ස්වර්ගයට යතුර – සලාතය (PRAYER – Key to paradise)

නැමදීම නොහොත් සලාතය ඉස්ලාමයේ ප්‍රධාන කුළුණු පහෙන් එකකි. එය නිසි පරිදි ඉටු කිරීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යවේ. සලාතය නිසියාකාරව ඉටු කිරීමෙන් ශරීරයට මෙන්ම මනසට ශක්තියක් ලැබෙන්නේය. බැටරියක් භාවිතා කරන විට විසර්ජනය වන අකාරයටම මිනිසා එදිනෙදා කටයුතුවල නිරතව සිටින විට දෙවියන් සමග ඇති මතකය හීන වන්නේය. ඒ අනුව සලාතය මගින් අධ්‍යාත්මික ශක්තිය නැවත පුනරාරෝපනය කර ගත හැකිය. 

කුසගින්නට ආහාර මෙන්ම මනස ශක්තිමත් කර ගැනීම සඳහා මුස්ලිම්වරුන් සලාතය ඉටු කල යුතුය. සලාතය ඉටු කිරීම නිසා අල්ලාහ්ට කිසිම දෙයක් වැඩි වන්නේ නැත. ඇයිද යත් අල්ලාහ් සියළු දෙයින් අංග සම්පුර්ණ ය. එහෙත් මිනිසාට අල්ලාහ්ගේ උදව් උපකාර අවශ්‍යවේ. තවද අල්ලාහ් සියළු පැසසුම්වලට හිමි කරු වන්නේය. එබැවින් මිනිසා අල්ලාහ්ව ප්‍රසංසා කිරීමෙන් අල්ලාහ්ගේ ආශීර්වාදය ඔහු වෙත වැඩි වැඩියෙන් ලබාගැනීමට හේතුවක් වන්නේය.

විශ්වයේ ඇති සියළුම දේවල් අල්ලාහ්ගේ මැවීම් වන්නේය. ඒවා යැපෙන්නේ ද අල්ලාහ්ගේ උදව්වෙනි. ඒ අනුව සලාතය ඉටු කිරීමෙන් ප්‍රයෝජනය ලැබෙන්නේ මිනිසාට මිස අල්ලාහ්ට නොවේ.

සලාතය ස්වර්ගයේ යතුර බව නබිතුමා පවසා ඇත. එබැවින් සලාතය ඉටුකිරිම ස්වර්ගය ලැබීමට හේතුවකි. සලාතය ඉටු නොකරන තැනැත්තා අල්ලාහ් තම සමිඳුන් බව පිළිගෙන නොමැත. නැතහොත් ඔහුගේ අණ පිළිපැදීමට උදාසීන බවක් පෙන්වා ඇත. එහි පාඩුව මිනිසාටමය.

මිනිසාට අල්ලාහ් ලබා දී ඇති ආනිසංස අප්‍රමාණය. ඒවා දෙස බලන කළ දිනකට පස්වතාවක් සලාතය ඉටු කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එහෙත් අල්ලාහ්ගේ කරුණා මහිමයෙන් අපට දිනපතා පස්වතාවක් පමණක් සලාතය ඉටු කිරීමට නියම කොට ඇත. සලාතය නිසි පරිදි ඉටු කරන්නාට අල්ලාහ්ගේ ආශීර්වාදය වැඩි වැඩියෙන් ලැබෙනු ඇත. ඒ අනුව සලාතය නිසි අයුරින් ඉටු කරන්නාගේ ජිවිතයේ සෞභාග්‍ය උදා වන්නේය.

අල්ලාහ් නියම කොට ඇති අනිවාර්ය සලාතයට අමතරව වෛකල්පික සලාතයන් බොහොමයක් ඇත. ඒ අනුව අනිවාර්ය කොට ඇති පාස්වෙලා සලාතයට කලින්ද ඉන් පසුවද රකාත් 10ක් තිබේ. ඊට අමතරව මධ්‍යම රාත්‍රියෙන් පසුව ඇති තහජ්ජුත් සලාතයද ඉතා වැදගත් එකකි. එය අවම වශයෙන් රකාත් එකක්ද උපරිම වශයෙන් රකාත් 11ක් ද වේ. තහජ්ජුත් සලාතය ශරීර සෞඛ්‍යයට ඉතාමත් හිතකරය. නබිතුමා කිසිදාක මෙම සලාතයන් ඉටු නොකර සිටියේ නැත. එබැවින් එය නබිතුමාගේ ප්‍රධාන සුන්නාවක් වන්නේය.

සලාතය පුර්ණ වීමට එහි ඉරියව් නිසියාකාරව ඉටු කල යුතුය. ඒවා නිසි පරිදි ඉටු නොකළ සහාබි වරයෙකුට නැවත සලාතය ඉටු කරන මෙන් නබිතුමා පවසා ඇත. එසේම සලාතය ඉටු කිරීම සඳහා වුළු හෙවත් මුහුණ සේදීම පුර්ණ වශයෙන් ඉටු කල යුතුය. නිසි වුළු කිරීමකින් තොරව සිදු කරනු ලබන සලාතය බල රහිත වන්නේය.

සලතයේ ඇති වැදගත්ම කරුණ නම්, අපි අල්ලාහ්ව බලා සිටින හැඟීමෙන් එය ඉටු කිරීමය. එසේ කල නොහැකි නම් ඒ සඳහා උත්සාහ කල යුතුය. එයත් කල නොහැකි නම් අඩුම තරමින් අල්ලාහ් අපව බලා සිටින හැඟීමෙන් එය ඉටු කල යුතුය. සලාතය ඉටු කරන අවස්ථාවේදී හැකි තරම් ලෞකික දේවල් මතකයට ගැනීමෙන් වැලකී සිටීමට උත්සහ කල යුතුය. මනස එක්තැන් කිරීමට පුරුදු වීමෙන් සලාතයේ වටිනාකම ප්‍රගුණ කර ගැනීමට හැකි වන්නේය.

ඇතැම් අය සලාතය ඊට නියමිත වෙලාව අවසාන වන තුරු බලා සිට අවසාන මොහොතේදී දුව ගොස් ඉටු කරති. එය මුනාෆික් වරුන්ගේ ලක්ෂණයක් බව නබිතුමා පවසා ඇත. එබැවින් සලාතය ඉටු කල යුත්තේ උද්‍යෝගයක් ඇතුවය. එසේ කිරීමෙන් එහි නිසි ප්‍රතිපල නෙලා ගත හැකි වන්නේය.

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.