අතුරලියේ රතන හාමුදුරුවෝ සහ මුස්ලිම් අන්තවාදය! 

මෑතකදී දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකට සහභාගී වූ අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේ මුස්ලිම් අන්තවාදය පිළිබඳ ව කරුණු දක්වා තිබුණි. රතන හාමුදුරුවන් වහන්සේ අදහස් දක්වමින් මුස්ලිම් ජනයා විසින් සිංහල ප්‍රජාව අන්තවාදීන් ලෙස දකින බව සඳහන් කොට තිබුණි. මෙම මතය සමග අපට එකඟ විය නොහැක. මුස්ලිම් ජනයා විසින් සම්පුර්ණ සිංහල ප්‍රජාවම අන්තවාදීන් ලෙස කිසි දිනක චෝදනා කොට නොමැති අතර ඔවුනතුරින් අති මහත් බහුතරය යහ මධ්‍යස්ථ මතදාරීන් බව අපගේ අවංක පිළිගැනීමයි. එක් සිදුවීමක් මුල් කොට ගෙන ගිනි තැබීම් හා විනාශකාරී ක්‍රියාවන් 600කට අධික ප්‍රමාණයක් සිදු කොට නිවාස, ව්‍යාපාරික ස්ථාන හා වාහන විනාශ කොට හා තවත් මිනිස් ඝාතනයක් සිදු කිරීම අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක් මිස අන් කවරෙක් ද යන්න රතන ස්වාමීන් වහන්සේගෙන් විමසා සිටින්නට කැමැත්තෙමු. උන්වහන්සේ මෙම අන්තවාදය වසං කිරීමට හා එයට සුදු හුණු ගෑමට මුස්ලිම් වරුන්ගෙන් අන්තවාදයක් මතු වී ඇති බව කරුණු දක්වා තිබුණි. 

මුස්ලිම් කාන්තාවන් කළු ඇඳුම් ඇඳීම හා පාසල් සිසුවියන්ට කළු ඇඳුම් ඇඳීමට අවසරය ඉල්ලමින් කටයුතු කිරීම මුස්ලිම් අන්තවාදයක් ලෙස උන්වහන්සේ කරුණු දක්වා තිබුණි. මුස්ලිම් කාන්තාවන්ගේ කළු ඇඳුම ගෝනියක් ලෙස ද උපහාසාත්මක ව උන්වහන්සේ විසින් දක්වා තිබුණි. අනේ හාමුදුරුවනේ ඔබවහන්සේ දක්වා තිබු මෙම කරුණු වලින් කොටසක් සත්‍යයෙන් බැහැරවූ ඒවා බව ගෞරව පුර්වකව දන්වා සිටින්න කැමැත්තෙමු. මුස්ලිම් පාසල් සිසුවියන් කිසි දිනක කළු අඳින්නට කිසිදු පාසලකින් අවසර ඉල්ලා නොමැත. ඔවුන් අවසර ඉල්ලා ඇත්තේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛනයක් අනුව හා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකින් මගින් මුස්ලිම් සිසුවියන්ට අනුමත තම ශරීරය වැසෙන පරිදි පාසල් නිල ඇඳුම අඳින්නට ඇති අයිතියයි. මෙම අයිතිය ඇතැම් පාසල් මගින් අහුරා ඇති තත්ත්වය වෙනස් කර ගැනීමටයි ඔවුන් උත්සාහ කරන්නේ. කරුණාකර වැරදි තොරතුරු සමාජගත කොට සිංහල ජනයාගේ සිත් තුළ මුස්ලිම් පිළිකුලක් ඇති කිරීමට කටයුතු නොකරන ලෙස ගෞරව පුර්වකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

මෙහිදී සාකච්ඡාව මෙහෙයවූ දෙරණ නාලිකාවේ සංඛ මහතා මුස්ලිම් කාන්තාවන් පෙර කාලයේ සාරිය ඇඳ එයින් හිස ආවරණය කරගන්නට කටයුතු කළ බව සඳහන් කොට තිබුණි. මෙය සත්‍යය කරුණකි. මුස්ලිම් කාන්තා හා පිරිමි ඇඳුම් පිළිබඳ නිශ්චිත නිර්ණායකයන් ඉස්ලාමීය ඉගැන්වීමෙහි අන්තර්ගතය. ‘අබායා’ නමින් හැඳින්වෙන මෙම කළු ඇඳුම පිළිබඳ දැනුවත් වීමක් නොමැති යුගයක මුස්ලිම් කාන්තාව විසින් සාරිය ඇඳ සාරිපොට මගින් තම හිස හා ශරීරය වැසෙන පරිදි කටයුතු කොට තිබුණි.

හැත්තෑවේ දශකයෙන් පසු මැද පෙරදිග රැකියා විවෘතවීමත් සමග මුස්ලිම් හා මුස්ලිම් නොවන කාන්තා හා පිරිමි විශාල පිරිසක් රැකියා සඳහා මැද පෙරදිගට සංක්‍රමණය වූහ. ලංකාවේ මුස්ලිම් කාන්තාවන් තම ශරීරය වසා ගැනීමට සාරිය ඇඳ කළ ක්‍රියාව එයට වඩා පහසු ආකාරයකින් ‘අබායා’ නම් ඇඳුමින් කරන බව දුටු ඔවුන් එම ඇඳුමට හුරු පුරුදු වීම වැළක්විය හැක්කක් නොවේ. මෙලෙසයි ශ්‍රී ලාංකේය මුස්ලිම් කාන්තාවන් මෙම ඇඳුමට හුරුපුරුදු වුයේ. ඒ හැරෙන්නට අන්තවාදයක් පදනම් කර ගනිමින් එසේ කරන්නට ඉදිරිපත් වුවා නොවේ. කරුණාකර එය සංස්කෘතික ආක්‍රමණයක් ලෙස හෝ සිංහල සංස්කෘතිය විනාශ කිරීමට කරන්නා වූ ක්‍රියාවක් හෝ නොවන බව ඔබවහන්සේ වෙත ඉතා අවධාරණයෙන් යුක්තව දන්වා සිටින්නට කැමැත්තෙමු.

සිංහල සංස්කෘතියට සිදු වී ඇත්තේ කුමක් ද යන්න පිළිබඳ ව උන්වහන්සේ නිහැඬියාවෙන් කටයුතු කිරීම ගැන අපි විමතියට පත්ව සිටින්නෙමු. මේ සම්බන්ධව පහතින් උපුටා දක්වා ඇති කොටස කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමු.

“නූතන සමාජය තුළ ආකර්ශනීය වශීකරණයන් එමටය. එයට කියන්නේ ‘ජනප්‍රිය සංස්කෘතිය’ කියාය. ප්‍රිය සම්භාෂණ වැනි උත්සව මහෝගයන් සමාජය තුළට මෝදු වෙයි. සමාජ සංස්ථාවන් කිති කවන්නට සමත් වෙයි. සංගීත සැඳෑවන් සමාජය තුළ වැහි වැහැලාය. බර්ත්ඩේ පාටි ද විශ්‍රාම යෑමේ පාටි ද අර පාටි ද මේ පාටි ද සුපිරි හෝටල් අංගනයන් තුළ මුලු දෙයි. සමාජ ඇවැතුම් පැවැතුම් උඩු යටිකුරු වෙමින් පවතියි. විප්ලවකාරී වෙනස්වීම් සමාජය තුළට කැන්දන්නට ජනප්‍රිය සංස්කෘතිය උත්සුක වෙයි. සමාජ මිමි විප්ලවකාරී වෙනස්වීම් වලින් ආකර්ෂිත වෙයි. හණමිටි ඉවත දැමෙයි. ඒ වෙනුවට මොකක් හෝ අතට අහුවෙන දෙයක් සමාජය තුළ රුවන්නට කැස කැවෙයි. ඒ දෙය විෂම වුවද කම් නැත. සමාජය නිමක් නැති ලෙස දුවන්නට, හති වැටෙන තුරු දුවන්නට ඒ අරුම දෙය උදව් වේ නම් එහි අග මුල සොයන්නේ කුමට ද?

රෑට හෝටලයෙන් කෑම මිනිසුන්ට අභිමත වෙයි. සුමානයකට දවස් දෙක තුනක් ප්‍රිය සම්භාෂණයකට එකතු වූ විට සියල්ල ඇඟට නොදැනී ඉටු වෙයි. නැටුම් ගැයුම් සමග කෑම බීම ද ලැබෙයි. මෙහිදී පුරසාරම් දෙඩුමට අවස්ථාව ද ලැබෙයි. උජාරුකම් කියන්නට ද අවස්ථාව ලැබෙයි. ඇඳගත් ඇඳුම් පැලඳුම් ප්‍රදර්ශනය කිරීමට ද ඉඩප්‍රස්ථා ලැබෙයි. ඇඳුම් ඇඳ ගත්තත් හෙලුවැල්ලෙන් ඉන්නා ලෙස පෙනෙන ජනප්‍රිය සංස්කෘතියේ යුවතියන්ගේ අඟ පසඟ ප්‍රදර්ශනය කිරීමෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට ඔවුන්ට අවස්ථා උදාවෙයි. ඇත්තෙන් බැලූ විට මෙය ජනප්‍රිය සංස්කෘතියක්මත් නොව සොසේජස් සංස්කෘතියකි. එසේ නොවේ නම් හෙලුවැලි සංස්කෘතියකි.

උගත් යැයි සම්මත දෙමාපියන් ම තම දූවරුන් ට හෙලුවැල්ලෙන් ඉන්නා ලෙස පෙනෙන ඇඳුම් පැලඳුම් අඳින්න ට අවස්ථාව දෙයි. මේ හෙලුවැලි ඇඳුම් ඇඳගෙන ඔවුන් සමාජගත වන විට කාමාතුර නෙත් දහස් ගණනක් මොවුන් දෙස ඔරවා ඔජවඩමින් ලිංගික උත්තේජනයට පත්වී බලන විට එය නොදකින දෙමාපියන්, ආගමික නායකයින්, සමාජ ශෝධකයින්, ඇත්නම් සත්‍යය වශයෙන්ම එය මානසික ව්‍යාධියමය තත්ත්වයකි. මේ හෙලුවැලි දසුන පළමුවෙන්ම දකින්නේ දෙමාපියන්මය. තම දූ සිඟිත්තන්ගේ අඟපසඟ ඔවුන්ටද යම් සුන්දර දසුනක් වනවා විය යුතුය. එය ඔවුන්ට අසුන්දර දසුනක් වේ නම් එය නවත්වන්නට ඔවුන් පෙලඹෙනු ඇත. එහෙත් සමාජයේ බහුතරයක් දෙමාපියන් මේ හෙලුවැලි රූප තම ගෙදර ඉදිරි දොරෙන් එළියට දමයි. එය මහා ගෞරවයක් යැයි ඔවුන් සිතති. සමාජය යන දිසාවට අපිත් යනවා යැයි ඔවුහු නොකියා කියති.

බොහෝ මාධ්‍යයන් මගින් අවධාරණය කෙරෙන්නේ යම් ජාත්‍යන්තරකරණයක් අවශ්‍යව ඇතැයි යන්නයි. අපේ විලාසිතාවන් ජාත්‍යන්තරකරණය විය යුතුයි. සරම කමිසය ඇඳ එසේ විය නොහැක. නව ඉසවු සොයා යා යුතුය. රෙද්ද හැට්ටෙ ඇඳ ජාත්‍යන්තරකරණය විය නොහැක. ඒවා අවශ්‍ය නම් යම් හෙලුවැලි ස්වරූපයක් ඒවාට ආදේශ කළ යුතු වෙයි. ස්ත්‍රී ස්වරූපයේ බොහෝ තැන් පෙනෙන ලෙස ඇඳීම ජාත්‍යන්තරකරණය වෙත නැගීමට ඇති පියගැට පෙළෙහි යම් පඩි කිහිපයක් නැග්ගා හා සමාන වෙයි. දැනුම ජාත්‍යන්තරකරණය විය යුතුය. මාධ්‍ය ක්‍රමවේදයන් ජාත්‍යන්තරකරණය විය යුතුයි. එහෙයින් බෞද්ධ ගීතයකට වූවත් රුපවාහිනී පෙට්ටියේ පස්ස ගස්සමින් උඩ දමමින් නටන ගැහැනුන්ගේ භාව ප්‍රකෝපිත නැටුම් ජනතාවට පෙන්වීම ඇතැම් අඥානයෝ මහා කෙරුවාවක් යැයි සිතති. මෙවැනි විසුක දස්සන දකින ජනතාව ඉඳුරන් සන්සුන් කර ගන්නේ කෙලෙසදැ’යි පැණයකි. රූපවාහිනී තිරයන් මත වැටෙන ගෝලීයකරණ උන්මාදය ඇතැම් විට ව්‍යාධිත ස්වරූපයක් බව විවරණය කළ හැකි වෙයි.

හැම තැනම ඇත්තේ ඉඳුරන් අවුස්සන, පීඩනයට පත්කරන වශීකරණයන් ය. මෙය හොඳ දෙයක් නම් නොවන්නේය. එය ව්‍යසනයටම හේතුවකි. සිංහල සොසේජස් සංස්කෘතිය අනුව ඔහුගේ පුරුෂාර්ථයන් ආරක්ෂා කර ගැනීම යම් අර්බුදකාරී දෙයක් වුවත් ඒ දෙය ඔහු කළ යුතු වෙයි. එසේ නොවූවහොත් ජාත්‍යන්තරකරණය පස්සේ ගොස් සිංහල සමාජය ව්‍යනුකලනයට පත්වීම සහතික වෙයි.

සිංහල සමාජය සරල අල්පේච්ඡ ජීවිතයකට හුරුව ලබා තිබුණකි. සිංහල ජීවන ක්‍රමයේ මේ සරල සුන්දරකම දූරිභූත වන බවක් දැන් පෙනී යයි. අප සමෘධිමත් විය යුත්තේ ආර්ථික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද අප සමෘධිමත් විය යුතුයි. ආත්මීය සමෘධියට සරල සිංහල ජීවන ක්‍රමය අතිශයින් ම අත්වැලක් වූයේය. විස්තීර්ණ භාවයට පත් කාමභෝගී බහු භාණ්ඩික ජීවන ක්‍රමය ආධ්‍යාත්මික සමෘධියට මෙන්ම සංස්කෘතික සමෘධියට හේතු නොවන්නේය. එයින් අත් වන්නේ විපරීත භාව ප්‍රකෝපනයක් පමණි. භාව විශෝධනයකට ආත්මීය හර පද්ධතීන් හා පුරුෂාර්ථයන් අවශ්‍ය වෙයි. ආගම් ඇසුරු කිරීම, සෞන්දර්යාත්මක කලාවන් හා මානව ශාස්ත්‍රයන් ඇසුරු කිරීම භාව විශෝධනයකට හේතු වෙයි. ජීවිතයේ දැකිය යුත්තේ එවන් හරවත් දෙයකි”. (“සිංහල සමාජය හා සංස්කෘතිය” ගුණසිරි වීරසූරිය පිටු 403 සිට 414 දක්වා ඇති කොටසින් උපුටා ගන්නා ලදී).

මුළු මහත් ලාංකේය සමාජයම සදාචාර සෝදාපාලුවකට ලක් කරමින් වර්ධනය වෙමින් පවතින ‘ජනප්‍රිය සංස්කෘතිය’ නමින් හැඳින්වෙන මෙම හෙලුවැලි සංස්කෘතිය පිළිබඳ ‘මුස්ලිම් භීතිකාවක්’ හා ‘මුස්ලිම් පිළිකුලක්’ ඇතිකරන්නට කටයුතු කරන්නන්ගේ නිහැඬියාව සත්‍යය වශයෙන් ම අතිශයින් මවිතකරය, අදහාගත නොහැක්කකි .

ඇඳුම හා සදාචාරාත්මක සංස්කෘතිය 

මව, දියණිය, සහෝදරිය, බිරිය යනාදී ගෞරවනීය මිනිස් බැඳියාවන්ට උරුමකම් පෑමට හැකියාව ඇත්තේ කාන්තාවකට පමණි. ඇයව වෙළඳ භාණ්ඩයක් බවට පත් කොට ලිංගික සන්තර්පණයේ මාර්ගයක් පමණක් බවට පත් කළ විට සිදු විය හැකි සමාජ ව්‍යසනය පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතු නොවන්නේ ද? අද සිදුවෙමින් පවතින්නේ කුමක් ද? ස්ත්‍රිය අඩුවෙන් ඇඳුම් අඳින විට ඇතැම් සමාජ නායකයින් ඇතුළු සමාජයේ බහුතරය මුනිවත රකිති. මෙම භයානක නිහැඬියාව අපට හඬ නගා පවසන්නේ කුමක් ද? මුළු මහත් සමාජ ව්‍යුහයම සදාචාර විනාශයකට ලක් වී ඇති බව නොවේ ද? රණස්ගල්ලේ හිමියන් රචිත ‘ලෝකෝපකාරයෙහි’ එන “ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” යන වදනට අනුව වර්තමාන ඇතැම් ඉස්ලාම් විවේචකයින් සදාචාර සම්පන්න කාන්තා ඇඳුමට අවලාද නගමින් සදාචාර විරෝධී කාන්තා ඇඳුම පිළිබඳ නිහැඬියාවෙන් පසුවෙන්නේ තමා සම්මතයේ පිහිටා නොමැති නිසාදැයි විමසන්නට කැමැත්තෙමු.

වඩාත් අදහාගත නොහැකි කරුණ බවට පත් වී ඇත්තේ ස්ත්‍රියක් තමන්ගේ සංස්කෘතිය අනුව සදාචාර සම්පන්න ඇඳුමින් සැරසී සමාජගත වන විට මතු කරන්නා වූ අවලාදයන් ගැනය. මෙවන් සදාචාර විරෝධී හඬ තමන් ව සමාජ නායකයින් යැයි පවසා ගන්නා පිරිසකගෙන් එන විට මුළු සමාජයම පත් වන්නේ කුමන තත්වයකට ද? අසංවරකම ප්‍රගුණ කරන්නට දරන්නා වූ වෑයමක් ලෙස මෙය හඳුන්වා දිය නොහැකි ද? දරුවන් ඇති යහ දෙමව්පියන් මේ පිළිබඳව දක්වන ප්‍රතිචාරය කුමක් ද? කාගේ හෝ සැඟවුණු න්‍යාය පත්‍රයකට අනුව හෝ තවත් ශ්‍රී ලාංකේය ජනවාර්ගික කොටසක් කෙරෙහි ඇති තමන්ගේ පදනම් විරහිත වෛරය නිසා හෝ යහ චින්තනයකින් තොරව සමාජ සදාචාරය පිරිහීමට දිරි දෙන අයුරින් කටයුතු නොකළ යුතු යැයි ඉතා නිහතමානීව අපි ඉල්ලා සිටින්නෙමු. නූතන වාණිජ සමාජය විසින් ස්ත්‍රියව වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කර තිබීම ගැන කිසිම හඬක් ඇසෙන්නේ නැත. ශරීරයෙන් 5% ක් පමණ වසා ගත් තරුණියන්ගේ රාගය දනවන රූප රාමු වෙළෙඳ දැන්වීම් වලට යොදා ගැනීම ගැන සමාජ ප්‍රශ්න ගැන කථා කරන්නන් මුනිවත රකිමින් රහසිගත වින්දනයක යෙදී සිටින්නේදැයි අසන්නට තරම් කාරණයක් බවට පත්වී ඇත. කසාය බිව් ගොළුවා සේ මෙම උදවිය කටයුතු කරන්නේ මන්ද? මෙවන් රූප රාමු වලට තම මව, බිරිය, සහෝදරිය හෝ දියණිය ඉදිරිපත් කරන්නට අපි අකැමැති වන්නෙමු. අවාසනාවට, පිටස්තර ස්ත්‍රීන්ගේ කාමුක දර්ශන දෙස බලා මානසික වශයෙන් රෝගී වින්දනයක් ලබාගන්නට සමහරුන් හුරු වී ඇති අතර මෙම රෝගයේම කොටසක් ලෙසින් තම ශරීරය සදාචාර සම්පන්න ලෙස වසාගන්නා වූ ස්ත්‍රීන්ට අවලාද නගන්නටද හුරු වී සිටිති. සාරධර්ම හා සදාචාරයෙන් යුත් සමාජයක් ගොඩ නැගීම සඳහා වූ ඉස්ලාමීය ඉගැන්වීම් ගැන විරුද්ධත්වය පාමින් ඊනියා ස්ත්‍රී අයිතිවාසිකම් ගැන කතා කරන්නන්ගේ සැඟවුණු අරමුණු කුමක්ද යන්න මෙයින් පැහැදිලි නොවන්නේ ද?.

By: අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.