වියේ සිටින්නන් ලොව සියලු දෑ අරමුණක් ඇති ව නිර්මාණය කොට ඇති බව සිතන නිසා ඔවුන් අතර උත්තරීතර දෙවි කෙනෙකු විශ්වාස කිරීමේ පූර්ව නැඹුරුවක් තිබෙනවා. එනම් කෙනෙක් දෙවියන් ව විශ්වාස කරන්නේ මිනිස් මනස එසේ විශ්වාස කිරීමට ස්වභාවිකවම හැඩ ගැසී තිබීම නිසයි”. [Justin L. Barrett, Jonathan A. Lanman – “The Science of Religious Beliefs”]. දෙමව්පියන් විසින් හෝ පාසල් අධ්‍යාපනය තුළින් දේවත්වය පිළිබඳ ඉගැන්වීමක් නොකළ ද කුඩා දරුවන් තුළ දේව විශ්වාසයක් ඇති වන බව පවසන ඔහු කාන්තාර දූපතක තනි ව හදා වඩා ගත්තත් මෙම විශ්වාසය ඇති වීම වැළැක්විය නොහැකි බව ඔහුගේ අවසාන තීරණයයි  [Justin L. Barrett – “Why Would Anyone Believe in God?”].

මේ පිළිබඳ ලොව ප්‍රසිද්ධ සමාජ විද්‍යාඥයෙකුගේ ගවේෂණයක තොරතුරු වෙත ද අවධානය යොමු කරමු. ‘එමිල් ඩර්ක්හයිම්’ නමැති සමාජ විද්‍යාඥයා විසින් බාහිර ලෝකය සමග කිසිඳු සබඳතාවකින් තොර ව වර්ෂ දහස් ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික සමාජ සංස්ථාවන් සහිත ව ජීවත් වූ ආදිවාසී ජන සමුහයක් පිළිබඳ ව පවත් වන ලද පර්යේෂණයක කරුණු අන්තර්ගත කොට ඩබ්ලිව්. එස්. එෆ්. පිකරින්ග් විසින් සකස් කරන ලද “Durkheim on Religion” නමැති ග්‍රන්ථයේ පහත සඳහන් අයුරින් කරුණු විග්‍රහ කොට තිබේ.

“මෙම ආදිවාසී පිරිසගේ දෙවිඳුන් සදා ජීවමාන සදාතනිකයෙකි. ඔහුගේ ආරම්භය අන් කිසිවක් මත නොමැත. විශ්වයේ සියල්ල කෙරෙහි බලය ඇත්තෙකි. හිරු සඳු ආදී සියලු තාරකාවන් පාලනය කරන්නේ ඔහුය. සියල්ලෙ හි නිර්මාතෘ ඔහුය. විදුලි කෙටීම් හා අකුණු සැර ඔහුගේ අණ පරිදි සිදු වේ”.

මෙම ආදිවාසී ජන සමුහයේ දේව විශ්වාසය හා ඉස්ලාමයේ දේව විශ්වාසය අතර කිසිඳු පරස්පරතාවක් නැත. බාහිර සමාජ බලපෑම් කිසිවක් නොමැති ව තම ජන්මතාවට අනුකූල ව  ‘විශ්වාසය’ සකස් කර ගන්නට යමෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔහුගේ තත්ත්වය සත්‍යය වශයෙන්ම සැකසෙන්නේ මේ අයුරින් බව කිසිදු සැකයක් නොමැත. තවත් උදාහරණක් වෙත ද අවධානය යොමු කරමු.

ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයක් වූ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට ශිෂ්‍යයින් පිරිසක් තමන් තෝරා ගත් විෂය ධාරාවක් ඔස්සේ ආචාර්ය උපාධිය වෙත යොමු වූ පර්යේෂණාත්මක අධ්‍යයන පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වූහ. මෙම ශිෂ්‍යයින්ගේ අයදුම්පත් පරීක්ෂා කර බැලු මහාචාර්ය මණ්ඩලයට එක් පොදු ලක්ෂණයක් මෙම අයදුම්පත් හි දකින්නට තිබුණි. එනම් එක් ශිෂ්‍යයෙකු හැර අන් සියල්ලම ‘දහම’ යන කොටුව තුළ සඳහන් කර තිබුණේ තමන් ‘අදේවවාදී’ යන අර්ථය ඇති පිළිතුරුය. මෙම අයදුම්පත් පරීක්ෂා කර බැලූ මහාචාර්ය මණ්ඩලය ශිෂ්‍යයින්ගේ මෙම පොදු සාධකය පදනම් කර ගෙන පර්යේෂණයක් කරන්නට සැලසුමක් සකස් කළහ. මෙම විශ්ව විද්‍යාලයේ පර්යේෂණාත්මක පාඨමාලාවට සහභාගි වන ශිෂ්‍යයින්හට තම සතුට ප්‍රකාශ කිරීමක් ලෙස පහතින් පියාසර කළ හැකි හා පිනුම් ගැසිය හැකි ගුවන් යානයක් තෝරා ගෙන විශ්ව විද්‍යාලය පිහිටා ඇති නගරයේ සංචාරයක යෙදී ආපසු පැමිණියායින් පසු මහාචාර්ය මණ්ඩලය සමග තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමට ආරාධනා කරනු ලැබීය. ගුවන් යානය ගුවන් ගත වී මද වේලාවකට පසු යානයේ පාලනය තමන් වෙත නොමැති බව නිවේදනය කරන ලෙස මහාචාර්යවරුන් විසින් ගුවන් නියමුවාට උපදෙස් දී තිබුණි. ‘කරුණාකර අවධානය යොමු කරන්න! ගුවන් යානයේ පාලනය මාගෙන් ගිලිහී ගොස් ඇත! කරුණාකර ආසන පටි පැලඳ අසුන් ගෙන සිටින්න!’ මෙවන් නිවේදනයක් ගුවන් යානයක් මගීන් සමග ගුවන්ගත වූවායින් පසු නියමුවා විසින් නිකුත් කළ විට සියලුම ගුවන් මගීන්ගේ සිතෙහි ඇති විය හැකි එකම හැඟීම වන්නේ ගුවන් යානය කඩා වැටී සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වීම නියත වශයෙන් ම සිදු වන බවයි.

ඉහත ගුවන් යානයේ එක් අයෙකු හැර සියල්ලන්ම අදේවවාදීන්ය. අදේවවාදියෙකුට මරණින් මතු ජීවිතයක් පිළිබඳ විශ්වාසයක් නැත. ඔහුට මරණය යනු බියක් ජනිත කළ යුතු කාර්යයක් නොවේ. කෙසේ නමුත් ගුවන් යානය කඩා වැටී විවිධ ආකාරයේ බරපතළ කායික පීඩා ඇති විය හැකි බව හැඟෙන්නට නම් ඉඩ තිබේ. මෙවන් බියකරු තත්ත්වයක් තුළ ගුවන් යානයේ සිටි මගීන්ගේ ප්‍රතිචාරය කුමක් විය හැකි දැයි මොහොතකට ආවර්ජනය කර බලන ලෙස ඔබගෙන් අපි කාරුණික ව ඉල්ලා සිටිමු. මහාචාර්යවරුන්ගේ උපදෙස් පරිදි ගුවන් යානය තුළ සිදු වන දෑ සටහන් කර ගැනීම පිණිස වීඩියෝ කැමරා සවි කර තිබූ නිසා නියමුවාගේ පාලනයෙන් ගුවන් යානයේ පාලනය ගිලිහී ගියා යැයි පැවසු මොහොතේ සිට සිදු වූ සියල්ල වාර්තා වී තිබුණි. තමන්ගේ අයදුම්පත භාර දෙන මොහොතේ වීරයින් ලෙසින් තමන් අදේවවාදීන් යැයි වහසි බස් දෙඩු සැවොම ගුවන් යානය තුළ හඬා වැටෙමින් ‘අහෝ දෙවියනි! අප ව ආරක්ෂා කරනු මැනව!’ වැනි වදන් පවසමින් කන්නලව් කළ ආකාරය සැබැවින්ම හද කම්පා කරවන සුළුය. අදේවවාදීන් ලෙස වහසිබස් දොඩවන්නන් භයානක තර්ජනයකට මුහුණ දෙන අවස්ථාවක තම හදවතේ ජන්මයෙන්ම සනිටුහන් වී  ඇති ඒක දේවත්වය ඉස්මතු වී මෙලෙස  එම විශ්වයේ අධිපති දෙවිඳුන්ගෙන් උපකාර ඉල්ලමින් කන්නලව් කරන තත්ත්වයන් අපි දැක ඇත්තෙමු.

මෙලෙස දේව විශ්වාසයේ සත්‍යය තාවය පිළිගැනීමට ඇති සාධක තව අති විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කළ හැක. ඉහත කරුණු පමණක් වූවත් සත්‍යය අවංක ලෙසම සොයන අයෙකුට ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් ය. සැබැවින් ම නුඹ (ඒ පිළිබඳ ව) සැක කරන්නන් අතුරින් අයෙකු නොවවූ”. (අල් කුර්ආන්  2:147)

“අල් කුර්ආනය ඔවුන් (විශ්වාස නොකරන්නන්) පරිශීලනය නොකරනුයේ මන්ද? එය අල්ලාහ්ගෙන් නොවී වෙන කෙනෙකුගෙන් වූයේ නම් එහි නුඹලා බොහෝ පරස්පරයන් (හා වැරදි) දකිනු ඇත”. (අල් කුර්ආන්  4:82).

සකස් කිරීම: එම්. අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Related Posts

  • දේව සංකල්පය මිථ්‍යාවක්ද-1 ?January 21, 2009 දේව සංකල්පය මිථ්‍යාවක්ද-1 ? (0)
    මෙලොවට පැමිණුනු හැම ශාස්තෘරවයෙකුගේම ප්‍රචාරයෙහි මූලික තේමාව හා දර්ශනය ඒක දේවත්වයයි. බහු දේවවාදය ප්‍රතිෙක‍ෂ්පකරමින්, මිනිසා, ගස්, ගල්, ප්‍රතිමාවන් ඉදිරියේ නොවැටි එකම බලය එකම ශක්තිය එකම […]
  • මඳකට ආපසු හැරී බලමු! (Republish)September 24, 2017 මඳකට ආපසු හැරී බලමු! (Republish) (0)
    මුහර්රම් ඉස්ලාමීය දින දර්ශනය අනූව මුල්ම මාසය බව ඔබ මීට පෙර දැන සිටියාද? එහි මාසයන් අනුපිළිවෙලට මෙසේය: 1- මුහර්රම් 2- සෆර් 3- රබීඋල් අව්වල් 4- රබීඋස් සානි 5- ජමාදුල් අව්වල් 6- ජමාදුස් […]
  • දෙවිඳුන් සර්වකාලීන වන්නේ ඇයි? (Why Allah is eternal?)July 10, 2017 දෙවිඳුන් සර්වකාලීන වන්නේ ඇයි? (Why Allah is eternal?) (0)
    විශ්වය ඇතුළු සෑම වස්තුවකටම ආරම්භයක් සහ අවසානයක් ඇත. එය විශ්ව සත්‍යයකි. ඒවාට ආරම්භයක් ඇතිවීමට නම් ඒවා කෙරෙහි යම් බාහිර බලයක් ක්‍රියා කළ යුතුය. එයද විශ්ව සත්‍යයකි. එහෙත් විශ්වයේ මැවුම්කරු […]
  • දේවවාදය සහ අදේවවාදය (Theism and Atheism}April 24, 2017 දේවවාදය සහ අදේවවාදය (Theism and Atheism} (0)
    මිනිසාගේ විශ්වාසයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කළ හැකිය. එකක් දේවවාදය අනෙක අදේවවාදයි. දේවවාදියා ඔහුගේ විශ්වාසය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කලත් අදේවවාදියා දෙවියන් නැතැයි […]
  • ශාස්තෘවරුන්ගේ අවශ්‍යතාවයFebruary 7, 2010 ශාස්තෘවරුන්ගේ අවශ්‍යතාවය (0)
    දූත සංකල්පය පිළිගැනීම ඉස්ලාම් දහමෙහි මූලික විශ්වාසයන් අතුරින් එකකි. මෙම සංකල්පයෙහි හරයවන්නේ සැබෑ දේවමග පෙන්වීම වේ. මානව සංහතියට අල්ලාහ් විසින් අනාවරණය කරන ලද මාර්ගෝපදේශය හඳුන්වාදී, එය […]
  • ඉස්ලාම් දහම සහ ජ්‍යෝතිෂය (Astrology and Islam)July 10, 2017 ඉස්ලාම් දහම සහ ජ්‍යෝතිෂය (Astrology and Islam) (1)
    ජෝතිෂ්ශාස්ත්‍රයේ ඉතිහාසය ක්‍රි.පු.2000 තරම් පැරණිය. එම ශාස්ත්‍රය විශේෂයෙන්ම ඉන්දියානුවන්, චීන්නුන්, සහ මායා වරුන් අතර ප්‍රචලිතව තිබී ඇත. පසුකාලීනව බැබිලෝනියාව, මෙසපොතේමියාව, ග්‍රීසිය රෝමය […]

December 4, 2017 · එම්.අහ්මද් දහ්ලාන් · No Comments
Tags: , , ,  · Posted in: ප‍්‍රතිපත්තිය

Leave a Reply