ජේසුතුමා දෙවිකෙනෙක්ද? (Is Jesus God?)

ජේසු තුමා දෙවිඳුන් ද නැද්දැයි බැලීමට කලින් දෙවියන් ගැන අර්ථ දැක්වීම කුමක්දැයි සලකා බැලීම ප්‍රයෝජනවත් ය. දෙවියන් ගැන සෑම ඒක දේවවාදී දහමකම විස්තර කොට ඇත්තේ විශ්වය මවා පාලනය කරන අති උත්තරීතර තැනැත්තා ලෙසය. බයිබලයට අනුව දෙවියන් එක් කෙනෙක් ය. 
“ඉශ්රායෙල්වරුනි, අපේ දෙවි ස්වාමීන් වහන්සේට සවන් දෙන්න, ස්වාමීන් එක් කෙනෙක්ය” (මාක් 12:29).

අල්-කුරානයට අනුවද දෙවියන් එක් කෙනෙකි. ඔහුට සමාන වෙන කිසිවෙකු නැත. තවද කුරානයට අනුව ඔහු කිසිවෙකුගෙන් උදව් පතන්නේ නැත. ඔහු කිසිවෙකුගෙන් ප්‍රසුත වුයේ නැත. එසේම ඔහු විසින් කිසිවෙකු ප්‍රසුත කලේද නැත. ඔහුට සමාන කිසිවෙකු ද  නැත.

ඉහත සඳහන් කරුණු අනුව මිනිසා හෝ උපතක් ඇති වෙනත් ජීවියෙක් දෙවියන් විය නොහැකිය. ජේසු තුමාට උපතක් ඇත. ඔහු අනෙකුත් ජීවින් මෙන්ම ආහාර අනුභව කොට ඇත. අනෙක් මිනිසුන් මෙන් ජිවත් වී ඇත. කුරුසයේ ගසන අවස්ථවේදී ඔහු දෙවියන්ගෙන් මෙලෙස උදව් පතා ඇත.

“මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ මන්ද” කියා මහත් හඬකින් හඬ නඟා “එලී, එලී, ලෙමා සබ්හාතානි?” යනුවෙන් පවසා ඇත (Matthew 27:46).

මේ අනුව බලන කළ ජේසු තුමා දෙවියෙකු විය නොහැකිය. ඔහු ඔහුට ඉහලින් සිටින දෙවිකෙනෙකුගේ උදව් පතා ඇති බව ඉහත දැක්වෙන ප්‍රකාශනයෙන් පැහැදිලි වේ.

අල්-කුරානයට අනුව ජේසුතුමා දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ නබිවරයෙකි. එහෙත් ඔහුගේ විශේෂත්වය වන්නේ පියෙකු නොමැතිව ඔහු මෙලොවට බිහිවීමයි. ඉපදීම සහ මරණය සත්වයින්ට ඇති ලක්ෂණයක් මිස දෙවියන් හට ගැලපෙන ලක්ෂණයක් නොවේ. ජේසුතුමා පියෙකු නොමැතිව බිහිවීම විශේෂත්වයක් ලෙස සලකන්නේ නම් ආදම් තුමා පියෙක් හෝ මවක් නොමැතිව බිහිවීම ගැන කුමක් කිව හැකිද?

ජේසුතුමා ගැන අල්-කුරානයේ  මෙලෙස සඳහන් වේ.

“නියතව අල්ලාහ්, මරියම්ගේ පුත් මසිහ්යැයි පවසන්නෝ ප්‍රතික්ෂේප කළවුන් වන්නෝය. එහෙත් මසිහ් පැවසුවේ ‘ඉස්රායිල්ගේ දරුවනි! මාගේ සමිඳුන්ද (රබ්) ඔබගේ සමිඳුන්ද වූ අල්ලාහ්වම නමදින්න’ යනුවෙනි. නියතව කවරෙක් අල්ලාහ්ට (යමක්) සමකරයිද අල්ලාහ්, ඔහුට ස්වර්ගය තහනම් කරන්නේය. ඔහුගේ නවාතැන නිරය වන්නේය! අපරාධකරුවන්ට උදව්කරුවන් නැත” (කුරානය 5:72),

ඉහත කුර්ආන් වැකිය අනුව ජේසුතුමා කිසිම අවස්ථාවකදී තමන්ට දේවත්වය ආරුඪ නොකළ බව පැහැදිලිය. එසේම බයිබලයේ කිසිම තැනක ත්‍රිත්වයක් ගැන සඳහන් වන්නේද නැත. එහෙත් කිතුනුවන් එවැනි සංකල්පයක් නිර්මාණය කොට තිබේ. කෙසේ වෙතත් අල්-කුරානයේ ත්‍රිත්වය ගැන මෙලෙස සඳහන් වන්නේය.

“නියතව ප්‍රතික්ෂේප කරන්නන් ‘අල්ලාහ් තුන්දෙනාගෙන් කෙනෙකි’යි පවසන්නෝය. එහෙත් නැමදීමට සුදුසු සමිදුන්  (රබ්) අල්ලාහ් හැර වෙන කිසිවෙකුත් නැත. තමන් පවසන දෙයින් ඔවුන් ඉවත්ව නොසිටින්නේ නම්, ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප කරන්නන්ට හිංසාව ඇතිකරන වේදනාව නියතය” (කුරානය 5:73).

ජේසු තුමා දෙවියන්ගේ දුතයෙකු බව පහත පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් වේ.

” ‘මරියම්ගේ පුත් මසීහ්’ දුතයෙකු මිස අන් කිසිවෙකු නොවේ. ඔහුට පෙරද බොහෝ දුතයින් පැමිණ ඇත. ඔහුගේ මව සත්‍යවන්තියකි. ඔවුන් දෙදෙනාම ආහාර අනුභව කරන්නන්  ම වුහ” (කුරානය 5:75)

කෙසේවෙතත් ජේසු තුමා ඔහුට පෙර පැමිණි  නබිවරුන් මෙන්ම මිනිසාට කල නොහැකි ප්‍රාතිහාරයන් සිදු කොට ඇත. නබිවරු දෙවියන්ගේ උදව්ව ඇතිව ප්‍රතිහාරයන් සිදු කිරීමෙන් අදහස් කරනු ලබන්නේ ඔවුන් දෙවියන්ගේ නියෝජිතයින් බව මිනිසාට ඒත්තු ගැන්වීම පමණි.

අල්-කුරානයට අනුව ජේසු තුමා දෙවියන්ගේ උදව්වෙන් මළවුන් නැගිටුවා පෙන්වා ඇත, තවද දෙවියන්ගේ උදව්වෙන් අන්දයින්ට පෙනුම ලබා දී ඇත, ලාදුරු රෝගීන්ව සුවපත් කොට ඇත. එම අවස්ථාවේදී අමනුෂ්‍යයින් පැමිණ එතුමා දෙවියන්ගේ කුමාරයා යැයි කෑගැසූ බව බයිබලයේ සඳහන්වේ. එවිට ජේසු තුමා, තමන් මිනිසාගේ ගැලවුම් කරුවෙකු පමණක් බව දන්වමින් එම අමනුෂ්‍යයින්ට තරවටු කළ බව සඳහන් වන්නේය. Luke 4:40).

ජේසුතුමා දෙවියන් හෝ දෙවියන්ගේ පුතෙකු වන්නේ නම් ඔහු ළඟ දෙවියන්ගේ ලක්ෂණ තිබිය යුතුය. එසේ නම් ඔහු මිනිසෙකු විය නොහැකිය. ජේසු තුමා දෙවියන් වේ නම් කෑම අනුභව නොකළ යුතුය. සතුරන්ගේ වදහිංසා වලට ලක් නොවිය යුතුය. තවද බයිබලයේ සඳහන් පරිදි ඔහු කුරුසයේ ගසා ඝාතනයට ලක්නොවිය යුතුය.

අල්-කුරානයේ ජේසුතුමාගේ මව වන මරියම් තුමිය ගැන සම්පුර්ණ පරිච්චේදයක්ම තිබේ. එහි සඳහන් වන අන්දමට ඉම්රාන්තුමාගේ බිරිඳ පිළිසිඳගෙන සිටින දරුවා, ජෙරුසලමේ පිහිටි ශුද්ධ දේවස්ථානයට දීම සඳහා භාරයක් වී ඇත. කෙසේ වෙතත් ඇය ප්‍රසුත කරනු ලැබුවේ ගැහැණු දරුවෙකු විය. එම දරුවාට මරියම් ලෙස නම් කරනු ලැබූ අතර තමන් භාර වූ පරිදි එම දරුවා දේවස්ථානයට දී ඇත.

දේවස්ථානයට භාරකළ මරියම් තුමිය ඇයගේ ඥාතියෙකු වන zසැකරියා තුමාගේ භාරයේ හැදී වැඩි ඇත. ඇය වෙනුවෙන් දේවස්ථානයේ ‘මිහ්රාබ්’ නමැති කුටියක් සාදා දෙන ලදී. ඉම්රාන් තුමා නිතර ඇයගේ සුව දුක් සොයා බලා ඇත. ඉම්රාන් තුමා මරියම් තුමිය වෙත ගිය සෑම අවස්ථාවකදීම ඇය පලතුරු අතැතිව සිට ඇත.  මරියම් තුමියගෙන් “මේවා ඔබට ලැබෙන්නේ කොහින්දැයි”  ඉම්රාන් තුමා විමසු විට ඇය, “ඇත්තෙන්ම අල්ලාහ් තමන් කැමති අයට ප්‍රමාණය ඉක්මවා ආහාර සපයන්නේයැ”යි පවසා ඇත.

කාලය ගෙවී යත්ම මරියම් තුමිය වැඩි වියට පත් විය. දිනක් ඇය තම කුටියේ යාක්ඥාවේ යෙදී සිටින විට මිනිස් වෙස් ගත් දේවදුතයෙක් ඇය වෙත පැමිණ ඇත. එම දේව දුතයා දැකීමෙන් භීතියට පත්වූ ඇය,‘සැබැවින්ම ඔබගෙන් මාව ආරක්ෂාකරන මෙන් අල්ලාහ්ගෙන් මා ප්‍රාර්ථනා කරමි, ඔබ හොඳ ගති පැවතුම් ඇත්තෙකු නම් (මෙතනින් ඉවත්ව යනු)’යි පවසා ඇත. එයට ඔහු ‘පාරිශුද්ධ වූ පුතෙකු ඔබට ලබා (දෙන්නේයැයි ඔබට දැනුම්) දීමට මාව ඔබගේ දෙවියන් එවන ලද දුතයෙකි’යි පවසා ඇත. එවිට ඇය ‘මට කෙසේ නම් දරුවෙක් ලැබේවිද? කිසිම මිනිසෙකු මා ස්පර්ශ කර නැත! මම අපචාරයේ හැසිරෙන්නෙකු ද නොවෙමි!’යි පවසා ඇත. එවිට එම දේව දුතයා ‘එසේ (සිදුවනු ඇත). එය මට ඉතා ලෙහෙසි දෙයකි. ඇය මිනිසුන් අතරේ එක් සලකුණක් වශයෙන්ද අපගේ වරප්ප්‍රසාදයක් වශයෙන්ද පත් කරන්නෙමු. මෙය අවසාන වශයෙන් මනඃකල්පිත කරන ලද කාරනාවකි. ඔබ දෙවියන්ම කියන්නේහි යැයි’ පවසා ඇත.

කාලය ගෙවී යත්ම ඇය ගැබ් ගෙන ඇත. එහෙත් පියෙකු නොමැතිව ගැබ් ගැනීම නිසා ඇය මහත් සිත් තැවුලට පත් විය. ඉන් පසු ඇය තමන් රැඳී සිටි දේවස්ථානයේ කුටියෙන් බැහැරව ගොස් තමන් උපන් ගම වන නසරිත් (Nazareth) කරා ගොස් ජිවත් වී ඇත. ඇය පත්වී සිටින මෙම මානසික පීඩනය ඇයට උහුලා ගත නොහැකි තරම් විය. කල් යත්ම දරු ප්‍රසුතියේ දිනය ද ලඟා විය. එබැවින් ඇය එම ස්ථානයෙන් පිටව ගියත් වැඩි දුරක් යාමට මත්තෙන් ඇයගේ කුසේ සිටි දරුවා මෙලොවට බිහි විය.

එම අවස්ථාවේදී ජිබ්රිල් දෙවදුතයා පැමිණ “දුක් නොවනු, ඔබගේ දෙවියන් මෙතන දිය පාරක් ගලා යාමට සලස්වා ඇත, මෙම රට ඉඳි ගස සොලවනු, ඔබට ඉන් ඉදුණු රට ඉඳි වැටීමට සලස්වන්නෙමු”යි පවසා ඇත. මැරී ගොස් තිබුණු එම රට ඉඳි ගස නැවත ජිවය ලැබීම දුටු ඇයගේ සිතට දේවියගේ විශ්වාසය වඩාත් ස්ථිර විය. මෙම සිදුවීමෙන් පසු ඇය එම බිලිඳා ද රැගෙන ආපසු තම ගමට ගොස් ඇත. එහි වැසියන් ඇය රැගෙන ගිය ළදරුවා ගැන විමසන්නට පටන් ගෙන ඇත. එහෙත් එම ජනතාව විමතියට පත් කරමින් එම ළදරුවා ඔවුන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දී ඇත.

කාලය ගෙවීයත්ම  ජේසු තුමාට දෙවියන්ගෙන් දහම් පණිවිඩය පහළ විය. එහෙත් එකල සිටි ජනතාව ඔහුට බොහෝ හිරිහැර සිදුකොට ඇත. ඔහුගේ දේව පණිවිඩය පිළිගැනීමට අකමැති විය. අවසානයේදී ජේසු තුමාව කුරුසයේ තබා ඝාතනය කිරීමට සැලසුම් කොට ඇත. එහෙත් අල්ලාහ්ගේ සැලසුම අනුව ජෙසුතුමාව කුරුසයේ ගැසීමට නොහැකි වූ අතර වෙනත් කෙනෙක් ඒ වෙනුවෙන් කුරුසයේ ගැසීමට සලස්වා ඇත. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් ඒ බව පැහැදිලි වේ.

තවද “අල්ලාහ්ගේ රසුල් වන මරියම්ගේ පුත් ඊසා (හෙවත් මසීහු) නියත වශයෙන්ම අපි (කුරුසයෙහි තබා ඇණ ගසා) මරා දමුවෙමු”යි ඔවුන් කී බැවින්ද (ඔවුන්ට ශාප කළෙමු). (නමුත්) ඔහුව ඔවුන් කපා දැමුවේද නැත. ඔහුව ඔවුන් කුරුසයෙහි තබා ඇණ ගැසුවේද නැත. ( ඔහු සිටි කාමරයට ඔහුව සොයා ගිය කෙනෙකුව ඊසාගේ හැඩරුව ඇතිව වෙනස් කරන ලදී. ඊසා සොයා ගිය අනිත් අය ඔහුව කුරුසයේ තබා ඇණ ගැසුවෝය) මේ නිසා ඔවුන්ව සැකයෙහි ඇතුල් කරන ලදී. එබැවින් මෙයට විරුද්ධව කව්රුන් අදහස් දරන්නෝ ද ඔවුන් අනවශ්‍ය සැකයෙහි ගිලී යන්නෝය. අනුමානය අනුගමනය කිරීම මිස එහි ඔවුන්ට සත්‍ය වූ ඥානයක් නැත්තේය. ඇත්තෙන්ම ඔවුන් ඔහුව ඝාතනය කලේම නැත” (කුරානය4:157).

ඉහත කරුණු 2000 වසරේදී තුර්කියෙන් සොයාගනු ලැබූ ඇරමෙක් භාෂාවෙන් ලියවුනු මෙතෙක් සොයාගත් ලෝකයේ පැරණිතම බයිබලයේ මුල් පිටපතෙහිද සඳහන් වන්නේය.

ඉහත සඳහන් කරුණු අනුව ජේසු තුමා සර්වබලධාරී දෙවියන් විය නොහැකිය. ඔහු දෙවියන්ගේ දුතයෙකු පමණක් බව බයිබලය හොඳින් හැදැරීමේදී පෙනී යන්නේය. ඔහුගේ විශේෂත්වය වන්නේ පියෙකු නොමැතිව මෙලොවට බිහිවීම පමණි. තවද බයිබලයේ කිසිම තැනක “මම දෙවියන් වෙමි එබැවින් මට නමදිනු” යැයි පැහැදිලිව සඳහන් නොවන්නේය.

By Fasy Ajward.  B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.