ෂරියා නීතිය ඉතා කෲරයි නොවේ ද?

“ෂරිආ” පිළිවෙත පිළිබඳ හැඳින්වීමක්!

ඉස්ලාමයට එරෙහිව විවිධ මාධ්‍යයන් මගින් මතු කොට ඇති විවේචන දෙස බලන විට එක් පොදු තත්ත්වයක් ඉතා පැහැදිලිව ම දක්නට ඇත. එනම් විවේචන ඉදිරිපත් කරන්නන් විවේචනයට අදාළ විෂය පිළිබඳව පැහැදිලි හා පුළුල් දැනුමකින් තොරව බොහෝ විට සමාජ මාධ්‍යයන් මගින් ප්‍රචාරය කරනු ලබන වෛරී ප්‍රචාර හේතුවෙන් තම සිතෙහි මතු වී ඇති ඉස්ලාම් පිළිකුල හා ඉස්ලාම් භීතිකාව පමණක් පදනම් කර ගෙන කෙන්ද කන්ද කර පෙන්වීමේ වෑයමක නිරත වී ඇති බවය. බොහෝ අවස්ථාවන්හි දී කෙන්දක් තරම්වත් හේතු නොමැතිව විවේචන ඉදිරිපත් කර තිබීම පිළිබඳව දැඩි කනස්සල්ලට හා සිත් වේදනාවට පත් වන්නෙමු.

ඉස්ලාමිකයින් වන අපි අල් කුර්ආනයේ හා දෙවිඳුන් විසින් මනුෂ්‍ය වර්ගයාට යහමඟ පෙන්වීම උදෙසා පත් කළ අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන්ගේ මඟ පෙන්වීම අනුගමනය කරන්නන් වශයෙන් කිසිදු දහමකට අපහාස නොකරන්නට බැඳී සිටින්නෙමු. සමහර අවස්ථාවන්හි දී නිවැරදි මුලාශ්‍රයන් පදනම් කර ගෙන අර්ථදායක විවේචන ඉදිරිපත් කළද පදනම්  විරහිත අන්දමින් දහම් කෙරෙහි අපහාසාත්මක ලෙස කරුණු ඉදිරිපත් කිරීමක් මුස්ලිම් වරයෙකුගෙන් කිසිසේත්ම සිදු නොවිය යුතුම කරුණකි. මන‍්ද ශුද්ධවු අල් කුර්ආනය තුල මේ සම්බන්ධව පැහැදිලිවම මෙසේ පවසනවා:

“අල්ලාහ් හැර ඔවුන් අයැදින දෑට (හෝ අයට) නුඹලා අපහාස නොකරවූ” (අල් කුර්ආනය 6: 108)

ශුද්ධවු අල් කුර්ආනය පෙන්වා දෙන මෙම පැහැදිලි උපදේශය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට අපි බැඳී සිටින්නෙමු. එම නිසා නොදැනුවත්කමින් ඉස්ලාමයට එරෙහිව මතු කරන චෝදනා පිළිබඳව අපට අනුගමනය කරන්නට විවෘතව ඇත්තේ සත්‍යය අසත්‍යය කුමක් ද යන්න පැහැදිළි කර දීම පමණි. ඒ අනුව ‘ෂරිආ’ පිළිබඳ ව මතු වී අති වැරදි අවබෝධයන් පැහැදිලිකර දීමේ උත්සාහයක යෙදෙන්නට මෙමගින් කටයුතු කර ඇත්තෙමු.

“ෂරිආ” යන වචනයෙන් අදහස් වන්නේ කුමක්ද?

මෙහි පදගතාර්ථය නම් ‘දිය ඇලක් වෙත යොමු වී ඇති ජල මාර්ගයක්, දිය බොන ස්ථානයක්, මාවතක් හෝ නිවැරදි මඟ’ යන්නය. මෙම අර්ථයන් ගෙන් අපේක්ෂිත තැනකට හෝ නිශ්චිත ඉලක්කයක් කරා යොමු වූ මාවතක් හෝ මඟක් යන අර්ථය ගෙන දීමට ෂරිආ යන පදය යොදා ගනු ලැබිණ. අල් කුර්ආනයේ ෂරිආ යන පදය හා එහි විවිධ අනු ප්‍රබේධ  පිළිබඳව ස්ථාන පහක සඳහන් වී ඇති නමුත් එහි විස්තීර්ණ භාවිතය පසු කාලීනව සිදු වුවක් බව විද්වතුන් පවසනවා. ඉස්ලාමය අරාබියේ පැතිරුණ ආරම්භක කාල වකවානුවේදී මෙම “ෂරීආ” යන වචනය වෙනුවට ‘ඉස්ලාම්’ ‘දීන්’ යන පදයන් උපයෝගී කරගෙන ඇති බව පැහැදිලිවම දකින්නට ලැබෙන කාරණයක්.

නමුත් පසුකාලීනව ෂරීආ යන වචනයේ භාවිතාව වැඩි වශයෙන් සිදුවු බවක් දකින්නට ලැබෙනවා. මුස්ලිම් වරුන්ගේ ජීවිත හසුරුවන නීති මාලාවන්, නියාමනයන්, ඉගැන්වීම් හා අගයන් හුවා දැක්වීමට සංකල්පාත්මකව ෂරිආ යන පදය උපයෝගී කර ගනු ලැබේ. මෙය මුස්ලිම් වරයෙකුගේ පරිපුර්ණ ජීවන සැලැස්ම අඩංගු වූ ඉතා පළල් සංකල්පයකි. නැමදුම, සදාචාරය, පුද්ගල ආකල්ප හා කල් ක්‍රියාව මෙන්ම දේශපාලන, ආර්ථික, සමාජීය, සමාජ සත්කාර ක්‍ෂේත්‍රයන් ද අපරාධ හා සිවිල් අංශයන්හිද තනි පුද්ගල අයිතිවාසිකම් හා සමාජීය අයිතිවාසිකම්ද මෙම ෂරීආ හි දැක්වෙන පද්ධතියට අන්තර්ගත වෙයි.

එහෙයින් ෂරිආ යනු දෙවිඳුන් ව විශ්වාස කර පිළිගන්නා ජනයාට මෙලොව හා මරණින් මතුලොව ජය අත් පත් කර ගැනීම උදෙසා අනුගමනය කිරීමට දෙවිඳුන් විසින් සකස් කර දී ඇති මාවතක් ලෙස විග්‍රහ කිරීම වඩාත් සුදුසු වෙයි.

ෂරිආ හි අපේක්ෂිත අරමුණු මොනවාද?

ෂරිආ හි මුලික අරමුණ වන්නේ ප්‍රතිපත්තියක් වශයෙන්ම මිනිසුන් මුහුණපාන දුෂ්කරතාවන් ඉවත් කොට ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු වලට යහපත් විසඳුම් ලබා දීමය. පොදු වශයෙන් ෂරිආ පිළිවෙත මගින් පුද්ගලයින්ට හා සමාජයට දැහැමි වන්නට දිරි ගන්වන අතර දෙවිඳුන්ට සමීපතාවක් ගොඩ නගා ගන්නට මග පෙන්වයි. සමාජයන් ආරක්ෂිතව සහයෝගීතාවකින් යුක්තව ඒකීයත්වය පිළිබඳ හැඟීමකින් හා විශ්වාසයකින් මෙන්ම සැවොම එකිනෙකාට උපකාර කර ගනිමින් යහපත්කම දිරිගන්වමින් හා දෙවිඳුන් හට අප්‍රිය වූ අයහපත්කමින් එකිනෙකා වළකමින් කටයුතු කිරීම මිනිස් සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය කරුණකි. ෂරියා පිළිවෙතේ අරමුණු පහක් සඳහන් කොට ඇත.

  1. දහම සුරක්ෂිත කිරීම ෂරිආ හි අරමුණු අතරින් වැදගත් ස්ථානයක් ගනියි. ඉස්ලාමයට අනුව මිනිස් ජීවිතයේ හරය හා සාරය ලෙස ගැනෙන්නේ දහමය. මිනිසාගේ මෙලොව හා මතුලොව ජය රැඳී ඇත්තේ දහමේ නිවැරදි මග පෙන්වීම් අනුගමනය කිරීම මතය.
  2. ජීවිත ආරක්ෂණය ෂරිආ හි තවත් වැදගත් අරමුණක් වෙයි. කිසිදු ජීවියෙකුට නිකරුනේ හිරිහැර කිරීමට හෝ අන් අයගේ ජීවිත හානි කිරීමට හෝ අයිතියක් කිසිවෙකුට නොමැත. අන් අයගේ ජීවිත අනුල්ලංඝනීය බව ඉස්ලාමය උගන්වන අතර අහිංසක ජීවිත වලට හානි සිදු කිරීම මහා පාපයක් ලෙස ද සලකයි.
  3. බුද්ධිය ආරක්ෂා කිරීමද ෂරිආ හි තවත් වැදගත් අරමුණක් වෙයි. මිනිසෙකුගේ මනස සෑම විටම සන්සුන් හා තැන්පත් කමකින් යුක්ත විය යුතුය. එමනිසා මත්පැන් මත්කුඩු හා සියලුම මත් ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වෙයි. බුද්ධිය හා මනස ව්‍යාකුලත්වයට පත් කරන්නා වූ මත්ද්‍රව්‍ය හා අනෙකුත් දෑ පුද්ගලයාට හා සමාජයට අතිශය හානිකරය.
  4. පුද්ගල/පොදු දේපළ හා ධනය ආරක්ෂා කිරීම ඉතා වැදගත් තැනක් ෂරිආ පිළිවෙතේ අන්තර්ගතය. පුද්ගල ආරක්ෂණය පිළිබඳ හැඟීම පරිපුර්ණ වීමට නම් තම ශ්‍රමයේ ඵලය ලෙස සැලකෙන දේපළ හා ධනය සුරක්ෂිත විය යුතුය. සොරකමින් හා බලහත්කාරකමින් තම වස්තුව රැක ගැනීමේ සහතිකයක් තිබීම පුද්ගල ආරක්ෂණයේ වැදගත් ස්ථානයක් ගනී.
  5. මිනිස් පරපුර පිරිසිදුව හා නිවැරදිව පවත්වා ගෙන යෑම ෂරිආ පිළිවෙතේ ඉතා වැදගත් අංගයක් වෙයි. විවාහයට පුර්ව හා විවාහයෙන් පරිබාහිර සියලුම ලිංගික සම්බන්ධතාවන් තහනම් වන අතර ඒවා දඬුවම් ලැබීමට හේතු වන කරුණු ලෙස සැලකේ. විවාහ සංස්ථාවෙන් බාහිරව සිදුකරන මෛථුනය, අනාචාරය, ලිංගික අපචාරය, ගණිකා වෘත්තිය ආදී සියලුම ආකාරයේ ලිංගික වැරදි මෙන්ම එම වැරදි කරා යොමු කරවන සියලු සාධක පිළිබඳව ෂරිආ පිළිවෙත දැඩි විරුද්ධ ස්ථාවරයක සිටී.

ෂරිආ හි සියලු කරුණු ඉහත ක්‍ෂේත්‍ර පහ ඇතුළත අඩංගු වෙයි.

යහපත් සමාජයක් ගොඩ නැගීම හා සුරක්ෂිත කිරීම පිලිබඳ ඇති  ප්‍රධාන කරුණු කුමක්ද?

  1. ආධ්‍යාත්මික හා සාරධර්ම සපිරි සමාජයක් ගොඩ නැගීම අභියෝගාත්මක මෙන්ම අති දුෂ්කර කාර්යභාරයකි.
  2. එවන් යහපත් සමාජයක් පිරිහීමෙන් හා අපවිත්‍රනයෙන් ආරාක්ෂා කිරීම එය නිර්මාණය කිරීමට වඩා අති භාරදුර හා දුෂ්කර ක්‍රියාවකි.
  3. මේ හේතුව නිසාම සමාජයේ යහ පැවැත්ම සහතික කිරීමට හා ආරක්ෂා කිරීමට නීතිරීති මෙන්ම නිවැරදි මඟපෙන්වීමක් අත්‍යවශ්‍ය වෙයි.
  4. මෙම ක්‍රියාවලියේදී පුද්ගලයා ආරක්ෂා කිරීම මෙන්ම සමස්ත සමාජය ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛතාවක් දියයුතු වෙයි.
  5. සමාජ විරෝධී ක්‍රියාවකට මුල් වන පුද්ගලයෙකු පරිත්‍යාග (කැප) කොට සමස්ත ධාර්මික සමාජයම ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ඉස්ලාමයේ පිළිවෙතයි.
  6. ඉස්ලාමීය නීතිරීති සකස් වී ඇත්තේ සමස්ත සමාජයේ සුරක්ෂිතභාවයට ප්‍රමුඛතාවය ලබා දී ඉන්පසුව පුද්ගලයා ආරක්ෂා කිරීමේ කටයුත්තට යොමු වීමේ පිළිවෙත මතය.

ෂරිආ පිළිවෙත කෙරෙහි පැවරෙන කාර්යභාරය කුමක්ද?

මනුෂ්‍ය ජීවිතයේ පහත සඳහන් කරුණු ස්ථාපනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඉස්ලාමීය ඉගැන්වීම් සකස්වී ඇත.

  1. ජීවිතය පිළිබඳ අනුල්ලන්ඝනීයත්වය
  2. මානව නිදහස
  3. මිනිසත්සකම පිළිබඳ සැලකිල්ල හා උනන්දුව
  4. මානව ගෞරවය
  5. සදාචාරාත්මක හැසිරීම
  6. යුක්තිය හා සාධාරණය
  7. සාමය
  8. පාරිසරික සුරක්ෂිතභාවය

ශුද්ධවු අල් කුර්ආනය මෙසේ පවසනවා:

“(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙන්) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (ශුද්ධවු අල් කුර්ආනය 16:90)

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොලොඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බියබැතිමත් භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (ශුද්ධවු අල් කුර්ආනය 5:8)

ෂරියා පිළිවෙත සම්බන්ධව බහුතරයක් මුස්ලිම් නොවන විවේචකයන්ගේ විවේචන මතු වී ඇත්තේ හුදුද් යනුවෙන් හඳුන්වනු ලබන නිශ්චිත දඬුවම් පිළිබඳ ව ය. ඒ පිළිබඳ විමසුමක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

‘හුදුද්’ යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

‘හුදුද්’ යනු ‘හද්’ හි බහු වචනයයි. මෙම වචන දෙකම අරාබි භාෂාවට අයත් වන අතර මෙහි අර්ථය ‘සීමාව’ හෝ ‘මායිම’ යන්නය. මෙම වචනයට ඉස්ලාමිය කෝණයෙන් අර්ථවත් වන්නේ දෙවිඳුන් විසින් නියම කොට ඇති සීමාවන් උල්ලංඝනය කළ විට පුද්ගලයෙකුට දරන්නට සිදුවන ආදීනවයන් (දඬුවම්)ය. මෙම දඬුවම් වර්ගීකරණයට අනුව අධිකරණයකදී චුදිතයා නිශ්චිත වරදකට වැරදි කරුවෙකු බවට ඔප්පු වුවහොත්, විනිශ්චයකරුට හෝ පාලකයාට හෝ වෙන අන් අයෙකුට හෝ චුදිතයාට සමාව දීමේ අයිතියක් නොමැත. මෙහිදී නිශ්චිත දඬුවම් අනිවාර්යයෙන් දිය යුතුම වෙයි. හුදුද් දඬුවම් දිය යුතු වැරදි හයක් සඳහන් වේ.

  1. මත්පැන් පානය, 2. සොරකම, 3. සන්නද්ධ මංපැහැරීම, 4. ලිංගික අපචාරය, 5. ද්වේශ සහගත ලෙස දුරාචාරී චෝදනා නැගීම සහ 6. දහම අතහැර යෑම ආදිය මෙම වර්ගීකරණයට ඇතුලත් වේ.

මෙහිදී දහම අතහැර යෑම පිළිබඳ කරුණ සම්බන්ධව විද්වතුන් අතර මතවාදී වෙනස්කම් ඇත. නමුත් එම මතවාදයන් අතුරින් වඩාත් නිවැරදි මතය ලෙස සැලකෙන්නේ දහම අතහැර ගොස් ඉස්ලාමීය පාලනයකට එරෙහිව සටනට පිවිසීම මෙම දඬුවම ලැබීමට හේතුවන බවය. මේ පිළිබඳ අවශ්‍ය නම් ඓතිහාසික සාක්ෂි ඉදිරිපත් කළ හැක.

ෂරිආ පිළිවෙත ක්‍රියාත්මක කිරීම යනු හුදුද් (නිශ්චිත දඬුවම්) ක්‍රියාත්මක කිරීමද?

ෂරිආ පිළිවෙත හුදුද් (නිශ්චිත දඬුවම්) පිළිබඳව පමණක් වූ සංකල්පයක් නොවේ. මුස්ලිම් වරයෙකුගේ ජීවිතයේ සියළුම අවස්ථාවන් ෂරිආ පිළිවෙතට අනුකුල විය යුතුය. හුදුද් හෙවත් නිශ්චිත දඬුවම් ක්‍රියාත්මක කිරීම යනු ෂරිආ හි කොටසක් ක්‍රියාත්මක කිරීම පමණි. දඬුවම් පිළිබඳව ඇති කොටස අතිමහත් වූ ෂරිආ පිළිවෙතේ ඉතාමත්ම කුඩා කොටසක් පමණි. හුදුද් යනු යම් වැරදි වලට දෙවිඳුන් විසින් සෘජුව නියම කොට ඇති දඬුවම් වන අතර මෙයට අමතරව ‘කිසාස්‌’ (සමප්‍රතිචාර දැක්වීමේ නීතිය) හා ‘තා’zසීර්’ (අධිකරණයේ අභිමතය හා විචාරශීලිත්වය මත පදනම් වූ නීතිය) ද ඉස්ලාමීය නීති පද්ධතියේ කොටසක් වන්නේය. මෙම පිළිවෙතට මුහම්මද් ධර්ම දුතයාණන්ගේ අලංකාර පුර්වාදර්ශයේ හා අල් කුර්ආනයේ ඉගැන්වීම් තුළින් මග පෙන්වීම් ලැබී ඇත.

කිසාස්‌ හා තා’zසීර් යනු මොනවාද?

ජීවිත ආරක්ෂණය සෑම සංස්කෘතියකටම පොදු වුවාක්‌ මෙන්ම කෙනෙකුව නිකරුණේ මරා දැමීම බරපතළ වරදක් ලෙස ද සැලකේ. ඒ පිළිබඳව ඇති ඉස්ලාමීය මතයන් හා ක්‍රියාකාරකම් අන් සංස්කෘතීන්ට වඩා වෙනස් වන්නේ කෙලෙස ද යන්න පළමුව විමසා බලමු. හුදුද්, කිසාස් හා තා’zසීර් පිළිබඳව සවිස්තරාත්මක කරුණු පැහැදිළි කිරීමක් ඉදිරියේදී තවත් පොත් පිංචකින් (ඉන්ෂා අල්ලාහ්) කිරීමට අපේක්ෂා කරණ හෙයින් මුලික හැඳින්වීමක් පමණක් මෙහිදී කරන්නට බලාපොරොත්තු වන්නෙමු.

ජීවිතයේ අවසානය වූ මරණය සිදුවන හෝ සිදුවීමට නියම කරනු ලබන ආකාරය පිළිබඳව ඉස්ලාමය දරණ මතය අනුව එහි ජීවිතාරක්ෂණය සම්බන්ධයෙන් ඇති කරුණු සාකච්ඡාවට බඳුන් කළ හැක. මෙම කරුණු කියවන අයෙකුට නිවැරදි ඉස්ලාමීය ස්ථාවරයන් අවබෝධ කර ගැනීමට නම් එයටම සුවිශේෂී වූ ලක්ෂණයන් කිහිපයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතන්නෙමු.

එවැනි ලක්‍ෂණයන්ගෙන් කිහිපයක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

  1. මිනිසෙකුට තාපස, ශ්‍රමණ, අනගාරික, හෝ බ්‍රහ්මචාරී වැනි සමාජයෙන් බැහැර වී කටයුතු කළහැකි පිළිවෙතක් ඉස්ලාමය තුල නොමැත.
  2. ඉස්ලාමය තුල පුජක පක්ෂයක් නොමැත. ඇත්තෙන්ම මව්ලවි, ආලිම්, යන අරාබි වචනයන්ගෙන් අරුත් ගන්වන්නේ ඉස්ලාමීය විද්වතුන් වන අතර ඔවුන් සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන ගිහි පිරිසක් පමණි. සියලුම නැමදුම් විශ්වයේ හා එහි අඩංගු සියලු දෑහි නිර්මාතෘ, අධිපති, පාලක, හා පෝෂක වූ අල්ලාහ්ට ම පමණක් සිදු කළ යුතුය.
  3. ඉස්ලාමය විවාහය දිරි ගන්වයි. විවාහය තුලින් සමාජයේ වගකීම් සහිත පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට දිරිගන්වයි.
  4. ඉස්ලාමයේ සියලු ඉගැන්වීම් දේව සවිඤාණක යහ ලෞකික ජීවිතයක් තුළින් මතු ජීවිතයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීම කෙරෙහි යොමු වී ඇත.

ඉහතින් සඳහන් කර ඇති මුලික වශයෙන් ඉස්ලාමයට පමණක් සුවිශේෂී වූ අදහස් පදනම් කර ගනිමින් ජීවිතාරක්ෂණය පිළිබඳව වූ කරුණු සාකච්ඡා කරමු. මේ පිළිබඳව ඇති අල් කුර්ආන් වැකියක් පළමුව විමසා බලමු:

“යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5: 32)

ඉහත අල් කුර්ආන් වැකියෙන් මිනිසෙකු නිකරුණේ ඝාතනය කිරීම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කිරීමකටද, එලෙසම යමෙක් මිනිස් ජීවිතයක්  ආරක්ෂා කර ගනීද එය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ආරක්ෂා කර ගැනීමකටද සමාන කිරීමෙන් ජීවිත ආරක්ෂණය සහතික කිරීම ඉස්ලාමයේ සම්මත සංකල්පය බව ඉතා නිරවුල් ව පැහැදිලි වෙයි. මෙම සම්මත සංකල්පයට පටහැනි වන හෙතුන්ද මෙම අල් කුර්ආන් වැකියෙහි අන්තර් ගත කොට ඇති හෙයින් අපගේ සාකච්ඡාවට බඳුන් විය යුත්තේ එම කරුණු බවයි අපගේ අදහස වන්නේ. ඉස්ලාමීය ඉගැන්වීම් යහපත් ගිහි ජීවිතයක් කරා යොමු වී ඇති හෙයින් ඉස්ලාමීය රාජ්‍යයක නීතිය හා සාමය පවත්වා ගෙන යෑමේ මඟ පෙන්වීමද එයට ඇතුලත්ව ඇත. නීතිය හා සාමය පවත්වා ගෙන යෑමද ජීවිත ආරක්ෂණය පදනම් කරගෙන සකස් වුවකි.

මිනිස් ඝාතන

“අවබෝධ කරගන්නෙනි, ‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතියෙ) හි ජීවිතයක් (සුරැකෙනු) ඇත; නුඹලා (ඝාතනයෙන් දුරස්ථවී) බිය බැතිමත් වනු පිණිස” (අල් කුර්ආනය 2:179)

‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනුව ‘ජීවිතයක් ඇතැයි’ යනුවෙන් දෙවිඳුන් අවධාරණය කරනුයේ චේතනාන්විත මිනී මැරුමකට ඝාතකයාට මරණ දඬුවම ලබා දීම හා එය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීම මගින් සෙසු අයවද එවැනි නොමනා ක්‍රියාවකට පෙලඹීමට ඇති නැඹුරුව වසා දැමීම සඳහා වූ අවවාදාත්මක ක්‍රියාවක් වන හෙයිනි. මෙමගින් සමාජයේ ඝාතන සඳහා වූ නැඹුරුව හා එවැනි මානසිකත්වය ඉවත් වී ගොස් ජීවිත සුරක්ෂිත කිරීමේ තත්ත්වයක් නියත වශයෙන්ම උදා වනු ඇත.

ඉහත දඬුවම නියම කර ඇත්තේ සචේතනීය මිනීමැරුමක් සඳහාය. මේ සම්බන්ධයෙන්ද ලොව කිසිම නීති ක්‍රමයක නොමැති මානුෂීය හා ජීවිතාරක්ෂණය සහතික කරන වගන්ති ඉස්ලාමීය නීතියෙහි අඩංගු වී ඇත.

“විශ්වාස කළවුනි, ඝාතනය කරනු ලැබුවන්ගේ විෂයයෙහි කිසාස්‌ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනිවාර්යය කරනු ලැබ ඇත; නිදහස් පුද්ගලයාට නිදහස් පුද්ගලයාද, වහලෙකුට වහලාද, ස්ත්‍රියකට ස්ත්‍රිය ද (මරණ දණ්ඩනයේ නීතීන්ට යටත්) වේ; එනමුත් තම (ඝාතනයට ලක් වූ තැනැත්තාගේ) සහෝදරයා විසින් කවරෙකු(ඝාතකයා) ට යම් කිසි සමාවක් දෙනු ලබන්නේද ඔහු (ඝාතනයට ලක් වූ තැනැත්තාගේ සහෝදරයා එවිට වන්දි මුදල සම්බන්ධයෙන්) සාධාරණත්වය අනුගමනය කළ යුතුය; තවද ඔහු(ඝාතනයට ලක් වූ තැනැත්තාගේ සහෝදරයා) වෙත යහපත් අයුරින් (වන්දිය) ඉටු කළ යුතුය; එය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සහනයකි, තවද කරුණාවකි; ඉන් පසුව කවරෙකු හෝ සීමාව ඉක්මවා යන්නේ නම් ඔහුට වේදනීය දඬුවමක් ඇත.” (අල් කුර්ආනය 2:178)

ඉහත අල් කුර්ආන් වැකියට අර්ථ දක්වන ඉස්ලාමීය විද්වතුන්ගේ මතය සංක්‍ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.

  1. මිනිස් ඝාතනයකදී අගතියට පත් පාර්ශවයට සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය යටතේ ඝාතකයාට මරණ දඬුවම දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත.
  2. දෙවන විකල්පය වශයෙන් ‘දියා’ යනුවෙන් හැඳින්වෙන වන්දි මුදලක් ලබා ගෙන ඝාතකයාට සමාව දීමේ අයිතියද අගතියට පත් පාර්ශවයටම ලබා දී ඇත. මෙය පොදුවේ සිදුවෙන රටේ පාලකයා විසින් හෝ ඉහළ උසාවියකින් දෙනු ලබන සමාව හා සම නොවේ.
  3. වන්දි මුදලක් ලබා නොගෙනද සමාව දීමේ අයිතිය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබා දී තිබේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා පවුලේ ආර්ථික වගකීම දරන පුද්ගලයා වූ විට ඇති වන තත්ත්වය අති භයානකය. මෙවන් අවස්ථාවකදී අගතියට පත් පාර්ශවය තම ඥාතියා අහිමි කරගත්තා පමණක් නොව තම යැපීම් මාර්ගයද අහිමි කර ගත් තත්ත්වයකට පත් වෙයි. මෙය සැබැවින්ම ආර්ථිකව පැත්තෙන් කබලෙන් ලිපට වැටෙන තත්ත්වයකි. ඉස්ලාමීය නීතිය තුළ අධිකරණය මරණ දඬුවම නියම කළ ද එහි අවසාන නිගමනය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබා දී තිබේ. මෙහි අඩංගු සර්ව සාධාරණීයත්වය අපට ප්‍රතික්ෂේප කළ නොහැක්කකි.

ඇතැම් මුලාශ්‍රයන් උපුටා දක්වමින් සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කිරීමේදී බලනොපවත්වන බව විවිධ පාර්ශවයන් අදහස් ඉදිරිපත් කරති. මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය අදහස් දැක්වීමකි.

සවුදි අරාබියාවේ, රියාද් නුවර විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය නීතිය පිළිබඳව මහාචාර්ය ධුරය දැරූ මොහමඩ් එස්. එල්අවා මහතා විසින් තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ පර්යේෂණාත්මක නිබන්ධයේ (Punishment in Islamic Law by Professor Mohammed S. El-Awa) 130 වන පිටුවේ අදහස් දැක්වීම සඳහා එක් ඡේදයක් ‘මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කළ විට සම ප්‍රතිචාර නීතිය මුස්ලිම් වරයෙකුට එරෙහිව බල පවත්වන අයුරු’ (QisasAgainst a Muslim for killing a Non-Muslim) යන මාතෘකාව යටතේ වෙන් කොට ඇත. මෙම නීතිය සර්ව සාධාරණීය එකක් ලෙස අල් කුර්ආනය පැහැදිලි කොට තිබියදී කෙලෙස නම් එය මුස්ලිම් නොවන්නෙකු විෂයයෙහි බලරහිත කරවන්නේ ද කියා ඔහු ප්‍රශ්න කරයි.

ඉහත අල් කුර්ආන් වැකි එනම් 2:178 හා 5:32 පොදුවේ මනුෂ්‍ය වර්ගයාට බල පවත්වන ආකාරයේ නියෝගයන්ය. එහෙයින් සමහර කුර්ආන් වැකි හා නබි වදන් විශ්වාසවන්තයෙකුව ප්‍රතික්ෂේප කරන්නෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයේ සලකා අදහස් ඉදිරිපත් කොට තිබුණද, නීතිය ඉදිරියේ සැවොම සමාන ලෙස සැලකීම ඉස්ලාමීය නීතියේ සම්මතයයි. සත්‍යය, සාක්ෂි මත පදනම් වී විනිශ්චය කළ යුතු බව අල් බුහාරී නම්වු හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 3 නබි වදන් අංක 638 මගින් නබිතුමාණන් උපදෙස් දී ඇත. තවත් වරෙක විනිශ්චයකරු කෝප වූ තත්ත්වයේ සිටින අවස්ථාවේ තීන්දු නොදිය යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 9 නබි වදන් අංක 272 මගින් නබි තුමාණන් තවදුරටත් උපදෙස් දී ඇත.

ඝාතනයක් වැරදීමකින් එනම් අචේතනීය ඝාතනයක් ලෙස අධිකරණයට ඔප්පු වූ විට ඒ පිළිබඳව මරණ දඬුවම නියම කළ නොහැකිය. ඒ වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට වන්දි මුදල් ලබා දීම කළ යුතුව ඇත. සචේතනීය හා අචේතනීය ඝාතනයන්හි ඝාතකයා පශ්චාත්තාප වී දෙවිඳුන්ගෙන් සමාව ඇයද සිටිය යුතු බව ද ඉස්ලාමය උගන්වයි.

තාzසීර්

තාzසීර් යන වචනය අzසාර් යන ක්‍රියා පදය මුල් කර ගෙන බිහිවුවකි. අzසාර් යන පදයේ අර්ථය වැළක්වීම, ගෞරව කිරීම, සහ ප්‍රතිසංස්කරණය හෝ පරිශෝධනය කිරීම වේ. කෙසේ නමුත් ඉස්ලාමීය නීති ක්‍රමයේ තාzසීර් යන වචනයෙන් අදහස් වන්නේ අපරාධකරුවෙකු ව තවදුරටත් අපරාධයෙහි නියැළීමෙන් වළක්වා ගැනීම හා ඔහුව ප්‍රතිශෝධනය කර ගැනීම අරමුණු කර ගත් දඬුවම් පිළිවෙතකි. තාzසීර් දඬුවම් පිළිවෙත හුදුද් හා කිසාස්‌ පිළිවෙතට අඩංගු වන කරුණු පිළිබඳව විනිශ්චය සඳහා උපයෝගී කර ගනු නොලැබේ. හුදුද් පිළිවෙත පිළිබඳව සවිස්තරාත්මවක තවත් පොත් පිංචකින් කරුණු සාකච්ඡා කිරීමට අදහස් කරන හෙයින් එම පිළිවෙතට අදාළව විනිශ්චය කළ හැකි චෝදනා පිළිබඳව එම පොතෙන් කරුණු ඉදිරිපත් කිරීමට අදහස් කරන්නෙමු.

නීති පැනවීම අවශ්‍යය, එමෙන්ම සුදුසුය. එම නීති පනවන්නේ කුමක් සඳහා ද? සමාජයේ යහපත් පැවැත්ම උදෙසාය. ජනයාගේ පහසුව හා සුරක්ෂිතභාවය සඳහාය. වැරදි කරන්නවුන් හික්මවා ගැනීම සඳහාය.  ඔවුන් යහපත් මිනිසුන් බවට පත් කර ගැනීම සඳහාය. සමාජයේ යහපත් වාතාවරණයක් ඇති කර ගනු සඳහාය. නීති පැනවීම තුළින් අපේක්ෂා කරනුයේ දඬුවමට බියෙන් වරදින් වැළකී සිටිනවා මෙන්ම, සෑම කෙනෙක්ම නීතිය යුක්තිය හා දඬුවම පිළිබඳව අවබෝධයක් ඇති කර ගෙන වැරැද්දට පෙලඹීමේ මානසිකත්වය ඉවත් කොට යහපත්කම් කිරීමේ මානසිකත්වයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව සඳහාය. මෙවන් සමාජයක් සදාචාර සම්පන්න පුද්ගලයන්ගෙන් සමන්චිත උදාර සමාජයක් වශයෙන් හැඳින්විය හැක.

හුදුද් (නිශ්චිත දඬුවම්) නොදී වඩාත් උචිත වන්නේ චුදිතයාව ප්‍රතිශෝධනය කර ගැනීමද?

වර්තමාන ලෝකයේ ඉස්ලාමීය දඬුවම් පිළිවෙතට විරුද්ධව හඬ නගන්නන්ගෙන් බහුතරයකගේ මතය වී ඇත්තේ එය අමානුෂික පිළිවෙතක් වන බවට නගන චෝදනාවයි. මෙයට ඉහත පැහැදිලි කළ ආකාරයට කිසාස්‌ සහ තාzසීර් පිළිවෙත්හි ලොව අන් කිසිම නීති පද්ධතියක නොමැති මානුෂීය හා සාධාරණීය බවක් දක්නට ඇති බව ඔබට පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

ඉස්ලාම් විරෝධීන්ගේ ප්‍රධාන විරුද්ධතාව මතු වී ඇත්තේ හුදුද් (නිශ්චිත දඬුවම්) පිළිවෙතට ය. අප මෙම පොතෙහි ආරම්භයේ සඳහන් කළාක් මෙන් ඉස්ලාමයට එරෙහි බොහෝ චෝදනා මතු වී ඇත්තේ අනවබෝධය පදනම් කර ගෙන බව ඉතාමත්ම පැහැදිලිය. ඉස්ලාමීය සියලු දඬුවම් සකස් වී ඇත්තේ ඉතාමත්ම විද්‍යානුකුල පදනමක් මත බව කරුණු විචාරා දැන ගැනීමෙන් පසු නිශ්චිතවම පැහැදිලි වනු ඇත.

නුතන වෛද්‍ය විද්‍යාව සකස් වී ඇත්තේ රෝග වළක්වා ගැනීම පිළිබඳව දැඩි අවධානයකින් යුක්තවය. වඩාත් උචිත වන්නේත් එයම බව ඕනෑම අයෙකුට තර්කයෙන් තොරව පිළිගැනීමට හැකි සත්‍යයකි. රෝග නිවාරණය හෙවත් ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක වන්නේ රෝගය වැළඳීමෙන් පසුවය. මෙයින් ඔප්පු වන ප්‍රධානතම සත්‍යය වන්නේ රෝග වළක්වා ගැනීම නුතන වෛද්‍ය විද්‍යාවේ ප්‍රධානතම සංකල්පය බවය.

එලෙසම ඉස්ලාමයේ මුලික අවධානය යොමු වී ඇත්තේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාවම සදාචාර හා සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් ආරක්ෂා කර ගැනීමටය. මෙම පොතේ ආරම්භයේදීම ෂරිආ පිළිවෙතේ අරමුණු ඉදිරිපත් කිරීමේදී කරුණු පහක සුරක්ෂිතභාවය පිළිබඳව කරුණු ඉදිරිපත් කළෙමු. එනම්, දහම, ජීවිතය, බුද්ධිය, ධනය හා පරපුර සුරක්ෂිත කිරීම ෂරිආ පිළිවෙතේ මුලික අරමුණු වෙයි. මෙම අරමුණු විග්‍රහ කරන ඉස්ලාමය මෙම කරුණු පහ සුරක්ෂිත කිරීම සඳහා සැමට පිළිගත හැකි, සැමට අනුගමනය කළ හැකි හා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරයි.

“කවුරුන් තමන්ව (තම චෛතසිකය) පාරිශුද්ධ කර ගත්තේද ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය. කවුරුන් එය අපිරිසිදු කර ගත්තේද ඔහු නියත වශයෙන්ම අලාභ කර ගත්තේය” (අල් කුර්ආන් 91:9-10)

“තම තෘෂ්ණාව තමන්ගේ දෙවිඳුන් වශයෙන් පත් කර ගත්තන්ව ඔබ දැක ඇතිද? ඔබ ඔහුට ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නෙහිද? ඔවුන්ගෙන් බහුතරය සවන් දෙන්නන් හෝ සිතන්නන් වශයෙන් ඉන්නා බව ඔබ සිතන්නෙහිද?  ඔවුන් තිරිසනුන් මිස අන් කිසිවක් නැත. සැබවින්ම ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමඟ ගියවුන් වශයෙන් සිටින්නෝය.” (අල් කුර්ආන් 25:43-44)

“කවුරුන් දෙවිඳුන් අබියස පෙනී සිටීම ගැන බිය වී ඉතාමත් පහත් ආසාවන්ගෙන් ඈත් වී තමන්ව වළක්වා ගන්නේද ඔහු ළඟා කර ගන්නා ස්ථානය නියත වශයෙන්ම ස්වර්ගයයි.” (අල් කුර්ආන් 79: 40-41)

ගල්ගසා මරණයට පත් කිරීම හා අත කැපීම ඉතා කෲර දඬුවම් නොවේ ද?

ගල්ගසා මරණයට පත් කිරීම හා අත කැපීම ගැන ඇසු විගස තම චෛතසිකයේ ඇති වන්නේ කුමණ ආකාරයේ හැඟීම් ද යන්න කරුණාකර මොහොතකට සිතා බලන්න. මෙම දඬුවම් කනවැකුණු විගස ඇතිවන්නේ එම දඬුවමට හේතුවන වැරදි සිදු කිරීම පිළිබඳ බියක් නොවේ ද? මෙම දඬුවම් මෙසේ තිබියදී එම චෝදනා ඔප්පු කිරීම සඳහා ඉස්ලාමය ඉදිරිපත් කොට ඇති කොන්දේසි ඉතා දුෂ්කර ඒවාය.

විවාහක ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ලිංගික අපචාරයේ යෙදුනහොත් ගල්ගසා මරණයට පත් කිරීමේ නීතිය ක්‍රියාත්මක කළ හැක. විවාහකයින් අතර සිදුවන ලිංගික අපචාරයෙන් පවුල් සංස්ථාව බිඳ වැටෙන අතර එයින් ඇතිවන සමාජ බලපෑම අතිශය භයානකය. සමාජයක් සැකසී ඇත්තේ පවුල් ඒකක එකතුවෙනි. පවුල් ඒකකය බිඳ වැටෙන විට මුළු සමාජයම පිරිහීමට පත්වීම නොවැලක්විය හැක්කකි. එහෙයින් යහපත් සමාජ පැවැත්මක් සඳහා පවුල් ඒකකය ආරක්ෂා කිරීම වැදගත් වෙයි. මෙම දඬුවම් අධිකරණයක ඔප්පු කිරීම සඳහා ඇති කොන්දේසි විමසා බලමු.

ලිංගික අපචාරයක් ඔප්පු කිරීම සඳහා කොන්දේසි දෙකක් ඉස්ලාමය ඉදිරිපත් කරයි.

  1. ලිංගික ක්‍රියාව සිදුකිරීම දෑසින් දුටු සාක්ෂි සතරක් අවශ්‍යවෙයි. එනම් පිරිමියාගේ ශිෂ්ණය ස්ත්‍රියගේ යෝනියට ඇතුලත් කිරීම සෘජුව දුටු සාක්ෂි සතරක් මේ සඳහා අත්‍යාවශ්‍ය වෙයි. ලොව කිසිවෙකු තම ලිංගික අපචාර කටයුතු මෙලෙස සතරදෙනෙකුට සෘජුව පෙනෙන ලෙස සිදුකරයි කියා සිතා බැලිය හැකි ද? මෙහිදී දඬුවම අති කෲර ලෙස පෙනුනද, මෙම චෝදනාව ඔප්පු කිරීමට දී ඇති පළමු කොන්දේසිය ලෙහෙසියෙන් අධිකරණයක් ඉදිරියේ ඔප්පු කළ හැක්කක් නොවේ. මේ හේතුව නිසාම ඉස්ලාමීය ඉතිහාසය තුල සෘජුව දෑසින් දුටු සාක්ෂි මත චෝදනා ඔප්පු කොට කිසිවෙකුව ගල්ගසා මරණයට පත්කොට නොමැති බව අවධාරණයෙන් පවසන්නෙමු. එසේ නම් එවැනි නීතියක් තිබෙන්නේ මන්ද? මෙමගින් සමාජයක් එවැනි අශිෂ්ඨ තත්වයකට පත්වීමේ මග එනම් ප්‍රසිද්ධියේ ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම වලක්වා ඇත. නිදසුනක් ලෙස සතුන් ප්‍රසිද්ධියේ තම වර්ගයා සමග ලිංගිකව හැසිරෙති. නමුත් මානව ශිෂ්ඨත්වයට එය පටහැනිය. කවදා හෝ මානව ශිෂ්ඨත්වය එවන් තත්වයකට පිරිහීම මෙම නීතිය මගින් වලක්වා ඇත. එමෙන්ම සාක්ෂි සතරක් ඉල්ලීම තුල කිසියම් කෙනෙකුට අභූත චෝදනා එල්ලකොට වරදකරු කරවීමේ වෑයමද වලක්වා ඇත. මෙම චෝදනාව ඔප්පු කළ හැකි දෙවැනි කොන්දේසිය විමසා බලමු.
  2. මෙම චෝදනාව ඔප්පු කිරීමේ දෙවැනි මඟ වන්නේ අධිකරණයක් ඉදිරියේ කිසිදු බලපෑමකින් තොරව වරදට මැදිහත්වුවන් කරන්නා වූ ස්වයං පාපොච්චාරණයන්ය. ඉස්ලාමීය නීතිය තුළ ආරම්භයේ කළ පාපොච්චාරණය ඉල්ලා අස්කරගැනීමට ද අවකාශය ලබා දී ඇත. ඉස්ලාමීය ඉතිහාසයේ මෙම දඬුවම දී ඇත්තේ තමන් කළ වරද පිළිබඳ පශ්චාත්තාප වී දඬුවම් ලබා ගැනීමෙන් තමාව පිරිසිදු කරගැනීමේ අපේක්ෂාවෙන් තමන් කළ පාපොච්චාරණය වෙනස් නොකොට එම ස්ථාවරයේම සිටි අයට පමණි.

මෙයට එක් නිදසුනක් බුහාරි සහ මුස්ලිම් ග්‍රන්ථවල සඳහන් නබිවදනකින් දක්වන්නම්:

නබිතුමන්ගේ කාලයේ එක්තරා අනුගාමිකයෙක් තමන් අනාචාරකමක් සිදුකොට පසුතැවිල්ලට පත්ව සිය මිතුරෙකුගෙන් අසනවා තමන් මෙවැනි අනාචාරකමක් කළා. එයට දඬුවම් ලබාගෙන පිරිසිදු වන්නේ කෙසේද? යනුවෙන්. එහිදී ඔහුගේ උපදෙස වුයේ නබිතුමාණන් වෙත යන ලෙසයි. ඉදින් මේ තැනැත්තා නබිතුමාණන් වෙත ගොස් තමන් කළ වරද ප්‍රකාශ කළා. මෙහිදී නබිතුමාණන් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධව මුලින් සතුටක් පෙන්වුයේ නැහැ. නබිතුමාණන් ඔහුට මුලින් පැවසුවේ ඔබ ඇයව සිඹින්නට ඇති! නැහැ මම වරද කළා යැයි ඔහු පැවසුවා. ඉන්පසුව නබිතුමා ඔබ ඇයව ස්පර්ශ කරන්නට ඇති! නැහැ වරද කළා යැයි ඔහු පැවසුවා. එවිට නබිතුමාණන් නිදසුන් දෙකක් සහිතව සිද්ධිය ප්‍රශ්න කරනවා. ඔබ ඉඳිකටුවට නුලක් දමන්නාසේ කළාද? ඔව්. ඔබ ලිඳකට බාල්දියක් ඇතුළු කරන්නාසේ කළාද? ඔව් යැයි ඔහු පිළිගන්නවා. නබිතුමාණන් ඔහුගේ වරදට දඬුවම නියම කරන්නේ ඉන් අනතුරුවයි.

මෙහිදී නබිතුමාණන් දඬුවම නියම කරන්නේ වරද කළ තැනැත්තාගේ නිරන්තර පෙරැත්තය නිසා බවට ඔබට දැන් වැටහෙනවා ඇති. මෙහිදී නබිතුමාණන්ට සමාව දිය හැකි නේ? යැයි ඔබට පැනයක් නැගෙන්නට පුළුවන්. කිසියම් පුද්ගලයෙකු වරද කර ඔප්පු වු විට යුක්තියම ඉල්ලා සිටි විට නබිතුමාණන්ට වුවද මෙයට සමාව දිය නොහැකි බව මෙමගින් පිළිඹිබු කෙරෙනවා.

දඬුවම කෲර වූවද ඉහත කොන්දේසි දෙස අවධානය යොමු කිරීමේ දී චෝදනා ඔප්පු කිරීමේ දුෂ්කරතාව පැහැදිළි වනු ඇත. තවත් නිදසුනක් මෙසේය:

සොරකම සඳහා අත කැපීම ඉස්ලාමීය නීතියේ අනුමත දඬුවමකි. නමුත් සියලුම ආකාරයේ සොරකම් සඳහා මෙම දඬුවම් ලබා දිය නොහැක. සොරකමට ලක් වූ වස්තුව අන් අයට පහසුවෙන් ළඟාවීමට නොහැකි අයුරින් සුරක්ෂිත ස්ථානයක තබා තිබුණු එකක් විය යුතුය. එමෙන්ම ඉතා සුළු සොරකම් සඳහා මෙම අත කැපීමේ දඬුවම ලබාදිය නොහැක. නිදසුනක් ලෙස රටේ දුර්භික්ෂයක් පවතින කාල වකවානුවක දී ආහාර සොරා ගැනීමට පවා මිනිසුන් පෙලඹීම සාමාන්‍ය තත්ත්වයකි. එවන් අවස්ථාවකදී මෙම නීතිය ක්‍රියාත්මක නොවේ. එමෙන්ම අදාල ඉස්ලාමීය පරිපාලනය විසින් සොරකමට භාජනය කරන වස්තුවේ අවම අගයක් නිර්ණය කර තිබිය යුතුය. අදාල දඬුවම දිය හැකි වන්නේ මෙම කොන්දේසි සියල්ල සම්පුර්ණ ව තිබුනොත් පමණි.

දේපළ හා ධනය ආරක්ෂා කිරීම ඉතා වැදගත් තැනක් ෂරිආ පිළිවෙතේ අන්තර්ගතය. පුද්ගල ආරක්ෂණය පිළිබඳ හැඟීම පරිපුර්ණ වීමට නම් තම ශ්‍රමයේ ඵලය ලෙස සැලකෙන දේපළ හා ධනය සුරක්ෂිත විය යුතුය. සොරකමින් හා බලහත්කාරකමින් තම වස්තුව රැක ගැනීමේ සහතිකයක් තිබීම පුද්ගල ආරක්ෂණයේ වැදගත් ස්ථානයක් ගනී.

මරණාසන්න තත්ත්වයේ පසුවන තම මවගේ ප්‍රතිකාර සඳහා ගෙවීමට ගෙනයන මුදල් අතරමග දී යමෙකු සොරකම් කරගත්තේ නම් ඔබ පත්වන්නේ කුමන අසරණභාවයකට ද යන්න කරුණාකර මොහොතකට සිතා බලන්න.

මෙම දඬුවම් පිළිවෙතින් අපේක්ෂා කරන්නේ දඬුවමේ කෲරත්වය මත මිනිසාව වැරදි මගට යොමු වීමෙන් වළකා ගැනීමය.

දඬුවම් සම්ප්‍රදායක් අවශ්‍යමද?

‘දඬුවම’ සෑම අධිකරණ ක්‍රියාවලියකම අත්‍යවශ්‍ය කොටසක් බවට පත් ව ඇත. යහපත් ක්‍රියාකාරකම් වෙනුවෙන් යහපත් ආනිසංසද අයහපත්කම් වෙනුවෙන් අයහපත් ආනිශංසද ලබා දීම මෙම ක්‍රියාවලියේ කොටසක් ය. දඬුවම් සංකල්පය විවිධ ක්‍ෂේත්‍රයන්හි විවේචනයට හා මතභේදයට ලක් වූ මාතෘකාවකි. කෙසේ නමුත් ඒ දෙස බැලිය යුතු වන්නේ ‘දඬුවම’ යන පටු සීමාව තුළ පමණක් නොරැඳී ‘සමාජ යහපත’ යන විශාල වූ ක්‍ෂේත්‍රය දෙසම අවධානය යොමු කරමිනි. ඉස්ලාමීය කෝණයෙන් ‘නීතිය’ පමණක් සමාජ සදාචාරය ස්ථාපිත කරන ප්‍රධාන හෝ එකම ආයතනය ලෙස නොසැලකේ. නීතිය මගින් සිදු වන්නේ සදාචාරය ස්ථාපිත කිරීමට ආධාරකයක් ලෙස කටයුතු කිරීම පමණි.

මිනිසා විසින් පිළිපැදිය යුතු අන්‍යෝන්‍ය අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව දෙවිඳුන් විසින් පැහැදිලි ඉගැන්වීම් අපහට ලබා දී තිබේ. මනුෂ්‍ය සමාජය සාමය හා සහජීවනය පදනම් කර ගෙන ජීවත්වීම පිණිස සීමාවන් හා මායිම් ද දෙවිඳුන් විසින් සකස් කොට දී තිබේ. මිනිසා මෙම සීමාවන් තුළ තම ජීවිතය සකස් කර ගැනීමට කටයුතු නොකරන අවස්ථාවන්හිදී ඔහු තමන්ට මෙන්ම මුළුමහත් සමාජ පද්ධතියටම විශාල හානියක් සිදු කරයි.

මෙවන් අවස්ථාවන් හි චුදිත පුද්ගලයා සම්බන්ධව පළි ගැනීමේ චේතනාවකින් තොරව සමාජයේ යහපත් පැවැත්ම අරමුණු කර ගෙන ඔහුව මෙන්ම මෙවන් වැරදි ක්‍රියාකාරකම් වලට නැඹුරු වීමක් ඇති අන් අයව එවන් කටයුතු වලින් වළක්වා ගැනීමේ හා අධෛර්යය කිරීමේ අරමුණින් දෙවිඳුන් නියම කළ දඬුවම් ක්‍රියාත්මක කිරීම ඉස්ලාමීය පිළිවෙතයි.

By: එම්. අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.