ජිවිතයේ අරමුණ කුමක්ද? (What is the purpose of life?)

ලෝකයේ ඇති ජීවින් අතුරින් මිනිසා ඉඳුරාම වෙනස් වන්නේය. කිසිවෙකුට එය ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි. මෙම කරුණ පැහැදිලි වන්නේ මිනිසාගේ විශේෂ ලක්ෂණ හැදෑරීමේදී ය. මිනිසාට මෙන් බුද්ධියක් හෝ ශරීරයක් වෙන කිසිම ජීවියෙකුගේ දැකිය නොහැකිය. ලොව ඇති සම්පත්වලින් වැඩියෙන්ම ප්‍රයෝජන ගන්නේද මිනිසාය. විවිධ භාෂාවන් කතා කරන්නේද මිනිසාය. තවද ආගමක් අදහන එකම ජීවියා මිනිසා යැයි කිව හැකිය. මිනිසාට ලැබී ඇති සුවිශේෂී බුද්ධිය නිසා විශ්වයට ආරම්භයක් ඇති බව තේරුම් ගැනීමට හැකිවී තිබේ. විශ්වයට ආරම්භයක් තිබීම පිළිගන්නේ නම් එයට මැවුම්කරුවෙක්ද සිටිය යුතුය. මිනිසාගේ ආරම්භයේ සිටම දෙවියන් ගැන විශ්වාස කොට ඇති බව ඉතිහාසය හැදැරීමේදී පෙනී යන්නේය. කෙසේ වෙතත් එම ආගම්වල විශ්වාසයන් බෙහෙවින් වෙනස් බව ඒවා හැදැරීමේදී පෙනී යන කරුණකි. එහෙත් විශ්වය ගැන අධ්‍යයනය කිරීමේදී පැහැදිලිවන එක් වැදගත් කරුණක් නම් විශ්වය පුරාම ඒකාකාරී බවක් තිබීමය. තවද විශ්වයේ ඕනෑම තැනක එකම විශ්ව නියමයන් පවතින්නේය. මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ විශ්වයේ මැවුම්කරු එක් දෙවිකෙනෙකු විය යුතු බවයි. විශ්වයට එක් දෙවිකෙනෙකුට වැඩය සිටින්නේ නම් ඉහත සඳහන් කල දේවල් සිදුවිය නොහැකිය.

විශ්වය දිහා බලන කල එය මැවීමට නම් දෙවියන් සර්ව බලධාරී විය යුතුය. තවද ඉහත සඳහන් කල කරුණු අනුව ඔහුට කිසිවෙකුගේ උදව් උපකාර අවශ්‍ය නොවිය යුතුය. ඔහුට නැති දෙයකින් අළුත් දෙයක් මැවීමට හැකි විය යුතුය. ඔහු සර්වඥානියෙකු විය යුතුය. එසේ නොවන්නේ නම් මෙතරම් සංකීර්ණ විශ්වයක් මැවීම කිසිසේත්ම සිදු විය නොහැකි දෙයකි.

දෙවියන් ගැන දැනගත හැක්කේ නිවැරදි දහමක් මගිනි. නිවැරදි දහමක පහත දැක්වෙන ලක්ෂණ තිබිය යුතුය.

  • එය දෙවියන්ගෙන් පහළ වූ බව තහවුරු කළ හැකි සාක්‍ෂි තිබිය යුතුය
  • එය මුල්වරට පහළ වූ භාෂාවෙන්ම තිබිය යුතුය. නැතහොත් එහි පරිවර්තකයාගේ අදහස් මිශ්‍ර විය හැකිය
  • එහි පරස්පර අදහස් නොතිබිය යුතුය
  • එම දහම පහළ වූ යුගයේ පැවති අවිද්‍යාත්මක සංකල්පයන් සත්‍ය කරුණු ලෙස ඉදිරිපත් නොවිය යුතුය
  • එය ලෝකයේ ඕනෑම තැනකදී පිළිපැදීමට හැකි විය යුතුය
  • එය මිනිස් උවමනාවන් සඳහා කාලයෙන් කාලයට මිනිසා විසින් වෙනස් නොකළ එකක් විය යුතුය

නිවැරදි දහමක් සොයා ගැනීමට හැකි එකම ක්‍රමය සෑම දහමක්ම ගවේෂණය කිරීමය. නිවැරදි දහම සෙවීම සඳහා ජනමාද්‍යයවල පිහිට පැතීම හෝ නුගත් පුද්ගලයින්ගේ මත විමසා බැලීම වැරදිය.

මා දන්නා පරිදි ඉහත දැක්වෙන ලක්ෂණ සියල්ලම දැකිය හැක්කේ අල්-කුරානයේ පමණි. ආගම පහළ වූ මුල් භාෂාවෙන් ඇති අංග සම්පුර්ණ එකම දහම් පුස්තකය අල්-කුරානය වේ. අනෙක් බොහෝ ආගම් පහළ වූ භාෂාවන් අද බාවිතයේ ද නොමැත.

නිවැරදි ආගමකින් පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතරු ලබා ගත හැකිය.

1) මිනිසා මෙලොවට පැමිණියේ කොහි සිටද? 2) මිනිස් ජිවිතයේ අරමුණ කුමක් ද? 3) මරණයෙන් පසු මිනිසාට කුමක් සිදු වන්නේද? 

ඉහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු නොමැතිව මිය යාමෙන් විශාල පාඩුවක් සිදු වන්නේය. එනම් මරණයෙන් පසු ජිවිතයක් තිබුනොත් ඊට මුහණ දීමට නොහැකි වනු ඇත. එවිට ඊට සුදානම් වූ අය පමණක් ජය ගනු ඇත. අනෙක් අය දෙවියන්ගේ දඬුවමට ලක්වනු ඇත. එහෙත් එවැනි දෙයක් නොමැති නම් කිසිවෙකුට හානියක් වන්නේ නැත. දෙපිරිසම බේරෙනු ඇත. 

කෙසේ වෙතත් බොහෝ අය නිවැරදි දහම වෙනුවට යොමුවන්නේ දෙමව්පියන්ගෙන් උරුම වූ විශ්වාසයන් තුලටය. එහෙත් බොහෝ අවස්ථාවන්හිදී දෙමව්පියන් අදහන දහම් නිවැරදිදැයි සොයා බැලීමක් කෙරෙන්නේ නැත. එහි ප්‍රතිපලය වන්නේ නිවැරදි දහම වෙනුවට දෙමව්පියන් කෙරෙහි විශ්වාසය තබා වැරදි දහමක් අන්දානුකරණය කිරීමකි.

By Fasy Ajward, B.Sc(Sp.Phy)Hons.J.Pura.

Leave a Reply

Your email address will not be published.