ඉස්ලාමීය භූමිදාන චාරිත්‍ර (Islamic burials customs)

මුස්ලිම්වරයෙකු නින්දෙන් අවදිවීමේ සිට නැවත නින්දට යනතෙක් ඇති සෑම දෙයක්ම දහමින් ආවරණය කොට ඇත. ඒ අනුව මරණයක් භූමිදානය කිරීමද දහම අනුව සිදු විය යුතුය. කිසිවෙකුගේ උවමනාව අනුව ඉස්ලාමීය චාරිත්‍ර ක්‍රම වෙනස් කළ නොහැකිය. තවද මුස්ලිම්වරයෙකුගේ මරණයක් සිදු වූ විට එය භූමදානය කිරීම ගමක සිටින සියළුදෙනාටම පැවරෙන අනිවාර්ය වගකීමකි. කව්රුන් හෝ එය සිදු කලේ නම් ගමේ සිටින සෑම දෙනාම එම වගකීමෙන් නිදහස් වන්නේය.

සෑම ආගමකටම ආවේනික භූමිදාන චාරිත්‍ර ඇතත් ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇත්තේ ඉතාමත් පහසුවෙන් සිදු කළ හැකි ක්‍රමයකි. මේ හේතුවෙන් ඉස්ලාමීය භුමිදායක් සඳහා කිසිවෙකුට විශාල මුදලක් දැරීමට සිදුවන්නේ නැත.
ඉස්ලාමීය ඉගැන්වීම අනුව මරණයට පත් වූ තැනැත්තා භුමිදානය කිරීමට පෙර ස්නානය කිරීම අනිවාර්ය වේ. ඉන් පසු බොහෝ විට සුදු රෙදි කඩ තුනකින් එම මරණය ඔතන අතර භූමදානය කිරීමට පෙර ඔහු හෝ ඇය වෙනුවෙන් දේව මෙහෙයක් සිදු කරනු ලැබේ. එම දේව මෙහෙය මගින් සිදු කරන්නේ ඔහු/ඇය වෙනුවෙන් ප්‍රාර්ථනයන් සිදු කිරීමකි. මෙය ගමේ සිටින පිරිමින්, ඥාතින් සහ හිතමිත්‍රාදීන් විසින් සිදු කරනු ලැබේ. මෙම ක්‍රමය දුප්පත් පොහොසත් සියළුදෙනාටම පොදුවේ සිදුකරනු ලබන්නේය.
කිසිම හේතුවක් නිසාවත් මුස්ලිම්වරයෙකු මිය ගිය විට එම මරණය එම්බාම් කොට වැඩි කාලයක් තබා ගන්නේ නැත. ඒ අනුව හැකි ඉක්මනින් එම මරණය භූමදානය කරනු ලැබේ. බොහෝ අවස්ථාවලදී මුස්ලිම්වරයෙකුගේ මරණයක් දවසක් ඇතුලත සිදු කරන්නේය.
සොහොන් පිටියට මුස්ලිම් මරණයක් රැගෙන යාමේදී නිශ්ශබ්දත්වය රැකගත යුතුය. එය නබිතුමා පෙන්වා දුන් ක්‍රමය වේ. මේ නිසා මරණය රැගෙන යාමේදී බෙර වාදනය හෝ නලා වාදනය කරන්නේ නැත. තවද  ඒ සඳහා මල්වඩම් රැගෙන යෑම ඉස්ලාම් දහමින් පෙන්වා දී නොමැත. ඉස්ලාමීය අවමගුලක දී කාන්තාවන් මරණයත් සමග සොහොන් පිටියට ගමන් කරන්නේ නැත.
ජනාසාවක් (මරණයක්) භූමිදානය කිරීම සඳහා තම ඥාති සහ හිත මිතුරන් විසින් දැතින් ඔසවාගෙන යාම සාමාන්‍ය ක්‍රමය වේ. සුසාන භුමිය නිවසේ සිට ඉතාමත් දුරින් පිහිටා ඇති විට පමණක් ජනාසාව වාහනයකින් රැගෙන යනු ලැබේ. මේ සඳහා සාමාන්‍ය ට්‍රක් රථයක් හෝ වෑන් රථයක් භාවිතා කරනු ලැබේ. ඒ වෙනුවෙන් මිල අධික සුකෝපබෝගී වාහන අවශ්‍ය නොවේ. එසේම මුස්ලිම්වරුන්ගේ භූමදානය කිරීම සඳහා මිල අධික මිනීපෙට්ටි යොදාගන්නේ නැත. දේහය කුමන ආකාරයකින් මිහිදන් කලත් ඔහුගේ අවසානය තීරණය කරනු ලබන්නේ ඔහු කල පින් දහම් අනුවය. මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ ඔහු හෝ ඇය විසින් කාට හෝ ණයක් දීමට තිබේනම් එය යම් කිසිවෙක් ඉදිරියට පැමිණ භාර ගැනීමයි. නැතහොත් මරණයට පත් වූ තැනැත්තාට ස්වර්යගට යා නොහැකිය.
මුස්ලිම්වරයෙක් මරණයට පත් වූ විට ඔහුගේ හෝ ඇයගේ ඥාතින් විසින් හඬ නගා වැළපීම තහනම් කොට ඇත. එහෙත් තම ශෝකය නිශ්ශබ්දව සිදු කළ හැකිය. මරණයක් වෙනුවෙන් ඔහුගේ ඥාතියෙකුට දින තුනක ශෝක කාලයක් ගත කළ හැකිය. එහෙත් වැන්දඹු කාන්තාවක් මාස 4 යි දින 10 ක් තම ස්වාමි පුරුෂයා වෙනුවෙන් ශෝක කාලයක් ගත කිරීම අනිවාර්ය වේ. එහෙත් ස්වාමියා මිය යන අවස්ථාවේදී ගැබ් ගෙන සිටියේ නම් දරු ප්‍රසුතිය දක්වා පමණක් ඇයගේ ශෝක කාලය වලංගු වේ.
මුස්ලිම් සහ මුස්ලිම් නොවන භූමිදාන ක්‍රම අතර තවත් ප්‍රධාන වෙනසක් වන්නේ මුස්ලිම්වරයෙකුගේ දේහයක් ආදාහනය නොකිරීම සහ සොහොන ස්ථිර බැමිවලින් නොබැඳීම ය. මේ නිසා ටික කලකදී එක් මිනියක් භූමිදානය කළ ස්ථානයේ තවත් දේහයක් මිහිදන් කිරීමට හැකි වන්නේය. එම හේතුවෙන් මුස්ලිම් සුසාන භූමියක අළුතින් එන මරණ මිහිදන් කිරීම සඳහා ඉඩ නැති ප්‍රශ්නයක් මතුවන්නේ නැත.
මුස්ලිම්වරයෙකුගේ භුමිදානයෙන් පසු ඔහුගේ ගුණ වර්ණාවක් කරන්නේ නැත. එහෙත් අවශ්‍ය නම් පමණක් එහි පැමිණ සිටින අය වෙනුවෙන් පොදු දේශනයක් සිදු කරනු ලැබේ. එම දේශනයේ අරමුණ ජිවතුන් අතර සිටින අයට මරණයට සුදානම් වීම ගැන දැනුවත් කිරීමය. කෙසේ වෙතත් බුමිදාන කටයුතු අවසන් වූ පසු ඔහු හෝ ඇය වෙනුවෙන් එහි ගොස් සිටින අය තනි තනිවම ප්‍රාර්ථනා කිරීම නබිතුමාගේ මග පෙන්වීමකි.

By M. Fasy Ajward.By Fasy Ajward. B.Sc(Sp.Phy) Hons.J. Pura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.