ඉස්ලාම් දහම සහ සුෆිවාදය අතර සම්බන්දයක් තිබේද? (Is there any connection between Islam and Sufism?)

සුෆිවාදය නබිතුමාගේ අභාවයෙන් පසු සියවස් ගණනාවකට පසු බිහි විය. එබැවින් එය ඉස්ලාම් දහමට අලුත් දෙයක් වන්නේය. කෙසේ වෙතත් බොහෝ අය සිතාගෙන ඉන්නේ සුෆිවරුන් කරන සෑම දෙයක්ම ඉස්ලාමිය ඉගැන්වීම් බවයි. ඊට ප්‍රධාන හේතුව සුෆිවරුන් ඉස්ලාම් දහමේ ඇතැම් කරුණු පිළිපදිමින් ඒ තුලට අළුත් ඇදහිලි ඇතුලත් කොට ඒවාට ඉස්ලාමිය වේශයක් ලබා දී තිබීමය.

ඉස්ලාම් දහමට පෙරත් සුෆි සංකල්පය තිබී ඇත. ඒ අනුව එය හින්දු සහ කතෝලික දහම්වල දැකිය හැකිය. ඉස්ලාම් දහම අනුගමනය කරන සුෆිවරුන් ලඟත් හින්දු සහ කතෝලික දහමේ ඇති ඇතැම් සංකලයන් සම්මිශ්‍රණය වී තිබේ.

ඉස්ලාම් දහමේ දෙවියන්ගේ නියෝගවලට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. එහෙත් නවීන සුෆිවරුන් සලාතයට වඩා ඔවුන්ගේ අළුත් අධ්‍යාත්මික පුරුදු සඳහා විශාල වටිනාකමක් ලබා දෙන්නේය. එපමණක් නොව නවීන සුෆි නායකයින් ළඟ නබිතුමාගේ සුන්නාවන් දැකිය නොහැකිය. එසේ තිබියදී ඔවුන් තම මග පෙන්වන්නන් ලෙස කියා ගන්නේ අලි රලි තුමා, ජාෆර් සාදික්, ජුනෙයිදුල් බග්දාදී, ඉමාම් ගස්සාලි, අබ්දුල් කාදීර් ජිලානි වැනි උත්තමයන්ය. ඇත්තෙන්ම ඔවුන් නබිතුමා පෙන්වා දුන් මාර්ගය අනුගමනය කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයින් වෙති.

සුෆිවරුන්ගේ අවසාන ඉලක්කය දෙවියන් සමග එකතු වීමය. මෙය “වහ්ජතුල් වුජුද්” (“wahdati wudjud”) ලෙස ඔවුන් හඳුන්වති.  එම තත්වය අත්කර ගැනීම සඳහා ඔවුහු හුදකලාව සිට දෙවියන්ව මෙනෙහි කිරීම සහ ඔවුන් විසින් ඇතිකළ ඇතැම් වදන් මගින් දෙවියන්ව සිහි කිරීම වෙනුවෙන් ඉහල වටිනාකමක් ලබා දී ඇත.

සුෆිවරුන් නබිතුමා හෝ ඔහුගේ අනුගාමිකයින් පෙන්වා නොදුන් බොහෝ තරිකා ක්‍රම ඉස්ලාම් දහමට ඇතුලත්දී කොට තිබේ. උදාහරණයක් ලෙස කාදිරියා, ශාදිලියා, නක්ෂබන්දියා, සුරවර්දියා, රිෆායියා තරිකාවන් පෙන්වා දිය හැකිය.

සුෆි මාර්ගය අනුගමනය කරන අය ස්වර්ගයට යෑම අපේක්ෂා කරන්නේ අධ්‍යාත්මික නායකයින් හරහාය. එහෙත් එවැනි ක්‍රමයන් නබිතුමා පෙන්වා දී නොමැත.

සුෆිවරුන් අල් කුරානයට ඔවුන්ගේම ගුප්ත අර්ථයන් ලබා දී ඇති අතර ඉස්ලාම් දහම පිලිබඳ නිවැරදි දැනුම නොමැති බොහෝ අය මේවා සත්‍යය යැයි සිතාගෙන පිළිපදින්නේය. මොවුන් කරන විශාලම වරද වන්නේ දෙවියන් ගැන වැරදි ඇදහිලි ඔවුන්ගේ අනුගාමිකයින්ට කියා දීමය. ඔවුන් පවසන පරිදි දෙවියන් සෑම තැනම සිටින්නේය. මෙය හින්දු දහමේ සංකල්පයකි. එහෙත් අල් කුරානයේ පැහැදිලිවම සඳහන් වන්නේ අල්ලාහ් අර්ෂ් වලට ඉහලින් සිටින බවයි.

සුෆි වාදයේ ආරම්භකයින් වන්නේ බාසෛzදුල් බිස්තාමි, මන්සුල් අල් හලාජ්, ඉබ්නු අරබි වැනි අයයි. බාසෛzදුල් බිස්තාමි සුෆිවාදය වෙනුවෙන් මුලිකව කටයුතු කළ කෙනෙකි. ඔහුගෙන් පසු ජුනෙයිදුල් බග්දාදී සහ මන්සුර් අල්-හලාජ් යන දෙදෙනාද සුෆි වාදයේ මුලිකත්වය ගෙන කටයුතු කොට තිබේ.

මෙම සුෆි නායකයින් ඇතැම් අවස්ථාවන්හිදී ඉස්ලාම් දහමට පටහැනි වදන් ප්‍රකාශ කොට ඇත. ඒ අනුව මන්සුර් අල්-හලාජ් මමයි සත්‍යය (I am the truth) යැයි පවසා තිබේ. එහෙත් එම තත්වයට අයිතිකරු අල්ලාහ් පමණි. එම හේතුවෙන් එවකට පැවති පාලකයින් විස්න් ඔහුගේ හිස ගසා මරණයට පත්කොට ඇත. බාසෛzදුල් බිස්තාමි යන තැනැත්තාද මෙලෙසම ඉස්ලාම් දහමට පටහැනි වදන් උපයෝගී කළ කෙනෙකි.

සුෆිවරුන්ගේ ඉගැන්වීම අනුව ෂෙයික් වරයාගෙන් ප්‍රශ්න කළ නොහැකිය. ඒ අනුව ඔහුව අන්දයෙකු මෙන් අනුගමනය කළ යුතුය. එසේ කිරීමෙන් ෂෙයික් වරයා සිය අනුගාමිකයින්ව සවර්ගයට රැගෙන යන බව විශ්වාස කරති.

සුෆි විස්වාසය අනුව ඔවුන්ගේ ආගමික නායකයාට තමන්ගේ අනුගාමිකයින් කොතැනක සිටියත් දැකිය හැකිය. තවද ඔවුන්ගේ ගැත්තන් කොතැනක හෝ සිට උදව් පතන්නේ නම් ඔවුන්ට උදව් කරන බව පවසති. ඒ අනුව ඔවුන්ගේ මාර්ගය පිළිපදින අය විපතකදී උදව් ඉල්ලන්ගේ ඔවුන්ගේ අධ්‍යාත්මික නායකයින්ගේන්ය. උදාහරණයක් ලෙස ඇතැම් අය “යා මුහියද්දීන්” යැයි මුහියද්දීන් අබ්දුල් කාදර් තුමාගෙන් පිහිට පතන්නේය. එහෙත් ඔහු එවැනි දෙයක් කියා දී නොමැති බව ඔහු විසින් ලියා පල කළ “ෆත්හුල් ගයිබ්” යන ග්‍රන්ථය මගින් තේරුම් ගත හැකිය. තවද මිනිසුන්ගෙන් උදව් පැතීම අල් කුරනයට සහ නබි වදන්වලට පටහැනි වන අතර කෙනෙක් විපතකදී උදව් පැතිය යුත්තේ අල්ලාහ්ගෙන් පමණි.

ඉබ්නු ජව්සිz ඔහුගේ තල්බිස් ඉබ්ලිස් යන ග්‍රන්ථයේ පහත සඳහන් පරිදි සඳහන් කොට ඇත.

“සුෆි සංකල්පයේ ආරම්භය ලෞකික කටයුතුවලින් වැලකී සිටීමයි. ඒ සඳහා ජනතාව එකතු වූ පසු ඔවුන්ට ගැලපෙන අන්දමට තවත් කරුණු ඇතුලත් කර තිබේ. ඒ අනුව සුෆිවරුන්ට ගායනා කිරීමට සහ නැටීමට ඔවුන්ගේ දහමින් අවසර ලැබේ. එහෙත් ජිහාද් කිරීම, දේශපාලනයේ නියැලීම, දහම හැදෑරීම සහ එය අනෙක් අයට කියා දීම කළ නොහැකිය. සුෆිවරුන්ට සංගීතය, මැජික් මෙන්ම ඉස්ලාම් දහමින් තහනම් වන වෙනත් බොහෝ දේවල් සඳහා අනුමැතිය තිබේ”

මෙම කාරණා නිසා මුස්ලිම්වරයෙකු වශයෙන් අල්ලාහ්ව හමුවීමට කැමති කෙනෙක් අනිවාර්යයෙන්ම අල් කුරානය සහ මුහම්මද් සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමා පෙන්වා දුන් දහම නිවැරදිව පිළිපැදිය යුතුය. එය කළ හැක්කේ කුරානය සහ හදිස් පිලිබඳ මනා අවබෝදයක් ලබා ගැනීමෙන් පමණි. පරම්පරාවෙන් පැමිණෙන දහම අනුගමනය කරනවා යැයි පවසමින් නබිතුමාගෙන් පසු වෙනස් වූ දහම අනුගමනය කිරීම නොමග යාමට හේතුවකි. නවීන සමාජයේ සිටින බොහෝ ව්‍යාජ මොව්ලවීතුමන්ලා වැරදි දහම ජනතවට පෙන්වා දෙන්නේ ඇතැම් ලෞකික ලාභ ප්‍රයෝජන සඳහාය. එබැවින් ඔවුන්ගෙන් ප්‍රවේසම් වීමට වග බලා ගත යුතුය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.