කුහකත්වය සහ එහි ලක්ෂණ (Hypocrisy & Its Signs)

නබිතුමාගේ හිජ්රත් ගමන සිදුවන තෙක් මක්කා වැසියන් ළඟ කුහකත්වය දැකීමට තිබුනේ නැත. ඔවුන් සත්‍යය කතා කිරීම අගය කොට සලකුවෝය. මේ හේතුව නිසා නබිතුමාගේ අනුගාමිකයින් අබිසිනියාවට හිජ්රත් ගොස් සිටි අවස්ථවේදී එහි රජු එවකට නබිතුමාගේ එදිරිවාදියෙකුව සිටි අබු සුෆියාන්ගෙන් නබිතුමා ගැන විමසු අවස්ථාවේදී ඔහු නබිතුමා ගැන සත්‍යය කරුණු හැර වෙන කිසිවක් පැවසුවේ නැත.නබිතුමා මදිනා නගරයට හිජ්රත් ගිය පසු මෙම තත්වය වෙනස් විය. මදිනාවේ සිටි ඇතැම් අය ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා එළිපිට මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටියත් අභ්‍යන්තරයේ මුනාෆික්වරුන් වශයෙන් ක්‍රියා කළෝය. එම කණ්ඩායමේ නායකයා ලෙස අබ්දුල්ලා ඉබ්නු උබෙයි ක්‍රියා කොට ඇත. කෙසේ වෙතත් ඔවුන් නබිතුමා සමග එකට සලාතය පවා ඉටු කර තිබේ.

කුහකයෙකුගේ ඊමාන් විශ්වාසය මඩේ ඉන්දපු ඉන්නක් සේ එහා මෙහා වැනෙන්නේය. දෙවියන් කෙරෙහි ඔවුන්ගේ අචල විශ්වාසයක් දැකිය නොහැකිය. ඔවුන් නැමදීම ඉටු කලත් එය එක දිගට සිදු කරන්නේ නැත. ඔවුන් ගැන කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත.

“(විශ්වාස කළ) මොවුන්ගේ පාර්ශවයටද (ප්‍රතික්ෂේප කරන්නන් වන) ඔවුන්ගේ පාර්ශවයටද නැතිව මොවුහු අතර මගෙහි දඟලමින් සිටිති. අල්ලාහ් කවරෙකුව මං මුලාවෙහි හැර දමයිද ඔහුට කිසිඳු මගක් නුඹ නොදකින්නේහිය” (කුරානය 4:143).

මුනාෆික්වරයෙකුගේ ප්‍රධාන ලක්ෂණ තුනකි. ඔහු කතා කරන විට බොරු කියන්නේය. ඔහුව විශ්වාස කළේ නම් ද්‍රෝහී වන්නේය. පොරොන්දුවක් දුන් විට එය ඉටු කරන්නේ නැත. එසේ තිබියදීත් ඔහු සලාතය ඉටු කරන්නේය. උපවාස කරන්නේය. හජ් වන්දනය ඉටු කරන්නේය. තවද ඔහු තමා මුස්ලිම්වරයෙකු යැයි කියාගන්නේය (මුස්ලිම්).

ඇතැමුන් ළඟ නබිතුමාගේ සුන්නාවන් කිසිවක් දැකිය නොහැකිය එසේම කුරානයේ ඉගැන්වීම ගැන කිසිම දෙයක් දන්නේ නැත. එහෙත් ඉස්ලාම් දහමේ නම් විකුණමින් තම කාර්යයයන් ඉටු කර ගැනීම සඳහා ක්‍රියා කරන්නේය. තවත් සමහරු තමන්ගේ කාර්යය කර ගැනීම සඳහා බොහෝ පොරොන්දු දෙන්නේය. එහෙත් ඔවුන්ගේ අරමුණු ජය ගත්පසු ඒවා ඉටු කරන්නේ නැත. ඇතැම් අය ගෙවල් කුලියට ගන්නේ කියන වෙලාවක ඉන් ඉවත්වන පොරොන්දුව පිටය. නමුත් ඇතැමුන්ගෙන් ඒවා ඒ ආකාරයට ඉටු වන්නේ නැත. සමහරු ඉදිරියට දින දමමින් චෙක් පත් නිකුත් කරන්නේය. එහෙත් ඒවා කිව් ආකාරයට සිදු වන්නේ නැත. මේ සෑම ක්‍රියාවක්ම මුනාෆික්වරයෙකු සතු ලක්ෂණයන් බව තේරුම් ගත යුතුය.

ගනු දෙනු සම්බන්දයෙන් කුරානයේ මෙලෙස සඳහන් වේ.

“ප්‍රතිඥාව ඉටු කරන්න. නියතවශයෙන්ම ප්‍රතිඥාව ගැන ප්‍රශ්න කරනු ලබන්නේය” (කුරානය 17:34).

දෙවියන් ගැන විශ්වාසය ඇති අය මෙම කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.pura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.