ඉස්ලාම් දහම තුල අළුතින් ඇදහිලි එකතු කල හැකිද? (Is there room for new rituals in Islam?)

දහමකට අළුතින් කොටස් එකතු කළ හැක්කේ එම දහම අසම්පුර්ණ නම් පමණි. එහෙත් ඉස්ලාම් දහම අල්-කුරානය පහළ වීමත් සමග කිසිම අඩුවක් නොමැතිව සම්පුර්ණ කළ බව නබිතුමා පවසා ඇත. මෙම කරුණ අල්-කුරානයෙහි පහත දැක්වෙන පරිදි සඳහන් කොට ඇත.

“අද දින, මා ඔබලාගේ දහම නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි, මාගේ දායාදයද නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි, තවද මා ඉස්ලාමය නුඹලාට ආගම ලෙස පිලිගනිමි” (කුරානය 5:3).

මින් අදහස් වන්නේ ඉස්ලාම් දහම තුල කිසිම ඇදහිල්ලක් අළුතින් ඇති කොට ඒවා සිදු කිරීමෙන් දෙවියන් ට සමීප විය හැකි යැයි කිසිවෙකුට පැවසිය නොහැකි බවයි. ඒ අනුව නබිතුමා පෙන්වා නුදුන් දෙයක් කිරීමෙන් පසු ඒවාට දෙවියන්ගෙන් කුසල් පිරිනැමෙන බව කිසිවෙකුට සහතික කළ නොහැකිය. මේ අනුව නබිතුමා ජිවතුන් අතර සිටියදී පෙන්වා දෙන ලද ඇදහිලි හැරුණු විට වෙනත් කිසිම දෙයක් දහම ලෙස පිළිගනිම බලවත් වරදකි.

ඇතැමුන්ට ඇදහිල්ල සහ ඇදහිල්ලක් නොවන දේවල් පිළිබඳව නිවැරදි වැටහීමක් නොමැත. මේ නිසා ඔවුන්ට දහම ගැන ප්‍රශ්න පැන නගින්නේය. එබැවින් උදාහරණ කිහිපයක් මගින් මෙය තේරුම් කිරීම සුදුසු යැයි සිතමි.

නැමදීම සඳහා අසාzන් කීම ඉබාදතයක් නොහොත් ඇදහිල්ලකි. එය නබිතුමාගේ කාලයේදී සිදු කලේ උස තැනකට ගොස් මුවින් ප්‍රකාශ කිරීමෙනි. දැන් එය ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගෙන සිදු කරති. එහෙත් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කර ගැනීම අළුත් ඇදහිල්ලක් නොවන්නේ එසේ කිරීම තුලින් දෙවියන්ට වඩාත් සමීප විය හැකි යැයි කිසිවෙකු ප්‍රකාශ නොකරන නිසාය. එසේ තිබියදී යම් කිසි කෙනෙක් සිතනවානම් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කර ගැනීම නිසා මුවින් ප්‍රකාශ කිරීමට වඩා වැඩිපුර පිනක් ලැබෙන බව එවිට එය ඇදහිල්ලක් බවට පත් වන්නේය. ඇයිද යත් දෙවියන් කුලිය දෙන්නේ ඔහු විසින් නියම කළ, නබිතුමා විසින් පෙන්වා දින ලද ඇදහිලි වලට පමණක් වන නිසාය. තවත් උදාහරණයක් බලමු. නබිතුමාගේ කාලයේදී අල්-කුරානය ලියා තිබුනේ වෙන වෙනම කොටස් වශයෙනි. එහෙත් එය අබුබකර් රලි තුමාගේ කාලයේදී එක් ග්‍රන්ථයක් ලෙස සකස් කොට ඇත. එහෙත් එසේ කිරීම නිසා කුරානයේ අධ්‍යාත්මික වටිනාකම වැඩි වන්නේ නැත. එය කොයි ආකාරයට තිබුනත් කුරානය පාරායනය කරන අයට ලැබෙන්නේ එකම කුලියකි. ඒ අනුව කුරානය එකලස් කිරීම දහම තුල අළුත් ඇදහිල්ලක් (බිද’අත්) ක්‍රියාවක් වීමට කිසිම හේතුවක් නොමැත.

එසේ තිබියදී ඇතැම් උදවිය අල්-කුරානයේ නොතිබෙන, නබිතුමාද පෙන්වා නුදුන් දේවල් අළුතින්ම ඇතිකොට ඒවා දහමේ අංගයක් ලෙස ඉටු කරනු දැකිය හැකිය. තවද ඒවා නොකර සිටීම පවක් ලෙස සලකති. එබැවින් එවැනි ක්‍රියාවන් ඉස්ලාම් දහම තුල අළුතින් ඇති කිරීමට කිසිම ඉඩක් නොමැත. උදාහරණයක් ලෙස ෆරල් සලාතය අවසාන වූ පසු නබිතුමා කිසිම දවසක සාමුහික දුආ ප්‍රාර්ථයක් සිදු කොට නැත. එබැවින් නබිතුමා සිදු නොකළ සාමුහික දුආ ප්‍රාර්ථනය නබිතුමාගේ අභාවයෙන් පසු දහම තුලට එකතු කිරීම සඳහා කිසිම කෙනෙකුට බලපත්‍රයක් ලැබෙන්නේ නැත. අද අපට මෙවැනි  බොහෝ අළුත් ඇදහිලි දැකිය හැකිය. ඒවා ඉටු කිරීමට වඩා නබිතුමා පෙන්වා දුන් ඇදහිලි තමන්ට පුළුවන් තරමින් ඉටු කිරීම දෙවියන්ට සමීප වීමට හේතුවක් වන්නේය.

අළුතින් යමක් ඉස්ලාම් දහම තුල ඇතුලත් කිරීම සම්බන්දයෙන් නබිතුමාගේ හදිසයක් පහත දැක්වේ.

“මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසති. “අපගේ කාරණාව සමග එකඟ නොවූ දෙය නියතවශයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබේ” (අල්-බුහාරි සහ මුස්ලිම්).

මේ අනුව නබිතුමා දෙසු දහම සමග එකඟ නොවන කිසිම දෙයක් දහම ලෙස සැලකීමෙන් වැලකී සිටීමට වග බලා ගත යුතුය.

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Japura.

Ex: Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.