අර්බුදවලට මුල කුමක්ද? (What causes the crisis?)

ලෝකයේ ඇතිවුණු සහ ඇතිවෙමින් තිබෙන බොහෝ අර්බුදවලට හේතුව බලයට තිබෙන කෑදර කමය. පළමු සහ දෙවන ලෝක යුද්ධ හට ගෙන තිබෙන්නේ ද එහි ප්‍රතිපලයක් ලෙසය. යම් විදියකින් තුන්වන ලෝක යුද්ධයක් ඇති වන්නේ නම් ඊට හේතු විය හැක්කේ ලෝක බලවතුන්ගේ බල තන්හාවයි.ආගම දහම නොමැති බොහෝ අයට අවශ්‍යව තිබෙන්නේ ධනය සහ බලය ලබා ගැනීම මිස ලෝකයේ සාමය ඇති කිරීම නොවේ. මේ නිසා ලෝකයේ අවි නිෂ්පාදනය සහ ඒවා විකුණා ගැනීමට විශාල තරගයක් ඇතිවී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස ලෝකය පුරා යුද ගිනි ඇවිලෙමින් ඇති අතර අහිංසක ජනතාව අනාථ කඳවුරුවලට සිමා වන්නේය.

පාලකයින් වෙත පමණක් නොව සාමාන්‍ය ජනතාව අතරද ඉවසීම ඉතා අඩුවෙන් දැකිය හැකිය. මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී පොල් අත්තක් නිසා මිනි මරාගෙන තිබේ. ඇතැම් අවස්ථාවලදී ආගමික නායකයින් සහ ගුරුවරුන් කරනු ලබන වැරදි නිසා අහිංසක ජනතාවගේ අනාගතය විනාශයට පත් වෙමින් තිබේ. උදාහරණයක් ලෙස මෑතකදී එක්තරා පාසලක විදුහල්පතිවරයා ළමයෙකුට කළ අමානුෂික දඬුවම නිසා එම ගුරුවරයා රිමාන්ඩ් භාරයට පත් වු අතර එම ශිෂ්‍යයා රෝහල් ගත වී ඇත. එසේම ඇතැම් පුජකයින්ගේ වැරදි මග පෙන්වීම නිසා සමාජයේ වෛරය පැතිරීමට හේතුවක් වී ඇත. කෙසේ වෙතත් යහපත් සමාජයක් ඇතිකිරීම සඳහා මේවා නිවැරදි විය යුතුය.

සෑම දහමකම උගන්වනු ලබන්නේ මිනිසාට නිවැරදි දේවල් කිරීමටය. එහෙත් අද බොහෝ වැරදි සිදු වන්නේ ආගම නිවැරදිව පිලි නොපැදීම නිසාය. ඊට වග කිව යුත්තේ දහම නොව ඊට මග පෙන්වනු ලබන පුජකයින් ය. ඒ ඒ ආගමික නායකයින් අනුන්ගේ ආගම් විවේචනය කිරීම නවතා තම තමන්ගේ දහම නිවැරදිව තේරුම් ගෙන ඒ අනුව තම අනුගාමිකයින්ට මග පෙන්වන්නේ නම් බොහෝ ප්‍රශ්න නිරාකරණය කළ හැකි වන්නේය. ඇයිද යත් ආගමක් පවතින්නේ එහි අලංකාර ඉගැන්වීම් නිසි පරිදි ජනතාව අතරට යාම නිසා ය. එසේ නොවන විට සාමාන්‍ය ජනතාව දහමින් ඈත්වීමට හේතුවක් වන්නේය.

සෑම ආගමකින්ම බලාපොරොත්තු වන්නේ යහපත් සමාජයක් ගොඩ නැගීමය. එය කළ හැක්කේ දහමින් මිනිසාගේ ඉවසීම, උදව් උපකාර කිරීම, සමාව දීම වැනි ගුණයන් ප්‍රගුණ කළේ නම් පමණි. මේවා සැම දහමකම දැකිය හැකි පොදු ලක්ෂණ බැවින් සෑම කෙනෙක්ම ඒවා කෙරෙහි උනන්දු විය යුතුව තිබේ.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.