මුස්ලිම්වරුන් දෙවියන්ට ලංවනවාද? ඈත් වනවාද? (Are Muslims Clinging to God? or staying away?)

අල් කුරානය පහළ වීමෙන් පසු වසර ගණනාවක් යන තුරුම නැමදීම හෝ අනෙකුත් අනිවාර්ය යුතුකම් ස්ථාපනය කොට තිබුනේ නැත. එම කාල වකවානුව තුලදී ප්‍රධාන වශයෙන්ම සිදු කෙරුනේ දෙවියන් කෙරෙහි විශ්වාශය තහවුරු කර ගැනීම පමණි. කෙසේ වෙතත් ඉස්ලාමයේ ආරම්භ කාලයේදී නබිතුමාගේ අනුගාමිකයින් මුහුණ දුන් දුෂ්කරතාවයන් නිසා ඔවුන්ගේ ඊමාන් විශ්වාසය වඩාත් ශක්තිමත් කර ගැනීමට හැකි විය. 

ඉස්ලාම් දහම පහළ වූ මුල් අවදියේ ජීවත්වූ ජනතාවගේ ජීවිතය අල් කුරානය සමග ඉතා තදින් බද්ද වී පැවතුනේය. එබැවින් ඔවුන්ගේ ඕනෑම ප්‍රශ්නයක් සඳහා විසඳුම් සොයා ගනු ලැබුවේ අල් කුරානය හරහාය. එහෙත් අද පවතින තත්වය ඊට ඉඳුරාම වෙනස්ය. නවීන ලෝකයේ අල් කුරනය සහ නබි වදන් වලට අනුව ජිවත් වීමට වහබ් වාදය ලෙස ලේබල් අලවා ඇත. අද තිබෙන සමාජය කුරානයෙන් කොතරම් දුරට දුරස්වී ඇත්දැයි කිවහොත් සියදෙනෙක් ගත්කල ඉන් එක්කෙනෙක් හෝ කුරානයේ පරිවර්තනයක් කියවා ඇත්දැයි සැක සහිතය.

අල් කුරානයේ ප්‍රධාන නියෝගයක් වන්නේ සියළුම මුස්ලිම්වරුන්ට අල් කුරානය මගින් එකමුතු වන ලෙසය. එහෙත් අවාසනාවකට මුස්ලිම්වරුන් එම නියෝගය මග හරිමින් බොහෝ නිකායයන් වලට බෙදී වෙන්වී ඇත. එසේ තිබියදී ඔවුන් සෑම කෙනෙක්ම සිතාගෙන ඉන්නේ තමන් හරි මාර්ගයේ සිටින බවයි.

මුස්ලිම්වරුන් ලෞකික දේවල්වලට වඩා දහමට මුල්තැන දෙමින් ජිවත්වන තාක් කල් ඔවුන්ට දෙවියන්ගේ ආශිර්වාදය සහ උදව් ලැබුණු අතර සෙසු ජනයා අතර ගෞරවයට පාත්‍ර විය. එහෙත් අද මුස්ලිම්වරුන් අතර දහමට පටහැනි බොහෝ දේවල් සුලබව සිදුවන බැවින් ඔවුන් දෙවියන්ගෙන් ඈත් වී ඇත.

නවීන ලෝකයේ බොහෝ මුස්ලිම් ව්‍යාපාරිකයින් පොලිය සමග පැටලී ඇත. එහෙත් ඉස්ලාම් දහමින් පොලිය සම්බන්ද සියළුම ගනු දෙනු තහනම් කොට ඇත. ඒ අනුව පොලිය සමග පැටලී සිටින අය දෙවියන්ගේ නියෝග අමු අමුවේ උල්ලංගනය කොට ඇත.

සලාතය ඉස්ලාමයේ ඉතා වැදගත් කුළුනකි. එහෙත් බොහෝ මුස්ලිම්වරුන් සලාතය ඉටු කරන්නේ නැත. නබිතුමා පවසා ඇත්තේ  සලාතය ඉටු නොකරන තැනැත්තාටත් ඉස්ලාම් දහමටත් සම්බන්දයක් නොමැති බවයි.

ඉස්ලාම් දහම අනුව සොහොන්කොත් වලට ගොස් උත්සව පැවැත්වීම බලවත් වරදකි. එවැනි සම්ප්‍රදායක් නබිතුමා හෝ ඔහුගේ අනුගාමිකයින් පෙන්වා දුන්නේ නැත. එසේ තිබියදී එවැනි දේවල් අද සුලබව සිදුවන්නේය. එපමණක් නොව එවැනි දේවල් නොකරන අය ඉස්ලාම් විරෝදින් ලෙස සලකනු ලබන්නේය. එසේ තිබියදී වැරදි කරන කෙනෙකුට මුලාශ්‍ර සහිතව දහම පැහැදිලි කලත් එය පිළිගැනීමට ඔවුන් සුදානම් නැත. මෙවැනි තත්වයක් යටතේ අපි දෙවියන්ට සමීප වන්නේ කෙසේද?

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.