අල්ලාහ් ගැන ඔබ දන්නේ කුමක්ද? (What do you know about Allah?)

මුස්ලිම්වරුන්ගේ විශ්වාසය අල්ලාහ් කෙරෙහි ගොඩ නැගී ඇත. එබැවින් ඔහු ගැන නිවැරදිව දැනගැනීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්‍ය වේ. අපට අල්ලාහ් ගැන දැනගත හැකි ප්‍රධාන මාර්ගය වන්නේ අල්-කුරණයයි. එහි අල්ලාහ්ගේ ගුණාංග ගැන විස්තර කොට ඇත. 

අල්-කුරානයට අනුව අල්ලාහ් විශ්වයේ මැවුම්කරුය. එහෙත් ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවේ. ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. කිසිවෙකු විසින් ඔහුව ප්‍රසුත කලේ නැත. ඔහු විසින් කිසිවෙකු ප්‍රසුත කලේද නැත. ඔහු මවන්නාය. රූ සකසන්නාය. ඔහු ඥානාන්විත ය. ඔහු යමක් මැවීමට අදහස් කලේ නම් ඒ සඳහා අණ කරන සැනින් එය සිදුවන්නේය. ඔහු හැර නැමදීමට සුදුසු වෙන කිසිවෙකු නැත. ඔහු අසීමිත කරුනාවන්තයාද අසම දයාවන්තයාද වේ. ඔහු හොඳ කරන අයට මෙන්ම නරක කරන අයට මෙලොවදී කරුණාව පෙන්වන්නේය. එහෙත් මරණයෙන් පසු වැරදි කළ අයට දැඩි දඬුවම් දෙන්නේය. අල්ලාහ් අදෘශ්‍යමාන දේ ගැනද එළිපිට පෙනෙන දේ ගැනද හොඳින් දන්නේය. කිසිවෙකුට ඔහුගෙන් සැගවී සිටිය නොහැකිය. වැරදි කළ අය සමාව ඉල්ලා සිටියේ නම් සමාව දෙන්නේය. ලෝක අවසානයෙන් පසු ඇති විනිශ්චය දිනයේදී අධිපති ඔහුය.

විශ්වයේ ඇති සෑම සජීවී මෙන්ම අජීවී දෙයක්ම අල්ලාහ්ගේ අණට යටත් වන්නේය. එහෙත් මිනිසා සහ ජින්වරුන් ඔහුගේ විශේෂ මැවීම් දෙකකි. ඒ අනුව ඔවුන්ට ස්වයං තීරණ ගැනීමට අවස්ථාව ලබා දී ඇත. මේ නිසා ඔවුන් කරන පින් හෝ පව් අනුව ස්වර්ගය හෝ නිරය ලබා දීමට නියමිතය.

මිනිසාට මෙලොවදී අල්ලාහ්ව දැකිය නොහැකි වුවද මරණයෙන් පසු විශ්වාසවන්තයින්ට පමණක් ඔහුව දැකිය හැකිය. බුද්ධිමතුන්ට අල්ලාහ්ගේ මැවීම් ගැන අධ්‍යයනය කිරීමෙන් ඔහු ගැන ඇති විශ්වාසය වඩාත් හොඳින් තහවුරු කර ගත හැකිය. කෙසේ වෙතත් අල්ලාහ් ගැන නිවැරදිව දැනගැනීමට ඇති ප්‍රධාන මුලාශ්‍රය අල්-කුරානය වේ. එහි අල්ලාහ් ගේ ගුණාංගයන් ඉතා අලංකාරව විස්තර කොට ඇත.

අල්-කුරානය මිනිසාට දෙසීම සඳහා මුහම්මද් නබිතුමා පැමිණියේය. ඔහුට පෙර ඉස්ලාම් දහම දෙසීම සඳහා මිනිසුන් අතරින් බොහෝ නබිවරුන් පත්කර හැර තිබේ. ඔවුන්ගෙන් සමහරුන්ට දහම් පුස්තක ද ඇතැමුන්ට අනපනත් ද ලබා දී තිබේ. නබිවරුන් අතරින් මුසා (Moses) නබිතුමාට තව්රාත් දහම් පුස්තකය ද දාවුද් නබිතුමාට සzබුර් දහම් පුස්තකය ද ජේසු තුමාට ඉන්ජිල් දහම් පුස්තකය ද මුහම්මද් නබි තුමාට අල්කුරානය ද ලබා දී තිබේ. අල්-කුරානය අල්ලාහ්ගේ වදන් වලින්ම පහළ වූ එලිදරව්වකි. එය ලෝකය අවසාන වන තෙක් මිනිසාට දහම් මග පෙන්වීම සඳහා පහළ කොට ඇත. එය අසම සම ග්‍රන්ථයක් වන අතර අදටත් ප්‍රාතිහාරයකි.

මෙලොවදී කිසිවෙකුට අල්ලාහ්ව දැකීමට ශක්තියක් නොමැත. එහෙත් ස්වර්ගවාසින්ට අල්ලාහ්ව දැකීමට හැකි වන පරිදි මවනු ලැබේ. ඒ අනුව සවර්ගවාසින්ට අල්ලාහ්ව දැකගත හැකි වන්නේය. කෙසේ වෙතත් මුසා නබිතුමා සහ මුහම්මද් නබිතුමා යන දෙදෙනා සමග අල්ලාහ් අතරමැදියෙකු නොමැතිව ඍජුවම කථාකොට ඇත. තවද මුහම්මද් නබිතුමා අල්ලහ්ව බැහැ දැකීමට මිහ්රාජ් ගමන සිදු කොට ඇත.

අල්ලාහ්ට පමණක් ආවේනික වූ ලක්ෂණයන් රාශියක් ඇත. ඒවා අල්-කුරානයේ සඳහන් කොට තිබේ. එම ලක්ෂණයන් කුරානයේ ඇති පරිදිම විශ්වාස කළ යුතුය. දැනුම නොමැතිව ඒවාට අර්ථකතන ලබා දීම නිසා කෙනෙක් නොමග යා හැකිය. එබැවින් මුහම්මද් නබිතුමා අල්ලාහ් ගැන ඔහුගේ අනුගාමිකයින්ට කියා දුන් අකාරයටම ඒවා තේරුම් ගැනීම අනිවාර්ය වේ. මේ සඳහා බුද්ධිමත් උලමාවරුන්ගේ සහාය පමණක් ලබා ගැනීම ඉතා වැදගත් වේ.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.