ඉස්ලාම් දහමේ අන්තවාදයක් තිබේද? (Is there extremism in Islam)

අන්තවාදය පිලිබඳ සංකල්පයක් අල්-කුරානයේ හෝ එහි විවරණය ලෙස සලකන නබිවදන්වල හෝ දැකිය නොහැකිය. අල්-කුරානයේ මුලික අරමුණ වන්නේ මිනිසාට නිවැරදි දහම් මාර්ගය පෙන්වා දීමය. ඒ අනුව මෙලොව ජීවිතය සහ මරණයෙන් පසු ජීවිතය සාර්ථක කරගැනීමට ඇති මග ඉස්ලාම් දහමින් පෙන්වා දෙන්නේය.අන්තවාදය තේරුම් ගැනීම සඳහා උදාහරණ දෙකක් ගෙන බලමු. යම් ආයතනයක සේවය කරන කෙනෙක් එම ආයතනයේ නියෝග අනුව වැඩ නොකරන්නේ නම් ඒ ගැන ප්‍රශ්න කිරීම අන්තවාදය නොවේ. එසේම මාර්ග නීති පිළිනොපදින  කෙනෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම අන්තවාදය නොවේ. මින් අදහස් කරන්නේ ඕනෑම කෙනෙක් නීතියට අනුව වැඩකළ යුතු බව නොවේද? එසේ නම් දහම අනුව කටයුතු කරන කෙනෙක් අන්තවාදියෙක් වන්නේ කෙසේද?

ඉස්ලාම් දහමේ විශ්වාස සම්බන්ද කාරණා මෙන්ම ක්‍රියාවෙන් ඉටු කල යුතු දේවල් ඇත. සෑම මුස්ලිම්වරයෙකුම තමන්ට හැකි පමණින් ඒවා ඉටු කල යුතුය. එසේ කිරීම අන්තවාදය විය හැකිද? ඉස්ලාම් දහම අනුව ජිවත් වීම අන්තවාදය යැයි පවසන අය බලාපොරොත්තු වන ඉස්ලාම් දහම කෙබඳු එකක් විය හැකිද?

ඉස්ලාම් දහමේ මුලික විශ්වාසයන් හයකි. එනම් අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගැනීම, දේවදුතයින් ගැන විශ්වාස කිරීම, අල්-කුරානයට පෙර අල්ලාහ්ගෙන් පහළ වූ ආගම් ගැන විශ්වාස කිරීම, දහම දෙසීමට පැමිණි නබිවරුන් ගැන විශ්වාස කිරීම, ලෝක අවසානයට පසුව ඇති විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම සහ අල්ලාහ්ගේ නියෝග අනුව සියළුම දේවල් සිදුවන බව විශ්වාස කිරීම වේ. ඒවා විශ්වාස කිරීම ඉස්ලාම් දහමේ මුලික අවශ්‍යතාවන් වන බැවින් සෑම මුස්ලිම්වරයෙකු විසින්ම ඒවා අනිවාර්යෙන්ම විශ්වාස කල යුතුය. මේවා දහම මිස අන්තවාදය නොවේ.

ඉහත සඳහන් විශ්වාසයන්ට අමතරව මුස්ලිම්වරුන් විසින් කරුණු පහක් පිළිපැදිය යුතුය. ඒ අනුව සෑම වැඩිහිටි මුස්ලිම්වරයෙකුම දිනපතා පස්වතාවක් අල්ලාහ්ට නැමැදිය යුතුය, ධනවතුන් විසින් වසරක් පාසා ඔවුන්ට නියමිත zසකාත් ගණන් බලා ඒවා ලැබීමට සුදුසුකම් ඇති අයට ලබා දිය යුතුය, නිරෝගී සුවයෙන් සිටින සියළු දෙනාම වසරකට වරක් රමළාන් මාසය පුරා උපවාසයේ යෙදිය යුතුය, හජ් වන්දනය ඉටුකිරීමට සුදුසුකම් ලබන සියළු දෙනාම තම ජිවිතයේ එක් වතාවක් හෝ හජ් වන්දනය ඉටුකල යුතුය. මේවා ඉස්ලාම් දහමේ මුලික ඉගැන්වීම් මිස අන්තවාදය නොවේ.

මෙහි සඳහන් කලේ ඉස්ලාම් දහමේ මුලික ප්‍රතිපක්තින් වේ. ඒවා පිලි නොපැද නාම මාත්‍රික මුස්ලිම් වරයෙකු වීමෙන් මෙලොවටත් එලොවටත් ප්‍රයෝජනයක් නැත. මේවා හැරුණු විට ඇති පොදු කරුණු පහත සඳහන් කොට ඇත.

මුස්ලිම්වරයෙකු විසින් දහමින් තහනම් කොට ඇති ක්‍රියාවක් නොකළ යුතුය, ඒ අනුව දෙවියන්ට සමානයන් තැබීම, මිනිස් ඝාතනයන් සිදු කිරීම, දෙමව්පියන්ට අකීකරු වීම, කාමය වරදවා හැසිරීම වැනි දේවල් තහනම් ක්‍රියාවන් වේ.

ඉහත සඳහන් කල කරුණු වලට අමතරව එදිනෙදා ජීවිතයේදී අනුගමනය කළ යුතු දේවල් ඉස්ලාමයේ ඇත.  ඒ අනුව ඇඳුම් ඇඳීමේදී ද ආහාරයට සුදුසු දේවල් තෝරාගැනීමේදී ද සීමාවන්  පනවා ඇත. උදාහරණයක් ලෙස සුකර මාංශ මුස්ලිම්වරුන්ට තහනම් කොට ඇත. එහෙත් ජීවිතය බේරාගැනීමට වෙනත් විකල්පයක් නොමැති අවස්ථාවකදී තහනම් ආහාරයක් වුවද අනුභව කළ හැකිය.

මුස්ලිම්වරයෙකුට දේවස්ථානය තුලට හිරවී සිටිය යුතු නැත. ඔහුට දෙවියන්ගේ නියෝග ඉටු කරන අතරම එදිනෙදා කටයුතුවල නිරත විය හැකිය. විවාහ ජිවිතයක් මෙන්ම තනිකඩ ජිවිතයක් ගත කළ හැකිය. එබැවින් අන්තයකට ගිය තපස් ජිවිතයක් ඉස්ලාම් දහමේ නොමැත. තවද මුස්ලිම්වරයෙකුට අසීමිත ලෙස ධනය රැස්කිරීමට නොහැකි අතර තමන් ඉතිරිකරන ධනයෙන් කොටසක් අනිවාර්යයෙන්ම නැති බැරි අයට බෙදා දිය යුතුය. මේවා කිසිවක් අන්තවාදය වන්නේ නැත.

ඇතැමුන් සිතන්නේ ඉස්ලාමයට බලහත්කාරයෙන් හරවා ගන්නා බවයි. එය සම්පුර්ණ වැරදි මතයකි. ඉස්ලාම් දහමේ කිසිම තැනක බල කිරීමක් නොමැත. එය අල්-කුරානයේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබේ. එබැවින් තමන් කැමති දහමක් ඇදහීමේ අයිතිය මිනිසාට තිබේ. එහෙත් අල් කුරානයෙන් වැරදි මාර්ගයෙන් හරි මාර්ගය කුමක්දැයි පෙන්වා දී ඇත.

මෙතෙක් සඳහන් කරන ලද කරුණු අනුව ඉස්ලාමයේ කොතනකවත් අන්තවාදයක් නොමැත.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.