- යා යුතු මග - http://yayuthumaga.com/new -

වාර්ගික ආගමික සංහිඳියාව යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?

බහු වාර්ගික හා බහු ආගමික සමාජයක පදනම විවිධත්වයයි. මෙම විවිධත්වය හේතුවෙන් සමාජ ඝර්ෂණයන් ඇති වීමට ඇති ඉඩකඩ ඉමහත්ය. සමාජ සාමය හා සහජීවනය ස්ථාපිත කරන්නට නම් පොදුතාවන් හඳුනා ගෙන ඒ මත සාමුහිකත්වය ගොඩ නඟා පොදු නොවන සාධක විවිධත්වයේ යථාර්ථයන් බව පිළිගැනීමට හැකියාවක් අප සැමට තිබිය යුතුය. ශ්‍රී ලාංකික අප සැමට ඇති පොදුතාව ශ්‍රී ලාංකික අනන්‍යතාවයි. මෙම ශ්‍රී ලාංකිකත්වයට අදාළ පොදු සංස්කෘතියක් ද ඇත. අප සැවොම ඒ පොදු සංස්කෘතිය පිළිගැනීමට සුදානම් විය යුතුය. මේ අනුව ශ්‍රී ලාංකික අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් සියළුම වාර්ගික හා ආගමික ජන කොටස් මෙම බහුත්ව වාදී පොදු සංස්කෘතියට අනුගත කිරීම වාර්ගික ආගමික සංහිඳියාව ලෙස අර්ථ දැක්විය හැක.

බහුත්වවාදී පොදු සංස්කෘතියට අදාළ වන සාධක කුමක් දැයි විමසා බලමු. ජාතික ධජය, ජාතික ගීතය, නිදහස් දිනය, හා අනෙකුත් පොදු ආචාරධර්ම මෙයට ඇතුළත් වේ. සිංහල බෞද්ධ සංස්කෘතිය රටේ ප්‍රධාන තැනක් ගන්නා අතර තමන් භුක්ති විඳිනා සංස්කෘතික අයිතිවාසිකම් එම සමාජ අවකාශය තුළ අනෙකුත් සංස්කෘතීන්ට ද භක්ති විඳින්නට අයිතියක් ඇති බව පිළිගැනීමට සැමගේ එකඟතාවක් තිබිය යුතුය. ඒ හැරෙන්නට සිංහල බෞද්ධ සංස්කෘතියට අනෙකුත් සියළු සංස්කෘතීන් අනුගත විය යුතු බවට මතයක් සමාජ ගත වුවහොත් එතැන ප්‍රතිවිරෝධතා මතු වීම වැලැක්විය හැක්කක් නොවේ. සිංහල බෞද්ධ සංස්කෘතියට අදාල ජන කොටසේ බහුතරයක් අතර මෙම මානසිකත්වය ඇති වී තිබේ ද? මුස්ලිම් ප්‍රජාවට අයත් ඇඳුම, ආහාර, වත්පිළිවෙත් ආදිය විවේචනයට ලක් කරමින් ඔවුන් කටයුතු කරන්නේ මෙම මානසිකත්වය ගොඩනඟා ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇති නිසා නොවේ ද? සියළු සංස්කෘතීන් එකිනෙකාට ඇති අයිතිය ගරු කළ යුතු වෙනවා නොවේ ද?
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටසේ 10 හා 14 (1) වැනි වගන්තීන් හි පහත සඳහන් අයුරු සටහන් කොට ඇත. 

3 – 10”සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය”.
3 – 14. (1) “සෑම පුරවැසියකුටම – ( ඉ) එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට; ( ඊ) එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට; හිමිකම ඇත්තේ ය”.

By: එම්.අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

[4] [5] [6] [7]