ඔබේ චේතනාව පිවිතුරු ද?

”සියළු කි‍්‍රයා කලාපයන් චේතනාව අනූව තීරණය කරනු ලැබේ. ඔවුනනොවුන්ගේ චේතනාවට අනූව ප‍්‍රතිඵල හිමිවේ. එබැවින් කවුරුන් අල්ලාහ් සහ ඔහුගේ ශාස්තෘවරයා වෙනුවෙන් හිජ්රත් සංක‍්‍රමණය කළේද, එය අල්ලාහ් සහ ඔහුගේ ශාස්තෘවරයානන් උදෙසාය. කවුරුන් හිජ්රත් ගමන ලෞකික ලාභාපේක්‍ෂාව උදෙසා නම් හෝ කාන්තාවක් සරණ පාවා ගැනීම සඳහා කළේද, ඔවුන් ඊට අදාල දෙයම හිමිකර ගනී.” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ.

වාර්තා කරන්නේ: (අමීරුල් මුඃමිනීන් අබී හෆ්සා උමරිබ්නුල් හත්තාබ් (රලි) තුමන්.
(මූලාශ‍්‍රයන්: මුත්තෆකුන් අලෙයිහි).

වාර්තා කරු පිළිබඳ කෙටි හැඳින්වීම :

මෙම පුවත වාර්තා කරන්නේ හෆ්සා (රලි) තුමියගේ පියා උමර් ඉබ්නුල් හත්තාබ් (රලි) ය, හිජ්රත් සංක‍්‍රමනයට පෙර ඉස්ලාම් දහම වැළඳගත් අතර ඉස්ලාමීය රාජ්‍යයෙහි දෙවැනි (කලීෆා) පාලකයා ද විය. එතුමනගේ පාලන සමය අවුරුදු දහය හමාරකට සීමා විය. හිජ්රි 23 වැනි වර්ෂයෙහි දුල් හජ් මස එතුමන් ෂහීද් (ඝාතනය) කරනු ලැබූහ. එතුමන් සලාතයෙහි සිටින විට අබූ ලූඋ ලූඋල් මජූසි නම් කුරිරෙකු විසින් ඝානතයට ලක්වූහ.

මෙම ප‍්‍රකාශයෙහි සුවිශේෂත්වය :

මෙම වදන නබි (සල්) තුමන්ගේ (ජවාමිඋල් කලිම්) සුළු වචන ප‍්‍රමාණයකින් අදහස් සම්භාරයක් ප‍්‍රකාශ කරන විශේෂත්වය පෙන්නුම් කරයි.

ප‍්‍රවීන ආගමික විශාරදයෙකු වන ඉමාම් ෂාෆිඊ (රහ්)
තුමන් අදහස් දක්වන විට:

චේතනාව පිළිබඳවූ මෙම නබි වදන ෆික්හ් (ආගමික නීති රීතීන් සම්බන්ධ) කලාවේ දොරටුවන් හැත්තෑවකින් ප‍්‍රවිශ්ට වෙයි. නබි (සල්) තුමන්ගේ මෙම ප‍්‍රකාශය කිසිදු ව්‍යාජ පුද්ලගලයෙකුට හෝ කුටෝපක‍්‍රමිකයන්ට අල්ලාහ් හමුවන දිනය තෙක් කිසිදු සාධකයක් නොතැබීමට තරම් බලවත් විය.

ඉමාම් ෂව්කානි (රහ්) තුමන් පවසන විට :

මෙය ඉස්ලාමීය මූල ධර්මයන් අතුරින් වැදගත් මූල ධර්මයක් පිළිබඳ කථා කරන අතර, අධ්‍යාපනෙහි තුනින් කොටසක් ආවරණය කරන තරමට බලවත්ය. උගත් විද්වතුන් ඔවුන්ගේ ප‍්‍රකාශනයන්හි මුලාරම්භයට මෙම වදන යෙදීමෙන් මෙහි විශේෂත්වය මනාවට අවබෝධ වෙයි. තවද මෙය අධ්‍යාපනය ලබා ගන්නා ශිෂ්‍යාට ඔහුගේ චේතනාව පිවිතුරු කරගැනීමට අනතුරු ඇඟවීමක් වෙනවාටත් කිසිදු සැකයක් නැත.

මෙම ප‍්‍රකාශයෙහි පසුබිම ”මුහාජිර් උම්මු කෛස්”ද?

මෙම වදන යම් කිසි පුද්ගලයෙකු මුල් කොටගෙන සඳහන් වූ බව පිරිසක් සිතූහ, ”උම්මු කයිස්” නම් කාන්තාවක් සරණපාවා ගැනීමේ අරමුණින් කෙනෙකු හිජ්රා ගමන ඇරඹුවේය. ඔහු පසුබිම් කොටගෙනයි මෙම වදන නබි (සල්) තුමන් පැවසුවේ යැයි පිරිසකගේ මතය විය. හිජ්රත් ගමනෙහි ශ්‍රේෂ්ඨත්වය, තවද ඉතිහාසයේ මහත් විප්ලවයක් කිරීමට තරම් බලවත් වූ එම ගමන සම්බන්ධ කර කීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැත. ඔහුගේ හිජ්රා ගමනෙහි චේතනාව වෙනස් වීම නිසා එම ගමනෙහි නියම ප‍්‍රසාධය ලබා ගැනීමට නොහැකි විය. උම්මු කෛස්ගේ පුවත සත්‍යවූ පුවතක් වූවත්, ඉහත සඳහන් නබි වදන ප‍්‍රකාශ වීමට මෙය හේතු කාරණා නොවේ.

ප‍්‍රකාශයෙහි විවරණය :

1- මෙම ප‍්‍රකාශය මිනිසාගේ අභ්‍යන්තර හා කායික (වචනයන්, අභ්‍යන්තර හා බාහිර කි‍්‍රයා කලාපයන්) සියල්ල ආවරණය කරයි. කෙනෙකු ඔහුගේ අභිමතය අනූව සමහර කි‍්‍රයාවන් අත්හරී. චේතනාවන්ට අනුකූලව කි‍්‍රයාවන් වෙනස් ස්වරූපයන් ගනී. යම් කෙනෙක් අල්ලාහ්ට බියවී වැරදි කි‍්‍රයාවක් අත් හරිවී නම්, ඔහු එය නොකිරීම නිසා ඔහුගේ නම ඉදිරියෙහි පිනක් සටහන් කරනු ලබයි. තවත් කෙනෙකු කිසිදු හේතුවකින් තොර අනිවාර්්‍යයෙන් ඉටු කළ යුතු කි‍්‍රයාවක් අත් හරිවී නම් එය පාපයක් වේ. ඒ වෙනුවෙන් ඔහු දඬුවම් විඳිනු ඇත, ඔහු අප‍්‍රසාදයට පත්වේ. මෙයට පහත සඳහන් නබි වදන සාධක වේ :

අල්ලාහ් පැවසූ බව නබි (සල්) තුමන් මෙසේ පවසයි: ”මාගේ දාසයා පාපයක් කරන්නට සිතූ විට, එය ඔහු කරන තෙක් කිසි දෙයක් සටහන් නොකරන්න, එය ඔහු කළ විට එයට සාපේක්‍ෂව සටහන් කරන්න. මට බියවී එය නොකළ සිටියේ නම් ඔහුට එය පිනක් ලෙස සටහන් කරන්න. පිනක් කරන්නට සිතා එය නොකළ විට, එයටද පිනක් සටහන් කරන්න. ඔහු රම පින කළ විට දහ ගුණයෙහි සිට සිය ගුණය දක්වා ප‍්‍රගුණ කර ලියන්න.” (මූලාශ‍්‍රය: මුස්ලිම්).

මෙම නබි වදනින් පිළිබිඹු වන එක් කරුණක් නම් : අල්ලාහ්ට බියවී පාපය නොකළ සිටියේ නම් පිනක් සටහන් වේ. අන් අයට බියවී එය නොකළ විට පාපයක් සටහන් කරනු ලැබේ.

2- කි‍්‍රයාවන් සියල්ල සිතුවිලි (චේතානවන්) අනූව තීරණය වේ. යන නබි වදනින් තහවුරු වන්නේ, කි‍්‍රයාවන් සියල්ල පිළිගනු ලබන්නේ චේතනාවට අනූකූලවයි.

3- තවද ”මිනිසාට ඔහුගේ චේතනාවන්ට අනූකුලව ප‍්‍රසාදයන් පිරිනැමේ” යන නබි වදනින්ද තහවුරු වන්නේ : යම් කෙනෙකු යම් දෙයක් කරන්නට චේතනාව ඇති කරගත් විට එය කළත් නොකළත් ඔහුට ප‍්‍රසාදයන් පිරිනැමේ.

මෙයට සාධක වශයෙන් බොහෝ නබි වදන් පවති: ”සැබවින්ම ලෞකීක ජීවිතය සිව් දෙනෙකුටයි, අල්ලාහ් දාසයෙකුට මිළ මුදල් සම්පත් හා ඥානය පිරිනැමුවේය. එය තුළින් ඔහු අල්ලාහ්ට බියවී, තම ඥාති සම්බන්ධකම් ආරක්‍ෂා කර, අල්ලාහ් වෙනුවෙන් නිසි අයුරින් යුතුකම් ඉටු කරයි, මෙයයි ඉතා උසස් පදවිය. තවත් පුද්ගලයෙකුට මිළ මුදල් සම්පත් වැනි භාග්‍යයන් නොව දැනුම පමණක් අල්ලාහ් පිරිනැමුවේය. ඔහු අවංක සිතින් මෙසේ පවසයි: මට දැනුම ලැබුනා සේ මිළ මුදල් ද ලැබී තිබුනේ නම් එම පුද්ගලයා සේ මාද එය යහපත් මාර්ගයේ වියදම් කරමි. ඔහුගේ මෙම අවංක චේතනාව නිසා මේ දෙදෙනාම ප‍්‍රසාදයෙහි එක හා සමානය.

අල්ලාහ් තවත් දාසයෙකුට මිළ මුදල් පිරිනැමුවේය ඔහුට දැනුම නො පිරිනැමිනි, ඔහු එම මිළ මුදල් අයුතු ලෙස පරිහරනය කරයි, ඔහු අල්ලාහ්ට බිය නොවෙයි, ඔහු තම ඥාතීන් ඇසුරු නොකරයි, කිසිදු යුතුකමක් ඔහු ඉටු නොකරයි, මෙය ඉතා නින්දිත තත්ත්වයකි. තවත් දාසයෙකුට අල්ලාහ් මුදල් ද ඥානය ද නො පිරිනැමුවේය, නමුත් ඔහු මෙසේ පවසයි මට සම්පත් ලැබුනේ නම් එම පුද්ගලයා මෙන් අයුතු ලෙස පරිහරනය කරමි, පාපයන්හි මේ දෙදෙනාම සමාන වේ” යනුවෙන් නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළහ. (මූලාශ‍්‍රය: තිර්මිදි).

4- කෙනෙකුගේ හිජ්රත් ගමන ලෞකීක ආශාවන් ඉශ්ට කරගැනීමේ නැතහොත් කාන්තාවක් විවාහ කරගැනීමේ අරමුණින් සිදුවෙයි නම් ඔහුගේ එම අරමුණ පමණක් ඉශ්ටවෙයි. ඉබ්නු රජබ් (රහ්) පවසයි: නබි (සල්) තුමන් චේතනාවන්ට අනුකුලව ප‍්‍රති ඵල ලැබෙයි යනුවෙන් පැවසීමෙන් යම් කි‍්‍රයාවක් කරන්නාගේ චේතනාව අනුකුලව සියළු දේ තීරණය කෙරේ. කෙනෙකු යහපත සිතා එය කරේ නම් ඔහුට යහපත හිමිවෙයි, කෙනෙකු අයහපත සිතා එය කරේ නම් ඔහුට අයහපත හිමිවේ. කි‍්‍රයාවන් එකම ස්වරූපයක් ගනී, නමුත් එය පිළිගනු ලැබීමත් ප‍්‍රතික්‍ෂේප වීමත් ෙචිතනාව අනූවයි.

හිජ්රා කෙටි විවරණයක්:

සැබවින්ම හිජ්රත් යනු ”අත් හැරීම, හැර දමීම” එකක් හැර දැමීම යනු, එක් තැනක සිට තවත් තැනකට ගමන් ඇරඹිම අදහස් කෙරේ. මුස්ලිමෙකුට ඉස්ලාම් අනූව ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවූ විට එම ප‍්‍රදේශය අත් හැර ඉස්ලාමීය ප‍්‍රදේශයන් බලා යෑම හිජ්රත් වේ. මෙය මෙම දිනය වන තෙක් කි‍්‍රයා වේ ඇත. මෙය අවසන් විනිශ්ච දිනය උදාවන තෙක් වලංගු වේ. මක්කාව හැර දමා හබසා (එතියෝපියා) වට යෑමත්, මක්කාව හැර දමා මදීනාවට යෑමත් හිජ්රත් යනුවෙනුයි හඳුන්වනු ලැබුවේ. මෙම හිජ්රතය නිමා විය. මෙය මුහම්මද් නබි (සල්) තුමන් ජීවතුන් අතර සිටින විට සිදුවූ හිජ්රත් ගමන් වේ. (තවද අල්ලාහ් තහනම් කළ දෙයක් පිළිකුල් කිරීම, අත් හැර දැමීම ආදි කි‍්‍රයාවන්ටත් ”හිජ්රත්” යන වචනය භාවිතා කරනු ලැබේ.

හිජ්රා ගමන අරඹන්නාගේ චේතනාවන්ට අනූව එය වෙනස් වෙයි. කෙනෙකු හිජ්රා ගමන අල්ලාහ් මත ඇති ප‍්‍රිය මනාපය උඩ, අල්ලාහ්ගේ දූතවරයා කෙරෙහි ඇති ප‍්‍රිය මනාපය උඩ, ඉස්ලාමීය දැහැමි අධ්‍යාපය සොයා යෑමේ අරමුණ උඩ, නැතහොත් අල්ලාහ් ප‍්‍රතික්‍ෂේප කරන්නන් වෙසෙන්නා ප‍්‍රදේශයේ ඉස්ලාමිකයෙක් හැටියට ජීවත් විමට හෝ එය ප‍්‍රචාරය කිරීමට නොහැකි තත්ත්වයක කෙරෙන්නාවු හිජ්රත් සංක‍්‍රමණය අල්ලාහ් වෙනුවෙන් අල්ලාහ්ගේ දූතවරයා වෙනුවෙන් කෙරෙන ශුද්ධවූ හිජ්රත් සංක‍්‍රමණය වනු ඇත.

කාගේ හිජ්රත් ගමනෙහි අරමුණ ලෞකීක ලාබ උපයා ගැනීම වෙයිද, නැතහොත් තමන්ගේ වෙනත් පටු ආශාවන් ඉශ්ඨ කරගැනීම සඳහා, කාන්තාවක් වෙනුවෙන්, නැතහොත් මිළ මුදල් වෙනුවෙන් මෙවැනි භෞතික සම්පත් වෙනුවෙන් ඔහු අරඹයි නම් මෙම සියල්ල විනාශ වී යන දේය. ”කුමන අරමුණින් හිජ්රා ගමන ඇරඹුවේද එය පමණක් ඔහු ලබා ගනි” යන නබි (සල්) තුමන්ගේ ප‍්‍රකාශයෙහි ලෝකය පමණක් සොයන්නාට අප කීර්තියක්, අවනම්බුවක් ඇති බව ඇඟවෙයි මෙය නබි තුමන්ගේ වචනය නොවේ. අපිට අවබෝධ වූ දේ.

නියියත් (චේතනාව) පිළිබඳ ප‍්‍රවීන විද්වතුන් අතර පවතින තෙ ආකාර මත :

1- දෛනික කටයුතු අතරින් යාඥාව කැපී පෙනීම, කෙනෙකු වෛද්‍ය උපදෙස් මත ආහාර නොගෙන සිටි, තවත් කෙනෙකු ආහාර ගැනීමට නොහැකි නිසා ආහාර නොගෙන සිටී, තවත් කෙනෙකු අල්ලාහ් වෙනුවෙන් ආහාර නොගෙන සිටි, මේ අයගේ චේතනාවටත් සව්ම් (උපවාසය) නිමිත්තෙන් ආහාර නොගෙන සිටින්නාගේ චේතනාව අතරත් පැහැදිළි කැපී පෙනෙන වෙනසක් ඇත. ඒ වගේම ජනාබා අනිවාර්්‍ය නෑම හා පිරිසිදුකමට හෝ ඇඟට සිසිලසක් දැනීම සඳහා ස්නානය කිරීම, මේ චේතනාවන් අතර ද පැහැදිළි වෙනසක් ඇත.

2- ඉබාදා යාච්ඥාවන් අතර වෙනස කැපි පෙනීම, සලාතය සඳහා චේතනාව අවශ්‍ය වේ, වෛකල්පිත සලාතය හා අනිවාර්්‍ය සලාතය අතර වෙනස හඳුනා ගැනීම සඳහා, වෛකල්පිත උපවාසය හා අනිවාර්්‍ය උපවාසය අතර වෙනස දැන ගැනීම සඳහා.

උපවාසයෙහි අනිවාර්්‍ය හා වෛකල්පිත උපවාසයන් ඇත.අනිවාර්්‍ය උපවාසයන් අතර: රමලාන් උපවාසය, භාර කළ උපවාසය, වන්දි වෙනුවෙන් ඉටු කළ යුතු උපවාසයන් කිව හැක. වෛකල්පිත උපවාසයන් අතර: අරෆා දින උපවාසය, ආෂුරා දින උපවාසය, සඳුදා හා බ‍්‍රහස්පතින්දා උපවාසයන් කිව හැක, මෙම උපවාසයන් අතර වෙනස හඳුනා ගැනීම සඳහා චේතනාව අවශ්‍ය වේ. මේ උපවාසයන් සුවිශේෂත්වයෙන් ද එකකින් එකක් වෙනස් වේ. සදකා දන් දීමෙහිද අනිවාර්්‍ය, වෛකල්පිත, වන්දි යන කොටස් ඇත, මෙහිද එකකින් එකක වෙනස හඳුනා ගැනීම සඳහා චේතනාව අවශ්‍ය වේ.

3- ක‍්‍රියාවන්ගෙන් චේතනාව වෙනස් වෙයි, යම් කි‍්‍රයාවක් අල්ලාහ් වෙනුවෙන් පමණක් යන චේතනාවෙන් කරයිද නැතහොත් වෙනත් අයගේ ප‍්‍රශංසාව බලාපොරොත්තුවෙන් කරයිද? මේ සියල්ල තීරණය වන්නේ චේතනාව මතයි.

නියියත් (චේතනාව) පිළිබඳ විවරණය:

නවවි (රහ්) තුමන් පවසයි: යම් කි‍්‍රයාවක් කිරීමට අධිටන් කිරීමත්, එය කිරීමෙහි ස්ථීරව සිටීමත් වේ.

ස්ථීර භාවය හා අධිටන් කිරීම අතර පවතින වෙනස:

ස්ථීරත්වය යනු අනාගතයේ කරන ක‍්‍රියාවක් පෙන්නුම් කරයි. අධිටන් කිරීම යනු දැන් (වර්තමානයෙහි) කරන කි‍්‍රයාවක් පෙන්නුම් කරයි.

නියියතය මුවින් ප‍්‍රකාශ කිරීමේ නීතිය :

නියියත් (චේතනාව) මුවින් ප‍්‍රකාශ කිරීම පිළිකුල් සහගත නූනත බිද්අතයකි. අල් කුර්ආනයෙහි හෝ නබි තුමන්ගේ මගෙ පෙන්වීමෙහි හෝ කිසිදු සාධකයක් මෙයට නොමැත. යාඥාවන්හි මූල ධර්මය තහනම් වේ. යාඥාවන් ආගමෙහි පිළිගත් නීති රීතින්ට අනූකුලව මිස නොමැත. මුස්ලිම් වරුන්ගෙන් බහුතරයක් මෙසේ සලාතය, උපවාසය වෙනත් යාඥාවන්ට පෙර චේතනාව මුවින් ප‍්‍රකාශ කිරීම දැකගත හැක. මෙයට නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමක් නොමැති නිසා මෙයින් වැළකිය යුතුය.

”මුබාහ්” අනුමත කි‍්‍රයාවන් හි යහපත් චේතාවෙහි බලපෑම්:

”මුබාහ්” යනු අනුමත ලද් කි‍්‍රයාවන් වේ. මෙය කිරීමෙන් පින් හෝ, මෙය නොකිරීමෙන් පාපයන් හෝ නොලැබේ. මෙය කිරීම හෝ නොකිරීම එක හා සමානය. එනමුත් අනුමත වූ යම් දෙයක් සමග යහපත් චේතනාව සංකලනයවූ විට එයට කුසල් ලැබේ.

උදාහාරණයට : කෙනෙකු අල්ලාහ් හා ඔහුගේ ශාස්තෘවරයා පිළිපැදීමේ චේතනාවෙන් බිය බැතිව ආහාර පාන ගනී. ඔහුට ඒ වෙනුවෙන් කුසල් හිමිවේ.

තවත් කෙනෙකු අන් අය ඉදිරියේ අත පාමෙන් වැළකිය යුතුයි යන අධිශ්ටානයෙන්, හරි හම්බ කරයි ඔහුටත් කුසල් හිමිවෙයි.

තවත් කෙනෙකු අල්ලාහ් වෙනුවෙන් යන චේතනාවෙන් තමන්ගේ හා තමන්ගේ පවුලේ අයගේ විය හියදම් කටයුතු බැලීමේ චේතනාවෙන් හරි හම්බ කරයි නම් එයටත් කුසල් හිමිවෙනු ඇත.

කෙනෙකු තමන්ගේ බිරිඳත් සමග එක්වී කායික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමටත් පිනක් ඇත. එය තම බිරිඳගේ අයිතීන් ඉෂ්ට කිරීමේ අදහසින්, යහපත් දරුවෙකු ලැබීමේ අපේක්‍ෂාවෙන්, මෙයින් තමන් හා තමන්ගේ බිරිඳ වැරදි දේට යෑමෙන්, වැරදි දේ බැලීමෙන්, වැරදි දේ සිතීමෙන් ආරක්‍ෂා විය හැකියි, අල්ලාහ්ගේ අණ පරිදි බිරිඳට ඉටු විය යුතු යුතුකම් ඉෂ්ට කළ යුතුයි යන චේතනාවෙන් වෙනත් මෙකි නොකි යහපත් චේතනාවන් උඩ ඔහු කරන විට කුසල් හිමිවේ.

”නබි (සල්) තුමන් ඔබගේ බිරිඳත් සමග එක්වීමටත් පිනක් ඇත යනුවෙන් පැවසූ විට සහාබා මිත‍්‍රයින් යා රසුලූල්ලාහ්! අප අතරින් කෙනෙකු තමන්ගේ ආශාවන් ඉෂ්ට කරගැනීමටත් පිනක් තිබෙන්නේද යනුවෙන් විමසූහ? එයට එතුමන්, ඔබෙන් කෙනෙකු වැරදි මාර්ගයෙහි එය ඉෂ්ට කර ගන්නා විට පාපයක් යැයි ඔබ නොදන්නේද? එමෙන්ම අනුමත මාර්ගයෙන් එය ඉටු කරගන්නා විට එයට පිනක් ලැබෙනු ඇත” යනුවෙන් ප‍්‍රකාශ කළහ. (වාර්තා කරන්නේ : අබූ දර් (රලි). මූලාශ‍්‍රය : මුස්ලිම්).

නබි (සල්) තුමන් සඃද් ඉබ්නු වක්කාස් (රලි) තුමන්ට පැවසු ඔවදනද මෙයට සාධකයක් වේ. ”අල්ලාහ්ගේ තෘප්තිය පමණක් තකා ඔබ කොයි දේ වියදම් කළත් එය වෙනුවෙන් ඔබට පිනක් ලැබෙනු ඇත. ඔබගේ බිරිඳට ඔබ කවන එක් මිටක ආහාරය ඇතුලූව” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. (වාර්තා කරන්නේ : සඃද් ඉබ්නු අබී වක්කාස් (රලි). මූලාශ‍්‍රය: බුහාරි).

ඉමාම් නවවි (රහ්) මෙම වදන පසුබිම් කොට දැක්වු අදහසක් නම් :

බිරිඳට ආහාර මිටක් බොහෝ දුරට කෙනෙකු කවන්නේ ඇයට ඇති ආදරය නිසාය. නැතහොත් විහිළුවක් කිරීමේ අදහසින් විය හැක. එය කෙසේ වූවත් අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා කෙනෙකු එය කරන විට අල්ලාහ්ගේ දයාළු භාවය නිසා ඔහුට පිනක් ලැබෙයි.
”සෑම මනුෂ්‍යයෙකුටම ඔහුගේ චේතනාව (සිතුවිලි) අනූව ප‍්‍රති ඵල හිමිවෙයි” යන නබි වදනද මෙය අවධාරණය කරයි.

මෙම ප‍්‍රකාශයෙන් අපි උගත යුතු දේ:

1- යම් කි‍්‍රයාවක් කිරීමට මත්තෙන් එහි නීති රීතින් පිළිබඳ දැන ගැනීම මුස්ලිමෙකුට අනිවාර්්‍ය වේ, එය ආගම අනුමත කළ කි‍්‍රයාවක්ද? නැද්ද? එය අනිවාර්්‍යද? වෛකල්පිතද? චේතනාවකින් තොර ඉටු කරන කි‍්‍රයාවන් ප‍්‍රතික්‍ෂේප කරනු ලබයි.

2- යාඥා කටයුතු වල නියැලෙන විට ”නියියත් (චේතනාව)” කොන්දේසියක් වන අතර, එම චේතනාව නොමැතිව කෙරෙන කි‍්‍රයාවන් නොපිළිගැනේ යන්නද මෙම ප‍්‍රකාශය තුළින් ප‍්‍රත්‍යක්‍ෂ වෙයි.

3- එකම ස්වරූපයෙන් යාඥාවන් පැවතුනද චේතනාවන් අනූව එය වෙනස් වේ.

By: Abu Asma

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.