සාම්ප්‍රදායික හා නුතන මුස්ලිම් වරයා!

රට තුළ “මුස්ලිම් භීතිකාවක්‌” හා “මුස්ලිම් පිළිකුලක්” දියත් කරන්නට වෙර දරණ වෛරය හා ක්‍රෝධය වපුරන්නන් ඉදිරිපත් කොට අති නවතම සටන් පාඨය වී ඇත්තේ මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයකට සිංහල බෞද්ධ ජනයා ලක්වී ඇති බවය. සිංහල බෞද්ධ ජනයාගෙන් මධ්‍යස්ත අති බහුතරය සැබැවින්ම මෙවන් පදනම් විරහිත බොළඳ හා මනඃකල්පිත මත වාදයන් මිළට ගැනීමට සුදානම් නොමැති බව අපි ඉතා හොඳින් දනිමු. එනමුත් ඒ පිළිබඳව කරුණු පැහැදිළි කිරීමක් අවශ්‍යය බව සිතුනු නිසා මෙම ලිපිය සකස් කරන්නට අදහස් කළෙමු.

වෛර වැපුරුම්කරුවන් ශ්‍රී ලාංකීය මුස්ලිම් වරුන්ව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන බව දකින්නට ඇත. සාම්ප්‍රදායික හා රැඩිකල් (නුතන) වශයෙන් මෙම බෙදීම සිදුකර ඇති අතර සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් සමග ඔවුන්ට ගැටළු නොමැති බවත් ප්‍රකාශ වී ඇත. මේ අදහස් දෙස බලන විට මගේ මතකයට එන්නේ කුඩා කළ පාසැලේ ඉගෙන ගත් “වෘකයා හා බැටළු පැටියා” පිලිබඳව වූ උපදේශාත්මක කතා පුවතයි. එම කතාව දෙස පළමුව අවධානය යොමු කරමු.

“එකමත් එක රටක දිය පහරක ජලය බොමින් සිටි වෘකයෙක් තමන්ට පහලින් දිය බොන බැටළු පැටියෙක් දැක, අහෝ! මෙම බැටළු පැටියා ඩැහැගන්නට යම් හේතුවක් ඇතිකර ගන්නට හැකි නම් මට අනර්ඝ රාත්‍රී භෝජනයක් බුක්ති විඳින්නට හැකි වේ යැයි සිතා බැටළු පැටියා අමතා මෙසේ පවසන්නට විය.

වෘකයා: ඔබ මා බොන ජලය කලතා අපිරිසිදු කරන්නේය. ඔබ මාව ප්‍රකෝප කර වන්නේය.

බැටළු පැටියා: නැත ස්වාමීනි, මා ජලය පානය කරන්නේ ඔබට පහතින්ය. ඔබට ඉහලින් එන ජලය කැලතී අපිරිසිදු වන්නේ නම් එය කොහෙත්ම මා කළ දෙයක් නොවන්නේය.

වෘකය: එසේ නම් ඔබ ඇයි මට මෙයට වර්ෂයකට පෙර නරක නම් පට බැඳ මා අපහාසයට ලක් කළේ?

බැටළු පැටියා: එය කොහෙත්ම සිදු විය හැක්කක් නොවන්නේය ස්වාමීනි! මගේ වයස දැනට මාස හයක් පමණක්ම වන්නේය. කෙසේ නම් මා මෙයට වර්ෂයකට පෙර ඔබ අපහාසයකට ලක් කරන්නද?

වෘකයා: මේ කිසිවකින් මට කම් නැත. එය ඔබ නොවන්නේ නම්, ඔබේ පියා මට එසේ කළා විය හැක.

මෙසේ පවසා වෘකයා අහිංසක බැටළු පැටියාව ඩැහැගෙන තම අපේක්ෂාව ඉටු කර ගත්තේය.

මුස්ලිම් භීතිකාව හා මුස්ලිම් පිළිකුල ඇති කරන්නට වෙර දරමින් කටයුතු කරණ වෛර වපුරන්නන් හැසිරෙන්නේ ඉහත උපදේශාත්මක කථාන්තරයේ වෘකයා හැසිරුණු ආකාරයට බව අප සැමට පැහැදිලිව අවබෝධ කර ගත හැකි කරුණක් බවට පත්වී ඇත.
සාම්ප්‍රදායක හා නුතන යනුවෙන් මුස්ලිම් වරුන් අතර වෙනසක් පෙන්වමින් අපට ගැටළුව ඇත්තේ සංස්කෘතික ආක්‍රමනයක යෙදී සිටින නුතන මුස්ලිම් වරුන් සමග බව කරුණු ඉදිරි පත් කරති. සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්, එනම් පැරැන්නන් ගෙන් බහුතරයකට පැහැදිළි ආගමික දැනුමක් තිබුනේ නැති බව අප සැවොම දන්නා කරුණකි. නිවැරදි ආගමික දැනුමක් ලබා ගැනීමට අවශ්‍යය පහසුකම් එම යුගයේ නොතිබූ බව සත්‍යයකි. නුතන ලෝකයේ අප සැවොම අත් විඳින තාක්ෂණ හා අනෙකුත් දියුණුව සමග ඉස්ලාමයේ සත්‍යය ඉගැන්වීම් බහුතරයකට දැන ගැනීමේ අවස්ථාව උදාවී ඇත. එම දැනුම අනුව තම ජීවිතය නිවැරදි ආචාර ධර්ම, හැදියාව, සදාචාරය, අධ්‍යාත්මික ගුණ වගාව හා සාර ධර්ම අනුව සකස් කර ගන්නට බහුතරයක් පෙළඹී සිටිති. මෙය අන් කිසිම දහමකට හෝ පිරිසකට හෝ වාර්ගික කොටසකට හෝ පීඩනයක් ඇති කරවන්නට හේතු සාධක නොවන්නකි. සැබැවින්ම අන් දහම් හි නායකයින් විසින් කළ යුතුව තිබෙන්නේ මුස්ලිම් වරුන්ගේ අධ්‍යාත්මික නැඹුරුවෙන් ආදර්ශයක් ගෙන තම අනුගාමිකයින්වත් එවැනි සාර ධර්ම පිරි සධාචාර සම්පන්න පිරිසක් බවට පත් කරවන්නට කටයුතු කිරීම නොවේද? සදාචාර සෝදාපාළුවකට ලක්වී ඇති වත්මන් සමාජය යහමගට යොමු කළ හැකි වන්නේ මුස්ලිම් වරුන්ට අවලාද නගමින් කටයුතු කිරීමෙන් නොව, තම පිරිස හා අනුගාමිකයින්ව මනුෂ්‍යත්වයේ උසස්ම තළයට යොමු කරවන වැඩ පිළිවෙලක් තමන් විසින් වගකීමෙන් යුක්තව ක්‍රියාත්මක කිරීමෙන් නොවේද?

පියා තම දියණිය දුෂණය කරයි, සහෝදරයා තම සොයුරියව දුෂණය කරයි, සීයා තම මිනිපිරිය දුෂණය කරයි, පුජක වරයා අවුරුදු දොළහක දැරිවියක්ව ලිංගික අපයෝජනයට ලක් කරයි, අවුරුදු 42 ක කාන්තාවක්ව සමුහ දුෂණයකට ලක්වේ, මත්පැන් බී වෙරිවූ පුජක වරයා පාන් ලොරියක් කොල්ල කයි, මෙවන් නිමක් නොමැති පුවත් දෛනිකව පුවත්පත් මගින් කියවන්නෙමු. පාරම්පරික හා නුතන මුස්ලිම් වරුන් පිළිබඳව කතා කරණ සැවොම වාගේ මෙවන් අති භයානක සමාජ පිරිහීම පිළිබඳව ගොළුවත රකිති. මෙය ඉතාමත්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. මුස්ලිම් කාන්තාව තම සිරුර සම්පුර්ණයෙන් වැසෙන පරිදි ඇඳුම් අඳිනවිට ඔවුන් එය සංස්කෘතික ආක්‍රමණයක් ලෙස දකිති. බහුතරයක් තරුණ පිරිස, විශේෂයෙන් තරුණියන්, බටහිර සංස්කෘතියට වහල්වී පිරිමින් ව ලිංගිකව වල්මත් කරවන ආකාරයට තම ශරීරයේ අවයව කැපී පෙනෙන අයුරු ඇඟට ඇලෙන පරිදි ඇඳ ඇති කලිසම් හා නැමී යමක් ගන්නට නොහැකි ආකාරයේ කොට සායවල් පිළිබඳව මෙම නායකයින් මුනිවත රකිති. මෙවන් තත්වයක් දකින තරුණයින්ගේ සිත්හි ඇතිවන කැළඹිලි සහගත හැඟීම ඔවුන්ව ලිංගික අපචාරයන්ට දිරිගන්වන්නක් බව ඔවුන් නොදැන සිටින්නේද කියා අසන්නට කැමැත්තෙමු.

උගත් යැයි සම්මත දෙමාපියන්ම තම දුවරුන්ට හෙළුවැල්ලෙන් ඉන්නා ලෙස පෙනෙන ඇඳුම් පැළඳුම් අඳින්නට අවස්තාව දෙයි. මේ හෙළුවැලි ඇඳුම් ඇඳගෙන ඔවුන් සමාජගත වන විට කාමාතුර නෙත් දහස් ගණනක් මොවුන් දෙස ලිංගික උත්තේජනයට පත්වී ඔජවඩමින් බලන විට එය නොදකින දෙමාපියන්, ආගමික නායකයින්, සමාජ ශෝධකයින්, ඇත්නම් සත්‍යය වශයෙන්ම එය මානසික ව්‍යාධියක රෝග ලක්ෂණයක් බව කාට නම් ප්‍රතික්ෂේප කළ හැකි වන්නේද? මේ හෙළුවැලි දසුන පළමුවෙන්ම දකින්නේ දෙමාපියන්මය. තම දු සිඟිත්තන්ගේ අඟපසඟ ඔවුන්ටද යම් සුන්දර දසුනක් වනවා විය යුතුය. එය ඔවුන්ට අසුන්දර දසුනක් වේ නම් එය නවත්වන්නට ඔවුන් පෙළඹෙනු ඇත. එහෙත් සමාජයේ බහුතරයක් දෙමාපියන් මේ හෙළුවැලි රුප කිසිම අපහසුවකට පත් නොවී තම ඉදිරි දොරෙන් එලියට දමයි. එය මහා ගෞරවයක් යැයි ඔවුන් සිතනවා විය හැක. සමාජය යන දිසාවට අපිත් යනවා යැයි ඔව්හු නොකියා කියති. මෙම අති භයානක සංස්කෘතික ආක්‍රමණය හා ඉන් මතුවෙන සදාචාර සෝදාපාළුව පිළිබඳව ආගමික හා සමාජයීය නායකයින්ගේ නිහැඬියාව සැබැවින්ම කන් බිහිරි කරවන තරම්ය. නමුත් ඔවුන් ඉස්ලාමීය කාන්තාවගේ තම සිරුර වැසෙන ඇඳුම දකින්නේ නුතන මුස්ලිමයාගේ සංස්කෘතික ආක්‍රමණයක් ලෙසය. පසළොස්වන සියවසේ ජීවත්වූ වෑත්තෑවේ මාහිමිපාණන් රචිත ගුත්තිල කාව්‍යයේ එන කවිදෙකක් මෙයට උපමා ලෙස දකින්නෙමි.

දුරු කර හිරි ඔතප්
පෙන්විය දුදන ගුණ ගප්
මොහුට අප දුන් සිප්
පෙවූ කිරි වැන්න විස ගොර සප්

කොපමණ ගුණ කළත්
දුදනෝ නොවෙති යහපත්
කිරි දියෙහි දෙවියත්
අඟුරු සුදු වන කලෙක් නම් නැත්

අද අප පත්වී ඇත්තේ “වැටත් නියරත් ගොයම් කානම් කාට කියමුද ඒ අමාරුව” යන තත්වයට නොවේද? අහිංසක බැටළු පැටියා භෝජනයට ගන්නට ක්‍රියා කළ කපටි වෘකයා මෙන් අද මුස්ලිම් විරෝධීන් විවිධ හේතු ඉදිරිපත් කරමින් සිංහල බෞද්ධ සමාජය නොමග යවන්නට කටයුතු කරමින් සිටිත්. නමුත් මෙවන් කුටෝපක්‍රම හඳුනා ගැනීමට බුද්ධිමත් සිංහල බෞද්ධ සමාජයට සහතික වශයෙන්ම හැකි බව අපි ඉතා හොඳින් දන්නෙමු. නමුත් දුදනන් පිළිබඳව අලගියවන්න මුකවැටි පඬිවරයා 1611 දී පමණ රචිත “සුභාෂිත”යේ එන කවියක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

කුරිරු ගොර සපුන්ගේ දළගෙහි විස ය
මදුරු මැසි කැලන්ගේ තුඩගෙහි විස ය
රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විස ය
නපුරු දුදනන්ගේ සියොලඟෙහි ම විස ය

මෙයට කළකට පෙර මුස්ලිම් කාන්තාව තම ශරීරය වැසෙන්නට ඇඳුම් අඳින විට මුස්ලිම් විරෝධී පාර්ශවයෙන් නැගුනු චෝදනාව නම් පිරිමින්ගේ බලකිරීම මත ස්ත්‍රීන්ට මෙවැන්නක් කරන්නට සිදුවී ඇති බවය. මෙය කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දක්වා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සටන් කරන කාන්තා සංවිධානද ඔවුන් සමග අත්වැල් බැඳ ගත්හ. මෙහි සැඟවුණු අර්ථය නම් කාන්තා අයිතිවාසිකම් ලෙස ඔවුන් දුටුවේ ස්ත්‍රිය නග්නව හෝ අර්ධ නග්න භාවයෙන් සිටීම බව නොරහසකි. බටහිර සොසේජස් සංස්කෘතිය වැළඳ ගත්ත උදවිය සමග අත්වැල් බැඳ ගෙන බෞද්ධ පුත්‍රයන් වහන්සේලාත් ස්ත්‍රියගේ නිරුවත පෙන්වමින් මහමග ගමන් කරන කාන්තාව පිළිබඳව මුනිවත රකිමින් සංවර ශීලීව තම ශරීරය වසාගෙන යන කාන්තාවට අවලාද නැගීම කොතරම් භයානක සමාජ පිරිහීමක් පෙන්වන්නේද යන්න පිළිබඳව සිතා බැලිය යුතුව තිබෙනවා නොවේද? වරෙක කාන්තාව තම ශරීරය වසාගැනීම පිරිමින්ගේ බලකිරීමක් ලෙස මොර දුන්නු පිරිසම කාන්තාව නිරුවත් කිරීමට ඝෝෂා කිරීම කෙතරම් බරපතල විගඩමක් ද කියා අසන්නට කැමැත්තෙමු. මුස්ලිම් කාන්තාව තම ශරීරය හොඳින් වැසෙන පරිදි ඇඳුම් අඳින්නේ පිරිමින්ගේ “බලපෑම්” නිසා බවට ඇති මතය පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන ඉතාමත්ම අර්ථ විරහිත අදහසකි. සදාචාර සම්පන්න ස්ත්‍රිය නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ලැජ්ජ බය ඇතිව යහ අයුරින් ඇඳුම් අඳින්නටය. තම ශරීරය හොඳින් වැසෙන්නට ඇඳුම් අඳින ස්ත්‍රියගේ මනස තුළත් ඇතිවන්නේ ලැජ්ජ බය මුසු වූ තමාගේ චරිතයේ පිරිසිදුභාවය පිළිබඳ හැඟීම්ය. තම ශරීරය හැකි තරම් විවෘතව තබා ගන්නට වෙර දරන අයගේ මනසේ ඇත්තේ මෙයට හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයකි. තම ශරීරය විවෘතව තබා ගැනීමෙන් දන්නා හා නොදන්නා පිටස්තර පිරිමින්ගේ අනවශ්‍ය අවධානයට තමා ලක් වන අතර ඔවුන්ගේ ලිංගික අභිලාෂයන්ගේ ඉලක්කයක් බවටද පත්වීම වළක්වාගත නොහැකි කරුණක් වනු ඇත. මහමග පිරිමින්ගේ ආශාව පිරුණු තමා වෙත යොමුවන දෙනෙතින් යහ ස්ත්‍රීන් පත් වන්නේ ඉතාමත් අසීරු තත්ත්වයකටය. මෙවන් අනවශ්‍ය අවධානයකට වැඩිපුරම ලක්වන්නේ ශරීරය හොඳින් වසාගත් ස්ත්‍රීන්ද නැතිනම් අඩනිරුවතින් හා ශරීරයටම ඇලෙන පරිදි ඇඳුම් ඇඳ මහමග සැරිසරන ස්ත්‍රීන්ද කියා අසන්නට කැමැත්තෙමු? වැඩි අවධානය යොමු වන්නේ අඩනිරුවත් ස්ත්‍රීන් කෙරෙහි බව කිසිම සැකයක් නොමැත. මෙවැනි තත්ත්වයන් නිසා ස්වභාවයෙන්ම ශාරීරිකව දුර්වල ස්ත්‍රිය බොහෝවිට ලිංගික බලහත්කාරකම් හා අතවර වලට ලක්විය හැකි ඉඩකඩ ඉතාමත්ම අධිකය. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා තැබීමෙන් ඇති ඵලය කුමක්ද? හානියක් වන්නට පෙර නිසි පියවර ගැනීම වැදගත් බව මෙයින් පැහැදිලි නොවන්නේද?

 By: Ahmed dahlan
www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.