පොලිය නොමැති ෂරියා බැංකු ක්‍රමයක් අවශ්‍ය වන්නේ අයි?

ෂරියා පිළිවෙත පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ අපට නිතර අසන්නට ලැබෙන්නේ ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය හා මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට එරෙහි අදහස් ය. මෙම චෝදනාවන් හි ඇති හරය පිළිබඳ විමසුමක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. 

ෂරියා බැංකු යනු කුමක්ද?

ඇත්තෙන්ම අපේ රටේ ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික බැංකු ක්‍රමය දේශීය පිළිවෙතක් නොවේ. එය බටහිරින් ලැබූවකි. මෙම බටහිර පිළිවෙතේ ගුණාගුණ පිළිබඳ දැනුමකින් තොරව අන්ධ භක්තියෙන් එය සුරකින්නට ඇතැම් අන්තවාදීන් සහ ඔවුන්ගේ ගෝලබාලයෝ කැපවී සිටින බව පෙනෙන්නට ඇත. පොලිය මත පදනම් වූ සිත්පිත් නොමැති බටහිර ක්‍රමය හා මානුෂීය පදනමකින් සැකසුනු ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය පිළිබඳ ඉතා කෙටි විග්‍රහයක් පහතින් දී ඇත්තෙමු.

පොලිය යනු සාම්ප්‍රදායික මුල්‍ය කළමනාකරණයේදී ඉතාමත් කේන්ද්‍රීය සාධකයකි. ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණයේදී භාවිතා වන්නේ යුක්තිය හා සාධාරණය මත පදනම් වූ පිළිවෙතකි. එහිදී පොළී සංකල්පය වෙනුවට යොදා ගැනෙන්නේ ලාභය බෙදා ගැන්මේ සංකල්පයයි. උදාහරණයක් ලෙස ත්‍රීරෝද රියක් කුලී පදනම මත භාවිතා කරන්නට ගන්නා රියැදුරා හා රිය හිමියා දිනය අවසානයේදී වියදම් පියැවීමෙන් පසුව ලාභය බෙදා ගනිති. එවැනි අවස්ථාවකදී ඔවුන්ගේ එකඟතාවය මත පිළිගත් අනුපාතයකින් ගනුදෙනු සිදු කළ හැක.

නමුත් දෙවැන්නෙක් තවත් ත්‍රීරෝද රියක් දවසට නිශ්චිත කුලියක් ගෙවීමට ගන්නා රියැදුරකු යැයි සිතමු. පළමු රියදුරා ත්‍රීරෝද රිය ලබාගෙන ඇත්තේ දවසේ ආදායම දෙදෙනා එකඟ වූ ප්‍රතිශතයක් මත බෙදා ගැනීමටය. මෙය ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය මත සකස් වුවකි. නමුත් දෙවැන්නා ත්‍රීරෝද රිය ලබාගෙන ඇත්තේ දෛනික ව නිශ්චිත කුලියක් දීමේ පදනම මතය. මෙය පොලිය පදනම් වූ මුල්‍ය කළමනාකරණය මත පදනම් වුවකි.

ආදායමක් නොමැති දිනයකදී පළමු රියැදුරා ආයෝජකයා වෙත කිසිදු ගෙවීමක් ලබා නොදෙද්දී දෛනික නිශ්චිත කුලී පදනමකින් රිය ලබා ගත් තැනැත්තා විසින් මෙම තත්ත්වය තුළ අනිවාර්යයෙන් රිය හිමියාට දවසේ ගෙවීමට එකඟ වූ කුලිය ගෙවීමට සිදු වේ. ඉස්ලාමීය පිළිවෙත තුළ රිය හිමියා හා රියදුරා යන දෙදෙනාම ආර්ථික අවදානම බෙදා ගනිති.

දෙවැන්නා ත්‍රීරෝද රථය ලබාගෙන ඇත්තේ දවසේ ඉපයීමක් තිබුනත් නොතිබුනත් පොරොන්දු වූ දෛනික කුලිය ගෙවීමේ පදනම මතය. මෙහි දී ඉපයීම අඩු දිනක අවධානම සහමුලින්ම දරන්නට සිදුවන්නේ දුප්පත් රියදුරාටය.

මෙය පොලිය මත පදනම් වූ බැංකු හා අනෙකුත් මුල්‍ය කළමනාකරණ පිළිවෙත අනුව සකස් වී ඇත. මේ පිළිවෙත් දෙකින් යුක්තිය සාධාරණය හා මිනිසත්කම ඇත්තේ කුමන පිළිවෙතේ ද යන්න කරුණාකර සිතා බලන්න. ඔබ ත්‍රීරෝද රථ රියදුරෙක් නම් කුලියට ත්‍රීරෝද රථයක වැඩකරන්නට සිදු වුවහොත් ඔබ තෝරා ගන්නේ කුමන පිළිවෙත ද යන්න ද කරුණාකර සිතා බලන්න.

ඉස්ලාම් බැංකුකරණයේදී මුදල යනු හුවමාරු මාධ්‍යයක් ලෙස පමණක් ලෙස සැලකේ. එසේම මුදල් ලාභය බෙදාගැනීමේ අපේක්ෂාවෙන් මිස පොලී අපේක්ෂාවෙන් ආයෝජනය නොකෙරේ. මෙම බැංකු ක්‍රමය මුස්ලිම් ජනයාට පමණක් සීමා කළ එකක් නොවේ. එහිදී මුස්ලිම් හෝ මුස්ලිම් නොවන ඕනෑම අයෙකුට තම මුල්‍ය කටයුතු පවත්වාගෙන යා හැක.
පුරවැසියන් තම මුදල සාම්ප්‍රදායික බැංකුවක තැන්පත් කරන විට ඔවුන්ට 10% පමණ වාර්ෂික පොලියක් ගෙවන්නට බැංකුව එකඟ වේ යැයි උපකල්පනය කරමු. මෙසේ ලබා ගන්නා තැන්පතු නිමි ඇඳුම් නිෂ්පාදනය කරන කර්මාන්ත කරුවෙකුට බැංකුව 15% ක වාර්ෂික පොලියකට ණයක් වශයෙන් ලබා දෙයි. මෙම කර්මාන්තකරු තම නිමි භාණ්ඩයන් හි විකුණුම් මිල තීන්දු කිරීමේ දී පහත සඳහන් සාධක සැළකිල්ලට ගනී.

නිෂ්පාදන පිරිවැය + ලාභය + බැංකු පොලිය = නිමි භාණ්ඩයේ මිල

මෙම භාණ්ඩයේ පාරිභෝගිකයින් වන්නේ මුදල් තැන්පතුකරුවන් වූ මහජනයාය. ඔවුන් මෙම මුදල ඉස්ලාමීය පිළිවෙත අනුව ලාභය හෝ පාඩුව බෙදා ගැනීමේ පදනම මත ආයෝජනය කළේ නම් නිමි භාණ්ඩයේ මිල තීන්දු වන්නේ පහත සඳහන් සාධකයන් මතය.

නිෂ්පාදන පිරිවැය + ලාභය = නිමි භාණ්ඩයේ මිල

ඉස්ලාමීය ක්‍රමයට අනුව කර්මාන්තකරු ඉස්ලාමීය මුල්‍ය ආයතනයෙන් තම කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනයක් ලබා ගන්නා අතර ඔහුගේ ව්‍යාපාරයේ ලාභය පිළිගත් ප්‍රතිශතයක් අනුව මුල්‍ය ආයතනය සමග බෙදා ගැනීමට එකඟ වෙයි. කර්මාන්තකරු නිශ්චිත ප්‍රතිශතයක පොලියක් ගෙවීමේ කොන්දේසිය මෙකී ආයෝජනය තුළ නොමැත.

පළමු උදාහරණයේදී සාම්ප්‍රදායික බැංකුවේ මුදල් තැන්පත්කරුට 10% ක පොලියක් ගෙවීමට බැංකුව එකඟ වුව ද බැංකුව විසින් මුදල් වැඩි පොලියට නයට දීම තුළින් නිෂ්පාදිත භාණ්ඩයට එම වැඩි පොලිය එකතුවන හෙයින් නැවත වරක් පාරිභෝගිකයාවූ තැන්පත්කරු විසින් එම වැඩි පොලිය ගෙවන්නා බවට පත්වෙයි. පොලිය පදනම් වූ ආර්ථික ක්‍රියාවලියේ දී 10% ක පොලියක් ලබා නැවත 15% ක බැංකුවේ ණයකරු ගෙවන පොලියද තැන්පත්කරු විසින් දරන්නට සිදුවන හෙයින් පාරිභෝගික මහජනයාට 5% ක පාඩුවක් අත්විඳින්නට සිදුවෙයි.

ඉස්ලාමීය බැංකු ක්‍රමයේදී පෙර ගිවිස ගත් පරිදි ලාභය බෙදා ගැනීමේ පිළිවෙතක් අනුගමනය කරන හෙයින් පාරිභෝගිකයාට අමතර පොලී පිරිවැයක් දැරීමේ තත්ත්වය මතු නොවේ. පොලී ක්‍රමය මත පදනම් වී ආර්ථික සංවර්ධනයක් කරා යොමු වීම සැබැවින්ම අයුක්තිය අසාධාරණය මත පදනම් වූ පිළිවෙතකි.

සාම්ප්‍රදායික බැංකු ක්‍රමයේ දී:

බැංකුව>>>>> මුදල් ණය වශයෙන්>>>>> ණය ලබා ගන්නා
ණය ලබාගන්නා >>>>>>>> මුල් මුදල් වාරිකය හා පොලිය >>>>>>> බැංකුව

ඉස්ලාමීය බැංකු ක්‍රමයේ දී:
බැංකුව>>>>භාණ්ඩ හා සේවාවන් ආයෝජන ලෙසින්>>>>ආයෝජන ලබාගන්නා
ආයෝජන ලබාගන්නා >>>> ලාභයේ එකඟ වූ ප්‍රතිශතය >>>>බැංකුව

ආර්ථික සංවර්ධනය යුක්තිය හා සාධාරණය මත සිදු වීමට නම් ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය වඩාත් සුදුසු බව ඉහත කෙටි උදාහරණ මගින් පැහැදිලිවේ යැයි විශ්වාස කරන්නෙමු. කිසිදු අර්ථයක් හෝ හරයක් නොමැතිව ඉස්ලාම් යන නම සඳහන් වූ පමණින් සියල්ලට විරුද්ධ වීමේ ප්‍රතිපත්තියෙන් ඉවත් වී බුද්ධිය හා විචාරය පදනම් කරගනිමින් කටයුතු කරන ලෙස අදාල පාර්ශවයන්ගෙන් අප ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

By: Ibnu Mansoor

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.