විශ්වයට අධිපති එක් දෙවිකෙනෙකුට වඩා සිටිය හැකිද? (Can the Lord of the universe be more than one God?)

ලොව ඇති සෑම ආගමක්ම දෙවියන් පිලිබඳ විශ්වාසයේ පිහිටා ඇත. එහෙත් ඔවුන්ගේ විශ්වාසයන් දෙස බලන කල්හි එම දෙවිවරුන් සියළුදෙනාම එකිනෙකට වෙනස්ය. එම දෙවිවරුන්ගේ ලක්ෂණය ද බෙහෙවින් එක් ආගමකින් වෙනත් ආගමක දෙවියන්ට වඩා වෙනස්ය. එසේ තිබියදී ලෝකයේ ඇති බොහෝ ආගම් බහු දේව විශ්වාසයේ පිහිටා ඇත. එහෙත් ඉස්ලාම් ආගම පමණක් ඒක දේව විශ්වාසයේ ස්ථිරවම එල්බගෙන ඇත. මෙය කොතරම් දුරට විශ්වයේ පැවැත්ම සමග එකඟ වෙනවාදැයි සොයා බැලීම මෙම ලිපියේ අරමුණයි.

විශ්වය ගැන අධ්‍යයනය කිරීමේදී පෙනී යන ඉතා වැදගත් කරුණක් වන්නේ එය එක් දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. ඊට ප්‍රධාන හේතුව විශ්වයේ සෑම තැනම ඒකාකාරී බවක් පැවතීමත් විශ්වය පුරා එකම භෞතික නීති ක්‍රියාත්මක වීමත් ය. එවැනි දෙයක් සිදු විය හැක්කේ මුළු විශ්වයම එක් දෙවිකෙනෙකු විසින් නිර්මාණය කළහොත් පමණි. නැතහොත් එවැනි දෙයක් සිදු වීමට කිසිම හේතුවක් නොමැත. එපමනක් නොව විශ්වය පුරා යම් යම් නියතයන් දැකිය හැකිය. උදාහරණයක් හැටියට ආලෝකයේ වේගය විශ්වයේ ඕනෑම තැනකදී නියත අගයක් ගන්නේය. එසේම විශ්වය පුරා ඇති පරමාණුවල සහ ඒවායේ උප කොටස්වල එකම ලක්ෂණයක් දැකිය හැකිය. ඒවා ක්‍රියා කරන්නේද එකම නීතියකට අනුවය. මෙවැනි දෙයක් සිදු විය හැක්කේ ඒවා සියල්ලම එකම දෙවිකෙනෙකු විසින් මවා තිබුනේ නම් පමණි. තවද ලෝකයේ ඇති ශාක සහ සත්වයින් දෙස බලන කල්හි ඒවා එක් දෙවිකෙනෙකුගේ මැවීම් බව පෙනී යන්නේය. ලෝකයේ කොතනකත් ඒවායේ සමාන ගතිගුණ සහ ලක්ෂණ දැකිය හැකිය. මෙම සියළු කාරණා වලින් පෙනී යන්නේ එකම දෙවි කෙනෙකු විසින් මුළු මහත් විශ්වයම මවා එකම නීතියකට යටත් කර පාලනය කරන බවයි.

ඉස්ලාම් දහම අනුව විශ්වයට අධිපති එක් දෙවිකෙනෙකු පමණක් ඇත. එම විශ්වාසය විශ්වයේ පැවැත්ම සමග ඉතා මැනවින් එකඟ වන්නේය. එපමණක් නොව අල්-කුරානයට අනුව යුදෙව්, zසබුර්, කිතුනු යන දහම් සියල්ලම පහළ කොට ඇත්තේ අල්ලාහ් දෙවියන් විසිනි. ඒ අනුව එම සෑම දහමකින්ම විශ්වාස කරන්නේ එකම දෙවි කෙනෙකුය. එහෙත් එම ආගමිකයින්ගෙන් වැඩි පිරිසක් කුරානයේ ඇති එම ඉගැන්වීම පිළිගන්නේ නැත. එම ආගම්වල ඇතැම් නිකායන් ඉස්ලාම් දහම පවසන ඒක දේව විශ්වාසය පිළිගනිති.

මිට අමතරව නබිවරුන් සිය දහසකට වඩා මෙලොවට පැමිණ ඇත. ඔවුන් සියළුදෙනාම දේශනා කොට ඇත්තේද අල්ලාහ් දෙවියන් පහළ කළ ඉස්ලාම් දහමයි. එහෙත් ඔවුන් දේශනා කළ නීති කාලයෙන් කාලයට දෙවියන්ගේ කැමැත්ත අනුව වෙනස් කොට ඇත.

ලොව පවතින බොහෝ ආගම් ඒවා දේශනා කළ නබිවරුන්ගේ අභාවයෙන් පසු මිනිසුන් විසින් වෙනස් කොට ඇත. ඉන් පසු වෙනස්කල දහම සත්‍ය දහම ලෙස පිළිගනිමින් සත්‍ය දහමින් බැහැරවී ඇත. ඇතැම් ආගම්වල කොටස් නැතිවී ගොස් ඇත. එබැවින් එම ආගම් දැන් සම්පුර්ණ වශයෙන් දැකිය නොහැකිය. අද පවතින බොහෝ ආගම් ඒවා පහළ වූ භාවලින්ද නැත. මෙවැනි හේතුන් නිසා ඒවා ගැන සම්පුර්ණ විශ්වාසයක් තැබිය නොහැකිය.

හින්දු දහමේ Amrutur V. Srinivasan පෙන්වා දෙන පරිදි ප්‍රාථමික මට්ටමින් සිටින්නේ එක් දෙවිකෙනෙක් පමණි. ඔහු හැර වෙන දෙවිකෙනෙක් නොමැත – ඔහු පරිපුර්ණ, රුපයක් නොමැති, එකම යතාර්තය වන බ්‍රහ්මන් ය. තවද ඔහු අති ශ්‍රේෂ්ට වන්නාවූ විශ්ව ආත්මයයි. බ්‍රහ්මන් විශ්වය සහ එහි ඇති සෑම දෙයක්ම වේ. බ්‍රහ්මන්ට රුපයක් හෝ සීමාවන් නොමැත; එය යථාර්ථය සහ සත්‍යය වේ. (By Amrutur V. Srinivasan Part of Hinduism For Dummies Cheat Sheet). මේ අනුවද පෙනී යන්නේ හින්දු දහමේද ඒක දේව විශ්වාසයක් පවතින බවයි. එහෙත් එම දෙවියන් ඉස්ලාම් දහමේ පවසන දෙවියන්ට වඩා වෙනස් ය.

යුදෙව් සහ කිතුනු දහම්වල මෙන්ම හින්දු දහමේ ද ත්‍රිත්වයක් ගැන සඳහන් වන්නේය. ඒවා කුමන ආකාරයකින් එම දහම් තුලට ඇතුලත් වුයේ දැයි සොයා බැලීම ඒ ඒ ආගම් අදහන අයගේ වගකීමකි.

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.