රමළාන් සමය තුළින් අපි උගත යුතු දේ

රමළාන් මස අපෙන් සමුගෙන යන මෙම මොහොතේ අපි උගත යුතු දේ බොහෝය. පුරා මාසයක් උපවාසය ඉටු කර, රාති‍්‍ර කාලයෙහි යාඥා ඉටු කර, රාති‍්‍රයෙහි අවසන් හෝරාවේ නැගිට සහර් ආහාරය අනුභව කර, ෆජ්ර් සලතාය හා සෙසු සලාතයන් සමූහව ඉටු කර, දාන මාන කර, ශුද්ධවූ අල්කුර්ආනය පාරායනය කර අඛණ්ඩ පුහුණුවක් ලබාගත්තෙමු.

රමළාන් මස පුරා ලබපු මෙම පුහුණුව රමළාන් මසට පමණක් සීමා සහිත වූවක්ද? නැතහොත් මෙය කෙනෙකුගේ ජීවිතය පුරා බල පැවැත්විය යුතුද?

උපවාසය අපට අනිවාර්්‍යවීමේ පරමාර්ථය පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය සඳහන් කරන විට ”(උපවාසය තුළින්* ඔබලා බිය භක්තිකයන් විය හැක.” 2- 183
එසේ නම් රමළාන් මස තුළින් කෙනෙකුට ලැබෙන පන්නරය ඔහුගේ ජීවිත කාලය පුරා බලපැවැත්විය යුතුයි. එසේ නොමැති විට ආහාර අනුභව කර එය බලයෙන් වමාරන කෙනෙකුට ඔහු සමාන වෙයි.

මුස්ලිම්වරුන් අතුරින් බහුතරයක් රමළාන් මස උදාවූ විට පමණක් සලාතය කරති, අල්කුර්ආනය පාරායනය කරති, අල්ලාහ් සිහිපත් කරති එම කාලය නිමවීමත් සමග සියළු යහපත් කි‍්‍රයාවන්ට තිත තබති. මෙය මොහුගේ ”මුස්ලිම්” යන නාමයට පවා නොගැලපෙන කි‍්‍රයාවකි. මන්ද, මුස්ලිම් යනුවෙන් අදහස් කෙරෙන්නේ අල්ලාහ්ට අවනතවන්නා මෙම අවනතභාවය මුළු ජීවිත කාලයටම බල පැවැත්විය යුතු දෙයකි.

ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: ”(ශාස්තෘවරයානනි!* ඔබට යකීන් නම් මරණය පැමිණෙන තෙක් ඔබගේ හිමියන්ට යාඥාකරන්න.” 15-99

තවත් සථානයක: ”මා ජින් වර්ගයා හා මිනිස් වර්ගයා නිර්මාණය කළේ මා හට යාඥා කිරීම සඳහායි.” 51-56

මුස්ලිම්වරයකු ඔහුගේ අවසන් හුස්ම හෙළණ අවස්ථාව තෙක් අල්ලාහ්ට අවනතවී ජීවත් වීමට බැඳී සිටී, ඉතා සීමිත කාලයකට පමණක් යහපත කිරීමෙන් අල්ලාහ් අභියස ජයග‍්‍රහණය අපේක්‍ෂා කිරීම මුළාවක් පමණි.

යාඥාවන් සුළුවූවත් අඛණ්ඩව කිරීම:

කෙනෙකුට උසුලන්නට නොහැකි බරක් නොපැටවීම ඉස්ලාම් සතු සුවිශේෂත්වයක්. අල්ලාහ් තම දාසයන් කෙරෙහි තබා ඇති අසීමිත කරුණාව හා දයාවට අනන්න අප‍්‍රමාණ සාක්‍ෂීන් පවතී.

මතු සඳහන් නබි (සල්* තුමන්ගේ ප‍්‍රකාශයන් කෙරෙහි මදකට ඔබේ අවදානය යොමු කරන්න:

අල්ලාහ් පැවසූ බව නබි (සල්* තුමන් පවසයි: ”මාගේ දාසයා පාපයක් කිරීමට අධිටන් කළ විට, එය ඔහු කරන තෙක් කිසිදු දෙයක් සටහන් නොකරන්න, එය ඔහු කළ විට එයට සමානව පමණක් සටහන් කරන්න. මට බියවී එය නොකරයි නම් එයටද ඔහු වෙනුවෙන් පිනක් සටහන් කරන්න. පිනක් කරන්නට සිතා එය නොකළ විට, එයටද පිනක් සටහන් කරන්න. ඔහු එය කළ විට දහ ගුණයෙහි සිට සිය ගුණය දක්වා ප‍්‍රගුණ කර සටහන් කරන්න.” (මූලාශ‍්‍රය: මුස්ලිම්*.

”අල්ලාහ් දාසයෙකුට මිළ මුදල් සම්පත් හා ඥානය පිරිනැමුවේය. එය තුළින් ඔහු අල්ලාහ්ට බියවී, තම ඥාති සම්බන්ධකම් ආරක්‍ෂා කර, අල්ලාහ් වෙනුවෙන් නිසි ලෙස යුතුකම් ඉටු කරයි, මෙයයි ඉතා උසස් පදවිය. තවත් පුද්ගලයෙකුට මිළ මුදල් සම්පත් වැනි භාග්‍යන් නොව දැනුම පමණක් අල්ලාහ් පිරිනැමුවේය. ඔහු අවංක සිතින් මෙසේ පවසයි: දැනුම ලැබුනා සේ මට මිළ මුදල්ද ලැබී තිබුනේ නම් ඔහු මෙන් මාද යහපත් මාර්ගයෙහි එය වියදම් කරමි. ඔහුගේ මෙම අවංක චේතනාව නිසා මේ දෙදෙනාම ප‍්‍රසාදයෙන් ලැබීමේ එක හා සමානය.” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ‍්‍රය: තිර්මිදි*.

දාසයන් වන අප කෙරෙහි අල්ලාහ් මෙතරම් කරුණාව දක්වන විට මන්ද අපි ඔහුට කෘතඥ නොවන්නේ.

”යහපත් ක‍්‍රියාවන් සුළුවූවත් එය අඛණ්ඩව කිරීමයි අල්ලාහ් පි‍්‍රය කරන්නේ” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ‍්‍රය: බුහාරි*.

අපි කරන අතිරේක යාඥාවන් සුළුවූවත් එය අඛණ්ඩව කළ යුතුයි. එයයි අල්ලාහ්ට ප‍්‍රිය දායිවන්නේ. නමුත් අපි කුමන මොහොතක වූවත් අනිවාර්්‍ය යාඥාවන්හි අලස භාවයක් නොදැක්විය යුතුයි. එසේ කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

අනිවාර්්‍ය සලාතයන් නිසි වේලාවට සමූහව ඉටු කිරීම, අනිවාර්්‍ය සලාතයන්ගෙන් පෙර හා පසු ඉටු කළ යුතු අතිරේක සලාතයන්, ලූහා සලාතය, රාති‍්‍ර කාලයෙහි සලාතයන් ඉටු කිරීම. අතිරේක උපවාසයන්හි නියැලීම, ශුද්ධවූ අල්කුර්ආනය පාරායනය කිරීම, එය අධ්‍යයනය කිරීම, ඒ අනූව ජීවත් වීම, උදේ හා සවස උසුරිය යුතු ප‍්‍රාර්ථනාවන්, වෙනත් අවස්ථාවන්හි උසුරීමට අපේ ශාස්තෘවරයානන් උගන්වා දුන් ප‍්‍රාර්ථනාවන් උසුරීම. යහපත අණකර අයහපත සමාජයෙන් තුරන් කිරීමට කටයුතු කිරීම. ඉස්ලාම් තහනම් කළ වැරදි ක‍්‍රියාවන් වලින් මුළුමනින් ඈත්වීම. මෙසේ අපි ජීවත් වීම තුළින් අපේ දෙලොව ජීවිතයම සාර්ථක වන අතර අල්ලාහ්ගේ තෘප්තියද ලැබීම නිසැකය.

සකස් කිරීම: අබූ අස්මා

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.