| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 96 views

සාම්ප්‍රදායික සිංහල කාන්තා ඇඳුම කුමක් ද? 

කතුවරයා/දේශකයා: on 14th April 2018

නුතන මුස්ලිමයා වැරදිය පාරම්පරික මුස්ලිමයා හොඳය කියන ප්‍රචාරය හේතුවෙන් මුස්ලිම් වරුන් හැටියට පාරම්පරික සිංහල සංස්කෘතිය තුල කාන්තාවගේ ඇඳුම පිළිබඳව සොයා බැලීම යුක්ති සහගත යැයි සිතුවෙමු. එම පාරම්පරික සිංහල ඇඳුම වෙත වර්තමාන සිංහල සමාජයට යා හැකි ද යන්න සොයා බැලීම මෙහි අරමුණයි. මේ අනුසාරයෙන් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ වියතාණන් විසින් රචිත “පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. 

“මා මේ නිබන්ධය ලියන්නේ, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම කුමක් වීදැයි පුරාවෘත්තානුසාරයෙන් සෙවීම පිණිසය. පුරාණ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් නිශ්චය කරන්නට, 1. පොතපත, 2. පුරාණ චිත්‍ර, 3. ගල් රුප, 4. ලෝකඩ රුප, 5. ශිලා ලිපි, යන මොවුන්ගෙන් සාක්ෂ්‍ය ලැබිය හැකිය.
ඇඳුම්, පැළඳුම්, විශේෂයෙන් ස්ත්‍රීන්ගේ ඇඳුම් පැළඳුම් කලින් කළ වෙනස් වෙයි. මෙකල මෙන් මසින් දෙමසින් නොවුව ද, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම් පැළඳුම් කලින් කළ වෙනස්වී යැයි කියන නිදසුන්, පුරාණ පොතපතින් මෙන් සිතුවම් ආදියෙන් ද දක්නට ලැබේ. ඒ නිදසුන් අනුව පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම් පැළඳුම් පරපුරෙහි දසා පහක් දක්නා ලැබේ.

1. උඩු කය නොවැසීම
2. සළුවකින් යටි කය වසාගෙන තවත් රෙදි කඩකින් උඩු කය වැසීම
3. තනපට බැඳීම, තනපට බැඳ රෙදි කඩකින් උඩු කය වැසීම
4. හැට්ටයෙන් උඩු කය වැසීම
5. හැට්ටය හැඳ සාරි පොටින් උඩු කය වැසීම.

මෙයින් එක් දසාවක් අසවල් කාලයේ සිට අසවල් කාලය දක්වා යැයි නිශ්චය කළ හැකි සාක්ෂ්‍ය නොලැබේ. පොත පත කියන කථා වස්තුව කෙතරම් පුරාණ වුව ද, එයින් ලැබෙන සාධක ගත හැක්කේ, ඒ කථා වස්තුව පුස්තකාරුඪ වූ කාලයට අයත් සාක්ෂ්‍ය වශයෙනි. පොත පතින් ලැබෙන සාක්ෂ්‍ය, සමහර කාන්තාවන් උඩු කය නොවැසූ කාලයේ සමහර කාන්තාවන් රෙදි කඩින් උඩු කය වැසූ බව කියයි. පුරාණ හැම සිංහල කාව්‍යයක්ම, තන පට සහ උතුරු සළුව (රෙදි කඩ) ගැන කියයි. එහෙයින්, පොත පතින් ලැබෙන සාක්ෂ්‍ය අනුව, උඩු කය නොවැසීම, රෙදි කඩින් උඩු කය වැසීම සහ තන පට බැඳීම එකම කාලයෙහි ප්‍රචාරිත ඇඳුම් බව නිශ්චය කළ යුතු වේ. හැට්ටය හැඳ සාරි පටින් උඩු කය වැසීම මෑත කාලයෙහි පුරුදු වුණු ඇඳුමකි. පුරාණ පොත පත කියන ස්ත්‍රීන්ගේ උතුරු සළුව, එකස් කොට ළය වසා පෙරවුවක් නොව, දෙවුරය වසා දාගත් රෙදි කඩකි”. (“පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” – මාර්ටින් වික්‍රමසිංහ – 15-17 පිටු).

මුස්ලිම් විරෝධී ජාත්‍යන්තර වෙබ් අඩවි මගින් කළකට පෙර මතු කරණ ලද අදහසක් වූ සාම්ප්‍රදායික හා නුතන මුස්ලිම් වරුන් ලෙස බෙදීමේ පිළිවෙත ලාංකීය මුස්ලිම් විරෝධීන් විසින් අහුලා ගෙන ඇති බව පෙනෙන්නට ඇත. මෙම මතය තම සටන් පාඨය බවට පත් කර ගත්තු ලාංකීය මුස්ලිම් විරෝධීන් සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් හොඳය, නුතන මුස්ලිම් වරුන් ත්‍රස්තවාදීන් හා ශ්‍රී ලාංකීය බහුතර සිංහල බෞද්ධ සංස්කෘතිය ආක්‍රමණය කරන්නට වෙර දරන්නන් ලෙස හඳුන්වා දෙති. මෙම මතය අලෙවි කිරීම සඳහා ඉස්ලාමීය කාන්තා ඇඳුම පළමුවෙන් විවේචනය කළ මෙම උදවිය මුස්ලිම් පිරිමි පාර්ශවයේ රැවුල මෙන්ම ඇඳුමද විවේචනය කරන්නට පෙළඹී සිටින බවක් පෙනෙන්නට ඇත. සිංහල රජදරුවන් කිහිප දෙනෙක් ද යටි රැවුල ඇතිව සිටිය බව මෙම පිරිසට අමතක වී ඇති බවක් පෙනෙන්නට ඇත.

සම්ප්‍රදායික මුස්ලිම් කාන්තාව නොඇන්ද ඇඳුම් නුතන මුස්ලිම් කාන්තාව ඇඳීම සංස්කෘතික ආක්‍රමණයක් ලෙසත් අරාබි සංස්කෘතිය මෙරට ප්‍රචලිත කිරීමට දරණ උත්සාහයක් ලෙසත් විවේචන මතුවී ඇත. එහෙයින් සම්ප්‍රදායික සිංහල කාන්තාවගේ ඇඳුම් පිළිබඳව විමසුමක යෙදෙන්නට අදහස් කළේ මෙම විවේචකයන්ට වර්තමාන සිංහල කාන්තාවට සම්ප්‍රදායික සිංහල කාන්තාවගේ ඇඳුම හඳුන්වා දීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව සිතා බැලීමට අවස්ථාවක් ලබා දීම පිණිසය. වර්තමාන බහුතර කාන්තාවන්ගේ ඇඳුම් පිළිබඳව මුනිවත රකිමින් කටයුතු කරණ මෙම විවේචකයින්ගේ සැඟවුණු අරමුණු පිළිබඳව පාඨකයාට අදහසක් ලබා දීමත් මෙම ලිපියේ අරමුණයි.

නුතන මනෝවිද්‍යාව අපට උගන්වන්නේ පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට ලිංගික උත්තේජනය සිදුවන ආකාරයේ වෙනසක් ඇති බවය. අඩු ඇඳුමින් සැරසුණු පිරිමියෙකු දැකීමෙන් ස්ත්‍රියකගේ මනසේ ලිංගික පිබිදීමක් ඇතිවන්නේ ඉතාමත්ම අල්ප වශයෙන් බවත් ස්පර්ශය තුලින් ඇගේ හැඟීම් අවදිවීම ඉතා අධිකව සිදුවන්නක් බවත් මනෝවිද්‍යා සොයාගැනීමෙන් තොරවවුවත් අප අත්දකිනා සත්‍ය කරුණකි. අනිත් අතින් අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රියකගේ ශරීරය දැකීමෙන් පිරිමියෙකුගේ සිත තුළ ඇතිවන රාගික හැඟීම් ඉතාමත්ම අධික බවත් අප දන්නා සත්‍යයකි. නැවත වරක් අප පැවසිය යුතුව ඇත්තේ තමන්ගේ මව, බිරිඳ, දියණිය හෝ සොයුරිය මහමග බහුතරයකගේ රාගික හැඟීම් ඇවිස්සීමේ ආධාරකයක් බවට පත්වීම සදාචාර සම්පන්න කිසිම පිරිමියෙක් අනුමත කරන ක්‍රියාවක් නොවන බවය. නමුත් පිටස්තර ස්ත්‍රීන් එසේ තමන්ගේ රාගය ඇති කරවන භාන්ඩයක් බවට පත්වීම අපේක්ෂා කරන පිරිමින්ද අප සමාජයේ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් බව පැවසිය යුතුව ඇත. මෙවන් ‘රෑ දනියෙල් දවල් මිගෙල්’ චරිත නිසා ඇතිවී ඇති හානිය ඉමහත්ය. මනසේ මවා ගත්තු හරයක් නැති මතවාදයන් ඉදිරිපත්කරමින් සමාජය නොමඟ යවන්නට යමෙක් කටයුතු කරයි නම් එය ඉතාමත්ම පහත් ක්‍රියාවකි.

මෙම මාතෘකාවට අදාලව හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ වියතාණන් විසින් රචිත “පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” යන ග්‍රන්ථයෙන් තවත් කොටසක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“චාරිත්‍ර වාරිත්‍ර මෙන් දේශ ගුණය ද ඇඳුම් සකස් කරවයි. මේ කරුණු අනුව මෙන්ම, පොත පතින් පුරාණ ගල් රූපයෙන් සහ සිතුවම් වලින් ලැබෙන සාක්ෂ්‍යය අනුවද පුරාණ සිංහලයන්ගේ ඇඳුම් පැළඳුම් දකුණු ඉන්දියාවේ ජනයාගේ ඇඳුම් පැළඳුම් ව්‍යවහාරයට අනුගුණව සකස් කරනු ලැබියයි කල්පනා කළ හැකිය. එළාර – දුටු ගැමුණු යුද්ධයේදී ගැමුණු සේනාව දෙමළ සේනාව හැඳිනගත නොහැකිව උනුන් මරා ගත්හයි මහාවංශය කියයි. ගැමුණු කුමාරයා සිය සේනාවට විශේෂ සලකුණු සහිත ඇඳුම් සැපයුයේ මෙයින් පසුවය. දෙමළුන්ගේ ඇඳුම එතරම් වෙනස් නොවී යැයි සිතීමට, මේ කරුණුද අනුබල දෙයි.

නව වැනි ශත වර්ෂය පමණ වන තුරු කුලීන සිංහල ස්ත්‍රීහු පවා උඩුකය නොවැසුහයි නිශ්චය කළ හැකි සාක්ෂ්‍ය, පුරාණ සිතුවම්වලින් මෙන් පොතපතින්ද ලැබේ. පුරාණ ගල් රූපයන්ගෙන් සහ සිතුවම් වලින් ලැබෙන සාක්ෂ්‍ය, බොහෝ දෙන නොපිළිගනිත්. පුරාණ ශිල්ප සම්ප්‍රදායයන් අනුගමනය කළ බැවින්, ශිල්පීහු උඩුකය නොවැසෙන ඇඳුම් ඇතිව ස්ත්‍රීන්ගේ රූප නෙළුහ; සිත්තම් කළහ. මෙය ගල් රූප සහ පුරාණ සිතුවම් කියන සාක්ෂ්‍ය බැහැර කරන්නවුන්ගේ තර්කයෙකි. ගල් රූපයන්ගෙන් සහ සිතුවමින් ලැබෙන සාක්ෂ්‍ය මෙසේ බැහැර කරතත්, පොතපතින් ලැබෙන සාක්ෂ්‍ය නිසා, ගල් රූපයන් හි පෙනෙන්නේ තත්කාලයෙහි මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම් බව ඔප්පුවෙයි.

පුරාණ සිංහල කුල ස්ත්‍රිය උඩුකය නොවැසූ බැව් ධම්මපද අට්ඨ කතායෙහි රෝහිණි වස්තුව කියයි. අනුරුද්ධ මහ තෙරණුවෝ කිඹුල්වත් නුවරට වැඩියහ. රෝහිණී නම් උපාසිකාව, ශරීරයෙහි කුෂ්ඨ රෝගයක් ඇතිව ගත් හෙයින් ලජ්ජායෙන් එහි නොපැමිණ ගෙහි සිටිනු ඇසු අනුරුද්ධ ස්ථවිරයෝ, ‘ඇය කැඳවා ගෙන්ව’ යි වදාළෝය. මහා ස්ථවිරයන් මෙසේ කැඳවා යැවුයෙන් රෝහිණී, තමාගේ ඇඟ පුරාවූ කුෂ්ඨ වසා ගැනීමට ඇඟ ලා ගෙන සිටි කඩ කඤ්චුකය (සැට්ටය) ගළවා තබා ස්ථවිරයන් වෙත පැමිණියාය. (ධම්මපද අට්ඨ කථා 479 වැනි පිට: “ථෙරො පක්කො ස්ථානං ඳානිති පක්කො සාපෙත්වා කට කඤ්චුකං පටිමුඤචිත්වා ආගතං එවමාහ-රෝහිණී කස්මා නාගත්රුසීති”)

ධම්මපද අට්ඨ කථාවේ එන මේ වාක්‍ය ඛණ්ඩයටත් වඩා, රෝහිණී කථා වස්තුව සිංහලයට නැඟීමෙහිදී කලින් කළ සිදුවූ වෙනස, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුමෙහි පරිණාමය කියන සාධකයක් මෙන් ගත හැකි ය. ධම්මපද අට්ඨ කථාව පස්වැනි ශත වර්ෂයෙහි පමණ ලියුවකි. ‘ධම්පියා අටුවා ගැට පදය’ දහ වැනි ශත වර්ෂය මුල භාගයෙහි (ක්‍රි.ව. 918 හෝ 929 වැන්නෙහි) ලක් රජය කළ පස්වැනි කාෂ්‍යප රජුන්ගේ කෘතියෙකයි සලකනු ලැබේ. ‘කට කඤ්චුකං පටි මුඤ්චිත්වා ආගතං’ යන ධම්මපද අට්ඨ කථා පාඨය ‘පට්ට කඤ්චුකං පටි මුඤ්චිත්වා ආගතං’ යි ධම්පියා අටුවා ගැටපදයෙහි දක්නා ලැබේ. මේ පාඨයට ධම්පියා අටුවා ගැටපදය මෙසේ කියයි. “සිව්රොවූ පිලිසෙයනුවට පෙරවී පට කස්ස තුමන් කෙරෙහි ගැවුරින් මුද්‍රා තබා ඇයි යැ” (සර් ඩී.බී. ජයතිලක, ධම්පියා අටුවා ගැටපදය). මෙකල ව්‍යවහාර භාෂාවෙන් කියතොත් ධම්පියා අටුවා ගැටපද පාඨයෙහි අර්ථය මෙසේය. ‘රෝහිණී, තම ඡවි රෝගය වසා ගැනීමට පෙරවී පට සැට්ටය තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් උනා තබා උන්වහන්සේ වෙත ට පැමිණියාය’ යනුයි. , රෝහිණී, සැට්ටය උනා තබා ආයේ ‘තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන’යි ධම්පියා අටුවාව නොකියයි. ඇය සැට්ටය උනා තබා ආයේ තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙනයි කියන්නේ, ධම්පියා අටුවාවට අවුරුදු පන්සියයක් පමණ මෙපිටදී කළ ධම්පියා අටුවා ගැට පදයයි. තවත් අවුරුදු දෙතුන් සියයකට පසු මේ පුවත සද්ධර්ම රත්නාවලියෙහි ආරුඪ වන්නේ යළිත් වෙනස් වීමෙනි. “මහ තෙරුන් වහන්සේ ද ‘කැඳවා ගෙන්ව’යි වදාරලා පට කඩ සැට්ටයක් ඇඟ වසා ලා ගෙන ආවවුන්ට ‘හැයි, රෝහිණි, මෙතෙක් දෙන අප විචාරන්ට එන ගමනේ තොපි නාවනැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, හෙලිබසින්ට ලැජ්ජා වන තරම් කුෂ්ඨ රෝගයෙක් සියල් සිරුරු වසා ඇති විය. ඒ නිසා ලැජ්ජායෙන් නො ආබව මුත්, නිහර සරව නොවෙ යි’ කීහ.”

සද්ධර්ම රත්නාවලිය 13 වැනි ශත වර්ෂයෙහි (ආචාර්ය ගයිගර් සහ සර් ඩී. බී. ජයතිලක) කරන ලදැයි අනුමාන කරති. ධම්පියා අටුවා ගැටපදයට අවුරුදු තුන් හාර සියයකින් පසු සද්ධර්ම රත්නාවලිය ලියන කාලයෙහි, කුලීන කාන්තාවන් උඩුකය නොවැසීම, ක්‍රමයෙන් වෙනස් වී ගෙන ගිය විධියක් වුයෙන් සද්ධර්ම රත්නාවලිය කර්තෘහු ගැටපදයෙහි ආ විස්තරය නොතැකුහ යි සිතමි.

කුලීන කාන්තාවන් කෙසේ වෙතත් පොදු සිංහල ස්ත්‍රීහු, ඉතා මෑත කාලය වන තුරු උඩුකය නොවැසුහ. සිංහල කාව්‍යයන්ගෙන් එයට සාධක ලැබේ. 14 වැනි ශත වර්ෂයෙහි ගොපලු ගැහැණුන්ගේ ඇඳුම දනින් උඩ වැසෙන සේ හැඳගත් රෙදි කඩක් පමණි. තිසර සංදේශයේ පද්‍යයක් මෙසේ කියයි.
‘ලෙලවා තන බර ගන රන් කුඹු වැනි දන නෙත් වෙළියේ
දුහුලැඳ උඩු දණ මඬල ද සිරිසර පාමින් එළියේ
ගෙරි නවතා යනෙන ගොපලු අඟනන් දැක තුනු හෙළියේ
නෙතු සිත සනසමින් සබඳ නොලඟව මොරටුව එළියේ.
මොරටු එළියේ ගොපලු ගැහැනුන් ලීලොපෙත පයෝධරයන් එළියට පෙනෙන සේ ද, දනින් උඩ පමණක් වැසෙන සේ දුහුල් හැඳගත්තවුන් බැව් මේ පද්‍ය කියයි.” (“පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” – මාර්ටින් වික්‍රමසිංහ – 38-42 පිටු).

මෙම කරුණු ගෙන හැර දැක්වුයේ මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක් ඇති බව පවසමින් මුස්ලිම් විරෝධී හඬ ඉස්මතු කරන්නට වෙර දරන්නන් හට කෙසේ නම් තමන්ගේ පාරම්පරික සංස්කෘතිය වෙත ආපසු ගමන් කළ හැක්කේද කියා විමසීමටය. ඉස්ලාමීය සංස්කෘතිය වර්ෂ 1400 කට පමණ පෙර සදාචාර සම්පන්න හා සාරධර්ම සපිරි සමාජයක් ගොඩ නැගීම් අරමුණු කර ගෙන දෙවිඳුන් විසින් පහළ කරණ ලද අල් කුර්ආනයේ හා මුහම්මද් ධර්ම දුතයාණන් ගේ අලංකාර පුර්වාදර්ශය පදනම් කර ගෙන ගොඩ නැගුන කි. ඉතිහාසයේ විවිධ සංස්කෘතීන් අතරින් ආ ගමන් මඟ තුළ අන් සංස්කෘතීන් ගෙන් සිදුවූ බලපෑම් මත තම අලංකාර සංස්කෘතිය යම් වෙනස්කම් වලට භාජනය වන්නට ඇතැයි යන්න මුස්ලිම් වරුන් පිළිගන්නා සත්‍යයකි. එළෙස වෙනස් වූ දුෂිත සංස්කෘතිය සාම්ප්‍රදායික මුස්ලිම් සංස්කෘතිය ලෙස හඳුන් වන්නට ඉස්ලාම් විරෝධීන් උත්සාහ දරති. මුස්ලිම් ජනයා තමන්ගේ සදාචාර සම්පන්න අලංකාර සාම්ප්‍රදායික සංස්කෘතිය වෙත සැබැවින්ම වර්තමානයේ නැඹුරු වෙමින් සිටිනා බව අප දකිනා කරුණකි. කාන්තා ඇඳුම ස්ත්‍රියගේ ගෞරවය රැකෙන පරිදි සකස් කර ගෙන තිබීම, මස්ජිදය හා ඇති බැඳියාවෙහි වර්ධනයක් මෙන්ම තරුණ පිරිස අතර සාරධර්ම සපිරි ජීවිත නැඹුරුවක් ඇතිවී තිබීම අප අපගේ සාම්ප්‍රදායික ඉස්ලාමීය සංස්කෘතිය වෙත ගමන් කිරීමකි. මෙය අන්තවාදයක් හෝ සංස්කෘතික ආක්‍රමණයක් ලෙස වපර ඇසින් නොබලා මෙම වෙනස් වීම සමාජය සදාචාර සම්පන්න එකක් බවට පරිවර්තනය කරන්නට කෙතරම් උපකාරී වී ඇති දැයි කරුණාකර මධ්‍යස්ථ මනසකින් යුතුව විමසා බලා තීරණයකට එන ලෙස කාරුණිකව ආරාධනා කරන්නෙමු.

 By: Ahmad Dahalan
www.yayuthumaga.com

Related Posts

April 14, 2018 · එම්.අහ්මද් දහ්ලාන් · No Comments
Tags: ,  · Posted in: කාන්තා පිටුව

Leave a Reply