අල් ට(ත)ක්යා සංකල්පය?

“අල් ට(ත)ක්යා” සංකල්පය මගින් ඉස්ලාමිකයින්ට අන් ආගමිකයින් ව බොරුවෙන් හා වංචාවෙන් මුලාවට පත් කිරීමට අවසර තිබෙනවා නොවේ ද?

අසත්‍යය ප්‍රකාශ කිරීමට දහම් අනුමැතිය දී තිබේ ද? එසේ අනුමැතිය දී තිබේ නම් එය දහමේ පොදු සංකල්පයක් ද? පොදු සංකල්පයක් නොවේ නම් එසේ අසත්‍යය ප්‍රකාශ කිරීමට දී ඇති අවස්ථා කුමක් ද? ‘අල් ට(ත)ක්යා’ යන්නෙන් අදහස් වන්නේ කුමක් අ? එය ඉස්ලාමීය සංකල්පයක් ද? මේ සියල්ල පිළිබඳ සාකච්ඡා කිරීමට අදහස් කරන්නෙමු.

සත්‍යවාදී වීම පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් කිහිපයක්

“නුඹලා දැනගෙන සිටින තත්ත්වයේ අසත්‍යය සමග සත්‍යය නොපටලවවු; තවද නුඹලා සත්‍යය නොසඟවවු”. (අල් කුර්ආන් 2:42).

මුහම්මද් තුමාණන් මෙසේ පැවසුහ: “තමා හරි වුවද එය වෙනුවෙන් කලහකම් කර ගැනීමෙන් වැළකී සිටින පුද්ගලයාට ස්වර්ගය අවට නිවසක් ලබා දෙන බවටද, විහිළුවකට හෝ බොරුවක් නොකියන පුද්ගලයාට ස්වර්ගය මැද නිවසක් ලබා දෙන බවටද, තම චරිතය යහපත්ව තබා ගන්නා පුද්ගලයාට ස්වර්ගයේ ඉහළම කොටසේ නිවසක් ලබා දෙන බවටද මම සහතික වන්නෙමි.” (සුනාන් අබු දාවුද්).

මුහම්මද් තුමාණන් මෙසේ පැවසුහ: “පහත සඳහන් ගුණාංග හතර ඔබට තිබේ නම් ඔබට ලොවෙහි කිසිවිටෙකත් අලාභයක් ඇති නොවන්නේය. ඔබගේ භාරකාරත්වයේ තබන ලද දෑ රැකගැනීම, කථාවෙහි සත්‍යවාදී වීම, අලංකාරවූ හා යහපත් හැසිරීම, ආහාර අනුභවයෙහි මධ්‍යස්ථභාවය එම ගුණාංගයි” (අහමද් සහ බයිහාකි).

මුහම්මද් තුමාණන් මෙසේ පැවසූහඃ “උඩඟුකමින් ණයබරින් සහ වංචාව යනාදියෙන් තොරව මරණයට පත් වන්නෙක් නිශ්චය වශයෙන්ම ස්වර්ගයට ඇතුල්වනු ඇත”. ( ඉබ්නු මාජා සහ අත් තිර්මිදි).

“මා ඔබට සත්‍යවාදී වන ලෙස දන්වමි. සැබවින් ම සත්‍යවාදී වීම ධර්මිෂ්ඨත්වය කරා යොමු කරයි. ධර්මිෂ්ඨත්වය ස්වර්ගය කරා යොමු කරයි. දෙවිඳුන් අභියස සත්‍යවාදියෙකු ලෙස ලියාගනු ලබන තෙක් මිනිසෙකු සත්‍යවාදී ව කටයුතු කරන අතර සත්‍යවාදීත්වය උදෙසා ප්‍රයත්න දරයි. අසත්‍යවාදීකම ගැන ප්‍රවේසම් වන්න. අසත්‍යවාදීකම පාපය කරා යොමු කරයි. පාපය නිරා ගින්න කරා යොමු කරයි. දෙවිඳුන් අභියස අසත්‍යවාදියෙකු ලෙස ලියාගනු ලබන තෙක් මිනිසෙකු අසත්‍යවාදීව කටයුතු කරන අතර අසත්‍යවාදිත්වය උදෙසා ප්‍රයත්න දරමින් සිටියි”. (සහීහ් මුස්ලිම්).

කෙසේ නමුත් මෙම මාතෘකාව යටතේ පහත සඳහන් කොටස ද ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

ඉස්ලාමයේ අසත්‍යය ප්‍රකාශ කිරීමට දී ඇති අවස්ථා

පළමුව, ඉස්ලාමයේ අසත්‍යය ප්‍රකාශ කිරීමට දී ඇති අවස්ථා පිළිබඳ විමසා බලමු. මේ පිළිබඳ මුහම්මද් තුමාණන් ගේ වැදගත් ප්‍රකාශනයක මුලාශ්‍ර නම් අත්තිර්මිදි අංක 1862 හා සහිහ් මුස්ලිම් අංක 4717 යන ය.

ඉස්ලාමය, මිනිස් ජීවිතයේ හරය නිසි අයුරින් සකසා ගෙන සාමය පදනම් වූ සාර්ථක දිවිපෙතකට යථාර්ථවාදීව මඟ පෙන්වන දහමකි. එනිසාම ඉස්ලාමය දහමකට වඩා පරිපුර්ණ ජීවන සැලැස්මක් යැයි හැඳින්වීම වඩාත් නිවැරදිය.
පවුලේ සාමය ආරක්ෂා කිරීම උදෙසා

පවුල, මිනිස් සමාජයේ ක්‍ෂුද්‍ර ඒකකයයි. පවුල බිඳ වැටුනවිට අනාගත සමාජයේ වගකිවයුත්තන් වන දරුපරපුර විනාශය කරා යොමු වීමේ ඉඩකඩ අධික වෙයි. එමෙන්ම පවුල බිඳ වැටුනවිට සමාජය බිඳ වැටෙයි. සමාජය බිඳ වැටුන විට රටම බිඳ වැටෙයි. හොද්දට ලුණු වැඩිවීම වැනි ඉතා අල්ප හේතුන් මත ආරම්භ වූ අමිහිරි කතාබහ කොතෙක් නම් දික්කසාදය දක්වා දුරදිගට ගොස් ඇතිදැයි කරුණාකර සොයා බලන්න. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අනුෂ්ක ගෝකුල මහතා පවසන අන්දමට දිනකට සිදුවන දික්කසාද ප්‍රමාණය 400 දක්වා වැඩිවී ඇති බවය. විවාහ වී වර්ෂයක් ඇතුළත සිදුවන දික්කසාද ප්‍රමාණය ඉතා භයානක් අන්දමින් වැඩි වෙමින් පවතින බව ද එම මහතා තව දුරටත් දන්වා සිටී (මුලාශ්‍රය: http://newsfirst.lk/…/better-half-becomes-bitter-half…/23209)

මෙවන් භයානක සමාජ ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා අසත්‍යවාදිත්වය සම්පුර්ණයෙන් තහනම් කොට ඇති ඉස්ලාමය ස්වාමිපුරුෂයා හා බිරිඳ අතරේ යහපත් දෙයක් ගොතා කියා තම පවුල් ජීවිතය ආරක්ෂා කරගන්නට අනුමැතිය ලබා දී ඇත. මෙය වංචනිකත්වය හෝ ප්‍රෝඩාවක් පදනම් වූ ක්‍රියාවක් නොවිය යුතුය. යහ චේතනාවෙන් හානිකර නොවන යමක් ගොතා පවසා අඹුසැමි සාමය ස්ථාපිත කිරීමට කටයුතු කිරීම මෙයින් අපේක්ෂිතයි.

උපාය මාර්ගික යුද ප්‍රයෝග

‘යුද්ධය යනු මුලා කිරීමක්’(සුනාන් අබු දාවූද් – 2637) යැයි මුහම්මද් තුමාණන් පවසා ඇත. අපි බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් සමග දශක තුනක අවි ගැටුමක නිරත වී සිටියෙමු. අපගේ වීරෝධාර රණවිරුවන් මෙම ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා යෙදු උපාය මාර්ගයන් අතරේ සතුරා මුලා කිරීම ඉතා වැදගත් තැනක් ගත් ක්‍රියාවකි. මේ පිළිබඳ වාර්තා බොහොමයක් අපි පුවත්පත් මගින් කියවා ඇත්තෙමු. යුද උපායක් ලෙසින් පමණක් මෙම තත්ත්වය උපයෝගී කර ගත හැකි අතර ඉන් බැහැර ව ඉස්ලාමිකයෙකුට කිසිම අයුරකින් අන් අයව මුළා කොට කටයුතු කිරීමට අනුමැතියක් නොමැත. යුද උපායයන් හා යුද පියවරයන් පිළිබඳ ව සතුරාව දැනුවත් කොට කටයුතු කරන සේනාධිනායකයෙකු අත් කර ගන්නා අවාසනාවන්ත ඉරණම පිළිබඳ ව අමුතුවෙන් අටුවා ලියන්නට අවශ්‍ය නොවන බව සිතන්නෙමු. ඇමෙරිකානු යුද හමුදාවේ නිල වෙබ් අඩවි සඟරාවේ යුද්ධයකදී සතුරා මුලා කිරීම සම්මත ප්‍රධාන යුද උපායක් ලෙස දක්වා ඇත. ඒ පිළිබඳ විස්තර කරුණාකර පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් කියවා සත්‍යය අවබෝධ කර ගැනීමට කටයුතු කරන්න. http://soldiers.dodlive.mil/…/strategic-trickery-the-u-s-a…/
“ඇමෙරිකාවේ උතුරු කරොලයිනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හමුදා ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ජෝසෆ් කැඩෙල් මෙසේ පවසා සිටී. “යුද ක්‍රියාවලියේ මුලාව හමුදා ගැටුම් තරමට ඉපැරණි සිද්ධාන්තයකි. සතුරෙකුව ව්‍යාකුලත්වයට පත් කිරීමේ යථාර්ථය අත්‍යාවශ්‍ය කරුණකි. මෙමගින් සීඝ්‍ර යහ ප්‍රතිඵල ලබාගැනීම අපේක්ෂිතය” (Source: Caddell, Joseph, “Deception 101: Primer on Deception.”).

සමාජ සාමය හා එකමුතුව රැකගැනීම සඳහා

අසත්‍යය ප්‍රකාශ කිරීම සඳහා අවසරය දී ඇති තුන්වන අවස්ථාව ලෙස දක්වා ඇත්තේ ගැටුමකට මැදිවී ඇති දෙපාර්ශවයක් අතරේ සමාදානය ඇති කිරීම සඳහාය. නැවත වරක් අවධාරණය කළ යුත්තේ ගැටුමක් ඇති වී මහා ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා යමක් ගොතා කීම සමාජ යහපත සඳහා වූ ක්‍රියාවක් ලෙස සාධාරණ චින්තනයක් ඇති ඕනෑම අයෙකු අනුමත කරන ක්‍රියාවක් නොවන්නේ ද කියා කරුණාකර මොහොතකට සිතා බලන්න. අප මිනිස් ජීවිතය දෙස බැලිය යුත්තේ අහසේ පාවෙන අදහස් පදනම් කරගෙන නොව මහ පොළොවේ පය ගසා කරන්නා වූ යථාර්ථවාදී චින්තනයන් පදනම් කර ගෙනය.

අල් තක්යා (ටක්යා) යනු කුමක් ද?

මෙයට අමතරව අසත්‍යය ප්‍රකාශ කිරීමට අයිතිය ඇති අවස්ථා දෙකක් අල් කුර්ආනයේ වැකි දෙකක දක්වා ඇත. ‘අල් ටක්යා’ යන අරාබි පදයේ ශබ්ද කෝෂ අර්ථය පළමු ව විමසා බලමු. “Lane’s Lexicon” නමැති අරාබි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව ‘ටක්යා’ යන අරාබි පදයේ මුලය වන්නේ ‘වකා’යන පදයයි. ‘ආත්මාරක්ෂාව’ හා ‘ආරාක්ෂා කර ගැනීම’ වැනි අර්ථ එහි අන්තර්ගතය. සත්‍යය සැඟවීමෙන් ‘ආත්මාරක්ෂාව’ ඇති කර ගැනීම මෙහි ප්‍රායෝගික අර්ථයයි. ‘අල් ටක්යා’ යන පදය සෘජු ව අල් කුර්ආනයේ හෝ ඉස්ලාමීය නීති පද්ධතියේ සඳහන් වී ඇත්තක් නොවේ. ඉස්ලාමය ට එරෙහි ප්‍රචාරණ කටයුතු වල නියැළෙන්නන් මෙම සංකල්පය සනාථ කිරීම සඳහා පහත සඳහන් අල් කුර්ආන් වැකිය උපුටා දක්වති.

“කවරෙකු විශ්වාස කිරීමෙන් පසු අල්ලාහ් ව ප්‍රතික්ෂේප කළේ ද (ඔවු කෙරෙහි අල්ලාහ්ගේ කෝපය ඇත). කවරෙකු තම හදවත විශ්වාසයෙන් සැනසුමට පත් ව තිබිය දී (විශ්වාසයෙන් බැහැර වන මෙන්) බල කරනු ලබන්නේ ද ඔහු හැර ය.” (අල් කුර්ආනය 16 : 106).

මෙම අල් කුර්ආන් වැකිය පහළ කිරීමට හේතු වූ ඓතිහාසික සිදුවීමක් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමෙන් එහි සැබෑ අර්ථය පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. මුහම්මද් තුමාණන්ගේ සමීප මිතුරෙකු වූ අම්මාර් තුමාගේ දෙමව්පියන් යාසර් හා සුමෛයා ය. ඔවුන් ඉස්ලාමය වැළඳ ගැනීම හේතුවෙන් මක්කාවේ විසු ඉස්ලාම් විරෝධීන් විසින් ඔවුන් ව කුරිරු වධ හිංසා වලට ලක් කොට මරණයට පත් කරන ලදී. මෙවන් පීඩාකාරී තත්තවයකට පත් ව සිටි අම්මාර් තුමාව දිනක් ඉස්ලාම් විරෝධීන් විසින් මරණ තර්ජන ඉදිරිපත් කරමින් ඉස්ලාමය හා මුහම්මද් තුමාණන් ව ප්‍රතික්ෂේප කළ බව පවසන්නට බල කරනු ලැබීය. මෙලෙස තදබල අයුරින් බලපෑම් වලට ලක් වූ අම්මාර් තුමා කිසිවක් කරකියා ගන්නට නොහැකි තත්ත්වයක් තුළ සිතේ විශ්වාසය ශක්තිමත් ව තබා ගනිමින් ඉස්ලාම් විරෝධීන්ගේ ඉල්ලීමට අනුව එසේ ප්‍රකාශ කොට ඉතා දැඩි සිත් තැවුලකට පත් වී මුහම්මද් තුමාණන් හමු වූ විට අම්මාර් තුමා ව නිදොස් කරමින් ඉහත අල් කුර්ආන් වාක්‍ය දෙවිඳුන් විසින් පහළ කරන ලදී.

ඉහතින් විස්තර කරන ලද පරිදි ජීවිත තර්ජන එල්ල වන ආකාරයේ බරපතළ අයුරින් බලපෑම් සිදුවූ විට තම ආගමික විශ්වාසය පිළිබඳව සිතේ ඇති සත්‍යය තත්ත්වයට පටහැනි අයුරින් අදහස් ප්‍රකාශ කිරීමට අවසථාවක් ඇති අතර ඉන් බැහැර ව වංචනික හා ප්‍රෝඩාකාරී අයුරින් අසත්‍යවාදී ව ක්‍රියා කිරීමට ඉස්ලාමීය ඉගැන්වීම් හි කිසිඳු අනුමැතියක් නොමැත.

මෙවන් තත්ත්වයන් පිළිබඳ ව ඉස්ලාමීය නොවන මුලාශ්‍රයන් හි සඳහන් කරුණක් ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

“අපරාධ පනත් අනුව අපරාධකරුවෙකු කිසිවෙකුගේ බලපෑමක් මත, බල කිරීමක් මත, කළ නොහැකි තත්ත්වයක් නොමැති අවස්ථාවක කරන ලද අපරාධයක් සම්බන්ධ ව වැරදි කරුවෙකු ලෙස උසාවිය නොපිළිගනී.” (‘අපරාධ විද්‍යාව’ – මහාචාර්ය දයා අමරසේකර – 10 වැනි පිටුව)

නුතන අපරාධ විද්‍යාව හා අනුකුලතාවක් ඇති ඉගැන්වීම් දැනට වර්ෂ 1400 කට පෙර පහළ කරන ලද අල් කුර්ආනයෙහි අන්තර්ගත වී තිබීම සැබැවින් ම එහි ඉගැන්වීම් හි ඇති සදාතනික හා යාවත්කාලීනත්වය සනාථ කිරීමක් ලෙස අපි දකින්නෙමු.

අවාසනාවට ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි මගින් හා අනෙකුත් ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරීන් ඉස්ලාමය පිළිබඳ ව ඉදිරිපත් කරන්නට වෙර දරන වැරදි අර්ථ කථනයන් පිළිබඳ ව අපගේ දැඩි පිළිකුල් සහගත විරෝධය දන්වා සිටින්නට කැමැත්තෙමු. ඔවුන්ගේ මතය අනුව ඉස්ලාමිකයෙකුට ඉස්ලාම් නොවන්නන් ව අසත්‍යයෙන්, ප්‍රෝඩාවෙන් හා වංචාවෙන් රැවටීමට ඉස්ලාමීය ඉගැන්වීම් අනුමැතිය ලබා දී ඇති බවය.

ඉහතින් විග්‍රහ කළ අල් කුර්ආන් වැකියෙන් හා මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශන අනුව සඳහන් අවස්ථාවන් හි හැර අසත්‍යය ප්‍රකාශ කිරීමට අන් කිසිදු අවස්ථාවක් ඉස්ලාමීය මුලාශ්‍රයන් හි සඳහන් නොවේ. ඉහත ප්‍රශ්නයේ සඳහන් පරිදි කිසිම ආකාරයක වංචනිකත්වයක් අසත්‍යවාදීකමක් කපටිකමක් ප්‍රෝඩාකාරිත්වයක් හෝ රැවටිලිකාරකමක් ප්‍රගුණ කිරීමට හෝ දිරි ගැන්වීමට අනුබල දෙන ආකාරයේ කිසිදු අදහසක් හෝ ඉගැන්වීමක් කිසිදු ඉස්ලාමීය මුලාශ්‍රයක අන්තර්ගත වී නොමැති බව වගකීමකින් යුක්තව ප්‍රකාශ කරන්නට කැමැත්තෙමු. තවත් වරෙක අන් අයගේ දේපල හා වස්තුන් වංචනික අයුරින් ලබා ගැනීමට ඉස්ලාමයේ ශුද්ධ වූ බොරුව හා මුලාව යන අශුද්ධ සංකල්පය මගින් ඉඩකඩ ලබා දී ඇති බව සඳහන් වූ අවස්ථා රාශියක් ඉස්ලාම් විරෝධී ප්‍රචාරයන් හි අපි දැක ඇත්තෙමු.

කරුණාකර පහත සඳහන් අල් කුර්ආන් වැකිය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න. එවිට සත්‍යය පැහැදිලි වේ යැයි විශ්වාස කරන්නෙමු.

“නුඹලා අතර අසාධාරණ අන්දමින් නුඹලා එකිනෙකාගේ වස්තුව අනුභව නොකරවූ. තවද නුඹලා දැනුවත්ව ම ජනයාගේ වස්තුවෙන් කොටසක් පාපකාරී අයුරින් අනුභව කිරීම පිණිස බලධාරීන් වෙත ඒවා (වස්තුවෙන් කොටසක් අල්ලස් වශයෙන්) නොයවවූ”. (අල් කුර්ආන් 2: 188).

‘අල් ට(ත)ක්යා’ කාගේ සංකල්පයක් ද?

‘අල් ට(ත)ක්යා’ කාගේ සංකල්පයක් ද යන්න පිළිබඳව ද කරුණු සොයා බැලීම වැදගත් යැයි සිතූ නිසා පහත සඳහන් කරුණු ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට අදහස් කළෙමු. මෙය ‘ෂියා’ වරුන්ගේ සංකල්පයක් බව පහතින් උපුටා දක්වා ඇති කරුණු ඉතා පැහැදිලි ව සනාථ කරයි. උපුටා දක්වා ඇති සියලු මුලාශ්‍රයන් ‘ෂියා’ වරුන්ගේ පිළිවෙතට අයත් ඒවාය.

1. දහමේ කොටස් දහයෙන් කොටස් නවයක්ම පදනම් වී ඇත්තේ ‘අල් ට(ත)ක්යා’ (එනම් සත්‍යය සැඟවුම) මතය. (මුලාශ්‍රය: උසුල් කාෆි දෙවන කොටස – ඊමාන් හා කුෆ්ර් පිළිබඳ ග්‍රන්ථය – ‘ට(ත)ක්යා’ පිළිබඳ පරිච්ඡේදය).

2. සත්‍යය නොසඟවා (‘අල් ට(ත)ක්යා’ නොමැතිව) කටයුතු කරන්නා සිරසක් නොමැති කඳක් මෙන්ය. (තෆ්සීර් අල් අස්කරි).

3. ‘ඉමාම්’ (ෂියා ආගමික නායකයා) සඳහන් කර ඇති පරිදි මිහිතලය මත ඇති වඩාත් ආදරණීය දෙය වන්නේ ‘අල් ට(ත)ක්යා’ ය. (මුලාශ්‍රය: උසුල් කාෆි දෙවන කොටස – ඊමාන් හා කුෆ්ර් පිළිබඳ ග්‍රන්ථය – ‘ට(ත)ක්යා’ පිළිබඳ පරිච්ඡේදය 217 වැනි පිටුව).

4. ‘අල් ට(ත)ක්යා’ අනුව ක්‍රියා නොකරන්නා විශ්වාසය ශුන්‍යතාව ට පත් වූ අයෙකි. (තෆ්සීර් සාෆි පළමුවැනි කොටස ෆායිස් කෂානි 253 වැනි පිටුව).

5. ෂියා නොවන මුස්ලිම්වරුන් සමග බාහිර ව සුහදත්වය දක්වමින් කටයුතු කරන්න. නමුත් අභ්‍යන්තර ව ඔවුන් ට එරෙහි වන්න (අල් කාෆි 9 වන වෙළුම 116 වැනි පිටුව).

‘ෂියා’ මුලාශ්‍රයන්ගෙන් ‘අල් ට(ත)ක්යා’ පිළිබඳ මෙවන් උපුටා දැක්වීම් තවත් ඉදිරිපත් කළ හැකි වුවද ඉහතින් දක්වා ඇති කොටස ප්‍රමාණවත් යැයි සිතන්නෙමු. ‘අල් ට(ත)ක්යා’ පිළිබඳ ව වැරදි ඉලක්කයක් වෙත පහර දීමට කටයුතු කිරීම සැබැවින් ම එසේ කරන්නන්ගේ ‘අල් ට(ත)ක්යා’ පිළිවෙතක් ලෙස අපි දකින්නෙමු. මෙවන් වංචනික ප්‍රෝඩාකාරී රැවටිලිකාරී අසත්‍යවාදී හා කපටි පිළිවෙතින් ඉවත් වී සත්‍යය පදනම් කර ගෙන කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. අන් දහම් පිළිබඳ ව අපහාසාත්මක අයුරින් කටයුතු කොට අඥාන තෘප්තියක් ලැබීමෙන් වැළකී සිටීම එසේ කරන්නන්ගේ මෙලොව හා මතුලොව යහපතට නිසැකවම යෝග්‍ය වනු ඇත.

‘බොරුව හා මුලාව’ මාතෘකාවේ පරිශිෂ්ටය

ඉහත ප්‍රශ්නයෙන් චේතනාන්චිතව හෝ නොදැනුවත්කම නිසා හෝ අප වෙත එල්ල කළ එක් නිර්දය ප්‍රහාරයක මාතෘකාව ‘බොරුව හා මුලාව ඉස්ලාමීය සංකල්පයක්’ යන්නයි. සත්‍යවශයෙන් ම ඉස්ලාමය පිළිබඳ නිවැරදි අවබෝධයෙන් සිටිනා අපට මෙවන් ලපටි හා ලාමක ව්‍යායාමය පිළිබඳ ව ඇති වන්නේ අනුකම්පා සහගත කණගාටුවකි. බුදු දහම පිළිබඳ පරිනත දැනුමක් ඇති කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් මෙම විෂය ගැන දක්වා ඇති අදහස් ඔබගේ චෝදනාව පිළිබඳ නිවැරදි දැනුවත් කිරීමක් සඳහා සාධනීය ලෙස උපයෝගී වේ යැයි සිතන්නෙමු. එම උපුටා ගැනීම පහතින් දක්වා ඇත්තෙමු.

“බුදුහාමුදුරුවො කවදාවත්, කාවවත් රවටලා, බොරු කරලා, වංචාවක් කරලා තිබෙනවා කියා ප්‍රශ්නයක් නැගුවොත් අපි කාටත් නැගෙන පිළිතුර නෑ කියන එකයි. එහෙනම් නන්ද කුමාරයාට ජනපද කල්‍යාණිය සම්බන්ධයෙන් කීවේ ඇත්තද? එය රැවටීමක් නෙමෙයිද? රැවටීමක් නෙමෙයි නම් මොකක්ද? ඒ බොරුවක් නෙමෙයිද? බොරුවක් නෙමේ නම් ඒක ඇත්තක්ද? ඒක ඇත්තකුත් නෙමේනම් මොකක්ද? කියලා බොහෝ අය තුළ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයත් එක්කම සමහරවිට බුදුහාමුදුරුවො පුංචි පහේ රැවටීමක් තමයි නන්ද කුමාරයාට කරලා තිබෙන්නේ කියලා හිතෙන්නත් පුළුවන්. එලෙස රැවටීමක් කළා නම් අපේ හිත හදාගන්න අපි ඒවා විග්‍රහ කරල වචන ලෙස වාක්‍ය ගොඩනඟලා පාරිභාෂිත නාම හදලා තියෙනවා සම්‍යක් ප්‍රයෝග කියලා, සම්‍යක් ප්‍රයෝග කියන වචනය ගත්තහම සම්‍යක් වුනත් ප්‍රයෝග නෙමෙයිද? එලෙස බැලූවිට සම්‍යක් ප්‍රයෝගයක බොරුව කියලා කියන එක බරපතළ පාපයක්, වරදක් අපරාධයක් කියලා හිතන මනසක් ඇති අයෙක් බුදුහාමුදුරුවන්ගේ මෙකී චර්යාව දකින්නේ මොන දෘෂ්ටියෙන්ද? අන්න

ඒකට දෙන්න පුළුවන් උත්තරය තමයි:

චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. ඒකෙදි චේතනාව කර්මය කියලා කියන්න අපට පුළුවන්. චේතනාව කර්මය වෙන්නේ කරන වැඩේ අනුව නෙමෙයි සිතිවිල්ල අනුවයි.

ගුරුවරයෙක්, අම්මෙක්, තාත්තෙක් ළමයෙකුට පහරදීම හොඳද? නරකද? විමසා බැලුවහොත් එම ළමයා නරක වැඩක් කළ නිසා නැවත වාරයක් එය සිදුවීම වළක්වාලීම සඳහා වූ දේ, පරමාර්ථයෙන් ශුද්ධ වු උතුම් වූ පරමාර්ථයෙන් ළමයෙකුට පහරක් ගැසීම මානසික දෘෂ්ටිකෝණයෙන් බැලූවිට නිවැරැදිය. දණ්ඩනීති සංග්‍රහයට අනුව එය වැරැදි වුවත් මානසික සිතිවිල්ලෙ යහපත් වනවා.

දුටුගැමුණු රජතුමා මහත් යුද්ධයක් කරලා පසුව පසුතැවුනා තමා අතින් සිදුවූ මනුෂ්‍ය ඝාතන නිසා එහිදී හාමුදුරුවරු ඇවිත් සන්තාපයට පත් රජු සුවපත් කළේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබූ බණෙන්. එතුමාගේ ව්‍යායාමය රජ සැප පිණිස නොව හුදෙක් ශාසනයේ රටේ පැවැත්ම උදෙසා හේතුවූ බව හාමුදුරුවරු රජුට සිහිපත් කළා.

බොරු කියන එක හොඳ දෙයක් නෙමෙයි. අම්මා කෙනෙක් දරුවෙකුට බොරු කියන අවස්ථා තිබෙනවා. පුංචි දරුවෙකුට බත්ටික කවාගන්න අම්මා නොයෙක් බොරු කියනවා. අම්ම කියන බොරු පව් නම් දරුවගෙ බඩ පිරෙන වේගයටම අම්මටත් පව් පිරෙන්නෙ ඕනෑ. නමුත් එහෙම වෙන්නෙ නැහැ. අම්මා සද්භාවයෙන් බොරු කියන්නෙ.
සද්භාවයෙන් හොරකම කරන්නත් පුළුවන්.

පවුලක ස්වාමියා පමණ ඉක්මවා කේන්තියට පත්වන්නෙක් නම් අසල්වැසියන් සමඟ රංඩු සරුවල්වල පැටලෙනවා නම් ස්වාමියා සතුව පවතින දරුණු ආයුධයක් හොරකම් කරමින් සඟවාලන බිරිඳ සිදුකරන්නේ ස්වාමියාටත් සමාජයටත් යහපතක්
සද් භාවයෙන් සත්ව ඝාතනය සිදුවෙන්නත් ඉඩතියෙනවා. පිස්සු බල්ලෙක් පාසලකට ඇතුළු වී ළමයින් සපා කමින් යන විට බුද්ධිමත් ගුරුවරයෙක් ළමයින්ගේ ආරක්‍ෂාව තකා පිස්සු බල්ලා මරා දමනවා නම් එය යහපත් චේතනාවකින් සිදුකරන සත්ව ඝාතනයක් වෙනවා”. (මුලාශ්‍රය: http://www.lakehouse.lk/budusarana/2011/12/10/tmp.asp…)

ඉහත උපුටා දැක්වීම පිළිබඳ අපගේ සටහන:

1. උගත් මහාචාර්ය හිමියන් විසින් “නන්ද කුමාරයාට ජනපද කල්‍යාණිය සම්බන්ධයෙන් කීවේ ඇත්තද?” යනුවෙන් වදාරා සිටීම “නන්ද ස්ථවිරයන්” (බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන්ගේ ‘බුද්ධ චරිතය’ – ‘පුජාවලිය’ – අමාවතුර – සද්ධර්ම රත්නාවලිය’ අනුව) ලෙස නිවැරදි විය යුතුය. මෙම සිදුවීම නන්ද කුමරු පැවිදි දිවියට ඇතුළත් වීමෙන් පසු වුවක් හෙයිනි.

2. ඉහත උපුටා දැක්වීමේ “දුටුගැමුණු රජතුමා මහත් යුද්ධයක් කරලා පසුව පසුතැවුනා තමා අතින් සිදුවූ මනුෂ්‍ය ඝාතන නිසා. එහිදී හාමුදුරුවරු ඇවිත් සන්තාපයට පත් රජු සුවපත් කළේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබූ බණෙන්. එතුමාගේ ව්‍යායාමය රජ සැප පිණිස නොව හුදෙක් ශාසනයේ රටේ පැවැත්ම උදෙසා හේතුවූ බව හාමුදුරුවරු රජුට සිහිපත් කළා”. මේ සම්බන්ධව ඇති පහත සඳහන් විස්තරය වෙත ඔබගේ අවධානය යොමුකරවන්නට කැමැත්තෙමු.

මහාවංශය අනුව, එළාර පැරදවීමෙන් හා බොහෝ ද්‍රවිඩයින් ඝාතනය කිරීමෙන් අනතුරුව දුටුගැමුණු රජු ප්‍රීතියට පත් වී නැත. සංග්‍රාමයෙන් ජයග්‍රහණය කිරීම ඔහුගේ චිත්තාහ්ලාදයට හේතු වී ඇත. මේ අතර, පුවඟු දිවයිනෙහි වැඩ සිටි රහතුන් සමුහයක් රජුගේ දොම්නස දිවැසින් දැන ඔහුගේ චිත්තාග්නිය නිවාලීම සඳහා තමන් අතරින් අට නමක් රජු හමුවට යැවුහ. රහතුන් හමු වූ දුටුගැමුණු රජු ඔවුන් අමතා මෙසේ පවසයි:

“රජ තෙමේ නැවත උන්වහන්සේලාට ‘ස්වාමීනි, යම් හෙයකින් මා විසින් අක්ෂෞභිණි මහා සේනාඝාතන කරවන ලද්දේ නම් එසේ වූ මට කෙසේ ආශ්වාසයෙක් වන්නේදැ’යි කීය” (මහාවංශය XXV:108).

රහතුන් වහන්සේ ද රජුගේ දොම්නස්භරිත වදන් අසා මෙසේ පිළිතුරු දෙති:

“ඒ කර්මයෙන් තොපට ස්වර්ග මාර්ගාන්තරායෙකුත් නැත්තේය. ජන ශ්‍රේෂ්ඨය, මරණ ලද මිනිසුන් එකෙක් හා අඩක් වන්නේය; තිසරණ පිහිටි එකෙක, තිසරණ පන්සිල් පිහිටි අනෙකෙක; සෙසු මරනලද්දාහු මිත්‍යා දෘෂ්ඨ දුස්සීල වූ සිවුපාවුන් සමයෝය”. (මහාවංශය XXV:109-111).

සියවස් හයකට පසුව, විවිධ උත්කෘෂ්ඨ වූ නම්බුනාමයන්ගෙන් අලංකෘත ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේ විසින් රචිත ‘සද්ධර්මාලංකාරය’ (530 වැනි පිටුව) මෙය තවදුරටත් ප්‍රාණවත් කොට ඉදිරිපත් කරයි. එපරිදි රහත්හු රජුගේ චිත්ත සංවේගය පහකරනු වස් අවවාදානුශාසනා කොට ඔහු විසින් ඝාතනය කරන ලද දෙමළුන් ම්ලේච්ඡයන්, මිත්‍යාදෘෂ්ටිකයන් පමණක් නොව ඔවුන්ගේ මරණ හරකුන්, බල්ලන් හා මීයන්ගේ මරණවලට සමාන කොට දක්වති.

ඉහත උගත් මහාචාර්ය හිමියන් විසින් ඉදිරිපත් කොට තිබු විග්‍රහය අනුව සම්‍යක් ප්‍රයෝගය උපයෝගී කරගෙන බොරුකීම පමණක් නොව සොරකම් කිරීම හා පරාන ඝාතන පවා කිරීමට අනුමැතිය ඇති බව පැහැදිලි වෙයි.

ඉහත කරුණු සියල්ල සමස්තයක් ලෙස ගෙන සමාලෝචනය කිරීමේදී අල් ටක්යා යන වංචනික ප්‍රතිපත්තිය ෂියා වරුන්ගේ පිළිවෙතක් මිස ඉස්ලාමීය ඉගැන්වීම් තුළ එවැන්නකට කිසිදු අවකාශයක් නොමැති බව පැහැදිලි වෙයි. පොදුවේ යහපත අපේක්ෂාවෙන් යහ චේතනාවෙන් ඇතැම් අවස්ථාවන් හි අසත්‍යය ප්‍රකාශ කිරීමට සියළු දහම් හි අනුමැතියක් දක්නට ඇත. වංචනික ප්‍රෝඩාකාරී රැවටිලිකාරී අසත්‍යවාදී හා කපටි පිළිවෙත් අනුගමනය කිරීමට කිසිදු ඉස්ලාමීය ඉගැන්වීමක අන්තර්ගත නොවන බව ද අවධාරණයෙන් දන්වා සිටින්නෙමු.

නැවත වරක් අන් දහම් පිළිබඳ ව අපහාසාත්මක අයුරින් කටයුතු කොට අඥාන තෘප්තියක් ලැබීමෙන් වැළකී සිටීම එසේ කරන්නන්ගේ මෙලොව හා මතුලොව යහපතට නිසැකවම යෝග්‍ය වනු ඇතැයි ද දන්වා සිටින්නට කැමැත්තෙමු.

By: Ibnu Mansoor

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.