ශුද්ධවූ අල්කුර්ආනය උගන්වන අනගි ප‍්‍රාර්ථනාවන්-02

ශුද්ධවූ අල්කුර්ආනයෙහි 3 වැනි පරිච්ඡේදය ”ආල ඉම්රාන්” හි සඳහන් ප‍්‍රාර්ථනාවන් මෙම ලිපිය තුළින් විස්තර කිරීමට අපේක්‍ෂා කරමු.
අපගේ මෙම ලිපියේ ඒකායන පරමාර්ථය:

  • මෙම ප‍්‍රාර්ථනාවන්හි අන්තර්ගත අදහස් හොඳින් අවබෝධ කිරීම.
  • මෙම ප‍්‍රාර්ථනාවන් කට පාඩම් කිරීම.
  •  තිරසාර විශ්වාසයකින් යුතුව, නිරතුරුව මෙම ප‍්‍රාර්ථනාවන් කිරීමේ පුරුද්ද අප දෛනික ජීවිතය තුළ ඇති කරගැනීම.
  • මෙම ප‍්‍රාර්ථනාවන් තුළින් අපේක්‍ෂා කරන දේ අපේ ජීවිතයට පරිවර්තනය කරගැනීම.

رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً إِنَّكَ أَنْتَ الْوَهَّابُ

“අපේ හිමියනි! අප වෙත යහමග පෙන්වීමෙන් පසු අපේ සිත් (එයින්) බැහැර නොකරනු මැනව! තවද ඔබ විසින් අපට දයාබර වරප‍්‍රසාදයන් පිරිනමනු මැනව, නියතයෙන්ම ඔබ ඉමහත් ධානපතියාය.” (ආල ඉම්රාන් 3: 8).

رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ

“අප හිමියනි! නියතයෙන්ම ඔබ මිනිසුන් සියල්ල කිසිදු සැකයක් නොමැති දිනක එක් කරන්නේය. සැබවින්ම අල්ලාහ් පොරොන්දු කඩ කරන්නේ නැත.” (ආල ඉම්රාන් 3: 9).

رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ

“අප හිමියනි! සැබවින්ම අපි (ඔබ වෙත) විශ්වාසය තැබුවෙමු, අප වෙනුවෙන් අපගේ පාපයන් සමා කරනු මැනව! (නිරයෙහි) ගින්නේ දඬුවමින් අපව ආරක්‍ෂා කරනු මැනව!” (ආල ඉම්රාන් 3: 16).

යේසූස් වහන්සේ තම ශ‍්‍රාවකයින්ගෙන් පහත සඳහන් ආකාරයට ප‍්‍රාර්ථනා කරන ලෙස ඉල්ලා සිටී විට ඔවුන් එයට අවනතවී ප‍්‍රාර්ථනා කළහ.

رَبَّنَا آمَنَّا بِمَا أَنْزَلْتَ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ

“අප හිමියනි! ඔබ අනාවරණය කළ (ග‍්‍රන්ථය) අපි විශ්වාස කරමු, (ඔබගේ) දූතවරයා අපි අනුගමනය කරමු, එබැවින් අපව (සත්‍යයට) සාක්‍ෂි දෙන්නන් සමග එක්ව සටහන් කරනු මැනව!” (ආල ඉම්රාන් 3: 53).

 رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

“තවද, අප හිමියනි! අපේ පාපයන් හා අපගේ කාර්්‍යයන්හි අපි සීමාව ඉක්මවූ කරුණුවල අපට සමාව ලබාදෙනු මැනව! අපේ දෙපා ස්ථීර කරනු මැනව! මිථ්‍යා දෘෂ්ටිකයින්ට එරෙහිව අපට පිහිටවනු මැනව”. (ආල ඉම්රාන් 3: 147).

මෙම සුවිශාල වූ විශ්ව සැලැස්ම වෙත අවධානය යොමු කරන කිසිවෙකු මෙය නිකරුණේ නිර්මාණය කරනු ලැබූ බව සිතන්නේ නැත. මෙම සුවිශාලවූ සැලැස්ම පිටු පස සිටින එම අද්විතීය ශක්තිය අවබෝධකරගන්නේය. එම බුද්ධිමත් ජනතාව කරන ප‍්‍රාර්ථනාවයි පහත සඳහන් වන්නේ.

رَبَّنَا مَا خَلَقْتَ هَذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ

“අප හිමියනි! මේ කිසිවක් ඔබ නිකරුණේ නිර්මාණය කළේ නැත, ඔබ අති පරිශුද්ධය, (නිරයෙහි) ගින්නේ දඬුවමින් අපව ආරක්‍ෂා කරනු මැනව.” (ආල ඉම්රාන් 3: 191).

رَبَّنَا إِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ

“අප හිමියනි! ඔබ කවුරුන් නිරයෙහි ගින්නට ඇතුල් කරන්නේ ද නියතයෙන්ම ඔහු ඔබේ නින්දාවට ලක්විය. තවද අපරාධකරුවන්ට පිහිටවන්නන් කසිවෙකු නොමැත.” (ආල ඉම්රාන් 3: 192).

رَبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ

“අප හිමියනි! ඔබ හිමියන් කෙරෙහි විශ්වාසය තබනු යනුවෙන් විශ්වාසය කරා කැඳවූ කැඳවුම් කරුවාගේ ආරාධනාව ශ‍්‍රවණය කර අපි සැබවින්ම විශ්වාස කළෙමු. අප හිමියනි! අපේ පාපයන් සමා කරනු මැනව! අපේ පාපයන්ගෙන් අප මුදවා, ධර්මිශ්ඨයින් සමග අප මරණයට පත්කරනු මැනව!.” (ආල ඉම්රාන් 3: 193).

رَبَّنَا وَآتِنَا مَا وَعَدْتَنَا عَلَى رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ

“අප හිමියනි! ඔබේ දූතවරුන් මගින් ඔබ අපට පොරොන්දුවූ දේ අපට පිරිනමනු මැනව! මතු දිනයෙහි අපව නින්දාවට ලක් නොකරනු මැනව! නියතයෙන්ම ඔබ පොරොන්දු කඩ කරන්නේ නැත.” (ආල ඉම්රාන් 3: 194).

ඉම්රාන්ගේ බිරිඳ තම දරුවා පිළිසිඳ ගත් විට, ඇයට “මර්යම්” යනුවෙන් නම තබා,  පහත සඳහන් ආකාරයට තම දරුවාගේ ආරක්‍ෂාව වෙනුවෙන් ප‍්‍රාර්ථනා කළ බව ශුද්ධවූ අල්කුර්ආනය අනාවරණය කරයි. දෙමාපියන් මෙම ප‍්‍රාර්ථනාව තුළින් උගත යුතු ආදර්ශයන් අනන්තය.

وَإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

“තවද ඇය හා ඇයගේ පරම්පරාව දුෂ්ට ෂෙයිතාන්ගේ (නපුරු කි‍්‍රයාවලින්) ආරක්‍ෂා කරන ලෙස මා ඔබෙන් පතමි” (ආල ඉම්රාන් 3: 36).

සකරියියා (අඅලෙයි) තුමන්, තම මහළු වියෙහි පවා අල්ලාහ් කෙරෙහි අබ මල් රේණුවක තරම් හෝ අවිශ්වාසයක් ඇති නොකර තමන්ට දරු භාග්‍යයක් පිරිනමන ලෙස ප‍්‍රාර්ථනා කළහ:

رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاءِ

“හිමියනි! ඔබෙන් පරිශුද්ධවූ දරු භාග්‍යයක් මට පිරිනමනු මැනව! සැබවින්ම ඔබ ප‍්‍රාර්ථනාවට සවන දෙන්නේය.” (ආල ඉම්රාන් 3: 38).

මතු සම්බන්ධයි……

සකස් කිරීම: ඉබ්නු යූසුෆ්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.