නායකයෙක් පත්කර ගැනීම (Appointing a leader)

ඉස්ලාම් දහම අනුව කෙනෙක් පාලකයෙකු බවට පත්වීම ඉතාමත්ම භාර දුර කටයුත්තකි. ඇයිද යත් පාලකයෙකු ඔහු යටතේ සිටින සියළුදෙනා වෙනුවෙන්ම දෙවියන්ට වගකිව යුතු නිසාය. ඒ අනුව විනිශ්චය දිනයේදී සෑම පාලකයෙකුගෙන්ම ඔවුන්ගේ වගකීම් ඉටුකළ අකාරය ගැන ප්‍රශ්න කරනු ලබන්නෝය. එය නිසි පරිදි ඉටු කර නොතිබුනේ නම් ඔවුන්ට සිදු වීමට යන ඉරණම ගැන ඔවුන් මනාව තේරුම් ගෙන තිබිය යුතුය.
නුතන සමාජයේ ජිවත්වන බොහෝ අයට පවුල් පාලනය පවා නිසි පරිදි ඉටු කිරීමට නොහැකිව තිබියදී රට පාලනය කිරීමට යෑම  ඇත්තෙන්ම ඔවුන්ගේ මුග්ධ කමකි. රටක් පාලනය කළ යුත්තේ දැන උගත් බුද්ධිමත් පුද්ගලයින් ය. එසේම ඔවුන්ව පත්කරන චන්ද දායකයින්ගේ වගකීම විය යුත්තේ ද පාලනය සඳහා සුදුස්සන් පත්කර ගැනීමය. එසේ නැතහොත් ඔවුන්ද දෙවියන් ඉදිරියේ වරද කරුවන් වනු ඇත.

යමෙක් තමන්ට කළ නොහැකි දෙයක් සඳහා බලය ලබාගැනීමෙන් සිදු වන්නේ කෙටි කාලයක් සැප විඳ විශාල කාලයක් නිරයේ දුක් විඳීමට ය. ඇයිද යත් අද බොහෝ අය පාලන බලය ලබා ගන්නේ ජනතාවට සේවය කිරීමට යැයි පවසමින් මිනිසුන් රවටා බලයට පැමිණි පසු ඔවුන්ට සේවය කර ගැනීම නිසාය.

අද සිටින බොහෝ පාලකයින්ට දහම ගැන දැනුමක් නොමැත. එහෙත් ඔවුන් දහමේ නම විකුණමින් බලය ලබා ගැනීමට අමතක කරන්නේ නැත. බොහෝ නුගත් අය මෙම උගුලට රැවටෙති. ඔවුන් කරන මෙම වරද ගැන මරණයෙන් පසු දෙවියන්ට වග කිව යුතු බව ඔවුන් හොඳින් සිතා බැලිය යුතුය.

බොහෝ පාලකයින් බලයට පත් වු පසු සුකොපබෝගී වාහන ගැන සහ ඔවුන්ගේ අනෙකුත් පහසුකම් ගැන පමණක් සැලකිල්ල දක්වති. මේ නිසා ජනතාවට බොහෝ සේවාවන් කළ යුතුව තිබියදීත් ඔවුන්ගේ කාර්යාල අලුත්වැඩියාව සඳහා අතිවිශාල ලෙස මහජන මුදල් නාස්ති කරති. ඇතැම් විට අනවශ්‍ය ලෙස කාර්යාල සඳහා කෝටි ගණනින් කුලී ගෙවති. මේවා ගැන ඔවුන් ජනතාවට වගකිව යුතු නොවේද? ජනතාව බදු ගෙවන්නේ එවැනි නාස්තිකාර වියදම් සඳහාදැයි ඔවුන් සිතා බැලිය යුතුය.

කිසිම දහමකින් මෙවැනි අපරාද අනුමත කරන්නේ නැත. එහෙත් අද බොහෝ පාලකයින්ට ඒවා ගැන තැකීමක් නැත. ඔවුන් දහම නිවැරදිව තේරුම් ගන්නේ නම් එවැනි වැරදි කිරීමෙන් වලකිනු ඇත. අල්ලස් ගත් තැනැත්තා සහ අල්ලස් දුන් තැනැත්තා යන දෙදෙනාම නිරයට යන බව නබිතුමා පවසා ඇත. ජනතා සේවකයින් මේවා ගැන සිතා බැලිය යුතුය. ජනතාවද මෙවැනි දුෂකයින් පත්කරගැනීම ගැන දෙවරක් සිතා බැලිය යුතුය.

නිවැරදි පාලකයින් පත්කර ගැනීමේදී ජනතාවට විශාල කාර්ය භාරයක් පැවරෙන්නේය. ඒ සඳහා සුදුසුකම් ඇති අය පමණක් පත්කර ගත යුතුය. එක් අවස්ථාවකදී නබි මිත්‍ර සහාබි වරයෙක් ඔහුව නායකත්වය සඳහා පත්කරන ලෙස නබිතුමාගෙන් ඉස්ලා සිට ඇත. එවිට නබිතුමා පවසා ඇත්තේ නායකකම ඉල්ලා සිටින අයට එය නොදෙන බවයි. එහෙත් අද සිදු වන්නේ සුදුසුකම් ඇති අය පැත්තක සිටියදී කිසිම සුදුසුකමක් නොමැති අය බලය ලබා ගැනීම සඳහා ඉදිරිපත් වීමය. මේ අනුව ඇතැම් විට ත්‍රිරෝද රථ රියැදුරන් පවා ජන්දය ඉල්ලා බලයට පත්ව ඇත. නමුත් ඔවුන්ගේ සුදුසුකම ගැන කුමක් කිව හැකිද?

නබිතුමාගේ අභාවයෙන් පසු ඉස්ලාමීය පළමු රාජ්‍ය නායකයා වන අබුබක්කර් (රලි) තුමාව පත්කරගනු ලැබුවේ සර්වබල ජන්දයකින් නොවේ. එය සිදු වුයේ උමර් (රලි) තුමාගේ යෝජනාවකට අනුවය. ඔහු නබිතුමාගේ සමීප මිත්‍රයකු වූ අතර රාජ්‍ය පාලකයෙකු වීමට අවශ්‍ය සෑම සුදුසුකමක්ම ඔහුට තිබුනේය. එතුමා ඉස්ලාම් දහම වැළඳ ගැනීමට පෙර විශාල ව්‍යාපාරිකයෙකු වූ අතර ඉස්ලාම් දහම වෙනුවෙන් ඔහුගේ සියළුම ධනය වියදම් කොට ඇත. එතුමා පාලකයෙකු වශයෙන් පත්වූ පසු ජනතා මුදලින් ලබා ගෙන ඇත්තේ සාමාන්‍ය පුරවැසියෙකුට ජිවත් වීම සඳහා අවශ්‍ය වන වියදම පමණි. එහෙත් අද තත්වය මිට වඩා බෙහෙවින් වෙනස් ය. එතුමා රාජ්‍ය සම්පත් අයුතු ලෙස ඔහුගේ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කළේ ද නැත. මේ නිසා ඔහු මිය යන විට විශාල ධනයකට හිමිකම් කීවේද නැත. අබුබක්කර් (රලි) තුමා මිය යන විට පාලකයා වශයෙන් ඔහුගේ පුත්‍රයා බලයට පත් කලේ නැත. ඒ වෙනුවට ඔහු වඩාත් පළපුරුදුකම් ඇති දහම කෙරෙහි දැනුමක් ඇති උමර් (රලි) තුමාව පත් කොට තිබේ.

උමර් රලි තුමාගේ පාලන කාලය තුල ඉස්ලාම් රාජ්‍යය විශාල දියුණුවක් ලබා තිබුනේය. එසේම ඔහු ජනතාවගේ දුක් ගැනවිලි ගැන සොයා බලා ඇත. ඇතැම් අවස්ථාවලදී ඔහු වෙස් වලාගෙන ජනතාවගේ සුව දුක් බැලීමට රාත්‍රී මුර සංචාරයේ යෙදී ඇත. මෙලෙස රාත්‍රී මුර සංචාරයේ යෙදෙමින් සිටින අවස්ථාවකදී ග්‍රාමීය ප්‍රදේශයක ලිප මොලවාගෙන සිටි කාන්තාවක් ඔහුට හමු වී ඇත. දරුවන් හඬමින් සිටින එම තැනට ගිය උමර් (රලි) තුමාට දැනගත හැකි වුයේ ඇය ළමයින්ව රැවටීමට හිස් භාජනයක් ලිපේ තබා ඇති බවයි. එම ස්ථානයට ගිය උමර් රලි තුමා ඇයගෙන් කරුණු විමසා සිටින විට පැමිණ සිටින්නේ රටේ පාලකයා බව නොදැන ඇය විසින් රටේ පාලකයාට බැනවැදී ඇත. ඊට සවන්දුන් උමර් රලි තුමා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත්තේ භාණ්ඩාගාරයෙන් ඇයට උවමනා කරන දේවල් රැගෙන ඒමටය. එසේ ගිය උමර් රලි තුමා ඇයට අවශ්‍ය දේවල් භාණ්ඩාගාරයෙන් රැගෙන පැමිණ ඇයට දී ඇත. ඉන් පසු එම කාන්තාව ඒවායින් තම ළමුන්ට කෑම පිළියෙළ කොට දීමෙන් අනතුරුව එම ළමයි සිනාසෙනු දුටු උමර් (රලි) තුමා ඇයට පසු දින රාජ්‍ය සබාවට පැමිණ ඔහු හමු වන ලෙස පවසා එම ස්ථානෙයන් පිටත්ව ගොස් ඇත. සැබවින්ම මෙය  අද සිටින පාලකයින්ට ආදර්ශයක් ය.

නබිතුමා පවසා ඇත්තේ සෑම කෙනෙකුම පාලකයෙකු බවත් ඔවුන් තමන් යටතේ සිටින අය වෙනුවෙන් වගකිව යුතු බවත්ය.

“අබ්දුල්ලා රලි තුමා නබිතුමාගේ හදිසයක් මෙසේ දන්වන්නේය: ඔබලා සියල්ලන්ම එඬේරෙකු මෙන්ය, ඔබලා තම රංචුවට වගකිවයුතුය. පාලකයා තම යටත් වැසියන් වෙනුවෙන් පත්කර ඇත. එබැවින් ඔහු ද එඬේරෙකි. ඔහු තම යටත්වැසියන් වෙනුවෙන් වග කිව යුතුය. මිනිසා තම නිවසේ සිටින අය වෙනුවෙන් එඬේරෙකි ඔහු තම නිවැසියන් වෙනුවෙන් වග කිව යුතුය. ගැහැණිය තම ස්වාමියාගේ නිවසට සහ දරුවන් වෙනුවෙන් එඬේරෙකි. එබැවින් ඇය ඒවාට වග කිව යුතුය. ඔබ සියලුදෙනා එඬේරුන්ය. එම නිසා ඔබ සියලුදෙනා තම පට්ටිය වෙනුවෙන්  වග කිව යුතුය” (බුහාරි, මුස්ල්ලිම්). 

ඉහත දැක්වෙන නබිවදන අනුව සෑම පාලකයෙකුම තමන්ගේ වගකීම ගැන මැනවින් සිතා බැලිය යුතු ය. 

By Fasy Ajward.B.Sc(Phy.Sp)Hons.Japura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.