විශේෂයෙන්ම රමළාන් මාසයේදී අප කරන කුසල් ක්‍රියාවලට හානි සිදුවන්නේ නොඉවසිමෙන් කටයුතු කිරීම නිසාය. අපි කුසගින්නේ සිටින විට යම්කිසි කෙනෙක් කරන සුළු සිද්ධියටත් කිපීමෙන් අපගේ බොහෝ කුසල් නැතිවී යා හැකිය. එබැවින් හැකිතරම් ඉවසීමෙන් සහ අනෙක් අයට සමාව දීමෙන් කටයුතු කිරීමට උත්සාහ කළ යුතුය. මෙම පුරුද්ධ රමළාන් මාසයේදී පමණක් නොව වෙනත් මාසවලදීද ප්‍රයෝජනවත් වනු ඇත.
අප කරන කුසල් විනාශ වන තවත් කරුණක් වන්නේ බිද්අත් ක්‍රියාවල නිරත වීමය. බොහෝ අයට නිවැරදි ආගමික දැනුම නොමැති කම නිසා නබිතුමා පෙන්වා නොදුන් අලුත් දේවල් දහම තුලට ඇතුලත් කරති. රමළාන් මාසයේදී සිදුවන ඇතැම් බිද්අත් ක්‍රියාවන් වන්නේ නියතය කටින් සද්ද නගා කීම, අළුයම් සලාතයට අසාන් කීමට විනාඩි කිහිපයකට කලින් සහර් නතර කිරීම, උපවාසය අවසාන කිරීම ප්‍රමාද කිරීම, උපවාසය අවසාන කළ පසු සාමුහික දුආ ප්‍රර්ථනා සිදු කිරීම වැනි දේවල්ය.
දැනටමත් අල්ලාහු තආලා පෙන්වා දී ඇති නිවැරදි මාර්ගයේ ගමන් කරන අය වැඩි වැඩියෙන් පින් දහම් කිරීමටත් කියාමුල් ලෙයිල් වන්දනයේ යෙදීමටත් කුරානය වැඩියෙන් පාරයනය කිරීමටත් සදකා දීමටත් අවස්ථාවක් කරගත යුතුය. මෙම මාසයේදී කරන සෑම සුන්නාවකටම ෆරල් වන්දනයක පින ලැබෙන්නේය. එබැවින් ඉන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට උත්සාහ කළ යුතුය.
ලෛලතුල් කදර් නම් මාස 1000 කට වඩා උතුම් එක් රැයක් රමළාන් මාසයේ අවසාන දින දහය තුලදී සොයා ගැනීමට නබිතුමා පවසා ඇත. එම රාත්‍රිය අපේක්ෂාවෙන් නබිතුමා රමළාන් මාසයේ අවසාන දින දහය මස්ජිදයේ රැඳී සිට ඇත. මෙම පුණ්‍ය කර්මයේ යෙදීමෙන් අපටද එම රාත්‍රිය ලබා ගැනීමට අවස්ථාව උදාකරගත හැකිය.