දෙවියන්ගේ දයාව (The Mercy of God)

කිසිවෙකු අල්ලාහ්ගේ දයාව ගැන බලාපොරොත්තු නැති කර ගත යුතු නැත. ඔහු සෑම මැවීමකටම උපරිමයෙන්ම කරුණාව දක්වන්නේය. එම හේතුව නිසාම බෙහෙවින් වැරදි කරන්නන්ගේ උවමනාවන් පවා ඔහු ඉටුකර දෙන්නේය. තවද වැරදි කරන අයට මරණය දක්වාම සමාව ගැනීමට ඉඩ ලබා දී ඇත.

කෙසේ වෙතත් මෙලොවදී වැරදි කරන ඇතැමුන්ට දෙවියන් දඬුවම් කරනු ලබන්නේ ඔවුන් කරන වැරදි තේරුම් ගෙන නිවැරදි මාර්ගයට පිවිසීම සඳහාය. ඉන් ප්‍රයෝජනයක් නොලබන්නේ නම් එය ඔවුන්ගේ අවාසනාවකි. එසේ තිබියදී උඩඟු කමින් වැරැදි කරන සමහරුන්ට මෙලොවදී දඬුවම් ලැබීමට හෝ නොලැබීමට හැකිය. ඔවුන්ට හිමි දඬුවම් මරණයෙන් පසුව නියත වශයෙන්ම ලැබෙනු ඇත. ඇතමුන්ට කොතරම් වැරදි කළත් දඬුවම් නොලැබීම නිසා ඔවුන් සිතන්නේ තමන් නිවැරදි මාර්ගයේ ගමන් කරන බවයි. ඔවුන්ට හිමි දඬුවම් ප්‍රමාද වීම නිසා ඔවුන් මංමුලාවට පත් වෙති. ඒ අනුව මරණය දක්වාම ඔවුන් දෙවියන් වෙත හැරෙන්නේ නැත.

දෙවිඳුන්ගේ කරුණාව මවකගේ කරුණාවට වඩා හැත්තෑ වාරයකින් වැඩි බව නබිතුමා පවසා ඇත. මේ නිසා මිනිසා කොපමණ වැරදි කලත් මරණය දක්වාම සමාව ගැනීමට වරම් ලබා දී තිබේ. මරණය දක්වා දෙවියන්ව ප්‍රතික්ෂේප කරමින් සිටි කෙනෙක් මරණයට පෙර යම් මොහොතකදී දෙවියන්ගෙන් සමාව අයද සිටියේ නම් ඔහු එතෙක් කල් සිදු කළ සියළුම පව් වලට සමාව ලැබෙන්නේය.

මෙලොවදී දෙවියන් ඔහුගේ මැවීම් වලට කරුණාව පෙන්වා ඇත්තේ ඔහුගේ දයාවෙන් සියයෙන් එක් කොටසක් පමණි. අනෙක් සියයට අනු නවයම මරණයෙන් පසු පෙන්වීමට නියමිත බව නබිතුමා පවසා ඇත. ඒ අනුව දෙවියන්ව විශ්වාස කලත් වැරදි කරන අයට මරණයෙන් පසු බෙහෙවින් දෙවියන්ගේ කරුණාව ලැබීමට නියමිතය.

ඇමරිකාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් මෙහි සඳහන් කරන්නේ දෙවියන්ගේ කරුණාවේ තරම කියා පෑමටය. ඇමරිකානු යුද හමුදාවේ සේවය කළ ලෝරන්ස් බ්‍රවුන් මුලදී දෙවියන්ව විශ්වාස කොට නැත. වෘත්තියෙන් ඔහු ඇමරිකන් හමුදාවේ වෛද්‍යවරයෙක් විය. ඔහු දෙවියන්ගෙන් පමණක් නොව වෙනත් කිසිවෙකුගෙන්ද උදව් උපකාර බලාපොරොත්තු වු කෙනෙක් නොවේ. ඔහු විශ්වාස කළේ ඔහු ගැනම පමණි. එසේ තිබියදී දෛවයේ සරදමකට මෙන් ඔහුගේ බිරිඳ හදවත දුර්වල දරුවෙකු බිහි කළා ය. එම ළදරුවාගේ රෝගී තත්වය නිසාම ශරීරයෙන් අඩක්ම තද කළු පැහැ විය. මෙම අවස්ථාවේදී ඔහු කොතරම් නිර්භීතව සිටියත් අන්ත අසරණ විය. කිසිවෙකුට ඔහු පත්ව සිටින අවාසනාවන්ත තත්වයේදී උපකාර කිරීමට හැකියාවක් තිබුනේ නැත. මෙලෙස අන්ත අසරණ භාවයට පත්ව සිටි ඔහුට කළ හැකිව තිබුනේ ඔහු එතෙක් කල් විශ්වාස නොකළ දෙවියන්ගෙන් උදව් පැතීමට පමණි.

ලෝරන්ස් බ්‍රවුන්ගේ දරුවාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ මතය වුයේ එම දරුවා සුව කළ නොහැකි බවයි. එහෙත් ඔවුන් එම දරුවාට ශෛල්‍යකර්මයක් සිදු කිරීමට සැලසුම් කොට තිබුනේය. එසේ තිබියදී ලෝරන්ස් බ්‍රවුන් ඔහුගේ ජිවිතයේ මුල් වතාවට රෝහලේ පිහිටි නැමදුම් කාමරයට ගොස්, “අහෝ දෙවියනි!, සැබවින්ම දෙවිකෙනෙක් සිටින්නේ නම් මාගේ දරුවා සුවපත් කරනු මැනව, එසේ කලේ නම් මා ඔබ පෙන්වන ඕනෑම මාර්ගයක ගමන් කරම්යි” පවසා ඇත.

එම ප්‍රාර්ථනය සිදු කොට වැඩි වෙලාවක් ගත වීමට මත්තෙන් ඔහු ශල්‍යගාරය වෙත පිය නැගුවේය. එවිට ඔහුව පුදුමයට පත්කරමින් වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවාගේ හදවත සාමාන්‍ය පරිදි ක්‍රියා කරන බවයි. තවද එම වෛද්‍යවරු දරුවා සුවය ලැබීමට බොහෝ හේතු කාරණා පවසා ඇත. වෛද්‍යවරුන් කුමක් කීවත් සැබවින්ම එම දරුවාට සිදු වූයේ කුමක්දැයි ලෝරන්ස් බ්‍රවුන්ගේ සීත හොඳින් දන්නේය. එබැවින් එම මොහොත දක්වාම දෙවිකෙනෙකු විශ්වාස කොකළ ලෝරන්ස් යුදෙව් ආගම වැළඳ ගෙන තිබේ. එහෙත් ඉන් සෑහීමට පත් නොවූ ඔහු පසුව කිතුනු ආගමද ඉන් පසු බුදු දහමද වැළඳ ගෙන තිබේ. එම කිසිම ආගමකින් සෑහීමට පත් නොවූ ඔහු අවසානයේදී ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබේ. අදටත් ඔහු මුස්ලිම්වරයෙකු වන අතර ඔහු විසින් බොහෝ ඉස්ලාම් ග්‍රන්ථ රචනා කොට ඇත.

කිසිම කෙනෙකු නරකාදියේ දමා දඬුවම් කිරීම දෙවියන්ගේ අරමුණ නොවේ. එහෙත් යම් කිසිවෙකු මුරණ්ඩු කමින් වැරදි කරන්නේ නම් ඔහුට නිරය මිස වෙනත් තැනක් නැති බව දෙවියන් පුර්ව දැනුම් දීමක් සිදු කොට තිබේ. එය හොඳින් තේරුම් ගන්නේ නම් මරණයෙන් පසු ජීවිතය සමග සැසඳීමේදී සිහිනයක් බඳු මේ ජීවිතය නිසි පරිදි ගත කොට දෙවියන්ගේ කරුණාවට පත්‍ර වනු ඇත.

By Fasy Ajward.
B.Sc (Sp.Phy) Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.