මිනිසාගේ වගකීම් (Human Responsibilities)

මිනිසුන් හැටියට අපට බොහෝ වගකීම් පැවරෙන්නේය. ආගමික සහජීවනයත් ඉන් එකකි. එසේම ආගමකින් සිදු විය යුත්තේද  මිනිසුන් අතර තිබෙන හොඳ ගතිගුණ තවත් ප්‍රගුණ කිරීමය. ආගමික විශ්වාසයන් වෙනස් වුවත් පොදු කටයුතු වලදී සැමට සහයෝගයෙන් කටයුතු කළ හැකිය. ආගම මුල්කරගෙන අපගේ එදිනෙදා ජිවිතයේ බේද වීම මුග්ධ කමකි. අද බොහෝ අය ආගම මුල්කරගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්නේ පුද්ගලික වාසි වලට මිස ආගම්වල දෝෂයක් නිසා නොවේ. මෙය සෑම කෙනෙක්ම හොඳින් තේරුම් ගත යුතුය. ආගමේ නාමයෙන් සිදු කරන ගෙවල් ගිනි තැබීම, මංකොල්ල කෑම්, මිනිස් ඝාතන තරයේ හෙලා දැකිය යුතුය. සුළු පිරිසක් විසින් කරනු ලබන සැලසුම් සහගත වැරදි නිසා සමස්ත සියළු දෙනාම ඒවාට වන්දි ගෙවිය යුතුව තිබේ. එය ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකි. කෙසේ වෙතත් මෙහිදී සලකා බලන්නේ සෑම කෙනෙකුටම පොදුවේ බලපාන කරුණු කිහිපයක් ගැන පමණි. මෙම වගකීම් නිසි පරිදි සිදුවීම සාධාරණ සමාජයක් ගොඩ නැගීමට අත්‍යාවශ්‍ය වේ. සෑම සේවාවක්ම වැදගත් වුවත් විශේෂයෙන්ම මෙහි දී අවධානය යොමු කොට ඇත්තේ අධ්‍යාපනය, දහම සහ සනීපාරක්ෂාව පිළිබඳවය.  ජනතාව වෛද්‍යවරයාගෙන් බලාපොරොත්තු වන්නේ රෝගියාට නිසි ප්‍රතිකාර කිරීමය, ගුරුවරයාගෙන් බලාපොරොත්තු වන්නේ ළමයින්ට හරි හැටි ඉගැන්වීමය, ශ්‍රමනදාරියාගෙන් බලාපොරොත්තු වන්නේ නිවැරදි දහම් මග පෙන්වීමය. දේශ පාලකයාගෙන් සිදු විය යුත්තේ රටේ දියුණුවට ක්‍රියා කිරීමය. මේවා නිසි ලෙස සිදුවන්නේ නම් සැමටම සතුටින් ජිවත් විය හැකිය. එහෙත් මේවා ඔවුන්ගේ පටු අරමුණු සඳහා යොදාගන්නේ නම් එය විශාල වරදකි.

මිනිසාට ලෙඩක් වැළඳීම සාමාන්‍ය දෙයකි. එයට ප්‍රතිකාර කිරීම පැවරෙන්නේ වෛද්‍යවරයාටය. මේ සඳහා රජයේ රෝහල්වලින් ඇතැම් සේවාවන් ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනවල නම ඇතුළත්කොට බලා සිටිය යුතුව ඇත. එවැනි අවස්ථාවලදී පෞද්ගලික රෝහල් කරා යා යුතුව තිබේ. එහෙත් එම සේවාවන් ලබා ගැනීම ආර්ථික වශයෙන් ඉතා බැරෑරුම් කාර්යයක් බවට පත්ව ඇත. මේ හේතුවෙන් බොහෝ රෝගීන්ට සිදුව ඇත්තේ තම ඉඩකඩම් විකුණා ලෙඩට බෙහෙත් ගැනීමට ය. එහෙත් මෙතරම විශාල මුදල් කන්දරාවක් ඉපයීම සඳහා අසරණ රෝහීන් හිඟන්නන් බවට පත් කිරීම සාධාරණද? ඇත්ත වශයෙන්ම මෙම සේවාවන් සියල්ලන්ටම ලබා ගත හැකිවන පරිදි සකස් විය යුතුව ඇත.

අධ්‍යාපනය මිනිසාගේ මුලික අවශ්‍යතාවයකි. එහෙත් එය සැමට ලබා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇත. කුඩා කාලයේදීම අමතර පන්තිවලට යැවීමට තරම් එහි තරඟකාරීත්වයක් ඇතිවී තිබේ. මේ නිසා දරුවන්ට මෙන්ම දෙමව්පියන්ට විශාල කැපකිරීමක් කිරීමට සිදුව ඇත. වර්තමාන අධාපනය ක්‍රමය නිසා පාසලේදී ලැබෙන අධ්‍යාපනයට අමතරව හවස පන්ති වලටත් යැවීමට සිදුව ඇත. ඇත්තෙන්ම එවැනි දෙයක් අවශ්‍යවන්නේ ඉගෙනීමේ දුර්වල ළමයින්ට පමණක් වුවත් අද එය සෑම කෙනෙක්ම කළ යුතු දෙයක් බවට පත්ව ඇත. නවීන ලෝකයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සමත්වීමට නම් අමතර පන්ති නැතුවම බැරිය. එහි ප්‍රතිඵලයක් ලෙස ළමයින් හට ළමා කාලයක් නැත. ළමයින්ගේ සමාජ ආශ්‍රය ද බෙහෙවින් පිරිහී ඇත. මේවා නවීන සමාජය මුහුණ දෙන විශාල අභියෝගයන්ය. මේවා වෙනස් කොට ළමයින්ට ළමා වියේදී කළ යුතු අනෙක් කාර්යයන් සිදු කිරීමට කාලය ලබා දිය යුතුය.

සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම නිසිපරිදි ඉටු කිරීමත් ප්‍රධාන වගකීමකි. ඒ අනුව තමන් කරන රැකියාව නිසි පරිදි ඉටු කළ යුතුය. එසේ නොකර ගනු ලබන වේතනය වැරදිය. නිසි සේවාවක් ලබා නොදී ගන්නාවූ වෙතනයකින් තමන්ගේ ළමයින් නඩත්තු කිරීම හරිදැයි තමන්ම සිතා බැලිය යුතුය. හෘදය සාක්ෂියට එකඟව ආගමක් අදහන කෙනෙක් කිසිසේත්ම මෙවැනි වැරැද්දක් නොකරනු ඇත. තම රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම නිසා සිය සේවාදායකයා ද ඉතාමත් අසීරු තාවයට පත් වන්නේය. රටක් දියුණු වීමට නම් තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වන්නේය. එය සෑම කෙනෙක්ම හොඳින් තේරුම් ගත යුතුව ඇත.

මිනිසුන් අතර හොඳ ගතිගුණ ඇති අය මෙන්ම නරක මිනිසුන්ද ඇත. එසේම පුජකවරුන් අතරද මේ දෙපිරිසම දැකිය හැකිය. කෙසේ වෙතත් නවීන ලෝකයේ දහම ව්‍යාපාරයක් බවට පත් වී තිබීම නිසා ආගමික නායකයින්ගෙන් බලාපොරොත්තු වන දේ ඉටු නොවන්නේය. මේ හේතුවෙන් සමාජයට විශාල හානියක් සිදු වෙමින් පවතින්නේය. මේවා නතර කිරීමට නම් දහම් අධ්‍යාපනයට අමතරව සමාජ අධ්‍යාපන වැඩසටහන් ලබා දීම අත්‍යවශ්‍ය වන්නේය.

නවීන සමාජයේ බොහෝ ආගමික ගැටුම් ඇතිවන්නේ දහමේ පිරිහීම සනිටුහන් කරමින් ය. එක් ජාතියක් දියුණු වීම දැක තවත් ජාතියක් ඉරිසියා කිරීම අද බහුලව දැකිය හැකි කරුණකි. මේ නිසා බොරු චෝදනා සිදු කරමින් එක් එක් කණ්ඩායම් නිතිය තම අතට ගෙන ක්‍රියා කරමින් සමාජයේ බොහෝ කලහකාරී ගැටුම් නිර්මාණය කරනු දැකිය හැකිය. මේවාට විසඳුම් ලබා දිය යුතුව ඇත්තේ ජනතාවට විශාල අලාභ හානී සිදුවීමට පෙරාතුවය. ඒ සඳහා පවතින රජයන් පමණක් නොව පොදු ජනතාවද උපරිමයෙන් ක්‍රියා කළ යුතුව ඇත. එය සැමගේම වගකීමකි. නැතහොත් සිදුවන්නේ මිනිසුන්ගේ දේපල විනාශ වීමත් සිත් අමනාප වීමත් ය.

By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.