අල් කුරානයේ සඳහන් නිරය කෙබඳු එකක්ද? (What is the nature of hell mentioned in the Qur’an?)

ස්වර්ගය හෝ නිරය නබිතුමා හැර වෙන කිසිවෙකු විසින් දැක නොමැත. එබැවින් බොහෝ අය සිතන්නේ එය මිත්‍යාවක් බවයි. කෙසේ වෙතත් ස්වර්ගයක් සහ නිරයක් නොමැති නම් මිනිසා මිහිපිටදී කරන දේවල් වලට සාදාරනය ඉටු කළ හැකි වෙනත් තැනක් නොමැත. උදාහරණයක් වශයෙන් මිනිස් ඝාතන මිලියනයක් සිදු කළ පුද්ගලයෙකුට මේ ලෝකයේදී දිය හැකි උපරිම දඬුවම එක්වරක් ඔහුව ඝාතනය කිරීමයි. එය කිසිම අකාරයකට ඔහු කල මිනිස් ඝාතනවලට සම කළ නොහැකිය. එහෙත් නිරයේදී පිලිස්සී යන සම වෙනුවට අළුතින් සමක් ලබා දෙමින් නිරා වැසියන්ව නැවත නැවත නිරයේ ගින්නෙන් පුළුස්සනු ලබන්නේය. ඒ අනුව ඔහු කළ වරදට සුදුදු දඬුවමක් ලබා දිය හැකිය. 

දෙවියන්ව විශ්වාස නොකරන අය කුමක් කීවත් කුරානයේ සඳහන් වන ස්වර්ගය සහ නිරය සත්‍යයකි. දෙවියන්ව විශ්වාස නොකරන අයට එය මිත්‍යාවකි. නිරය විශ්වාස නොකලත් එය සත්‍යයක් බැවින් ඊට ඇතුළුවන කෙනෙක් එහි ඇති දඬුවම් විඳිය යුතුමය.
කුර්ආන් පණිවිඩය පිළිගැනීමට හේතු කිහිපයක් ඇත. ඒවා අතුරින් ප්‍රධාන තැනක් ගන්නේ එම පණිවිඩය කිසිම වෙනසකට බඳුන් නොවී මුල්වරට පහළ වූ භාෂාවෙන් මේ දක්වා ආරක්ෂා වී තිබීම සහ හත්වන සියවසේදී පහළ වූ එම ග්‍රන්ථයේ සඳහන් වන විද්‍යාත්මක සංකල්පයන් හෝ පුරෝකථනයක් මේ දක්වා වැරදි බවට සොයාගෙන නොතිබීමයි. තවද අල් කුරානය මිනිස් නිර්මාණයක් නොවන නිසා එහි ඇති අභියෝගයන් මෙතෙක් කිසිවෙකු විසින් ජය ගෙන නොමැත.
අල් කුරානයට අනුව නිරයේ ගින්නට ඉන්දන වශයෙන් භාවිතා කරනු ලබන්නේ ගල් සහ නිරා වැසියන්ය.
“…මිනිසුන්ද, ගල්ද ඉන්දන වශයෙන් ඇති එම නිරයට බියවන්න” (කුරානය 2:24).
මෙම අනතුරු හැඟවීම සිදු කොට තිබියදීත් ඊට බිය නොවී මරණයට පත් වීම ඉතා අවාසනාවන්ත තත්වයකි. අවම තරමින් අල් කුර්ආන් පණිවිඩය වැරදි බව මෙලොවදී ඔප්පු කොට තිබේ නම් බියෙන් තොරව ඊට මුහුණ දිය හැකි වනු ඇත. එසේ කළ නොහැකි නම් කුර්ආන් පණිවිඩයට පිළිගනිම වඩාත් උචිත ක්‍රියාවකි.
කුරානයේ තවත් තැනක පහත දැක්වෙන අන්දමට සඳහන් වේ.

“නියතවශයෙන්ම කවරෙක් අපගේ වැකි ප්‍රතික්ෂේප කළෝද ඔවුන්ව අපි නිරයේ දමා පුළුස්සමු. ඔවුන්ගේ සම පිළිස්සෙන සෑම අවස්ථාවකම අපි ඔවුනට අළුත් සමක් ලබා දෙමින් ඔවුන්ට වේදනාව දැනීමට සලස්වන්නෙමු” (කුරානය 4:56).
මෙවැනි දෙයක් දැනුම් දුන් පසුත් ඊට බිය නොවී සිටීම සැබවින්ම මුග්ධ කමකි. ඇයිද යත් මෙලොවදී ඉතා පහසුවෙන් කළ හැකි දේ නොකර මරණයට පත්වූ පසු නිරයෙන් ගැලවීමට කුමක් දුන්නත් ඉන් ප්‍රයෝජනයක් නොවන නිසාය.
“නියතවශයෙන්ම, විශ්වාස නොකළවුන් සතුව මුළු ලොවේම ඇති වස්තුවත් එවැනිම තවත් ප්‍රමාණයක් තිබුනත් ඒවා වන්දි වශෙයන් භාර ගනු ලබන්නේ නැත. එහිදී ඔවුන්ට හිංසාකාරී වේදනාවක්ම ඇත”(කුරානය 5:36).

දෙවියන් ඉතා කාරුණික නම් වැරදි කරන අයව නිරයට දමන්නේ ඇයිදැයි ඇතැමුන්ට ප්‍රශ්නයක් විය හැකිය. එහෙත් දෙවියන් පමණක් නොව මිනිසාද තමන්ට අවශ්‍ය නැති දේ ගිනිබත් කරන බව මතකයට ගත යුතුය. උදාහරණයක් වශයෙන් කෙනෙකුගේ වාහනය කිසිම ආකාරයකින් නැවත අලුත්වැඩියා කළ නොහැකි විට එය ගින්නේ දමා උණුකොට නැවත ප්‍රතිචක්‍රීයකරණය කරන්නේය. සමහර දේවල් ගිනි තබා අලුබවට පත්කර දමන්නේය. දෙවියන්ද වැරදි කළ අයව නිරයේ දමා ඔවුන්ට දඬුවම් කොට නැවත ස්වර්ගයට ගන්නේය. එසේම දෙවියන්ව විශ්වාස නොකළ අයව සදාකල් නිරයට දමන්නේය. කෙසේවෙතත් ලෝවැසියන්ගෙන් බිලියන තුනකට වඩා දෙවියන්ව විශ්වාස කරති. එහෙත් නිරයෙන් ගැලවීමට නම් දෙවියන්ව විශ්වාස කළ යුතු අන්දමට විශ්වාස කළ යුතුය. එනම් දෙවියන් එක්කෙනෙකු බවත් ඔහු විශ්වයේ මැවුම් කරු බවත් ඔහුට වෙනත් සමානයන් නැති බවත් පිළිගත යුතුය. ස්වර්ගය ලැබීමට එය අවම සුදුසුකම වන්නේය. මෙම විශ්වාසයට ඇතුළු වූ කෙනෙක් එම මොහොතේම මිය ගියේ නම් ඔහුට ස්වර්ගය ලැබෙනු ඇත. එහෙත් ඔහු තවදුරටත් ජිවත් වන්නේ නම් දෙවියන්ගේ නියෝග පිළිපැදිය යුතුය.

By Fasy Ajward, B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.