පොලිය පිලිබඳ ඉස්ලාමිය ආකල්පය (Islamic attitude of interest)

ඉස්ලාම් දහම මිනිසාගේ යහපත උදෙසා ජීවිතයේ සියලු අංගයන් ආවරණය කරමින් මග පෙන්වීමක් සිදු කොට ඇත. මෙම මාර්ගෝපදේශය දේවස්ථානයකට පමණක් සිමා නොකොට ආර්ථික මෙන්ම ව්‍යාපාරික ආචාරධර්මවලින්ද, විවාහ සබඳතා, ජාත්යන්තර සබඳතා, යුද්ධයේ ආචාර ධර්ම හා වෙනත් දේවල් ආවරණය කරන්නේය. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ කැපීපෙනෙන ගති ලක්ෂණයන් වන්නේ ඔවුන් දෙවියන්ගේ අණ හැකි පමණින් පිළිපැදීමට උත්සාහ කිරීමයි. 

ඉස්ලාම් නොවන ආර්ථික ක්‍රම පොලිය මත රැඳී ඇතත් ඉස්ලාම් දහම පොලිය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. ඒ අනුව පොලියට දීම හෝ පොලියට ගැනීම හෝ ඊට සාක්ෂිකරුවෙන් ලෙස පෙනී සිටීම හෝ පොලිය සම්බන්ද ගනු දෙනු සටහන් කිරීම තහනම් වේ. එහෙත් මුස්ලිම් නොවන සමාජයක් තුල මෙම අවශ්‍යතාව සපුරාගැනීම ඉතා අපහසු කාර්‍යයකි. එබැවින් මුස්ලිම්වරුන්ට එම කාර්ය ඉටුකර ගැනීම සඳහා වෙනමම බැංකු ක්‍රමයක් තිබීමේ අවශ්‍යතාව පැන නගින්නේය.

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ අර්ථ දැක්වීම අනුව පොලිය අර්ථ දක්වා ඇත්තේ මෙසේය. “මුදල් නෝට්ටුවක් (ප්‍රාග්ධන මුදල්) භාවිතා කිරීම වෙනුවෙන් හෝ ස්ථාවර අනුපාතයකට යටත්ව ණයක් වෙනුවෙන්  ගෙවන මුදල ලෙසය” එහෙත් පොලිය නිසා පොදු ජනතාවට මෙන්ම දුප්පත් රටවල් වලට සිදුවන දේ අපට හොඳින් දැක ගත හැකිය. බොහෝ අයගේ උන්හිටි තැන් අහිමිවී ගොස් ඇත්තේ ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසාය. අද තුන්වන ලෝකයේ බොහෝ රටවල් ණය බරින් මිරිකී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ නිසා අල්-කුරාණයේ පහත දැක්වෙන වැකියෙන් පොලිය තහනම් කොට ඇත.

“විශ්වාසකලවුනි! නුඹලා අල්ලාහ්ට බිය වන්න. නුඹලා විශ්වාසවන්තයින් නම්, පොලියෙහි ඉතිරිව තිබෙන දේ හැර දමන්න. නුඹලා (එසේ) නොකළේ නම් අල්ලාහ්ගෙන්ද, ඔහුගේ දුතයාගේන්ද යුද්ධ ප්‍රකාශ කර ඇති බව දැනගන්න. නුඹලා (පොලිය අතහැර අල්ලාහ්ගෙන් ක්ෂමාව ඉල්ලා) මිඳුණු විට නුඹලාගේ සම්පතෙහි මුල් මුදල නුඹලාට හිමිවේ. (මෙමගින්) නුඹලා අපරාධ කරන්නේද; අපරාධ කරනු ලබන්නේද නැත. (ණය වූ) ඔහු දුෂ්කරතා ඇත්තෙකු නම් පහසුකම් ඇතිවන තෙක් අවස්තාව දිය යුතුය. නුඹලා මේගැන දැනගන්නේ නම් එය සදකාවක් ලෙස අතහැර දැමීම නුඹලාට වඩාත් යහපතක් ම වේ” (කුරානය 2:278-280).

මෙම වැකියෙන් ඉතා දැඩි අවවාදයක් සිදු කොට ඇත. එසේ තිබියදීත් යම් මුස්ලිම්වරයෙක් පොලිය මත අත තබන්නේ නම් භයානක ප්‍රතිපල බලාපොරොත්තු විය යුතුය.

නබි තුමා පවසා ඇති පරිදි පොලියට ගැනීම, පොලියට දීම, ඒ සඳහා ඇප කරුවෙකු වීම හෝ එම ගනුදෙනුව සඳහා සාක්ෂිකරුවෙකු ලෙස සිටීම තහනම් වේ.

“පොලී ගත් තැනැත්තාටත් එය ගෙවූ තැනැත්තාටත් ඒ වෙනුවෙන් සාක්‍ෂි දුන් දෙදෙනාටත් ශාප වන බව මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා පවසා සිටි බව ජාබීර් රලි තුමා සඳහන් කරන්නේය. ඔවුන් සියලු දෙනාම පවින් එක සමානය”.

ඇතැමුන් පොලිය වෙළඳාමට සම කරති. එහෙත් වෙළඳාම සහ පොලිය එකිනෙකට වෙනස් කාර්යයන් දෙකකි. භාණ්ඩ වෙළඳාම් කිරීමෙන් මිනිසාට සේවයක් සිදුවන අතර කිසිවෙකු තම ඉඩකඩම් නැතිකර ගන්නේ නැත. එහෙත් පොලිය වෙළඳාමට සම කිරීම ගැන මෙලෙස අවවාද කොට ඇත.

“පොලිය අනුභව කරන්නෝ සානත් විසින් ස්පර්ශ කරනු ලැබූ උමතුවෙකු මෙන් මිස (මරණයෙන් පසු එලොවේදී) නොනැගිටින්නෝය. වෙළඳාම පොලියට සමකිරිම මෙයට හේතුවයි. එහෙත් අල්ලාහ් පොලිය තහනම් කොට වෙළඳාම අනුමත කළේය. කවරෙකු තම සමිඳුන්ගෙන් උපදෙස් ලැබුණු පසු පොලිය හැර දමයිද ඔහු කලින් ගත් දෙයට දඬුවම් කරනු නොලැබේ. ඔහුගේ කාර්යය අල්ලාහ් වෙතම ඇත. කව්රුන් (පොලිය දෙසට) හැරෙන්නේද ඔවුහු නිරා වැසියෝ වෙති. ඔවුහු එහි සදාකල් සිටින්නෝය” (කුරානය 2:275).

ඉහත කුර්ආන් වැකිය අනුව පොලිය සමග සම්බන්ද වීමෙන් කෙනෙකුගේ අවසානය නිරය වනු ඇත. මේ නිසා ඉස්ලාමිය බැංකුවලින් දහම ලබා දී ඇති සීමාවන් තුල ජනතාවගේ උවමනාවන් ඉටු කිරීමට කටයුතු යොදා ඇත. එහෙත් එහි සාර්ථකත්වය රඳා පවතින්නේ ණය ලබා ගත් අය නිසි පරිදි ඒවා ගෙවන්නේ නම් පමණි.

පොලිය සහ වෙළඳාම සම නොකිරීමට බොහෝ හේතු ඇත. මුදලට මුදල් හුවමාරු කිරීමේදී (පොලියට මුදල් දීමේදී) ඒ සඳහා දැරිය යුතු අවදානම ඉතා අඩුය. බොහෝ විට ලබා දෙන ණය මුදල සඳහා ඇපයක් තැබීමට සිදු වන්නේය. ඒ අනුව ගත් ණය ආපසු ගෙවීමට නොහැකි වූ විට එම ඇපය මගින් ගනුදෙනුව බේරා ගැනීමට කටයුතු කරනු ඇත. එහෙත් භාණ්ඩ සහ සේවා සැපයීමේදී ඊට වඩා ලොකු අවදානමකට මුහුණ දිය යුතු වේ.

නවීන ලෝකයේ ඇති ධනවත් රටවල් විසින් දිළිඳු රටවල් වලට ප්‍රධානය කරන ණය හේතුවෙන් දිළිඳු රටවල් සෑමදාම පොහොසත් රටවල් වලට පොලී ගෙවීමට සිදුවී ඇත. මේ අනුව දුගී රටවල්වල වාර්ෂික ආදායමින් වැඩි කොටසක් වෙන් වන්නේ තමන් ගත් ණය සඳහා පොලී ගෙවීමටය. එහි ප්‍රතිපලයක් ලෙස ලෝක සම්පත් වලින් 80% පමණ ඇත්තේ 10% පමණ වන ධනවත් රටවල්වලය.

By Fasy Ajward. B.Sc(Sp.Phy)Hons.Japura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.