මිනිසාට ආගමක් අවශ්‍ය ඇයි? (Why People Need a Religion?)

අපට නිවැරදි දහමක් අවශ්‍ය වන්නේ ජිවිතය නිවැරදි මගට යොමු කර ගැනීම සඳහාය. එමගින් මෙලොව ජිවිතය පමණක් නොව මරණයෙන් පසු ජීවිතය ද ජය ගැනීමට හැකි වන්නේ ය. දහමක් වෙනුවට මිනිසා විසින්ම නීති ඇතිකිරීමෙන් ඒවා කිසිවක් සාර්ථක කර ගත නොහැකිය. මිනිසාට හරි හෝ වැරදි දේවල් කුමක්දැයි තීරණය කිරීමේ නිර්ණායකයන් ලබා දී නොමැත. එබැවින් කෙනෙකුට හරි දේ තවත් කෙනෙකුට වැරදි විය හැකිය. උදාහරණයක් ලෙස ජනතාව විසින් සොරකම් කිරීම වරදක් ලෙස නම් කලත් සොරාට එය වරදක් නොවේ. එබැවින් සොරා විසින් එය රැකියාවක් කර ගෙන ඇත. එසේම සමලිංගික විවාහය ඇතැම් අය අනුමත කරද්දී තවත් පිරිසක් ඊට විරුද්ධ වෙති. ගණිකාවන් ගැනද කීමට ඇත්තේ ඒ ටිකමය. ගබ්සාව නීතියෙන් සහ දහමින් තහනම් කලත් එය සිදු කරන අය ඕනෑතරම් සිටිති. දහමක් නොමැති තැන සදාචාරයක් ද නැත. එම නිසා තම මෑණියන් සමග හෝ තම සහෝදරියන් සමග හෝ තම දියණියන් සමග හෝ සතුන් සමග හෝ ලිංගිකව හැසිරෙන අය සිටිති. එහෙත් දහමකින් ඒවාට ඉඩ ලැබෙන්නේ නැත.

නිවැරදි දහමකින් සිදුවන ප්‍රධානම දේ තම මැවුම්කරු ගැන දැනගැනීමට හැකි වීමයි. එමගින් කෙනෙකුට තම ජිවිතයේ නිවැරදි මාවත දැනගත හැකි වනු ඇත. එසේ නොවන කෙනෙකුගේ උදාහරණය හරියට ගමනාන්තය නොදැන බසයකට ගොඩ වුනු මගියෙකුට සමානය.

ඇතැම් අය නොදකින දෙවිකෙනෙක් විශ්වාස කිරීමට කැමැත්තක් දක්වන්නේ නැතත් ජිවිතයේ බොහෝ දේවල් විශ්වාසය මත පිළිගනිති. උදාහරණයක් වශයෙන් අපගේ දෙමව්පියන් කව්රුන්ද යන්නත් විශ්වාසය මත පිළිගන්නේය. උප්පැන්න සහතිකයකින් හෝ DNA පරීක්ෂණයකින් එය 100% තහවුරු කල නොහැකිය. මේ අනුව මැවුම්කරු විසින් පහළ කොට ඇති දහම නිවැරදිව අධ්‍යයනය කොට ඔහු ගැන විශ්වාස කිරීමද වරදක් නොවේ.

සැම ළදරුවෙක්ම උපදින්නේ දෙවියන් ගැන විශ්වාසය ඇතුව බව මුහම්මද් නබිතුමා පවසා ඇත. ඒ අනුව ඇතැම් අයට දෙවියන් පිළිබඳ විශ්වාසය හදවත තුලින්ම ඇති වන්නේය. ඇතැම් අයට ඔවුන්ගේ හදවතේ ඇති  විශ්වාසයට වාචිකව ඉදිරිපත් කල හැකිය. ඇතැමුන්ට එසේ කල නොහැකිය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාටම සහජයෙන්ම දෙවියන් පිලිබඳ විශ්වාසයක් ඇත. ඒ නැතත් මිනිසාට ලැබී ඇති බුද්ධියෙන් දෙවියන් සිටින බවට සාක්ෂි අප අවට ඇති දේවල් ගැන හැදෑරීමෙන් ලබා ගත හැකිය.

එසේ තිබියදී ඇතැම් අයට කොපමණ හේතු කාරණා පෙන්නුවත් දෙවියන්ව පිළිගන්නේ නැත. ඔවුන් පවසන්නේ දෙවියන්ව විශ්වාස කිරීමට නම් දෙවියන්ව දැකිය යුතු බවයි. එහෙත් දෙවියන්ව බැලීමට සුදුසු තත්වයේ අස් අපට මෙලොවදී ලබා දී නොමැති බව ඔවුන් තේරුම් ගත යුතුය. කෙසේ වෙතත් දෙවියන්ව දැකීමෙන් පසු ඔහුව විශ්වාස කරන්නේ නම් මිනිසාටත් තිරිසනාටත් වෙනසක් නැත. ඇයිද යත් මිනිසාට බුද්ධියක් ලබා දී තිබෙන අතර තිරිසනාට එවැන්නක් නොමැත.

බුද්ධිය තිබියදී දෙයක් තේරුම් නොගෙන සිටින කෙනාගේ උදාහරණය කෙසේද යත් ඇස්පියාගෙන සුර්යයා නැතැයි කීම වැනිය. ඇත්තෙන්ම ඔවුන් ඇස් ඇර බලන තෙක් ඔවුන්ට සුර්යයා දැක ගත නොහැකිය. මෙහි වරද තිබෙන්නේ ඇස් ඇර නොබලිමය. ඔවුන්ගේ එම වැරැද්ද නිසා දෙවියන් ද ඔවුන්ගේ හදවතට තිර දමා ඇත. එබැවින් ඔවුන්ට සත්‍යය තේරුම් කර දීම පහසු කාර්‍යයක් නොවේ. කෙසේ වෙතත් මේ ලෝකයේ ජිවත්වන සියළුදෙනාම යම් යම් විශ්වාසයන් ඇතුව ජිවත් වෙති. එය කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැකිය. කෙනෙක් බත් කටක් කන්නෙත් ඉන් ශක්තිය ලැබේවි යන විශ්වාසය නිසාය. එසේ නම් දෙවියන් කෙරෙහි එම නිගමනයට නො පැමිණෙන්නේ අයි?

දෙවි කෙනෙක් සිටිය යුතු බවට බොහෝ කාරනා ඇත. ඒවායින් කිහිපයක් පහත දැක්වේ.

  • කිසිම දෙයක් ඉබේ සිදුවිය නොහැකිය. ඒ සඳහා යම් බලයක් අවශ්‍යය. එය සිදු කලේ කව්ද?
  • විශ්වයේ ඇති සෑම දෙයක්ම යම් නීතියකට අනුව ක්‍රියා කරන්නේය. එසේ නම් එම නීති ඇති කලේ කව්ද?
  • විශ්වයේ සෑම තැනම එකම නීතියක් සහ විශ්ව නියතයන් පවතින්නේය. එසේ නම් ඒවා සිදු කල යුත්තේ එක් නිර්මාණ කරුවෙකු විසින් නොවේද?

දෙවියන් පිලිබඳ විශ්වාසයකින් තොරව පහත දැක්වෙන කරුණු විස්තර කල නොහැකිය.

  • විශ්වය බිහි වන්නේ කෙසේද?
  • ප්‍රථම ජීවියා ඇතිවුයේ කෙසේද?
  • ජෛව විවිධත්වය විස්තර කරන්නේ කෙසේද?

ඉහත දැක්වෙන කරුණු වලට විද්‍යාඥයින් බොහෝ වාදයන් ඉදිරිපත් කොට තිබුනත් ඒවා කිසිවක් විද්‍යානුකූලව ඔප්පු කල ඒවා නොවේ.

මිනිසාට මරණයට පසු සිදුවන දේවල් දැනගත හැක්කේ ආගමකින් පමණි. වෙන කිසිම ක්‍රමයකින් එය දැනගත නොහැකිය. තවද මෙලොවදී පින් දහම් කරන අයට මෙන්ම වැරදි කරන අයට සාදාරනය ඉටු කල හැක්කේ ද ස්වර්ගය සහ නිරය තිබුනොත් පමණි. ඒ අනුව මිනිසාට නිවැරදි දහමක් අවශ්‍ය වේ. එය සොයා දැනගැනීම මිනිසාට පැවරෙන ප්‍රධාන වගකීමකි.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.pura,

Leave a Reply

Your email address will not be published.