අල් කුර්ආනය ගැන වියතුන්ගේ අදහස්

මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන්, දිව්‍යමය මාර්ගෝපදේශ, දෙයාකාරයකින් පහල විය.

1- අල්ලාහ්ගේ වදන් මගින්,

2- මිනිස් වර්ගයා හා සබඳතා පවත්වා ගනු පිණිස අල්ලාහ් විසින් තෝරා ගන්නා ලද ශාස්තෘවරුන් මගින්,

මේ දෙවැදෑරුම් කරුණු කවදත් සමගාමීව පවතී. ඉහත සඳහන් කළ කවර කරුණක් හෝ නොසලකා හැරිය කළ, අල්ලාහ්ගේ මනාපය කවරෙක් දැයි දැනගැනීමෙහිලා නොමග යාමක් සිදුවේ. හින්දු භක්තිකයෝ ශාස්තෘවරුන් ගැන නොසලකා, ඒ ශාස්තෘවරුන්ගේ පොත් දහම් වලට පමණක් අවධානය යොමු කළහ. මේ නිසා, ඒවා හුදෙක් වාක්‍ය ප‍්‍රහේළිකාවන් බවට පත් වී ඉඳුරා අතර මං විය. මේ අන්දමින් ම කි‍්‍රස්තියානීන් විසින්, අල්ලාහ්ගේ පොත ගැන නොසලකා, සෑම වැදගත් කමක්ම යේසූස් වහන්සේ වෙත යොමු කරන ලදි. මේ අනූව උන්වහන්සේට දිව්‍යත්වයක් ආදේශ කළ අතර, බයිබලයේ සාර ධර්මය එනම් අල්ලාහ්ගේ ඒකීයත්වය ගඟවන තව්හීදය අමතක කොට දමන ලදී.

මේ හේතුවෙන් අල්කුර්ආනය පහල වන්නට පෙරාතුව පහළ වූ දිව්‍ය හෙළිකිරීම් (වහී) නිදසුනක් වශයෙන්, පැරණි තෙස්තමෙන්තුව සහ ශුභාරංචි යනාදිය ග‍්‍රන්ථාරූඨ වූයේ ඒ ශාස්තෘවරුන්ගේ ඇවෑමෙන් බොහෝ කලකට පසුවය. එයද සිදුවූයේ පරිවර්තනය වශයෙනි. හේතුව මූසා (Moses) (අලෙයි) තුමාගේ හෝ ඊසා (Jesus Christ) (අලෙයි) තුමාගේ අනුගාමිකයින් විසින්, ඒ ශාස්තෘවරුන් ජීවතුන් අතර සිටියදීම ඔවුන්ගේ ධර්මානුශාසනාවන් ආරක්‍ෂා කිරීම සඳහා, සැලකිය යුතු වෑයමක් නොදැරීමයි. ඒ ශාස්තෘවරුන්ගේ මරණයෙන් බොහෝ කලකට පසුව, ඒවා ලේඛන ගත විය. මේ අනූව, අද අප අතර බයිබලයේ ස්වරූපයෙන් පැරණි හා අලූත් තෙස්තමෙන්තු පවත්නා ග‍්‍රන්ථය අදාළ ශාස්තෘවරුන්ගේ ප‍්‍රකෘති ධර්මානුශාසනාවන්, අනුගාමිකයන් විසින් ආදේශ කිරීම, ඉවත් කිරීම සිදුකලා වූ පෞද්ගලික් කර්තව්‍යයකි. අනෙක් අතට, අවසාන දිව්‍ය හෙළිකිරීම් වලින් සමන්විත අල්කුර්ආනය ප‍්‍රකෘති ආකාරයෙන්ම පවතී. එහි ආරක්‍ෂාව අල්ලාහ් විසින්ම දරනු ලැබේ. මේ නිසා මුහම්මද් නබි (සල්) තුමාගේ ජීවිත කාලය තුළදීම තල්පත්, සත්ව සම් හා ඇටකටු යනාදින් හි වෙන්වෙන් වශයෙන් වූවද, ඒවා ලේඛනගත විය. මේ හැර, මුහම්මද් නබි (සල්) තුමාගේ ලක්‍ෂ සංඛ්‍යාත මිත‍්‍රවරුන් විසින් සම්පූර්ණ කුර්ආනයම කටපාඩම් කරගන්නා ලද අතර මුහම්මද් නබි (සල්) තුමාගේ පශ්විම අවධියේ එතුමා ජීබ්රීල් (අලෙයි) හමුවේ වසරකට වරක් හෝ දෙවරක් කියවා ඉදිරිපත් කළහ. ඉන්මතු පළමු ජනාධිපති වූ අබූබක්කර් (රලි) තුමාගේ මෙහෙයවීමෙන් සම්පූර්ණ කුර්ආනයම ඒක රාශිකොට, තනි ග‍්‍රන්ථයක් වශයෙන් සකස් කරන ලදී. මුහම්මද් නබි (සල්) තුමාගේ වෘත්තිය ලේඛකයා වූ සයිද් ඉබ්නු සාබිත් (රලි) තුමා, මෙය ලේඛනාරූඨ කළහ. අබූබක්කර් (රලි) තුමාගේ මරණීය මොහොත දක්වා, එය එතුමන්ගේ භාරයේ පැවතියේය. අනතුරුව දෙවන පාලකයා වූ උමර් (රලි) තුමාගේ භාරයෙත්, එතුමාගේ ඇවෑමෙන් පසු හෆ්සා (මුහම්මද් නබි (සල්) තුමාගේ මෙහෙසිය) තුමියගේ භාරයෙත් පැවතුණි. තෙවන පාලකයා වූ උස්මාන් (රලි) තුමා, කුර්ආනයේ මුල් පිටපත් ඇසුරින් පිටපත් කීපයක් කරවා, ඉස්ලාමීය අධිරාජ්‍යයේ ප‍්‍රදාන නගර වෙත යැවූහ.

අල්කුර්ආනය, මේසා සුපරික්‍ෂාකාරීව සුරකිනු ලැබුණේ, මානව සංහතියේ මතු පරම්පරාවලටද එමගින් මග පෙන්වීම සැලසීමේ පරමාර්ථයෙනි. එය පහළ වූ මාතෘ අරාබි භාෂාවෙන්, ආමන්ත‍්‍රණය නොතෙරෙන්නේ එබැවිනි. එමගින්, පොදුවේ මිනිසුන්ට ආමන්ත‍්‍රණය කෙරේ.

”මනුෂ්‍යය ඔබ ඔබේ ස්වාමියා ගෙන් ඉවත් කරවන්නේ කවරෙක්ද?” මුහම්මද් නබි (සල්) තුමාගේ හා ලොව පුරා වෙසෙන මුස්ලිම් සත්දනන්ගේ ජීවිතාදර්ශයෙන් කුර්ආනීය ඉගැන්වීම් තහවුරු කෙරේ. අල්කුර්ආනයේ විශිෂ්ටත්වය වන්නේ, පොදු යහපත උදෙසා පහසුවෙන් ග‍්‍රහණය හා ආදේශ කරගත හැකි අවවාදානුශාසනාවන් ඉදිරිපත් කිරීමයි. කවර මිනුම් ක‍්‍රමයිකින් වූවද, පරිසමාප්ත ඥානය වන්නේ, කුර්ආනීය ඥානයයි. එමගින් ශරීරය පිළිකුල් කොට කොන්කර දැමීමක් හෝ එයට ආත්ම වේදනාවන් පැමිනවීමක් නොකෙරයි. ආත්මය ගැන නොසලකා හැරීමක්ද නොකෙරේ. මනුෂ්‍යයෙකුට දිව්‍යත්වය හෝ දෙවියෙකුට මනුෂ්‍යත්වය හෝ ආදේශ නොකෙරේ. මවනු ලැබුවා වූ පරිද්දෙන්ම, සමස්ත සංස්කාරයක්ම ඒ ඒ ස්වභාවයේ ලා සලකනු ලැබේ.

සැබැවින්ම අල්කුර්ආන්හි ප‍්‍රබන්ධකයා මුහම්මද් නබි (සල්) තුමා යයි මතය දරණ විශාරදයන් විසින්ම, අල්කුර්ආනයේ, පුහුදුන් මිනිසෙකු විසින් සිදු කළ නොහැකි අසාමාන්‍ය ආනුභාවයක් පවත්නා බව පිළිගැනේ. සයවන ශත වර්ෂයේ විසු පුරුෂයෙකු විසින් කුර්ආන්හි සඳහන් වන්නාක් බඳු, විද්‍යාත්මක සත්‍යයන් විග‍්‍රහ කළ හැකිවේද? ගර්භාශයක් තුළ කලලයක් භ‍්‍රමණය වන ක‍්‍රමය නූතන විද්‍යාඥයකු මෙන් ඒ නිසා නිවැරදි ලෙස වර්නණා කළ හැකිවේද?

දෙවනුව, ස්වකීය සතලිස් වන විය දක්වා, ඉඳුරා අවංක විශ්වාසවන්ත භාවයට නමගිය මුහම්මද් නබි (සල්) තුමාට, අරාබියේ කාලීන වියත් කවීන් හා කථිකයන්ටත් නුපුළුවන් වූ තරමේ අනුපමේය සාහිත්‍ය කෘතියක කතෘවරයා විය හැකි යැයි පැවසීම තර්කානුකූල විය හැකිද?

අවසාන වශයෙන්, අවංක හා විශ්වාසවන්ත භාවය නිමිත්තෙන් ”අල් අමීන්” නම් විරුදාවලිය ලත්, ස්වකීය සමාජයේ හා නොමුස්ලිමුන්ගේ ද ගරුබුහුමනට ලක්වූ පුරුෂයෙකු, ව්‍යාජ නිවේදනයක් සහිතව ඉදිරිපත් වෙමින්, භූතලය මත අතිශ්‍රේෂ්ඨ සමාජයක් ගොඩනැංවිය හැකි තරමේ සුශික්‍ෂිත, අවංක හා විශ්වාස දායක පිරිසක් සූදානම් කළේ කෙසේදැයි විමසා බැලිය යුතුය.

සැබැවින්ම, අල්කුර්ආනය අල්ලාහ් හෙළිදරව් කළ ග‍්‍රන්ථය බැව් අවංක හා අපක්‍ෂපාති විමර්ශකයන් අදහනු ඇත.

අල්කුර්ආනය සම්බන්ධයෙන් සුප‍්‍රසිද්ධ නොමුස්ලිම් වියතුන් දරන අදහස් එමටය. ඒවා අවශ්‍යයෙන්ම පිළිගත යුතු නැතත්, ඔවුන්ගේ ඇතැම් අදහස් මෙහිලා සඳහන් කිරීම වටී. නූතන ලෝකය, අල්කුර්ආනයේ සත්‍යතාවයට කොතරම් සමීපව සිටිත්දැයි මෙමගින් පැහැදිලි වේ. ඉහත සඳහන් කරුණු සිතෙහි රඳවා ගෙන, අල්කුර්ආනය පරිශීලනය කරන ලෙස, විවෘත මනසක් පිහිටි වියතුන්ගෙන් ඉල්ලා සිටිමු. කුර්ආනය, සාමාන්‍ය පුරුෂයෙකු විසින් රචනා කළ නොහැක්කක් වග ඔවුන්ට ප‍්‍රත්‍යක්‍ෂ වන බව නිසැකය.

”අල්කුර්ආනය කියවන විට, මුලදී අමිහිරිව, පසුව සෑම අවස්ථාවකදීම, නැවුම් වෙමින්, කුල්මත් කරවමින්, විශ්මයට පත්කරවමින්, අවසානයේදි එය කෙරෙහි ගරුසරු ආකල්පයක් ඇතිකරයි…. එහි ලතාව, ශෛලිය, අඩංගු කරුණු අතර පවත්නා එකඟත්වය, හා අචල අරමුණ ප‍්‍රශංසනීය වේ. ඒ කෙරෙහි සදාකාලීන වූ සැබෑ අවනතභාවයක් හටගනී. මෙසේ මේ ග‍්‍රන්ථය මතු සෑම වකවානුවක දීම විශිෂ්ඨ බලපෑමක් පවත්වා ගන්නේය.”
ගෝයත් :(T. P. Hughes’ Dictionary of Islam – පිටුව 526).

”ජගත් ධර්ම ග‍්‍රන්ථ අතුරින් කුර්ආනය ඇත්තෙන්ම විශිෂ්ඨ ස්ථානයක් උසුලයි. ඉතිහාසය ගොඩනගන සාහිත්‍ය ක්‍ෂෙත‍්‍රයේ ළාබාලතම තැන දැරුවත්, මේ මගින් විශාල ප‍්‍රමාණයක මිනිස් සමාජ බිහිකොට ඇත. මිනිස් ආකල්පයන්හි ඉඳුරා නව මුහුණුවරක් මෙන් ම නව ජීවන රටාවක් ද බිහිකර ඇත.

මුලින්ම, අරාබි අර්ධද්වීපයේ, කාන්තාරය ප‍්‍රමාණාතික‍්‍රාන්ත විවිධ ගෝති‍්‍රකයන්, එකම වීර ජාතියක් බවට පත් කළේය. පසුව, මහම්මදික ලෝකයේ විශාලතම දේශපාලන හා ආගමික සංවිධානයක් වශයෙන් පෙරමුණ ගත්තේය. මෙය වත්මන් යුරෝපයේ හා පෙරදිග රටවල විශාලතම බලවේගයක් වශයෙන් සැලකේ.”

G. මාර්ගෝලියත්- J.M. රොඞ්වෙල්ගේ The Koran පොතෙහි හැඳින්වීම New York – Every Man”s Library 1977- පිටුව 7.

”ශ්‍රේෂ්ඨ කාව්‍යයක්! පසුව, දුරින් හා කාලයෙන් ඈත එපිට වසන්නන් තුළ, තර්ක විරහිත හැඟීම් උදාකරන, ඊටත් වඩා මානසික සංවර්ධනයක් හට ගන්වන ශ්‍රේෂ්ඨ කාව්‍යක්! මිනිස් සිතකින් නිපැදවූ ඉස්තරම් කෘතියක්ය යන අහිතකර ආකල්පය පහවී, විමතියක් හා ඒ කෙරේ තද ඇල්මක්ද හටගනී.” (Dr. ස්ටෙයින්ගාස් – T.p. Hughes Dictionary of Islam – පිටුව 526-7).

අල්කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය, සාවද්‍ය සහගත බව, ඉහත සඳහන් කරුණු වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ඨතම සාහිත්‍යදරයා විය හැක්කේ කෙසේද? තත්කාලයේ අන් කිසිදු මිනිසෙකු නොදැන තරමේ අල්ප මාත‍්‍ර වරදකින් තොරව, එබඳු විද්‍යාත්මක සත්‍යයන් හෙළිදරව් කළ හැක්කේ කෙසේද? (Maurice Bucaille – The Quran and Science 1978 – පිටුව 125).

”එම නිසා පරිවයක් හෝ අනුදැනුමකින් තොරව, සාහිත්‍ය කෘතියක් සම්බන්ධයෙන් කරන රශාස්වාද මිම්මක් නොකල යුතුය. කුර්ආනය මගින් මුහම්මද් තුමාගේ ප‍්‍රතිවාදින් හා රටවැසියන් තුළ ඇතිකලා වූ ප‍්‍රතිඵලයක් ගැන සැලකිළිමත් විය යුතුය. ශ‍්‍රාවකයන් තුළ ඒසා ශක්තිමත් බලපෑමක් ඇතිකොට, සුදන දුදනන් සියල්ල එකම බැම්මකින් බැඳ, මහඟු සංවිධානාත්මක සමාජයක් ගොඩනැගිය හැකිවූවා නම්, එහි භාෂා ශෛලිය අංග සම්පූර්ණ වේ. ඇත්තෙන්ම අල්කුර්ආනය මගින් අශිලාචාර ගෝත‍්‍රිකයන් තුළින් ශීලාචාර ජාතියක් බිහිවිය. ඉතිහාසයේ ගොරෝසු, නොනැමෙන ඡේදයකින් නවමු නම්‍යතාවයක් හට ගත්තේය.” (Dr. Steingass හියුස් ගේ Dictionery of Islam (පිටුව – 528).

”මට පෙරවූවන් දැරූ ප‍්‍රයත්න තව දුරටත් දියුණු පිණිසත් අරාබි අල්කුර්ආනයේ අති විශිෂ්ඨ හා පූජනීය වූ භාෂා කෞශල්‍යතාවය සම්බන්ධයෙන් පිළිගත හැකි යම් කිසිවක් ගෙනහැර දැක්වීම පිණිසත් මමද අල්කුර්ආනය පරිශීලනය කිරීමෙහිලා වෙහෙස ගත්තෙමි. එහි විවිධාකාර වූ විසිතුරු ශෛලියක් ගෙනහැර පාන පණිවිඩයට අතිරේකව, මිනිසාගේ ශ්‍රේෂ්ඨතම සාහති්‍ය මාධ්‍යය වශයෙන් උසුලන අනඟිභවනීය ස්ථානයන් සැලකුව මනාය. අල්කුර්ආනය කියවන කළ, ශ‍්‍රවණය කළ පමණින්, දෑසින් කඳුළු ගලන බවත්, අධ්‍යාත්මික වශයෙන් උත්තරීතර ඵලයක් අත්වන බවත්, එය අදහන්නෝ ප‍්‍රකාශ කරති. මේ අදහස පූර්ව පරිවර්තකයන් විසින් ඉඳුරා නොසලකා හැර ඇත.”
(Arther J. Arberg- The Koran Interpreted,London – Oxford University Press 1964- පිටුව 10).

”අල්කුර්ආනය, නූතන විද්‍යාත්මක පහනින් මනා ලෙස පිරික්සීමේ දී ඒ දෙක අතර පවත්නා අන්‍යොන්‍ය එකඟතාවය සක්සුදක් සේ පැහැදිළි වේ. මේ බැව් මීට පෙර බොහෝ අවස්ථාවල ගෙනහැර දැක්විමු. මුහම්මද් ගේ දවස පැවතී දැනුම් මට්ටම අනූව, මෙබඳු වගන්ති සඳහන් කෘතියක ප‍්‍රබන්‍ධකයා වීමේ හැකියාව මිනිසෙකු තුළ පැවතුණේ යැයි කොහෙත්ම සිතාගත නොහැකිය. අල්කුර්ආනයට එකී උත්තුංග ශ්‍රේෂ්ඨත්වය හිමිවන්නේ ඊට භෞතිකවාදී විග‍්‍රහයක් කිරීමෙහි ලා මධ්‍යස්ථ මතධාරි විද්‍යාඥයෙකුට හැකියාවක් නැතිවෙන්නේත් ඒ හේතුවෙනි” (Maurice Bucaille – The Quran and Science- 1981 (පිටුව – 18).

සකස්කිරීම: එස්.එම්.මන්සූර්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.