අල් ඉහ්ලාස් පරිච්ඡේදයෙහි අර්ථ විවරණය!

පරිච්ඡේදය: අල් ඉහ්ලාස් (සුවිශු ද්ධතාවය)

පරිච්ඡේද අංකඃ 112

පාඨ සංඛ්‍යාව 4.

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.

1- (ශාස්තාවරයානනි!) ඔබ පවසන්න අල්ලාහ් ඒකීය බව.

2- අල්ලාහ් කිසිදූ අවශ්‍යතාවක් නැත්තකි.

3- ඔහු ජාතක කළේද ජාතක කරනු ලබන්නේද නැත.

4- ඔහුට සමානව කිසිවෙකු නැත.

අර්ථ විවරණය:

1- ඔහු ඒකීය බව මුළු ලොව වාසි ජනතාවට කියන්න. ඔහුට සමානව කිසිවෙකු හෝ ඔහුට හවුල් කරුවන් හෝ නොමැති බව මුළු හදින් පිළිගෙන අල්ප මාත්‍රයක සැකයක් හෝ නොමැතිව පවසන්න.

අහද්: ඒකීයයි. මෙහි ඒකීයත්වයට සුදූස්සා අල්ලාහ් පමණි යන අර්ථය ගෙන දේ. ඒකීයත්වය ඔහුට හැර වෙන කිසිවෙකුට භාවිතා නොකෙරේ. ශුද්ධවූ සියළු නාම හා උසස් ගුණාංග කාහට පමණක් හිමි ද ඔහුයි එයට එකම සුදුස්සා.

2- නිර්මාණයන් තමන්ගේ අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා නිරතුරුව අල්ලාහ් කෙරෙහි අවශ්‍යයව පසුවෙති යනුවෙන් ඉබ්නු අබ්බාස් (රලි) තුමා පවසයි.

සමද්: යන වචනය කිසිදූ අඩුවක් නොමැති, ආහාර පාන නොගන්නා නිර්මාණයන් සියල්ල විනාශවීමෙන් පසුවද සදාතනිකව සිටින ශක්තියකට අරාබිහු භාවිතා කරති. එබැවිනුයි අල්ලාහ්ට කුස, ස්නායු පද්ධතින් ඇති බව කිසිදු පුවතක් කුර්ආනයෙහි හෝ හදීසයෙහි කොහෙත්ම සඳහන් වී නැත්තේ.

3- ඔහුට දෙමාපියන්ද, දූ දරුවන්ද, සහෝදරවරුන්ද නොමැති බව මෙයින් තහවුරු වේ. කිතුවරුන් යේසූස් වහන්සේ දේව පුත්‍රයා වශයෙන් සළකා යාඥා කරති. නමුත් ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙම පාඨය තුළින් ඔවුන්ගේ සංකල්පය පුහු ව්‍යාජ එකක් බවත්, සර්ව බලධාරි හිමියා එවන් දූර්වලතාවන්ගෙන් පරිශුද්ධ බවද සදහන් වෙයි. දෙමාපියන්, දූදරුවන් යන මේ සියළු සම්බන්ධතා ඔහුගේ නිර්මාණයන් සමග බැඳි පවතිනවා මිස සර්ව බල පරාක්‍රම ඔහු මේ සියල්ලන්ගෙන් සුවිශුද්ධ බව සනාථ වේ.

4- ඔහුට සමානව, ඔහුට ඔබිනව ඔහුගේ නිර්මාණයන්ගෙන් කිසිදු දෙයක් නොමැති බව මුජාහිද් (රහ්) තුමා පවසයි. මේ විශ්වයෙහි පවතින්නාවූ සුවිශාල නිර්මාණයන් දෙස මිනිසා තම අවධානය යොමු කරන විට මවිතයට පත්වෙයි. සමහරුන් ඉර, හඳ, තාරකා, ගින්න, ජලය, මහ පොළොව, සාගරය වැනි දේ දේවත්වයෙහිලා සලකමින් යාඥා කරති. ඇත්ත වශයෙන්ම මෙය අඥාන කමකි. මේ සියල්ල මවා පාලනය කරමින් සිටින්නාවන අල්ලාහ්ට පමණයි කෙනෙකු යාඥා කළ යුත්තේ. මෙවන් බලවත් නිර්මාණයන් මවා පාලනය කරන ඔහුට කෙතරම් අද්විතීය ශක්තියක් ඇත්ද? බුද්ධිය ඇති සෑම කෙනෙකුම මෙය සිතා බලා ඔහුට පමණක් යාඥා කළ යුතුය. ඔහු ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් කරයි: “සැබවින්ම අහස් හා පොළෝ නිර්මාණය කිරීමේද, රාති්‍රය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමේද බුද්ධිමත් ජනතාවට බොහෝ සාක්ෂීන් ඇත., (ශු අල්කුර්ආනය 3ඃ190).

මෙම පරිච්ඡේදයෙහි සඳහන් වී ඇති සියළු ගුණාංග සකල ලොව හිමියන් වන අල්ලාහ්ට හැර වෙන කිසිවෙකුට නැත. මෙම ගුණාංග කා සතුද ඔහු හැර යාඥා කරනු ලැබීමට සුදූස්සා වෙන කිසිවෙකු නැත. මිනිසාගේ මනඃකල්පිතය මගින් ඇති කරගන්නා ලද කිසිදූ දෙවියෙකුට මෙවැනි ගුණාංග නොතිබීම සක් සුදක්සේ පෙනෙන්ට තිබේ. ලෝකයේ බොහෝ දුරට සිදූවෙමින් තිබෙන්නේ ඉතිහාසයේ හෝ මෑත යුගයේ අපි සේම ජීවත් වී මිය ගිය, මිනිස් ගුණාංගයන්ගෙන් පිරිපුන් කෙනෙකුට පිළිමයන් අඹා දේවත්වයෙහි සළකා යාඥා කිරීමයි. මෙය ඉස්ලාම් නූගත් ක්‍රියාවක් වශයෙන් හා බලවත් පාපයක් වශයෙන් දකී.

මෙම පරිච්ඡේදය පහළවීමේ පසුබිම:

බහු දේවවාදීන් (මුෂ්රික්වරුන්) නබි (ﷺ) තුමන් වෙත පැමිණ මුහම්මද්! ඔබේ දෙවියන් පිළිබඳ අර්ථ කථනය (විස්තරය) කුමක්ද? යනුවෙන් විමසූහ. එවිට අල්ලාහ් මෙම පරිච්ඡේදය පහළ කළේය. (කුල් හුවල්ලාහු අහද්, අල්ලාහුස් සමද්) සමද් යනු කිසිදූ අවශ්‍යතාවක් නැත්තකි. (ලම් යලිද් වලම් යූලද්) ඔහු ජාතක කරන්නේද ජාතක කරනු ලබන්නේද නැත. උපත ලබන සියල්ලම මරණයට පත්වන්නේය, මරණයට පත්වන්නන් තම පරම්පරාවට බූදල හිමිකර දෙන්නේය. සැබවින්ම අල්ලාහ් මරණයට පත්වන්නේද රම්පරාවට බූදල කර දෙන්නේද නැත. (වලම්යකුල් ලහු කුෆුවන් අහද්). ඔහුට සමානව කිසිවෙකු නැත. ඔහුට සමානව ඔහුට ඔබිනව, සාපේක්ෂව ඔහුට ගැලපෙන සේ කිසිවෙකු නැත’ යනුවෙන් පැවසූහ. (තිර්මිදි 3287 මෙම හදීසය ෙෂෙක් අල්බානි විසින් ස්Òරකොට ඇත ජාමිඋත් තිර්මිදි 3364-.

මෙම පරිච්ඡේදයෙහි සුවිශේෂත්වය:

අනස් ඉබ්නු මාලික් (රලි) තුමා වාර්තා කරයිඃ අන්සාරි වරුන්ගෙන් කෙනෙකු තමන්ගේ මිත්‍රවරුන්ට කුබා මස්ජිදයෙහි සලාතය මෙහෙයවමින් සිටියහ. සලාතයෙහි පරිච්ඡේදයක් ආරම්භ කර පාරායනය කරන සෑම අවස්ථාවකදීම ” කුල්හුවල්ලාහු අහද්” පරිච්ඡේදය පාරායනය කිරීමෙන් පසු වෙනත් පරිච්ඡේදයක්ද එ් සමග පාරායනය කිරීමට අමතක නොකළේය. අඛණ්ඩව ඔහු මෙසේ කිරීම දූටු මිත්‍රවරුන් ඔබ මෙම පරිච්ඡේදය පමණක් පාරායනය කිරීමන් නතර නොවී එය සමග තවත් පරිච්ඡේදයක් පාරායනය කරන්නේ මන්ද?. මෙම පරිච්ඡේදය පමණක් පාරායනය කරන්න, නැතහොත් මෙය හැර වෙනත් පරිච්ඡෙදයක් පමණක් පාරායනය කරන්න, යනුවෙන් තමන්ගේ මතය ඉදිරිපත් කළෝය. එයට ඔහු මා එසේ කරන්නට සූදානම් නැත. ඔබට කැමති නම් මෙසේ සලාතය මෙහෙයවන්නෙමි. නැතහොත් වෙනත් ඉමාම් වරයෙක් පත්කරගන්න යනුවෙන් පැවසූහ. එම මිත්‍රවරුන් අතර ඔහු පිළිගත් කෙනෙකු වීම නිසා වෙනත් කෙනෙකු පත්කරන්නට ඔවුන් අකැමති වූහ. පසුව නබි (ﷺ)  තුමන් වෙත පැමිණ සිදූවූ දේ විස්තර කිරීමට අමතක නොකළහ.

නබි (ﷺ) තුමන් එම මිත්‍රයා කැඳවා ජනතාව පැවසූ ආකාරයට ඔබට කිරීමට බාධකවූයේ කුමක්ද? ඔබ එසේ පාරායනය කිරීමට හේතුවූයේ කුමක්ද? යනුවෙන් විමසූහ. එයට ඔහු මා එම පරිච්ඡේදය ප්‍රිය කරමි යනුවෙන් පිළිතුරු දුන් විට, ඔබ එය ප්‍රිය කිරීම ඔබව ස්වර්ගයට ඇතුල් කළේය” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ.

ආයිෂා (රලි) තුමිය වාර්තා කරයිඃ “නබි (ﷺ) තුමන් සේනාවකට නායකයකු වශයෙන් කෙනෙකු පත්කර යැව්වේය. ඔහු සෑම සලාතයකම අවසානයෙහි කුල් හුවල්ලාහු අහද් පරිච්ඡේදය පාරායනය කළේය. මේ පිළිබඳ මිත්‍රවරුන් නබි (ﷺ) තුමන්ට දැන්වූ විට එතුමන්, ඔහුගෙන්ම එයට හේතුව විමසන්න යනුවෙන් පැවසූහ. එයට ඔහු එම පරිච්ඡේදය රහ්මාන්ගේ (අසීමිත කරුණාවන්තයාගේ) උසස් ගුණාංග පිළිබඳ විස්තර කරයි, එබැවින් මා එය ප්‍රිය කරමි යනුවෙන් ඔහු පිළිතුරු දූන් විට, එසේම ඔහුවද අල්ලාහ් ප්‍රිය කරන බව ඔහුට දන්වා සිටින්න” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්ඃ බුහාරි, මුස්ලිම්).

අබූ සඊදූල් හුද්රි (රලි) තුමා වාර්තා කරයිඃ “කෙනෙකු කුල් හුවල්ලාහු අහද් පරිච්ඡේදය රැය පූරා පාරායනය කරමින් සිටීම තවත් කෙනෙකු ශ්‍රවණය කළේය. උදෑසනින්ම නබි (ﷺ) තුමන් වෙත පැමිණ මෙම පුවත සැල කර සිටියේය. එම කුඩා පරිච්ඡේදය (යළි යළි පාරායන කිරීම) ඔහු සුළුකොට තැකීමක් පෙන්නුම් කළේය. එවිට නබි (ﷺ) තුමන් මාගේ ප්‍රාණය කා සතුව පවතීද ඔහු මත දිව්රා එම පරිච්ඡේදය කුර්ආනයෙහි තුනින් එකකට සමාන වනු ඇත” යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රයඃ බුහාරි).

කෙනෙකු අල්ඉහ්ලාස් පරිච්ඡේදය පාරයනය කිරීම නබි (ﷺ) තුමන් ශ්‍රවණය කළ විට ඔහුට අනිවාර්්‍යය විය යනුවෙන් එතුමන් පැවසූහ, එවිට ඔහුට අනිවාර්්‍යයවූයේ කුමක්දැයි විමසූ විට ස්වර්ගය යනුවෙන් එතුමන් පිළිතුරු දුන්හ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්,(මූලාශ්‍රය: අහ්මද් 7998).

පහත සඳහන් අවස්ථාවන්හි මෙම පරිච්ඡේදය පාරායනය කිරීම සුන්නත් වෙි:

1- තවාෆයෙන් පසු ඉටු කරන සලාතයෙහි: ජාබිර් ඉබ්නු අබ්දූල්ලාහි (රලි) තුමා වාර්තා කරන නබි (ﷺ) තුමන්ගේ හජ් කර්තව්‍ය පිළිබඳ දිගු පුවතෙහි “එතුමන් තවාෆයෙන් පසු ඉටු කළ සලාතයෙහි කුල් හුවල්ලාහු අහද් හා කුල් යා අයියුහල් කාෆිරූන් පරිච්ඡේදයන් පාරායන කළේය” (මූලාශ්‍රයඃ මුස්ලිම්).

2- ෆජ්ර් හා මඃරිබ් වෛකල්පික (සුන්නත්) සලාතයන් හි දෙවැනි රක්අතයෙහි: ඉබ්නු මස්ඌද් (රලි) තුමා වාර්තාකරයිඃ “නබි (ﷺ) තුමන් ෆජ්ර් සලාතයට පෙර සුන්නත්හි හා මඃරිබ් සලායට පසු සුන්නත්හි ප්‍රථම රක්අතයෙහි කුල් යා අයියුහල් කාෆිරූන් හා දෙවැනි රක්අතයෙහි කුල් හුවල්ලාහු අහද් පරිච්ඡේදයන් පාරායනය කිරීම ගණනය කිරීමට නොහැකි වාර ගණන් මා ශ්‍රවණය කර ඇත්තෙමි” (මූලාශ්‍ර: තිර්මිදි 396, ඉබ්නු මාජා 1156).

3- නින්දට පෙර: ආයිෂා (රලි) තුමිය වාර්තා කරයි: “නබි (ﷺ) තුමන් නින්දට යන ව්ට සෑම රාත්‍රියකම තමන්ගේ දෙඅත්ල එක්කර කුල් හුවල්ලාහු අහද්, කුල් අඌදූ බිරබ්බිල් ෆලක්, කුල් අඌදූ බිරබ්බින්නාස් (112, 113, 114) යන පරිච්ඡේද පාරායනය කර පිඹිමින් තම සිරුරේ හැකි අයුරින් පිරිමදින්නේය. මුලින්ම හිසෙන් පටන් ගෙන මුහුණ, ශරීරයෙහි සෙසු කොටස් මත පිරිමදින්නේය”. මෙසේ තුන්වරක් කළහ. (මූලාශ්‍රයඃ බුහාරි).

4- අනිවාර්්‍ය සලාතයෙන් පසු: කුල් පරිච්ඡේදයන් තුන අනිවාර්්‍ය සලාතයෙන් පසු පාරායනය කිරීමට විවිධ සාධක පවති. (මූලාශ්‍ර: තිර්මිදි 2228, නසායි 1319).

5- උදේ හා සවස පාරායනය කිරීම: කුල් පරිච්ඡේදයන් තුන උදේ හා සවස තෙවරක් පාරායනය කිරීමට නබි (ﷺ) තුමන්ගේ ප්‍රකාශයන් හි සාධක ඇත. (මූලාශ්‍ර: තිර්මිදි 349, අබූදාවුද් 4419, නසායි 5333).

6- විත්ර් සලාතයෙහි අවසන් රක්අතයෙහි: (මූලාශ්‍රයන්ඃ තිර්මිදි 425, අබූදාවුද් 1215, ඉබ්නු මාජා 46).

7- රෝගාතුරවූ විට: රෝගාතුරවූ අවස්ථාවන්හි කුල් පරිච්ඡේද තුන පාරානය කරන දෙඅත්ලෙහි පිඹ සිරුර පුරා පිරිමැදිය හැක.

By: Abu Asma

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.