අල්ලාහ් කෙරෙහි විශ්වාස කිරීම (Believing in Allah)

අල්ලාහ් කෙරෙහි විශ්වාසය ඉස්ලාමයේ ප්‍රධාන කුලුණකි. ඒ අනුව අල්ලාහ් එක්කෙනෙකු බවත්, ඔහුට සමාන වෙන කිසිවෙකු නොමැති බවත්, මෙම විශ්වය සහ එහි ඇති සියළුම දේවල් මවා පාලනය කරුණු ලබන්නේ අල්ලාහ් බවත්, විශ්වයේ ඇති සෑම දෙයක්ම පෝෂණය කරනු ලබන්නේ අල්ලාහ් බවත් සෑම මුස්ලිම්වරයෙකුම හදවතින්ම විශ්වාස කළ යුතුය.නැමදීමට එකම සුදුස්සා අල්ලාහ් ය. ඒ අනුව නැමදීම සහ ප්‍රාර්ථනයන් යොමු කිරීම, පිළිසරණ සෙවීම, දිව්රුම් දීම, දාන දර්ම දීම, කැපකිරීම්, උපවාස, හජ් යනාදී වන්දනයන් සියල්ලම ඉටු කළ යුත්තේ අල්ලාහ් වෙනුවෙන් පමණි.

අල්ලාහ්ට පමණක් අයත්වූ ගුණාංග වෙනත් කිසිම දෙයකට ලබා නොදිය යුතුය. උදාහරණයක් වශයෙන් අනතුරකදී අල්ලාහ්ගේ පිහිට සොයනවා වෙනුවට වෙනත් සාස්තෘවරුන්ගේ උදව් පැතීම නැතහොත් අල්ලාහ්ගේ නාමයෙන් සිදු කල යුතු කැප කිරීම් වෙනත් කිසිවෙකුගේ නාමයෙන් සිදු කිරීම, අල්ලාහ් වෙනුවෙන් පමණක් දිය යුතු පඬුරු වෙනත් අය වෙනුවෙන් දීම පෙන්වා දිය හැකිය. අල්ලාහ් වෙනුවෙන් කළ යුතු දේවල් වෙනත් අය වෙනුවෙන් සිදු කිරීම අල්ලාහ්ට සමානයන් තැබීමක් (ශිර්ක්) වන්නේය. එවැනි වැරදි කල කෙනෙක් මරණයට පෙර දෙවියන්ගෙන් සමාව නොගත්තේ නම් ඔහු සදාකල් නිරයට පාත්‍ර වනු ඇත.

මෙලොවදී මිනිසාට අල්ලාහ්ව දැකිය නොහැකිය. එහෙත් මරණයෙන් පසු විශ්වාසවන්තයින්ට ස්වර්ගයේදී අල්ලාහ්ව දැකිය හැකිය. කෙසේ වෙතත් අල්ලාහ්ගේ රුපයක් ගැන කිසිවෙකුට මෙලොවදී සිතා ගැනීමට නොහැකිය. අල්ලාහ්ව දැකිය හැකි දැයි සහාබා වරුන් නබි තුමාගෙන් ඇසු අවස්ථවේදී ඔහු කියා සිටියේ කිසිම වලාකුලක් නොමැති අහසේ පුර්ණ චන්ද්‍රයා දැකිය හැකි ආකාරයටම ඉතා පහසුවෙන් අල්ලාහ්ව දැකිය හැකි බවයි. කෙසේ වෙතත් මුහම්මද් නබි තුමා සහ මුසා නබි තුමා අල්ලාහ් සමග කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව කතා කොට තිබේ.

අල් කුරානයේ අල්ලාහ්ගේ ඇස, අත, මුහුණ පිලිබඳ සඳහන් කොට ඇත. එබැවින් ඒවා අල්ලාහ්ට තිබෙන ගුණාංග වශයෙන් පිළිගත යුතුය. ඒවාට කුරානයේ හෝ නබිතුමා කියා නොදුන් අර්ථයන් දීම වරදකි. ඒවාට වෙනත් අර්ථයන් තිබුනොත් අනිවාර්යයෙන්ම නබිතුමා ඒවා ගැන පැහැදිලි කර දෙනු ඇත. අල් කුරානයේ අල්ලාහ්ගේ ගුණාංග විස්තර කරන වැකි සමහරක් පහත දැක්වේ.

“අල්ලාහ්ගේ අත ඔවුන්ගේ අත්වලට ඉහලින් ඇත” (කුරානය 48:10). තවද

“නියතව නුඹ අපගේ (අල්ලාහ්ගේ) ඇස් ඉදිරියෙහි සිටින්නේය” (කුරානය 52:48).

“මහඟුභාවයෙන් හා කීර්තියෙන් අධික නුඹගේ සමිඳුන්ගේ (رب) මුහුණ සදහටම පවතින්නේය” (කුරානය 55:27)

තවද අල්ලාහ් අර්ෂ්හි සිටින බව අල් කුරානයේ සඳහන් කොට ඇත. සෑම රාත්‍රියකම තහජ්ජුත් වෙලාවේ පහල අහසට පැමිණෙන අතර ඔහුගෙන් යදින අයගේ උවමනාවන් ඉටු කර දෙන්නේය. කෙසේ වෙතත් අල්ලාහ් අර්ෂ්හි සිටින්නේ කෙසේද, පහළ අහසට පැමිණෙන්නේ කෙසේද යන්න කිසිවෙකුට විස්තර කළ නොහැකිය. නබිතුමාගේ අනුගාමිකයින් වන සහබාවරුන් සහ ඉමාම්වරුන් ඒවා ඒ අයුරින්ම විශ්වාස කළෝය.

අල්ලාහ් පුර්ණය. ඔහුට කිසිම අඩුපාඩුවක් නොමැත. ඔහුට නින්ද හෝ මඳ නින්ද නොමැත.

අල්ලාහ් අසීමිත කරුනාවන්තයාද අසම දයාවන්තයාද වේ. මෙලොවදී කොතරම් වැරදි කලත් ඔහුගෙන් සමාව අයද සිටියේ නම් සමාව දෙන්නේය. තවද ඔහු හොඳ කරන අයට මෙන්ම නරක කරන අයට මෙලොවදී කරුණාව පෙන්වන්නේය. එහෙත් මරණයෙන් පසු මෙලොවදී හොඳ කල අයට ස්වර්ගය ලබා දෙන අතර වැරදි කල අයට දඬුවම් කරන්නේය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.