දරු සම්පත උසස් භාග්‍යයකි!

සෑම කෙනෙකු තුළම තමන්ගේ දරුවන් අල්ලාහ් විසින් මා හට පිරිනමනු ලැබූ භාග්‍යයකි යන විශ්වාසය පැවතිය යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: ”අහස් ගැබන්හි හා මහා පොළොවෙහි පාලනය අල්ලාහ් සතුය. ඔහු තමන් කැමති අයට ගැහැණු දරුවන් පමණක් පිරිනමයි. තමන් කැමති අයට පිරිමි දරුවන් පමණක් පිරිනමයි. නැතහොත් ගැහැණු, පිරිමි දරුවන් එකසේ පිරිනමයි. තවද තමන් කැමති අයව වඳ භාවයටද පත්කරයි. සැබවින්ම ඔහු සර්ව ඥානාන්විතයා හා සියල්ල අභිබවන්නාය” (42: 49, 50*.

දරුවන් අල්ලාහ් විසින් පිරිනමන ලද භාග්‍යකි. මෙම භාග්‍ය පිළිබඳ මතු දිනයෙහිදී මා ප‍්‍රශ්න කරනු ලබමි යන හැඟීම් සෑම පියෙකුගේ හා මවෙකුගේ සිත් තුළ පැවතිය යුතුයි. අල්ලාහ් තමන් රිසි අයට ගැහැණු දරුවන් පමණක් පිරිනමන බව පවසයි. එසේ ගැහැණු දරුවන් පමණක් භාග්‍යක් වශයෙන් ලැබුනු කෙනෙකු සිත් තැවුලට පත්වීම හෝ අල්ලාහ්ගේ නියමය පිළිබඳ අතෘප්තියට පත්වීම හෝ නොකළ යුතුයි.

 ජාහිලියියා නම් අඥාන සමයෙහි ජීවත්වූවන් තුළ පැවතුනු දුර් ගුණාංගයක් පිළිබඳ ශුද්ධවු අල්කුර්ආනයෙහි සඳහන් වෙයි: ”ඔවුන්ගෙන් කෙනෙකුට ගැහැණු දරුවෙකු ලැබ ඇත යනුවෙන් ශුභාෂිංශණයක් ලැබුනු විට ඔහුගේ මුහුණ අඳුරුවෙයි. ඔහු කුපිත වෙයි. කුමන දේ පිළිබඳ ඔහුට ශුභාෂිංශන ලැබුනේද (එය අයහපත් දෙයක් ලෙස සිතා* එම අයහපත හේටු කොටගෙන සමාජයෙන් ඔහු වසංවෙයි. එය නින්දාවක් ලෙස තබාගන්නේද? නැතහොත් (පන පිටින්* එය වළලන්නේද? (යන දෙගිඩියාවෙන් ඔහු පසුවෙයි.* ඔවුන් මෙසේ තීරණයන්ට එළඹීම මහත් වරදකි”. (16: 58, 59*.

 අවසන් ශාස්තෘවරයානන් කුමන සමාජයට එවනු ලැබුවේද, එවකට එම සමාජයෙහි පැවතුනු තත්ත්වයයි ඉහත සඳහන් කුර්ආන් පාඨයෙන් තහවුරු වන්නේ. නමුත් විද්‍යාව තාක්‍ෂණය මුදුන් පෙත්තටම ගිය මෙවන් යුගයක පවා මෙම තත්ත්වය මුළුමනින් වෙනස්වූවා යැයි කීමට නොහැක. ගැහැණු දරුවන්ගේ උපත අසුභ ආරංචියක් වශයෙන් දකින තත්ත්වය වත්මන් යුගයෙහිද දකිමු. කුස තුළ තිබෙන දරුවා ගැහැණු දරුවෙකුද පිරිමි දරුවෙකුද යැයි පරික්‍ෂා කර බලා ගැහැණු දරුවෙකු නම් මව් ගැබ තුළම ආදාහන කටයුතු සිදුවෙයි. නැතහොත් ගබ්සාව කරගනි.

ඉන්දියාවෙහි සමහර ප‍්‍රාන්තවල ගැහැණු බිළින්ඳන් මව්වරුන් විසින්ම ඝාතනයට ලක් කිරීමේ දෛවෝපගත සිද්ධීන් වාර්තාවෙයි. මෙම සිදුවීම් වලට මුල්වුනු හේතුන් වන්නේ, ගැහැණු දරුවන් විවාහ කරදීමේ දී දෑවැදි දිය යුතුයි. ස්වාමි පුරුෂයාගේ පාර්ශ්වයෙන් අපේක්‍ෂා කරන සියල්ල දිය යුතුයි. එය දීමට තමන්ට වත්කම නැති නිසා එම ගැහැණු බිළින්ඳන් මව් ගැබ තුළ හෝ එයින් පසු හෝ ඝාතනයට ලක්කෙරෙයි. මෙම පාපිෂ්ට කි‍්‍රයාව ඉස්ලාම් හෙළා දකි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: ”ඔබ දිළිඳුකමට බියවී ඔබගේ දරුවන් ඝාතනය නොකරනු. ඔවුන්ට හා ඔබට අපියි ආහාර ලබා දෙන්නේ. ඔවුන් ඝාතනය කිරීම බලවත් වරදකි” (17: 31*.

වෙනත් ස්ථානයක එම කුඩා දරුවන්ගෙන් අවසන් විනිශ්ච දිනයෙහිදි අල්ලාහ් මෙසේ ප‍්‍රශ්න කරන බව සඳහන් වෙයි. ”පන පිටින් වළලනු ලැබූ ගැහැණු (දරුවන්* ප‍්‍රශ්න කරනු ලබන විට, කුමන වරදක් සඳහාද ඔවුන් ඝාතනය කරනු ලැබුවේ” (81: 8, 9*.

අල්ලාහ් කෙරෙහි හා අවසන් විනිශ්චය දිනය කෙරෙහි විශ්වාසය තබා ඇති මුස්ලිමෙකු අල්ලාහ්ගේ කැමැත්ත හෘදයාංගම පිළිගත යුතුයි. සර්ව බළධාරි අල්ලාහ්ගේ කැමැත්තෙන් තොර මෙලොව කිසිදු කි‍්‍රයාවක් සිදු නොවෙයි, යන විශ්වාසය මුස්ලිමෙකු තුළ පවතින විට අල්ලාහ්ට නොදැනුවත්ව මෙලොවෙහි කිසිදු දෙයක් සිදුනොවෙයි. එසේ නම් අල්ලාහ්ගේ කැමැත්ත සෑම අවස්ථාවකදීම මුස්ලිමෙකු සතුටින් පිළිගත යුතුයි. උගත් පුරුෂයකු වන ඉබ්රාහීම් (අෙලෙ* තමන්ගේ මහළු වියෙහිදි කළ ප‍්‍රාර්ථනාවක් පිළිබඳ ශුද්ධවු අල්කුර්ආනය සිහිපත් කරයි: ”(මාගේ* මහළු වියෙහි ඉස්මායීල් හා ඉස්හාක් මා වෙත තිළිණයක් වශයෙන් පිරිනැමූ අල්ලාහ්ට සියළු පැසසුම් හිමිය, සැබවින්ම මාගේ හිමියන් ප‍්‍රාර්ථනාවන්ට ඇහුම් කන් දෙන්නාය, තවද මාගේ දෙවියනි! මා හා මාගේ පරම්පරාවෙහි සිටින්නන්ව සලාතය ස්ථාපිත කරන්නන් වශයෙන් පත්කරනු මැන! අපේ හිමියනි! මාගේ ප‍්‍රාර්ථනාව පිළිගනු මැනව!” (ශු අල්කුර්ආනය 14: 39, 40*.

එතුමන් තම මුළු ජීවිත කාලයම අල්ලාහ් වෙනුවෙන් කැප කළ උගත් පුරුෂයකි. අල්ලාහ්ගේ විශේෂ පැසසුමට ලක් කෙනෙකි. නමුත් එතුමන් මහළු වියට පත්වන තෙක් එතුමන්ට දරු සම්පත් නොවීය. එතුමන් අල්ලාහ්ගේ භාග්‍යන් පිළිබඳ විශ්වාස භංගත්වයෙන් පසූ නොවූහ. එතුමන්ගේ මහළු වියෙහි එම දරු භාග්‍ය අල්ලාහ් විසින් පිරිනැමූ විගස අල්ලාහ්ට ප‍්‍රශංසා කළහ. එතුමන්ගෙන් අප ලද යුතු වැදගත් ආදර්ශයකි එය.

අල්ලාහ් කැමති අයට පිරිමි දරුවන් හා ගැහැණු දරුවන් භාග්‍යන් වශයෙන් පිරිනමන බව පවසයි. මෙසේ මෙම භාග්‍ය ලද අය උඩඟු ලෙස කටයුතු කිරීම හෝ මෙම භාග්‍ය නොලද අය කොන් කිරීම නොකළ යුතුයි. මෙය තමන්ගේ හැකියාවක් නොව අල්ලාහ් විසින් පිරිනමන ලද භාග්‍යක් යැයි සිතා ඔහුට ප‍්‍රශංසාව අයිති කළ යුතුයි.

දරු භාග්‍යන් නොලද අය, අල්ලාහ්ගේ නියමය පිළිබඳ අතෘප්තියට පත්වීම හෝ, අල්ලාහ්ගේ අසීමිත දයාව පිළිබඳ විශ්වාස භංගත්වයෙන් පසුවීම නොකළ යුතුයි. වරක් නබි (සල්* තුමන් මෙසේ ප‍්‍රකාශ කළහ. ”විශ්වාසවන්තයාගේ කරුණ ඉතා විශ්මය ජනකයි. ඔහුට යහපතක් සිදුවූ විට ඔහු අල්ලාහ්ට කෘතඥ වෙයි. එය ඔහුට කුසලක් වෙයි. ඔහුට කරදරයක් ඇති වූ විට ඔහු ඉවසීමෙන් සිටි එය ද ඔහුට කුසලක් වෙයි”.

සකස් කිරීම: අබූ අස්මා

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.