කුර්ආනය සහ විද්‍යාව-02

භූ ගර්භ විද්‍යාව:

අප වාසය කරන ග‍්‍රහලෝකය වූ පෘථීවිය ගැන කුර්ආනයේ සඳහන් වන පුදුම උපදවන හෙළිදරව් කිරීම් පිළිබඳව දැන් අපි සලකා බලමු. එහි පෘථීවිය සම්බන්ධව එහි මතුපිටින් දර්ශණය වන භෞතික සිද්ධාන්ත ගැන පමණක් නොව, එහි වාසය කරන ජීවීන් පිළිබඳවද ඉතා හොඳින් විස්තර ඉදිරිපත් කර ඇත.

අප මෙතෙක් සාකච්ඡා කළ කරුණු මෙන්ම, කුර්ආනයෙහි භූගර්භ විද්‍යාව පිළිබඳවද මනා සංකල්පයන් ඉදිරිපත් කර ඇත. භූගර්භ විද්‍යාව කුර්ආනය පහළ වූ සමයට බොහෝ පසු කාලයකදී ඇතිවී, දියුණු වූ විද්‍යා ක්‍ෂේත‍්‍රයකි.

මේ අනූව අපට අපගෙන්ම පහත සඳහන් ප‍්‍රශ්න ඇසීමට සිදුවේ. කාන්තාරයක් මැද ජීවත් වූ නූගත් මිනිසෙක්, මිථ්‍යා විශ්වාසයන්ගේ ආධිපත්‍යට ලෝකය යටත්ව සිටි සමයක සියළුම විෂය ක්‍ෂේත‍්‍රයන් සම්බන්ධව ඇතිවූ ගැටළු නිවැරදිව නිරාකරණය කරගනිමින්, තමන් වෙත පහළ වූ දර්ශණය පැතිරවීමෙහි නිරත වූයේ කෙසේද? ඔහුගෙන් ශතවර්ෂ ගණනාවකට පසු යුගයකදී පමණක් සාවද්‍ය බවට පූර්ණ වශයෙන් ඔප්පු කර ඉවතලන ලද විශ්වාසයන් ඔහු ඊට බොහෝ කලකට පෙර ඉතා දක්‍ෂ ලෙස බැහැර කළේ කෙසේද?

ජල වක‍්‍රය:

පෘථීවියෙහි ක‍්‍රියාත්මක වන විවිධ පද්ධති පිළිබඳව කුර්ආනයේ එන වගන්තීන් මෙහිදී විමසා බලමු. ”බයිබලය කුර්ආනය සහ විද්‍යාව” නම් මාගේ ග‍්‍රන්ථයෙහි මෙවැනි බොහෝ දෑ පිළිබඳව විස්තර මවිසින් ඉදිරිපත් කර ඇති අතර, මෙහිදී ස්වභාවික ”ජලචක‍්‍රය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු කැමැත්තෙමි. මේ මාතෘකාව සම්බන්ධයෙන් අද අපට ඉතා හොඳ අවබෝධයක් ඇත.

මේ හේතුවෙන් ජලචක‍්‍රය පිළිබඳව වූ අදහස් සියල්ලම සම්පූර්ණයෙන්ම ප‍්‍රත්‍යක්‍ෂ ලෙස සනාථ වේ. කුර්ආනය පහළ වූ අවධියේ මේ පිළිබඳව වූ අදහස් සලකා බැලීමේදී පෙනී යනුයේ, ජල සම්පාදනය පිළිබඳ යම් දැනුමක් මෙකල මිනිසුන් සතු වූවද, ඒ සියල්ල නිරීක්‍ෂණ මත පදනම වූ ඒවා නොව, මිථ්‍යා මතවාද හා විචාරාත්මක දාර්ශනික අදහස් මත පදනම් වූ ඒවා බවයි.

අස් සුමර් පරිච්ඡේදයේ එන පහත සඳහන් වගන්ති උදාහරණ වශයෙන් අපි දැන් සලකා බලමු.

”අල්ලාහ් අහසින් වැසිදිය පහලට එවා, එම වැසි දිය පොළව තුළට විනිවිද යාමට සලස්වා ඒ තුළින් උල්පත් දිය බිහිකර, ඒ උපකාරයෙන් පොළව මත විවිධ වර්ණයන්ගෙන් යුතු වගාවන් ඇති කළ බව ඔබ නොදුටුවෙහිද?” (ශු කුර්ආනය 39- 21).

අද දිනයේදී මෙය ඉතා සරල ලෙස අපට හැඟී ගියද, කුර්ආනය පහළ වූ, අදට බොහෝ ඈත යුගයක දී, එය එසේ නොවූ බව අප තරයේ සිතට ගත යුතුය. 16 වන ශත වර්ෂයේදී ”බර්නාඞ් පැලිසි” විසින් ජලචක‍්‍රය පිළිබඳව නියම සම්බන්ධතාවයන් සහිතව කරුණු අනාවරණය කරන තුරුම මෙය ලොවට රහසක්ව පැවතුණි. ඊට පෙර කාලයන්හිදී මිනිසුන් විශ්වාස කරන ලද්දේ සාගර ජලය සුළෙඟ් බලපෑම හේතුකොට ගෙන මහාද්වීප තුළට කිඳා බැස මහා අගාධයන් හරහා නැවත සමුද්‍රය කරා පැමිණෙන බවයි, ප්ලේටෝගේ සමයෙහි පටන් මේ මහා අගාධ tartarus නමින් හැඳින්විය.

(පාතාල ලෝකයේ ග‍්‍රීක දෙවිඳුන් ලෙස විශ්වාස කළ ප්ලූටෝ ඔහුගේ රැජින වූ පෙතසෆෝන් (Persephone) සමඟ මරණය හා නිරයේ බලතල සහිතව ජීවත්වූ ප‍්‍රදේශය ”හදේස් නිවහන” ලෙස හඳුන්වනු ලැබූ අතර, එයට දුරස්ථව පිහිටි tartarus අගාධය අපායේ දඬුවම් දෙනු ලබන ස්ථානය ලෙසත් සැලකේ. පසු කලෙක මේ ස්ථාන 2 අතර ඇති පරතරය අඩුවී ගොස් ”හදේස් නිවහන” හා tartarus අගාධය එකක්යැයි සලකන ලදී. (නව බි‍්‍රතාන්‍ය විශ්ව කෝෂය – 15 වන වෙළුම – පිටු අංක 606).

17 වන ශත වර්ෂයේ විසූ මහා චින්තකයෙකු වන Descartes පවා මෙම මිථ්‍යා මතය විශ්වාස කළේය. ”ඇරිස්ටෝටල් විසින් මේ සම්බන්ධව සඳහන් කළ මත 19 වන ශත වර්ෂයේදී පවා බොහෝ දෙනෙකු විසින් පිළිගනු ලැබුණි. ඇරිස්ටෝටල්ගේ මතයෙහි සීත කඳු මුදුන්වල පිහිටි ගැඹුරු බිංගෙවල් වැනි කුහර තුළ ජලය ඝණීභවනය වී සෑදෙන භූගත ස්කන්‍ධයෙන් උල්පත් පෝෂණය වන බව සඳහන් වේ. නමුත් වැසිදියෙන් පොළව තුළට කාන්දු වී යන ජලය මඟින් උල්පත් පෝෂණය වන බව අද හොඳින් දන්නා කරුණකි. මේ අනුව සලකා බැලිමේදී කුර්ආනයෙහි මේ විෂයයට අදාලව දැක්වෙන කරුණු අද අප දන්නා නූතන ”ජල විද්‍යාවේ” (Hydrology) එන දත්තයන් හා මනාව ගැලපෙන බව පෙනී යයි.

කඳු:

නූතන භූගර්භ විද්‍යාවේ නව සොයාගැනීමක් වූ කඳු පද්ධති සැකසීම පිළිබඳ ස්ථරීය වාදය නොහොත් රැළිති සිද්ධාන්තය (Folding Phenomenon) මෙසේ සඳහන් කරයි. ”පෘථීවියෙහි පිටත කොටස හෙවත් ”කබොල” ඝණ කවචයකින් සෑදී ඇති අතර එහි ගැඹුරු ස්ථරයන් උණුසුම් දියරයකින් සමන්විතය. මේ නිසා එම කොටස ජීවීන්ගේ වාසයට නුසුදුසු වේ.” තවද මෙම සිද්ධාන්තයෙන් කඳු පද්ධති ඇතිවීම හා එමගින් ඇතිවන ස්ථාවරත්වය ගැනද කියැවේ. පෘථීවිය මතුපිට ස්ථර හෙවත් ”කබොල” කොටස් එහි පහත් ස්ථර දෙසට නැඹුරු වී කඳු සැකසීමට අදාල අත්තිවාරම ගොඩනගන අතර, ඒ මත ස්ථර වශයෙන් එක් රැස්වන පෘථීවි ”කබොල” කොටස් වලින් සමන්විත වී පසුව සෑදෙන කඳු වලට මෙමගින් ස්ථාවරත්වයක් සැපයේ.

දැන් මෙම කරුණු කුර්ආනයේ එන කරුණු හා සසඳා බලමු. එය එහි එන ”අන්නබා” නම් පරිච්ඡේදයේ මෙසේ දැක්වේ.

”අප පොළව තනා ඒ තුළින් විකාශණය වූ ප‍්‍රසාරණයන් මඟින් කඳු මුඳුන් නොතැනුවෙමුද?” (ශු කුර්ආනය 78 6-7).

“Awtad” යන අරාබි වදනින් ශිඛරය, මුදුන යන අර්ථයන් ගෙනදෙන අතරම මෙයින් කුඩාරමක් නැංගූරම් ලෑමේදී පොළව හා සම්බන්ධව පවතින ආකාරයද අදහස් කෙරේ. මෙයින් එහි භූගස්ථර වලින් සමන්විත වූ ගැඹුරු අත්තිවාරම ගැනද පැහැදිලි කෙරේ.

මෙහිදී ද මා මෙතෙක් ඉදිරිපත් කළ අන් මාතෘකා වලදී මෙන්ම නූතන විද්‍යාව හා කුර්ආනයේ එන කරුණු අතර පරස්පර විරෝධීතාවයක් හඳුනා ගැනීමට කිසිම අපක්‍ෂපාතී නිරීක්‍ෂකයෙකු සමත් වී නොමැත.

ජීව විද්‍යාව:

කුර්ආනයෙහි සඳහන්වන ශාක හා සත්ත්ව රාජධානි පිළිබඳ කරුණු (විශේෂයෙන්ම ප‍්‍රජනනය හා සම්බන්ධව) මඟින් අන් සියළු දෙයකටම වඩා මා මවිතයට පත්වුණි.

ඇත්ත වශයෙන්ම මේ විෂයය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් හා වැඩි කාලයක් යොදා ගෙන සාකච්ඡා කළ යුතුව පැවතියද, මෙම ඉදිරිපත් කිරීමෙහි ඇති සීමිත ඉඩකඩ හේතුවෙන් මට මෙහිදී ඉදිරිපත් කළ හැක්කේ උදාහරණ සුළු ප‍්‍රමාණයක් පමණි.

කුර්ආනීය පරිච්ඡේදය වල සඳහන් වන සැඟවුණු අර්ථයන් වටහා ගැනීමට අද අප සමත්ව ඇත්තේ නූතන විද්‍යාවේ දියුණුව හේතුවෙන් බව මම නැවත වරක් අවධාරණය කරනු කැමැත්තෙමි. ඇතැම් කුර්ආනීය පරිවර්තනයන් සහ ඒ සම්බන්ධව එන විස්තර විවරණයන් රචනා කරන ලද උගතුන් සමහරෙක්, නූතන විද්‍යා දැනුමෙන් තොරවූවන් බැවින් – අද ඇතැම් විද්‍යාඥයින් සමහරෙක් මෙබඳු විවරණයන් පිළිගත නොහැකි ඒවා ලෙස සළකණු ලබයි.

කුර්ආනයේ එන ඇතැම් කරුණු නිසැකවම පහසුවෙන් තේරුම් ගත හැකි ඒවා වන නමුදු එහි සැඟවුණු විද්‍යාත්මක අර්ථයන් පුදුම උපදවන සුළු ඒවා වේ. උදාහරණයක් ලෙස ”අල් අන්බියා” පරිච්ඡේදය සලකා බලමු.

”අහස හා පොළව එක්ව තිබුණු අතර, එය මා විසින් දෙකඩ කර හැර, සියළුම ජීවීන් ජලය තුළින් සෑදු බව අවිශ්වාසවන්තයින් වටහා නොගනියිද? ඔවුන් තවමත් විශ්වාස නොකරන්නෙහිද? (ශු කුර්ආනය 21 30).

මෙය නූතන විද්‍යාවේ එන ජීවයේ සම්භවය ජලජව සිදුවූවකැයි යන්න චමත්කාරජනක ලෙස සනාථ කර දක්වයි.

උද්හිද විද්‍යාව:

මුහම්මද් නබි (සල්) තුමාගේ සමයෙහි කිසිදු රටක විසූ කිසිදු විද්‍යාඥයෙකු සතු උද්හිද විද්‍යා දැනුම මඟින් ශාකයන් ස්ත‍්‍රී සහ පුරුෂ වශයෙන් අංගයන් දෙකකින් සමන්විත වන බව පැවසීමට සමත් නොවීය. එහෙත් කුර්ආනයෙහි එන ”තාහා” පරිච්ඡේදයේ එය මෙසේ සඳහන් වේ.

”දෙවියන් වහන්සේ විසින් අහසින් පොළවට වැසි වස්සවා. නොයෙක් වර්ගයේ ශාකයන් යුගල වශයෙන් ඇති වීමට සලස්වන ලදී.” (ශු කුර්ආනය 20: 53)

ඵල ඇති කරනු ලබන සියළුම ශාක ලිංගික ලක්‍ෂණ වලින් සමන්විත වන බව (ස්ත‍්‍රී හා පුරුෂ කොටස් අතර සිදුවන සංසේචනයෙන් ඵල හටගන්නා බව) අද අප හොඳින් දන්නා කරුණකි. එසේ වූවද, කෙසෙල් වැනි ශාක වලදී සංසේචනය නොවූ මල් තුලින්ද ඵල හටගනී. මලක් යනු ශාකයක ලිංගික අවයව රැඳී ඇති කොටස වේ.

කුර්ආනයේ ”අර්-රාද්” පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ.
”……… දෙවියන් විසින් මෙලොව මැවූ සියළු පළතුරු යුගල් වලින් ඇතිකරන ලදී.” (ශු කුර්ආනය: 13- 3)

කායික විද්‍යාව:

මෙම ක්‍ෂේත‍්‍රයේදී කුර්ආනයෙහි එන අදහස් අතිශයින්ම වැදගත් යැයි මට හැෙඟ්. ”රුධිර සංසරණ පද්ධතිය” පිළිබඳව සොයාගැනීමට දළ වශයෙන් වසර දහසකට පමණ පෙර කලකදී – ආහාර ජීර්ණයේ එල ලෙස අවශෝෂණය කරගන්නා ද්‍රව්‍ය මුළු සිරුර තුළම ගමන් කරමින් සෑම අභ්‍යන්තර ඉන්‍ද්‍රියයකටම පෝෂණය සලසා දෙන බවත්, කිරි වල සංයුතියෙහි ප‍්‍රභවය වන්නේද මෙම සංසරණ ද්‍රව්‍ය බවත් … වශයෙන් නූතන විද්‍යාව හා බෙහෙවින් සැසඳෙන කරුණු කුර්ආනීය පරිච්ඡේදයන්හි විස්තර වේ.

මෙම කුර්ආනීය කරුණු අවබෝධ කරගැනීමට පළමුව අප දත යුතු කරුණක් වේ. එනම් අපගේ මුඛය, ආමාශය හා අන්ත‍්‍රයන් (බඩවැල්) යන කොටස් තුළදී අප ගනු ලබන ආහාර හා එන්සයිම නම් රසායනික ද්‍රව්‍යයන් අතර සිදුවන ප‍්‍රතික‍්‍රියාවන්හි ප‍්‍රතිඵලයක් ලෙස නිකුත් කෙරෙන, අණුක ස්වරූපයෙන් පවතින පෝෂ්‍ය පදාර්ථයන්, අන්ත‍්‍රයේ බිත්ති මතවූ ”අංගුලිකා” නම් වූ කුඩා ප‍්‍රසර තුළින් රුධිර සංසරණ පද්ධතියට අවශෝෂණය කරගනු ලබයි. මෙහි ඇති රුධිරය මඟින් මෙලෙස අවශෝෂණය කරගත් පෝෂ්‍ය පදාර්ථයන් ශරීරයේ ඇති සියළුම ඉන්‍ද්‍රියයන් වෙන ප‍්‍රවාහණය කෙරේ. කිරි නිෂ්පාදනය කරනු ලබන ”ස්තන ග‍්‍රන්ථින්ද” මේ ඉන්‍ද්‍රියයන් අතරට අයත් වේ.

ශත වර්ෂ ගණනාවකට ඉහත දී තේරුම් ගත නොහැකිව තිබූ මෙම ජීව විද්‍යාත්මක ක‍්‍රියාදාමය පිළිබඳව වූ අඩංගු කරුණු කුර්ආනයේ එන කොටස් කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් අපහට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැක. මෙය ”අන්නහ්ල්” නම් පරිච්ඡේදයේ මෙසේ දැක්වෙයි.

”සැබැවින්ම ගවයන් තුළ ඔබට ඉගෙනීමට පාඩමක් වේ. මම ඔබට බීමට ලබාදුන්නේ ඔවුන්ගේ අන්ත‍්‍රවල අඩංගු දැයින් හා රුධිරයෙන් සංයුක්ත වී සෑදී ඇති කිරී නම් වූ දියරයයි. එය පානය කරන්නා පිරිසිදු හා ඉතා ප‍්‍රියමනාප වන්නේය.”

ස්තන ග‍්‍රන්ථි වලින් ස‍්‍රාවය වන කිරිවල සංයුතිය සැබැවින්ම සමන්විත වනුයේ රුධිරය මගින් එන ග‍්‍රන්ථි වලට පරිවහණය කෙරෙන ආහාර ජීර්ණයේ අන්ත ඵලයන් ලෙස ඇතිවන පෝෂණ සංඝටක වලිනි. රුධිරය හා මෙම පෝෂණ සංඝටක අන්ත‍්‍ර බිත්ති මතදීම එකට සංයෝජනය වී පවතී.

මුහම්මද් නබි (සල්) තුමාගේ මරණින් වසර දහසකට පසු රසායනික විද්‍යාව හා කායික විද්‍යාව මඟින් ඉතා නිවැරදිව පරීක්‍ෂාවට භාජනය කරන ලදුව තහවුරු වූ මෙම සත්‍යයන් කුර්ආනයේ ඉහත දැක්වෙන අයුරින් ඉදිරිපත් කර ඇත.

ආචාර්ය මොරිසු බුෙඛෙල් – ප‍්‍රංශ වෛද්‍ය විද්‍යා ඇකඩමිය

පරිවර්තනය: නජ්මා පෙරේරා.

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.