රමළාන් සමයෙන් පසු!

 රමළාන් සමය අපෙන් සමුගෙන ගිය මේ මොහොතේ, පුරා මාසයක් අඛණ්ඩව උපවාසය කරමින්, රාති‍්‍ර කාලයෙහි යාඥාවන් ඉටුකරමින්, අල්කුර්ආනය පාරායනය කරමින්, දාන මාන කරමින්, වැරදි කි‍්‍රයාවන්ට සමාව අයදිමින් අපි ලබාගත් පන්නරය අති මහත්ය. මෙය අපි රමළාන් සමයට පමණක් සීමා නොකොට ජීවිතය මුළුල්ලේම බලපවත්වා ගැනීමයි ඉස්ලාම් අපෙන් අපේක්ෂා කරන්නේ   උපවාසය නම් යාඥාවෙහි ඉලක්කය ද ”තක්වා” නම් බියබැතිකම අප තුළ ජනිතකරවීමයි. තක්වා යනු අප තුළ සැමවිටම පැවතිය යුතු ගුණාංගයකි. ”තක්වා”ව තමන් සතුකරගත් උදවියගේ ගුණාංගයන් පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ විඳහාපායි:

   ”ඔබගේ හිමියන්ගේ සමාව කරා හා අහස් හා පොළෝ තලයන්ට වඩා සුවිශාලවූ ස්වර්ගය කරා ඉක්මන් වන්න, එය ”මුත්තකීන්” බියබැතිමතුන් වෙනුවෙන් සූදානම් කර ඇත. ඔවුන් සතුව ධනය පවතින විටත්, දිළිඳු භාවයේදීත්, යහපත් මාර්ගයේ වියදම් කරති. කෝපය පාලනය කරගනිති, ජනයාට සමාව පිරිනමති, යහපත කරන්නන් අල්ලාහ් ප‍්‍රිය කරයි. ඔවුන් අශීලාචාර කි‍්‍රයාවක් කළ විට හෝ තමන්ටම අසාධාරණයක් කළ විට අල්ලාහ් සිහිකරමින් තම පාපයන්ට සමවා අයදිති. අල්ලාහ් හැර පාපයන්ට සමාව ලබාදෙන්නා වෙන කවුද? තවද තමන් කළ (වැරදි) දේ දැන එහි ස්ථිරව නොසිටිති.” (3: 133- 135).

   ඉහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආන් පාඨයන් තුළින් ”මුත්තකීන්” වරුන්ගේ උතුම් ගුණාංගයන් සක්සුදක්සේ පැහැදිළි වෙයි. උපවාසය මෙවැනි උතුම් ගුණාංගයන් අප තුළ ජනිත කළාද? යනු මදකට විමසා බැලීම කාලෝචිතය.

   අනිවාර්්‍ය සලාතයට පමණක් දෙවැනි වන රාති‍්‍ර කාලයෙහි සලාතය පුරා මාසයක් අඛණ්ඩව ඉටු කළෙමු. එය චිත්ත පාරිශුද්ධිය, පරිනතභව, අධ්‍යාත්මික දියුණුව, අප තුළ ඇතිකළාට කිසිදු සැකයක් නැත.

   අල්කුර්ආනයත් සමග ගොඩනැගුනු සම්බන්ධතාවය අපේ විශ්වාසය ඔපනංවමින් අප තුළ ලොකු විප්ලවයක් ඇති කළාට නොඅනුමානය. මානවයාට ඉතා නිවැරදි මග පෙන්වන අල්කුර්ආනයත් සමග වූ සම්බන්ධතාවය ඉතා සවිමත් විය යුතුය. රමළාන් සමය අවසන්වීමත් සමග එය වසා තැබීම කොහෙත්ම අනුමත කළ නොහැක.

   වරක් ආයිෂා (රලි) තුමියගෙන් නබි (සල්) තුමන්ගේ ශ්‍රේෂ්ඨ ගුණාංගයන් පිළිබඳ ප‍්‍රශ්න කළ විට ඇය දුන් පිළිතුර වූයේ: “එතුමන්ගේ උතුම් ගුණාංගයන් වශයෙන් පැවතුනේ අල්කුර්ආනයයි” :මූලාශ‍්‍රය: මුස්ලිම්).

   නබි (සල්) තුමන්ගේ ජීවිතය වූයේ අල්කුර්ආනයයි, කෙතරම් මහඟු ආදර්ශයක් ද? සැබෑ විශ්වාසවනතයෙකුගේ ජීවිතයෙන් අල්කුර්ආනය කොහෙත්ම බැහැර විය නොහැක. අල්කුර්ආනය කෙනෙකුගේ ජීවිතයෙන් බැහැරවීම යනු ඔහුගේ දෙලොව ජීවිතයේ විනාශය ඔහු විසින්ම ස්ථීර කරගැනීමකි. මිනිස් ජීවිතයට අවශ්‍ය කරන සෑම මඟ පෙන්වීමක්ම අන්තර්ගතව පවතින එම අල්කුර්ආනය පාරායනය කරමු, එය හදාරමු, එය කි‍්‍රයාවට නංවමු, එය කරා ජනයා කැඳවමු.

   “මුස්ලිම්” යන පදයේ තේරුම අවනතභාවයයි, එය රමළාන් සමයට පමණක් වලංගුවන්නක් නොවේ. එය මුළු ජීවිත කාලයටම වලංගුවන්නකි. එබැවින් රමළාන් සමය තුළ පමණයි අපි යහපත කළ යුත්තේ යනුවෙන් කෙනෙකු සිතනවානම්, එය තමන්වම මුළා කරගැනීමක් පමණි.

   ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: “:ශාස්තෘවරයානනි! ඔබ මරණයට පත්වන තෙක් අල්ලාහ්ට යාඥා කරන්න” (අල්හිජ්ර්: 99) මෙය ශාස්තෘවරයාට පමණක් අදාළවූවක් නොව එතුමන්ගේ සමාජයට ද අදාළවූවකි.

 ”මා ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා හට යාඥා කිරීම පිණිස නිර්මාණය කළෙමි” (අද්දාරියාත් 56).

  අපි අවසන් හුස්ම හෙළන තෙක් අල්ලාහ්ට අවනතව ජීවත් විය යුතුයි. එයයි ඉහත සඳහන් ශුද්ධවූ අල්කුර් පාඨයන් අපට උගන්වන්නේ. එබැවින් රමළාන් මස පුරා අප ලද අධ්‍යාත්මික පන්නරය මුළු ජීවිතයටම පරිවර්තනය කරගනිමින් ආදර්ශමත් මුස්ලිමෙකු වශයෙන් ජීවත් වී අල්ලාහ්ගේ ආශිර්වාදය ලබා ගමු.

Leave a Reply

Your email address will not be published.