අල්-කුර්ආනය සන්දර්භයෙන් තොරව තේරුම් කළ හැකිද? (Can the Qur’an be understood without the context?)

යම් කෘතියක් නිවැරදි තේරුම ගැනීමට නම් එය සම්පුර්ණයෙන්ම කියැවිය යුතුය. එසේ නොකර තැනින් තැන ඇති කරුණු සන්දර්භයෙන් පිට උපුටා ගැනීමෙන් සිදු වන්නේ  නිවැරදි අදහස ලබා ගැනීමට නොහැකි වීමයි. කෙසේ වෙතත් ඇතැම් අය මෙම ක්‍රමය භාවිතා කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහාය. මේ අනුව ඇතැම් අය උවමනාවෙන්ම අල් කුරානයේ ඇති ඇතැම් වගන්ති එහි සන්දර්භයෙන් පිට ඉදිරිපත් කරමින් ඉස්ලාම් දහම ගැන වැරදි අර්ථ කතනයක් ජනතාවට ඉදිරිපත් කරති.අල් කුරානය ලෝකයේ ඇති අද්විතීය ග්‍රන්ථයකි. කිසිවෙකුට එවැනි ග්‍රන්ථයක් නිර්මාණය කිරීමට මෙතෙක් හැකිවී නොමැත. එසේ තිබියදී එහි පරිවර්තනයක් කිසිම අයුරකින් එහි මුල්පිටපතට 100% එකඟ වන්නේ නැත. තවද කුර්ආන් පරිවර්තනයක් තුල අනිවාර්යයෙන්ම එහි පරිවර්තන දෝෂ තිබිය හැකිය. එබැවින් කුරානය නිවැරදිව තේරුම් ගැනීම සඳහා අවම වශයෙන් පහත දැක්වෙන අවශ්‍යතා සපුරා තිබිය යුතුය.

  • අරාබි බස පිලිබඳ මනා දැනුමක් තිබීම
  • අරාබි භාෂාව පිලිබඳ ව්‍යාකරණ නීති හරියාකාරව දැනගෙන සිටීම
  • කුර්ආන් පාඨයන් පහළ වීමට බලපාන ලද හේතුව දැන සිටීම
  • ඉස්ලාමිය ඉතිහාසය ගැන හොඳින් දැනගෙන සිටීම
  • කුරානය පිලිබඳ විද්වතුන්ගේ සෑම මතයක් ගැනම දැනගෙන සිටීම
  • කුර්ආන් වැකි සම්බන්දයෙන් ඇති නබිවදන් ගැන දැන සිටීම

කරුණු එසේ තිබියදී ඇතැම් අය කුරානයේ ඇති ඇතැම් වැකි උපුටාගෙන එහි ඇති කරුණු සන්දර්භයෙන් පිට ඉදිරිපත් කරති. උදාහරණයක් ලෙස කුරානයේ සඳහන් වන වාඛ්‍ය කණ්ඩයක් වන “එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරිපත් වූ) ඔවුන් දුටු තැන කපා දමනු” යන්න “කාෆිර් වරුන් දුටු තැන මරා දමනු” යනුවෙන් ඉදිරිපත් කරති. ඔවුන් එසේ පැවසුවත් එම වාඛ්‍ය කාණ්ඩයේ කාෆිර් යන වචනය පවා නොමැත.

කුර්ආන් වැකියක් නිවැරදිව තේරුම් ගැනීම සඳහා සම්පුර්න ජේදය කියවීම අනිවාර්ය වේ. ඇයිද යත් එක් කුර්ආන් වැකියක අර්ථය ඊට ඉහලින් සහ පහලින් ඇති වැකිවලින් විස්තර කොට ඇති බැවිනි. ඔවුන් සඳහන් කරන වාඛ්‍ය කාණ්ඩය අඩංගු සම්පුර්ණ ජේදය පහත දැක්වේ.

“අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබට විරුද්ධව සටන් කරන්නන් සමග සටන් කරනු, නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු; මන්දයත් අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ප්‍රිය නොකරන්නේය. එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරිපත් වූ) ඔවුන් දුටු තැන කපා දමනු, ඔවුන් විසින් ඔබව (ඔබගේ රටින්)  පිටමන් කළා සේම ඔබද ඔවුන්ව එතැනින් පිටමන් කර දමනු; (ඔවුන් විසින් කරන) සමානයන් තැබීම ඝාතනයට වඩා නපුරුය. නමුත් (ඔවුන්ගෙන්) යම් කෙනෙකු (ආරක්‍ෂාව පතා) මජිදුල් හරාම් නමැති නැවතුම්පලෙහි සිටියහොත් එහිදී ඔවුන් සමග යුද්ධ නොකරනු, එහෙත් ඔවුන් යුද්ධ කිරීමට ඉදිරිපත් වුවහොත් ඔබද ඔවුන් කපා දමනු. ප්‍රතික්‍ෂේප කරන්නන්ට අයිති පල විපාක මෙයයි. (මෙයට) පසුව ද ඔවුන් (ඔබට විරුද්ධව යුද්ධ නොකර) ඉවත් වුවහොත් (ඔබ ඔවුන්ව නොකපනු) ඇත්තෙන්ම අල්ලාහ් ඉතාමත් පව් ක්‍ෂමා කරන්නෙකු හැටියටත් ඉතාමත් කරුනාවන්තයෙකු හැටියටත් සිටින්නේය. තවද (ඉස්ලාම් දහමට විරුද්ධව කරන) සමානයන් තබා නැමදීමෙන් වැලකි පුස්තකය අල්ලාහ්ට අයිති යැයි ස්ථිර කරනතෙක් ඔවුන් සමග යුද්ධ කරනු. නමුත් ඔවුන් වැලකුනහොත්, ඔවුන්ගේ අපරාධකරුවන්ට හැර (අන් අයට වද හිංසා කිරීමෙන්) සීමාව උල්ලංඝනය නොකරනු” (කුරානය 2:190-193).

මෙම වැකියෙන් සැම සෑම විටම පවසා ඇත්තේ සතුරා පහර දුන් විට පමණක් ඔවුන්ට ප්‍රති ප්‍රහාර දෙන ලෙසය. තවද මෙම වැකිය පහළ වී ඇත්තේ යුද්ධයකදී ක්‍රියා කළ යුතු අන්දම පැහැදිලි කර දීම සඳහාය. එබැවින් එම වැකිය සාමාන්‍ය ජන ජිවිතයට අදාළ වන්නේ නැත. මෙය අනිවාර්යයෙන්ම සතුරෙකු සමග සටන් වැදීමේදී අනුගමනය කල යුතුය. ඉස්ලාමයේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක හමුදාවන් විසින් සතුරා දුටු තැන පහර දෙනු ඇත. එය සිදු විය යුතු කරුනක්ද වේ.

සන්දර්භයෙන් පිට කරුණු ඉදිරිපත් කිරීමේදී සිදුවන වැරදි පෙන්වා දීම සඳහා පහත දැක්වෙන උදාහරණ දෙක ඉදිරිපත් කොට ඇත.

“කාලය කෙරෙහි දිවරා පවසමි! නියතවශයෙන්ම මිනිසා පාඩුවෙහිම සිටියි” (කුරානය 103:1-2).

මෙම වාඛ්‍ය කාණ්ඩය පමණක් ගත් විට වැරදි අවබෝදයක් ලැබෙන්නේය. එහි නිවැරදි තේරුම ඊට පසුව ඇති වැකිවලින් විස්තර කොට ඇත.

“(එහෙත්) කවරහු (අල්ලාහ්ව) විශ්වාස කොට යහකම්ද කර සත්‍යය මගින් එකිනෙකා අතර උපදෙස් කර ගන්නේද ඔවුන් හැරය” (කුරානය 103:3).

මේ අනුව (කුරානය 103:1-2) විවරණය (කුරානය 103:3) න් ඉදිරිපත් වී තිබේ.

තවත් උදාහරණයක් ගෙන බලමු.

“සලාතය කරන්නාට ඛේදයක්ම වේ” (කුරානය 107:4).

මෙම වාඛ්‍ය කොටස අනුව සලාතය කරන්නාට ඛේදයක් සිදුවන බව පැවසේ. එහෙත් එහි විවරණය ඊළඟ වැකි වල සඳහන් කොට ඇත.

“නියමිත වෙලාවේදී සලාතය ඉටු නොකර ප්‍රමාද කරන්නන්, තමන් කරන හොඳ දේ මිනිසුන්ට පෙන්වීම සදහා කරන්නන්, අල්ප දේවල් පවා (අන් අයට නොදී ලෝබ කමින්) තබා ගන්නන් මොවුන් වේ)”(කුරානය 107:4-7).

මේ අනුව පෙනී යන්නේ කුරානයේ ඇති වැකි අතරින් පතර උපුටාගැනීමෙන් එහි නිවැරදි තේරුම ලබා ගැනීමට නොහැකි බවයි.

අල් කුරානයේ මිනිස් ජිවිතයට ඉතා ඉහල වටිනාකමක් ලබා දී ඇත. එසේ තිබියදී අහිංසක ජනතාව ඝාතනය කිරීමට ඉන් අවසර දී ඇතැයි පැවසීම කොතරම් විශාල වරදක් වන්නේද?

අල් කුරානයට අනුව හේතුවක් නොමැතිව එක් මිනිස් ඝාතනයක් සිදු කිරීම ලොව සිටින සියලුම මිනිසුන් ඝාතනය කළාට සමාන බව පවසා ඇත. එවැනි වැකියක් අල් කුරානයේ මිස වෙන කිසිම ආගමික ග්‍රන්තයක දැකිය නොහැකිය.

“නියතව කවරෙක් ඝාතනය කිරීම නිසා හෝ පොළොවෙහි කළහ ඇති කළ නිසා හෝ හැර වෙනත් කෙනෙකු ඝාතනය කරයිද ඔහු මුළු මිනිස් සමුහයාවම ඝාතනය කලාට සමාන වන්නේයැයි ද කවරෙකු එය ජිවත් කරවන්නේද ඔහු මිනිසුන් සියල්ලන්වම ජිවත් කරවූ කෙනා සේ වන්නේ යැයිද ඉස්රායිල්ගේ දරුවන්ට අපි නියම කෙළෙමු” (කුරානය 5:32),

අද බොහෝ සමාජවල ගබ්සාව සිදු කරති. එහෙත් ඉස්ලාම් දහම අනුව එවැනි දෙයක් කිරීම විශාල වරදකි.

“….දුප්පත්කමට (බිය වී) නුඹලාගේ දරුවන්ව ඝාතනය නොකරන්න. (මක්නිසාද යත්) අපිම නුඹලාටද ඔවුන්ටද ආහාර ලබා දෙමු. තවද, නින්දාසහගත ක්‍රියාවන්හි ප්‍රසිද්ධ දේටද රහසිගත දේටද සමීප නොවන්න. අල්ලාහ් වැළැක්වූ කුමන ජීවයක් වුවද අයිතියක් නොමැතිව ඝාතනය නොකරන්න. නුඹලා අවබෝද කරගැනීම පිණිස අල්ලාහ් මේවා මගින් නුඹලාට අණ කරයි” (කුරානය 6:151),

මේ හැම දෙයකින්ම පෙන්නුම් කරන්නේ අල් කුරානය මගින් මිනිස් ජිවිතයට ඉතා ඉහල වටිනාකමක් ලබා දී ඇති බවයි. මේ නිසා ඇතැම් අය කුර්ආන් වැකි අතරින් පත්‍ර උපුටාගෙන එහි සන්දර්භයෙන් පිට කරුණු පැහැදිලි කරීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ මුග්ධ කම පමණි.

By Fasy Ajward.
B.Sc(sp.Phy)Hons,J.Pura.

Ex: Research officer at former Scientific and Industrial Research Institute. 

Leave a Reply

Your email address will not be published.