ජිහාද් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (What does the Jihad mean?)

බොහෝ අයට ජිහාද් යන වචනය ඇසු පමණින් මතකයට එන්නේ  යුද්ධයයි. එහෙත් එම අරාබි වදනට ඊට වඩා පුළුල් අර්ථයක් තිබේ. ඒ අනුව දෙමව්පියන්ට සැලකීම, හජ්වන්දනය ඉටු කිරීම, වැරදි කිරීමෙන් වැලකී සිටීම, සිතේ ඇතිවන වැරදි සිතුවිලිවලින් වැලකී සිටීමට උත්සහ කිරීම ජිහාද් ගණයෙහිලා සැලකේ. 

එක් අවස්තවකදී අයිෂා තුමිය, ‘නබිතුමාණෙනි! අපටත් ඔබ සමග යුද්ධ කිරීම සඳහා සහබාගි විය හැකිදැ’යි? විමසා ඇත. එවිට නබිතුමා කාන්තාවන්ගේ හොඳම ජිහාදය අල්ලාහ් විසින් පිළිගනු ලැබූ හජ් වන්දනය ඉටු කිරීම බව පවසා ඇත. ඒ බව දැනගැනීමට ලැබීමෙන් පසු ආයිෂා තුමිය: ‘මින් පසු හජ් වන්දනය අත් නොහැරීමට මා අධිෂ්ඨාන කරගතිමි’යි පැවසුවාය (සහිහ් අල් බුහාරි 3.84).

හජ් වන්දනය ඉටු කිරීම පමණක් නොව නිවසේ සිටින තම මවට උදව් උපකාර කිරීමත් ජිහාද් ලෙස සලකනු ලැබේ. පහත දැක්වෙන නබි වදනින් එය පැහැදිලි වන්නේය.

අබ්දුල්ලා ඉබ්නු උමර් රලි තුමා පවසන වග නම්: එක් සහාබිවරයෙක් නබිතුමාගෙන් ‘මා ජිහාද් හි සහබාගි වෙන්නදැ’යි විමසා තිබේ. එවිට නබිතුමා, ‘ඔබගේ දෙමව්පියන් ජිවතුන් අතර සිටිනවා දැ’යි විමසා ඇත. ඔහු, ‘ඔව්’ යනුවෙන් පැවසූ කළ, ඔවුන්ගේ යහපත වෙනුවෙන් ජිහාද් කරන්නැයි නබිතුමා පිළිතරු දී තිබේ (සහිහ් බුහාරි 8.3).

කෙසේ වෙතත් සතුරන් සමග යුද්ධ කිරීමට අවසර ලැබුනේ අල්කුරානය පහළ වී වසර දහතුනක් පමණ ගතවීමෙන් පසුවය. මෙම අවසරය ලැබීමට බොහෝ හේතු කාරණා තිබේ.

ඉස්ලාම් දහමේ ආරම්භ කාලයේදී මුස්ලිම්වරුන්ට සතුරන්ගේ අනේක විද වද හිංසනයන්ට ගොදුරු වීමට සිදුව ඇත. කුරානය පහළ වීමෙන් පසු වසර දහතුනක්ම මෙම තත්වයට සහාබාවරු මුහුණ දී තිබේ. එක් අවස්තවකදී නබිතුමාව ඝාතනය කිරීම සඳහා සතුරන් විසින් සැලසුම් කොට ඇත. ඒ අනුව නබිතුමාගේ නිවස එක් රැයක් පහන් වන තුරුම සතුරන් විසින් වටලාගෙන සිට තිබේ. එහෙත් දෙවියන්ගේ සැලැස්ම අනුව එය වැළැක්වි ගොස් ඇත.

යුද්ධ කිරීම සඳහා අවසර ලැබීමට පෙර ඉස්ලාම් දහම වැළඳ ගැනීමේ එකම හේතුව නිසා ඇතැම් සහාබාවරුන්ව ගිනි අඟුරු මත නිදා ගැනීමට සලස්වා ඉස්ලාම් දහම අත්හරින ලෙස බල කොට ඇත. තවත් අවස්තවකදී මුස්ලිම්වරුන්ගේ සතුරෙකු වූ උමෙයියාගේ වහලෙකුව සිටි බිලාල් (රලි) තුමාගේ බෙල්ලේ ලණුවක් ගැට ගසා රත්වූ වැලිකතරේ ඇදගෙන යාමට සලස්වා ඇත. ඉන් නොනැවතුණු ඔවුන් ඔහුගේ පපුව මත විශාල ගලක් තබා ඉස්ලාම් දහම අත්හැරීමට බල කොට ඇත. එහෙත් එතුමා ඊට එකඟ නොවූ අතර අල්ලාහ්ගේ ඒකීයත්වය නැවත නැවත උච්චාරණය කොට තිබේ. තවත් අවස්තවකදී නබිතුමාගේ දුව zසෙයිනබ් (රැලි) තුමිය මදීනා නගරයට හිජ්රත් ගමනේ යෙදී සිටියදී හෙල්ලකින් ඇනීමෙන් ඇයගේ කුසට තුවාල සිදු කොට තිබේ. එහි වේදනාවෙන් ගැබ් ගෙන සිටි ඇය දින කිහිපයකින් පසු මිය ගොස් ඇත.

ඉස්ලාම් දහමේ මුල් අවදියේදී සහාබා වරුන් මුහුණ දුන් මෙවැනි දුෂ්කරතා හේතුවෙන් දෙවතාවක්ම තම උපන් ගම හැර යාමට මුස්ලිම්වරුන්ට සිදුව තිබේ. මේ අනුව සහාබාවරුන් එක් අවස්ථාවකදී අබිසිනියාවටද තවත් අවස්ථාවකදී මදීනාවටද රැකවරණය සඳහා හිජ්රත් ගමනේ යෙදී ඇත.

මෙවැනි තත්වයක් සදාකල් ඉවසීම කිසිවෙකු බලාපොරොත්තු වන්නේ නැත. එසේ තිබියදී මදීනා නගරයේදී යුද්ධ කිරීම සඳහා මුලිම්වරුන්ට අවසර ලබා දෙමින් මුල්ම කුර්ආන් වැකිය පහළ වී තිබේ. එම කුර්ආන් වැකියෙන් කියැවෙන්නේ මුස්ලිම්වරුන් අසාධාරණයට ලක්වීම නිසා ඔවුන්ට යුද්ධ කිරීමේ අවසරය පිරිනමන බවයි. අල්-කුරානයේ ප්‍රධාන විවරණයක් වන ඉබ්නු කසීර් ග්‍රන්ථයට අනුව මෙය යුද්ධයට අවසර ලබා දුන් මුල්ම වැකිය වේ.

“කලහයන් නිසා අසාධාරණයට ලක්වුවන්ට (විශ්වාස නොකරන්නන්ට එරෙහිව යුද්ධ කිරීම සඳහා) අනුමැතිය පිරිනමා ඇත; මන්ද යත් ඔවුන් අසාධාරණයට ලක් වුවෝ වෙති; තවද නියත වශයෙන්ම, ඔවුන්ට ජයග්‍රහණය ලබා දීම සඳහා අල්ලාහ්ට හැකියාව ඇත්තේය” (කුරානය 22:39).

මෙම වැකිය අනුව යුද්ධ කිරීමට අවසර ලබා දී ඇත්තේ වෙනත් රටවල් යටත් කර ගැනීමට හෝ බලයෙන් ඉස්ලාම් දහමට හරවා ගැනීමට හෝ නොවේ. එසේ කිරීම ඉස්ලාම් දහමේ මුලික ඉගැන්වීම් වලට පටහැනි වන්නේය. ඒ අනුව ඉසාමිය යුද්ධයකින් බලාපොරොත්තු වන්නේ සතුරා යුද්දය ආරම්භ කලේ නම් පමණක් ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම පමණි. එසේ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සැමට ජිවත්විය හැකි සාමකාමී වාතාවරණයක් ගොඩ නැගීමය.

යුද්ධයක් සිදු වෙමින් තිබියදී ද සතුරා සාමය සඳහා දෑත දිගු කලේ නම් වාහාම යුද්ධය නතර කළ යුතු බව කුරානයේ නියෝගයකි. තවද ඉස්ලාමිය යුද්ධයකදී පතද දැක්වෙන කරුණු අනුගමනය කළ යුතුය.

  • විශ්වාසය කඩ නොකළ යුතුය
  • යුද්ධයේදී ඝාතනය වූ අයගේ මල සිරුරුවලට කිසිම හානියක් නොකළ යුතුය
  • ළමුන්, කාන්තාවන් සහ වයසක උදවිය ඝාතනය නොකළ යුතුය
  • ගස්කෝලන් විනාශ නොකළ යුතු අතර විශේෂයෙන්ම ඵල දරන ගස්වලට හානි නොකළ යුතුය
  • අහාරයට මිසක් සතුරන්ගේ පට්ටි විනාශ නොකළ යුතුය
  • ආශ්‍රමික පිරිස් වලට කිසිම හානියක් නොකළ යුතු අතර ඔවුන්ගේ දහම ඇදහීමට ඉඩ දිය යුතුය

නබිතුමාගේ කාලයේදී සිදුවූ සෑම යුද්ධයක්ම සතුරා සමහ මුහුණට මුහුණලා සිදු වූ ඒවාය. එබැවින් යුද්ධයට සම්බන්ද නොවූ අයට කිසිම හානියක් සිදු කිරීමට අවශ්‍ය වුයේ නැත. තවද යුද්ධයේදී අල්ලාගන්නා ලද යුධ සිරකරුවන්ට මානුෂික අන්දමින් සලකනු ලැබිය. බොහෝ විට ඔවුන්ට වන්දියක් ගෙවීමෙන් නිදහස ලැබීමට අවස්ථාව ලබා දී තිබුනේය.

නවීන යුද්ධයකදී යුද්ධයට සම්බන්ද නොවන අය තෝරා බේරා එය සිදු කළ නොහැකිය. ජපානනයට හෙලන ලද පරමාණුක බෝම්බ නිසා මිලියන සංඛ්‍යාවක් ජිවිත මෙන්ම දේපලද විනාශ විය. එහි බොහෝ අය යුද්ධයට සම්බන්ද නොවූ අය වෙති. ඒවාට වග කිව යුත්තේ එම අවි නිෂ්පාදනය කරන අය නොවේද?

අද මුස්ලිම්වරුන් අතර ත්‍රස්තවාදය ව්‍යාප්ත කොට තිබෙන්නේද බටහිර රටවල් විසිනි. ඔවුන්ගේ අරමුණු ඉෂ්ට වූ පසු එම ත්‍රස්තවාදීන් ආවුද සමග අත්හැර දමා තිබේ. මුස්ලිම්වරුන් අතර ත්‍රස්තවාදී කණ්ඩායම් බිහිවීමට එය ප්‍රධාන හේතුවකි. කෙසේ වෙතත් ඉස්ලාම් දහමටත් ත්‍රස්තවාදයටත් කිසිම සම්බදයක් නොමැත.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.