විවිධත්වය තුල එකමුතුකම (Unity in diversity)

මල්වත්තක අලංකාරය රඳා පවතින්නේ එහි ඇති විවිදත්වය නිසාය. මල්වත්ත පුරාම එකම වර්ගයේ පැලැටි තිබුනේ නම් එහි අලංකාරයක් ඇතිවන්නේ නැත. එසේම රටක් අලංකාරවත් වන්නේ විවිධ ජාතින් මෙන්ම වෙනස් ආගමික ඇදහිලි තිබුනොත් ය. එය රටක දියුණුවට ද බලපාන්නේය. ස්වභාවධර්මය මේ සඳහා උදාහරණයට ගත හැකිය. විශ්වය තුල ඇති පරමාණුවේ සිට දැවැන්ත ක්ෂිරපත දක්වා වු සෑම දෙයක්ම විවිධ දේවල් වලින් සෑදී තිබුනත් ඒවායේ ඉතා හොඳ එකමුතුවක් දැකිය හැකිය. එම එකමුතුකම විශ්වයේ පැවැත්මට බලපාන්නේය. එසේ නොවන්නට පරමාණුවේ ඇති ඍන ආරෝපණ සහ ධන ආරෝපණ එකිනෙකට විරුද්ධව ක්‍රියා කොට විනාශයට පත් වීම වැළැක්විය නොහැකිය. 

මිනිසුන්ට වර්ණයන් සහ භාෂාවන් ලැබී තිබෙන්නේ එකිනෙකා වෙන්කොට හඳුනා ගැනීමටය. එය සමගියට භාධාවක් නොවිය යුතුය. එසේම මිනිසුන්ගේ වෙනස් අදහස් රකට දියුණුව සඳහා යොදාගත යුතුය. ලෝකය මෙතරම් දියුණු වී ඇත්තේ මිනිසුන්ගේ විවිධ අදහස් වල ප්‍රතිපලයක් ලෙසය. එසේ නොවී මිනිසුන් විවිධ මත දරන නිසා දේශපාලනික වශයෙන් සහ ආගම් වශයෙන් බෙදී කුළල් කෑම පිරිහීමට හේතුවක් වන්නේය.

මිනිසාට ආගමක් පහළ කොට ඇත්තේ දෙවියන් විසිනි. එහි අරමුණ මිනිසුන්ට නිවැරදි මාර්ගය පෙන්වා දීමය. එම නිසා මිනිසුන් ආගමේ මුවාවෙන් එකිනෙකා ආරවුල් කර ගැනීම වරදකි. එසේ කිරීමෙන් සිදුවන්නේ මිනිසුන්ගේ දියුණුව අඩාල වීමය. සෑම කෙනෙක්ම එකිනෙකාගේ ආගමට ගරු කරන්නේ නම් ලෝකය ඉතා සුන්දර තැනක් වනු ඇත. සෑම ආගමකම පොදු ලක්ෂණ දැකිය හැකිය. ඒවා මත සමගිය ගොඩ නැගිය හැකිය. එසේ තිබියදී ඇතැම් ආගම්වලට පමණක් ආවේනික කරුණු සොයා බලමින් එකිනෙකා කුළල් කෑම සමාජයක් පිරිහීමට හේතුවක් වන්නේය.

මිනිසා කුමන මතයක් දරුවත් යම් දවසක මරණයට පත් වන්නේය. එදාට ඔහු ගෙන යන්නේ තමන් කළ හොඳ හෝ නරක පමණි. මෙය හොඳින් තේරුම් ගන්නේ නම් මිනිසා වැඩි වැඩියෙන් හොඳ කිරීමට පෙළඹෙනු ඇත. එහෙත් අවාසනාවට බොහෝ අයට මරණය අමතක වී ඇති නිසාදෝ ආගම නිසා ද දේශපාලන මත නිසාද බේද බේද වෙමින් කුළල් කන්නෝය.

By Fasy Ajward. B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.