දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ කාර්යභාරය (The role of parents towards the children)

දරුවන්ට නිවැරදි මාර්‍ගය පෙන්වාදීම සියළුම දෙමව්පියන්ගේ වගකීමකි. අල් කුරානයට අනුව මෙම වගකීම ගැන විනිශ්චය දිනයේදී ප්‍රශ්න කරනු ලබන්නේය. මේ නිසා දරුවන් කරන වැරදිවලට දෙමව්පියන් වග කිව යුතුවා සේම ඔවුන් කරන පින්දහම් නිසා ස්වර්ගයේදී දෙමව්පියන්ගේ තත්වය උසස් වන්නේය. මේ නිසා තම දරුවන්ට නිසි ආගමික දැනුම සහ යහපත් සිරිත් විරිත් කියා දීම දෙමව්පියන්ට පැවරෙන ප්‍රධාන වගකීමකි. මෙය පහසුවෙන්ම කළ හැක්කේ දෙමව්පියන් දහම තුල සිටින්නේ නම් පමණි. මේ නිසා වගකිව යුතු දෙමව්පියන් හැටියට දරුවන්ගේ වගකීම ඇරඹිය යුත්තේ විවාහයට සුදානම් වන අවස්ථාවේදී ය. එය අනාගතයේදී ලැබීමට යන දරුවන් වෙනුවෙන් සිදු කරනු ලබන විශාල කැපවීමක් වනු ඇත. මේ නිසා විවාහ වීමේදී මුල් තැන දිය යුත්තේ ධනයට හෝ පවුල් පසුබිමට හෝ අලංකාරයට හෝ නොව දහමට බව නබිතුමා පවසා ඇත.

දෙමව්පියන්ට පැවරෙන වගකීම ගැන අල් කුරානයේ මෙලෙස සඳහන් වේ.

“විශ්වාසවන්තයෙනි! ඔබ ද, ඔබගේ පව්ලේ උදවිය ද නිරයේ හින්නෙන් ආරක්ෂා කරගනු. එහි ඉන්දන ගල් සහ මිනිසුන් වන්නෝය. එයට ඉහලින් දයාවක් නැති ශක්තිසම්පන්න මලායිකා වරුන්ව පත්කරනු ලැබ ඇත්තෝය. ඔවුන්ට අල්ලාහ් නියෝගකර ඇති දැයෙන් වෙනසක් නොකරනු ලබන්නෝය. ඔවුන්ට දෙනුලැබූ නියෝග එලෙසින්ම ඉටු කරමින් සිටින්නෝය”.

දරුවෙක් ලැබුණු පසු එම දරුවන්ට කිරි දී පෝෂණය කිරීම මවට පැවරෙන අතර එය සම්පුර්ණ වසර දෙකකි. එහෙත් තමන්ට අවශ්‍ය නම් ඊට කලින් දෙමව්පියන් අතර සාකච්ජා කොට ඔවුන්ගේ එකඟතාව මත කිරි දීම නැවැත්විය හැකි බව කුර්ආනයේ සඳහන් වේ. එම කාලය තුලදී පියා විසින් මවගේ ඇඳුම් පැළඳුම් සහ කෑම සඳහා යන සියළුම වියදම් සාධාරණ අන්දමින් සපයා දිය යුතුය. තම රූපය ආරක්‍ෂා කර ගැනීමට හෝ වෙනත් පිළිගත නොහැකි හේතුවක් නිසා කිරි දීම පැහැර හැරිය නොහැකිය.

“යම් කිසිවෙකු කිරි දීම සම්පුර්ණ කිරීමට කැමති වුවහොත් මව්වරුන් තමන්ගේ ළදරුවන්ට පුර්ණ වසර දෙකක් දක්වා කිරි දිය යුතුය. තවද ඔවුන්ට ඇඳුම් පැළඳුම්ද ආහාරද ලබා දීම පියාට නියම වන්නේය. කුමන ආත්මයකටවත් ඔවුන්ගේ ශක්තියට වඩා (කල යුතු) යැයි නියම වන්නේ නැත. (එබැවින්) තමන්ගේ ළදරුවන් වෙනුවෙන් (තමන්ට අවශ්‍ය ආහාර නොමැතිව කිරි දෙන ලෙසට) එම මවද නැතහොත් (ශක්ති ප්‍රමාණයට අධිකව දෙන ලෙසට) තමන්ගේ ළදරුවන් වෙනුවෙන් ඔවුන්ගේ පියාටද හිංසා නොකළ යුතුය. තවද (ළදරුවන්ගේ පියා මිය ගියහොත් එය පාලනය කිරීම) උරුමකාරයන් වෙත පැවරෙන්නේය. (ළදරුවන්ගේ දෙමව්පියන්) දෙදෙනා සාකච්ජා කොට ගන්නා ඒකමතික තීරණය අනුව (ළදරුවන්ගේ) කිරි බිම (අවුරුදු දෙකක් තුල) නැවතීමටද අදහස් කළහොත් (එසේ කිරීම) ඔවුන් දෙදෙනා කෙරෙහිම වරදක් නැත” (Q 2:233). 

දෙවියන් ගැන විශ්වාසයක් නොමැති අය දිළිඳු කමට බය වී තම කුසේ සිටින ළමයා ගබ්සා කර ගන්නේය. එහෙත් එවැනි මිනිස් ඝාතනයකට ඉස්ලාම් දහමින් ඉඩක් නොමැත. සෑම ජිවියෙකුගේම අවශ්‍යතා සපුරාලන්නේ දෙවියන් ය. එබැවින් දෙවියන්ගේ නියෝගයන්ට බිය වී තමනුත් තමන්ගේ දු දරුවනුත් හදා වඩා ගැනීම ප්‍රධාන වගකීමකි.

“ඔබ දිළිඳුකමට බියවී ඔබගේ දරුවන් ඝාතනය කර නොදමනු. අපි ඔනුන්ට මෙන්ම ඔබටත් ආහාර සපයා දෙන්නෙමු. ඔවුන්ව මරා දැමීම නියත වශයෙන්ම විශාල පාපයකි”(Q 17:31). 

අද බොහෝ අය කටින් දහම ගැන කථා කලත් ක්‍රියාවෙන් නොමැත. මේ නිසා දිනකට දහසකට වඩා ගබ්සාවන් සිදු කර ගනිති. මෙය සෑම ආගමකින්ම තහනම් කළ ක්‍රියාවක් බව හොඳින් තේරුම් ගත යුතුය. වාසනාවකට මෙවැනි වැරදි මුස්ලිම්වරුන් අතර අඩුවෙන් දැකිය හැකිය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

2 comments

Leave a Reply

Your email address will not be published.