ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි?? (Why life is a test?)

   අල් කුර්ආනයට අනුව ලෞකික ජීවිතය පරික්ෂාවකි. ඊට සාර්ථකව මුහුණ දීමෙන් පමණක් මතු ජීවිතය ජය ගැනීමට හැකි වනු ඇත. නබිතුමා ඇතුළු සහාබවරුන් ද මෙම අත්දැකීම් වලට මුහුණ පා තිබේ. එබැවින් නබිතුමාගේ අනුගාමිකයින් වන අපට කළ යුත්තේ ඔහුව අනුගමනය කිරීමය. මෙහිදී ඉතා වැදගත් වන්නේ දෙවියන් ගැන නොසැලෙන අචල විශ්වාසයක් තිබීමය. ඒ අනුව අනිවාර්යයෙන්ම පංච කාල සලාතය ඇතුළු අනෙක් සියළුම දේවල් නිසි පරිදි ඉටුකළ යුතුය. මෙය නොකරන තාක් අපට අල්ලාහ්ගේ උදව් ලැබීම ප්‍රමාද විය හැකි බව තරයේ වටහා ගත යුතු වන්නේය.
   “නියත වශයෙන්ම අපි නුඹලාව භීතියෙන් හා කුසගින්නෙන්ද, ධනය, ජීවිත හා පලතුරු අහිමි වීමෙන්ද, පරික්ෂා කරන්නෙමු.  නමුත් ඉවසිලිවන්තයින්ට නුඹ සුබාරංචි පවසන්න” (කුරානය 2:155).

මින් පෙනී යන්නේ අපට අත්වන ඇතැම් පරීක්ෂණවලදී ඉවසීම අත්‍යාවශ්‍ය බවයි. නබිතුමා පෙන්වා නොදුන් මාර්ග අනුගමනය කිරීමෙන් කිසිම අකාරයකින් අල්ලාහ්ගේ උදව් ලැබිය නොහැකි බව තරයේ වටහා ගත යුතුය.

අල්-කුරානයේ මිනිස් ජිවිතය ගැන පහත දැක්වෙන අන්දමට සඳහන් කොට ඇත.

   “ඔවුන්ගෙන් ලස්සන ක්‍රියාව ඇත්තා කව්රුන්දැයි පරික්ෂා කිරීම පිණිස පොළොව මත ඇති දේ අලංකාරවත්ව මවා ඇත්තෙමු” (කුරානය 18:7).

මේ නිසා මෙලොව ඇති අලංකාරවත් දේවල් පරීක්ෂාවන් බව වටහා ගත යුතුය. එහෙත් මරණයෙන් පසු විශ්වාසවන්තයින්ට ලැබෙන ස්වර්ගය සදාකල් වේ. එය ලැබීමට හැකි වීම නියම ජයග්‍රහණය වනු ඇත. එබැවින් මෙලොව ඇති තාවකාලික දේවල්වලට සිදු වන අලාභ හානි ඉවසා ගත හැකි විය යුතුය. ඒවා වෙනුවෙන් ඇනකොටා ගැනීම මුග්ධ කමකි. දෙවියන්ගේ උදව් ලැබෙන මාර්ග අහුරාගෙන එසේ කිරීමෙන් කිසිම ආකාරයකට ජයක් බලාපොරොත්තු විය නොහැකිය.

ස්වර්ගය ගැන කුරානයේ බොහෝ තැන්වල වර්ණනා කොට ඇතත් එහි කිසිම තැනක ලෞකික ජීවිතය ගැන වර්ණනා කොට නොමැත. කුරානයේ ස්වර්ගය ගැන මෙලෙස පවසා ඇත.

   “ඔවුහු විශාල ගස් යටද, එක මත එක සේ ඇති කෙසෙල් ගස් සහ පලතුරු අතරේද, විශාල ගස්වල සේවනෙහිද, නොකඩවා දිවයන (ඇල දොළ) අසලද සිටින්නෝය. තවද, අඩුවක් නොදකින බහුලව ඇති පලතුරු (ගස් අතරේ) ද, උස් වු ඇතිරිලිවලද (සිටින්නෝය.) නියතව අපි (ස්වර්ග වාසි ස්ත්‍රීන්ව) විශේෂ නිර්මාණයක් ලෙස කර ඇත්තෙමු. ඔවුන්ව කන්‍යාවන් කෙළෙමු, (ස්වාමි පුරුෂයා කෙරෙහි) අධික ස්නේහය ඇත්තියන් ලෙසද, සම වයසේ ඇත්තියන් ලෙසද කළෙමු” (කුරානය 56:28-38).

 

අල්-කුරානයේ තවත් තැනක මිනිස් ජිවිතයේ අරමුණ ගැන මෙසේ සඳහන් කොට ඇත.

   “නුඹලා අතරින් ලස්සන ක්‍රියාවන් කරන්නේ කව්රුන්දැයි පරික්ෂා කිරීම පිණිස ඔහු මරණය සහ ජිවය මැව්වේය” (කුරානය 67:2).

මින් පෙනී යන්නේ අප නබිතුමා පෙන්වූ අලංකාර ජිවන ආදර්ශය අනුගමනය කළ යුතු බවයි. එය සරල වුද මනසට සතුටක් ගෙන දෙන්නාවුද ක්‍රමයකි.

ලෞකික ජීවිතයේ බොහෝ අවස්ථාවන්හිදී වැරදි කරන අය ඉතා හොඳ දිවියක් ගත කරනු දැකිය හැකිය. සැබවින්ම එය ඔවුන් ලබන පරීක්ෂාවක් වන්නේය. එම නිසා මෙලොවදී කෙනෙකුගේ වස්තුව දෙස බලා ඔවුන්ගේ සාර්ථකත්වය මැනිය නොහැකිය. මිනිස් ජිවිතයේ නියම ජය හෝ පරාජය තීරණය වන්නනේ තමන් කරන පින් හෝ පව් අනුව ය.

මෙලොව ජීවිතය දෙවියන්ගේ බැල්ම තුල කිසිම වටිනාකමක් නොමැත. එබැවින් වැරදි කරන අයට මේ ලෝකයේ සැප සම්පත් ලබා දී ඇත. එහෙත් ඒවා ඔවුන්ට ලැබෙන තාවකාලික සතුට පමණි. ඉන් සිදුවන්නේ ඔවුන් මුලාවට පත්වීම පමණි.

   “ඔවුනට උපදෙස් කරනු ලැබූ දේ ගැන ඔවුහු අමතක කළ විට, අපි සියලු දේවල් වල දොරටු ඔවුන්ට විවෘත කළෙමු. තමන්ට ලබා දුන් දෑ මගින් ඔවුන් ප්‍රීතිමත්ව සිටින විට ක්‍ෂණිකව අපි ඔවුන්ව අල්වා ගතිමු. එවිට ඔවුහු (සියලු හොඳ දෙයින්ම) අපේක්ෂා සුන් කරගත්හ” (කුරානය 6:44).

කෙනෙකුට අධික ලෙස වස්තුව ලැබීම ඔහු කෙරෙහි දෙවියන්ගේ කරුණාව වැඩියෙන් ලැබී තිබෙන බව පෙන්නුම් කරන්නේ නැත. බොහෝ විට සාමාන්‍ය ජිවිතයක් ගෙවන බොහෝ අය දෙවියන්ට ඉතා සමීප වන්නේය.

සුලෛමාන් ඉබ්නු දාවුද් නබිතුමා හැර අන් සෑම නබි කෙනෙක්ම මෙලොවදී ගත කොට ඇත්තේ සරල ජීවිතයකි. මුහම්මද් නබි තුමා මුළු අරාබියාවම පාලනය කලත් ඔහු ජිවත් උනේද අනෙක් අය මෙන්ම සරල දිවියකි. එතුමා මිය යන අවස්ථවේදී බොහෝ දුෂ්කර ජිවිතයක් ගත කොට ඇති බව පෙනෙන්නේ මසක් පුරා අහාරයට ගෙන ඇත්තේ රට ඉඳි සහ වතුර පමණක්  බව දැකීමෙනි. එම මාසය පුරා ලිප මොලවා පිසීමට තරම් දෙයක් එතුමාගේ නිවසේ තිබුනේ නැත.

දෙවියන්ව ප්‍රතික්ෂේප කරන අයට බොහෝ සැප සම්පත් ලැබීම ගැන විශ්වාසයන්තයින් කනගාටු විය යුතු නැත. ඔවුන්ට මේ ලෝකයේ සතුට මිස වෙන සතුටක් නොමැත. අල් කුරානයේ මෙලෙස සඳහන් වේ.

   “මිනිසුන් (ප්‍රතික්‍ෂේප කිරීමේ විෂයෙහි) එකම සමුහයා ලෙස නොවන්නේ නම්, අර්රහ්මාන්ව (අල්ලාහ්ව) ප්‍රතික්‍ෂේප කරන්නන්ගේ නිවෙස්වල වහලවල් සහ පඩිපෙළවල් රිදියෙන්ද, ඔවුන්ගේ නිවෙස්හි දොරටු සහ  ඔවුන් හාන්සි වී සිටින සිංහාසනයන් රිදී වලින්ද කර දෙන්නෙමු. තවද, රන්වලින් අලංකාරවත් ආභරණ ද කර දෙන්නෙමු එහෙත් මේවා සියල්ල මෙලොව සතුට මිස වෙන කිසිවක් නොවේ. ඔබගේ සමිඳුන් වෙතම භය බක්තිය ඇත්තවුන්ට එලොව සැපත සුදානම් කොට ඇත” (කුරානය 43;33-35).

ස්වර්ගය මෙලොව ජීවිතය හා සැසඳීමේදී කෙළවරක් නොමැති ජීවිතයකි. එහි ඇති සැප සම්පත් මිනිසාට සිතා ගත නොහැකිය. එහෙත් එය අත්කර ගත යුත්තේ කැප කිරීම තුලිනි.

By Fasy Ajward. B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.