ඉස්ලාමය, අන් දහම් නුරුස්සන, සාමුහිකත්වයට සහ සහජීවනයට ගෞරව කරන්නාවූ ආගමක් නොවෙයි නේද? 

මෙවන් මතයක් දැරීමට හේතු කිහිපයක් තිබිය හැක. පළමුවෙන්ම සඳහන් කළ යුතුව ඇත්තේ ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳ ව නිසි දැනුමක් නොතිබීම මෙයට ප්‍රධාන හේතුව බව සඳහන් කළ යුතුව ඇත. දෙවනුව ජාතික හා ජාත්‍යන්තර සමාජ මාධ්‍ය හා වෙබ්අඩවි මගින් චේතනාන්විතව ගෙනයන්නා වූ ඉස්ලාම් භීතිකා ප්‍රචාරයන් තුළින් පමණක් තමන් ව දැනුවත් කර ගෙන තිබීම බව දැකිය හැක. තමන්ගේ න්‍යාය පත්‍රානුකුල මුස්ලිම් හා ඉස්ලාම් භීතිකා ව්‍යාපාරය මෙහෙයවමින් මෙරට බහුතරයක් වූ යහ බෞද්ධයින්ගේ සිත් තුළ මුස්ලිම්වරු පිළිබඳ පිළිකුලක්, භීතියක් හා වෛරයක් ඇති කිරීම මෙම ප්‍රශ්නය ඉදිරිපත් කරන්නන්ගේ අරමුණ බව අපි අවබෝධ කරගෙන සිටින්නෙමු. මෙම ප්‍රශ්නය මගින් නගා ඇති චෝදනාවක් වූ මෙරට ආගමික හා වාර්ගික සාමුහිකත්වය වනසමින් මුස්ලිම්වරුන් විසින් ගෙනයන්නා වූ අමානුෂික හා ම්ලේච්ඡ ප්‍රතිපත්ති පිළිබඳ විග්‍රහයක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. මෙම අල් කුර්ආන් වැකි හා මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශන පමණක් කියවා ඔබට සත්‍යය අවබෝධ කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

“මනුෂ්‍යයිනි, ඇත්තෙන්ම අපි ඔබව එක් පිරිමියෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. කෙනෙකු අනිකා හඳුනාගනු පිණිස ඔබ ජාතීන් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. ඔබගෙන් කවුරුන් ඉතාමත් බිය භක්තිකයින් ව සිටින්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියස ඉතා ගෞරවනීය තැනැත්තෙකි. සැබැවින්ම අල්ලාහ් හොඳින් දන්නා අතර හොඳින් දැනුවත්ව සිටින්නේය.” (අල් කුර්ආන් 49:13).

ඉහත අල් කුර්ආන් වැකිය අපට මනුෂ්‍ය වර්ගයාගේ ඒකීයත්වය හා සමාජ ගත වෙනස්කම් කිහිපයක් දෙවිඳුන් අනුමත කළ යථාර්ථයන් බව දන්වා සිටී. මුළුමහත් මනුෂ්‍ය වර්ගයාම එක මවකගෙන් එක පියෙකුගෙන් පැවතෙන්නන් බව සඳහන් කොට තිබීමෙන් වෙනස්කම් යථාර්ථයක් වුව ද අප සැවොම එක පවුලක සාමාජිකයින් බව මතක් කර දෙයි.
“සියලු මනුෂ්‍යයින් ආදම් හා හව්වා ගෙනි. බිය භක්තිමත් භාවය හා යහකම් හැරෙන්නට අරාබි වරයෙකුට අරාබි නොවන කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම අරාබි නොවන කෙනෙකුට අරාබි වරයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. සුදු ජාතිකයෙකුට කළු ජාතිකයෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම කළු ජාතිකයෙකුට සුදු ජාතිකයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත.” (බුහාරී හදීස් ග්‍රන්ථය හදීස් අංක 1623, 1626 හා 6361).

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා!” (අල්-කුර්ආන් 18:29).

“(නබිවරය) ඔවුහු නුඹව අසත්‍ය කළේ නම් ‘මාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) මටය, නුඹලාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) නුඹලාට ය. මා කරන දැයින් නුඹලා නිදොස් වුවන්හුය. නුඹලා කරන දැයින් මම නිදොස් වෙමි’ යැයි පවසවූ”. (අල්-කුර්ආන් 10:41).

“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (අල් කුර්ආන් 6:108).

“දහම් ලද්දවුන් වන ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර සෙසු අය සමඟ යහපත ඇති දැයින් මිස තර්ක නොකරවූ”. (අල් කුර්ආන් 29:46).

“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහ මඟින් යහමඟ පැහැදිලි ව ඇත.” (අල්-කුර්ආන් 2: 256).

“(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල් කුර්ආන් 16: 90).

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙ හි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේෂය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබ ව පොලඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල් කුර්ආන් 5: 8).

“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41:33).

“(නබිවරය) සමාව දීම නුඹ ගනිවු. යහපත විධානය කරවූ. අඥානයින් ව පිටුපා දමවූ.” (අල් කුර්ආනය 7: 99).

තවමත් සුරක්ෂිතව ඇති ලොව ලේඛනගත පළමු මානව හිමිකම් ලේඛනය සැකසෙන්නේ මුහම්මද් තුමාණන් මක්කාවේ සිට මදීනා නගරයට සම්ප්‍රාප්ත වීමත් සමග එතුමාගේ මඟ පෙන්වීම යටතේය. එම සමාජයේ ජීවත් වූ සැමගේ සියලු අයිතිවාසිකම් සමසේ සුරැකෙන පරිදි මෙම ලේඛනය සකස් කරන ලදී.

මුහම්මද් තුමාණන්ගේ සාමයික සහජීවනය විදහා දක්වන තවත් අලංකාර උදාහරණයක් වන්නේ නජ්රාන් ප්‍රදේශයෙන් එතුමාණන් හමුවීමට පැමිණි කිතුනු පුජකවරුන්ගේ නියෝජිත පිරිස සමග එතුමා කටයුතු කළ ආකාරයයි. හැට දෙනෙකුගෙන් පමණ සමන්චිත වූ මෙම නියෝජිත පිරිස නවාතැන් ගත්තේ නබි තුමාණන්ගේ මස්ජිදයෙහි ය. දින කිහිපයක සාකච්ඡාවකින් පසු මුහම්මද් තුමාණන් හා නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණ කිතුනු නියෝජිත පිරිස අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම අනුව නජ්රාන් ප්‍රදේශයේ කිතුනුවන් හට පුර්ණ ආගමික ආර්ථික හා අනෙකුත් සියලු සමාජයීය නිදහස හා අයිතිවාසිකම් සහතික කර දෙන ලදී. මුහම්මද් තුමාණන්ට පසුව ඉස්ලාමීය ජනරජයේ දෙවැනි පාලකයා වූ උමර්තුමා අත්සන් කළ ගිවිසුම පහතින් දක්වා ඇත්තෙමු. මෙම ගිවිසුම ජෙරුසලමේ ‘උමර් මස්ජිදය’ නමින් හැඳින් වෙන මුස්ලිම් පල්ලියේ බිත්තියක ලොකු අකුරින් ලියා ප්‍රදර්ශනය කොට ඇති අයුරු වර්තමානයේදී ද දැකගත හැක.

“මුහම්මත්තුමාණන් විසින් නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණි කිතුනු නියෝජිතයින් සමග ඔවුන්ගේ වස්තුව, දහම හා දෙව්මැදුරු ආරක්ෂා කිරීමට ගිවිසුමකට එළඹුනාක් මෙන් උමර් ඉබ්න් අල් කත්තාබ් තුමා විසින් ඉලියා (ජෙරුසලම) ප්‍රදේශවාසීන් සමග එළැඹි ගිවිසුමේ පහත සඳහන් අයුරින් සඳහන් කොට තිබුණි.

‘මෙය, අල්ලාහ්ගේ ගැත්තා හා ඉස්ලාමීය පාලකයා වූ උමර් ඉබ්න් අල් කත්තාබ් විසින් මුස්ලිම් නොවන ජනයාට දෙනු ලබන ආරක්ෂාව පිළිබඳ ප්‍රඥාප්තියයි. ඔවුන්ගේ ජීවිත, වස්තුව, දෙව් මැදුරු, කුරුසියන් සහ සම්පුර්ණ ප්‍රජාවම ආරක්ෂා කිරීමට සහතික වෙමි. ඔවුන්ගේ දෙව් මැදුරු බලෙන් අල්ලා ගැනීම, බිඳ හෙළීම හෝ හානි කිරීම සිදු නොකළ යුතුය. ඔවුන්ගේ කුරුසියන් හෝ ඔවුන් සතු කිසිවක් කෙරෙහි අත නොතැබිය යුතුය. ඔවුන්ගේ දහම අතහරින ලෙස බල කරනු නොලබන අතර ඔවුන්ට කිසිම ආකාරයක හානියක් සිදු නොකළ යුතුය. යුදෙව්වන් ඔවුන් සමග ඉලියා හි වාසය නොකරණු ඇත’.” (Tarikh At-Tabari – Volume 3 – Page 609).

මෙලෙස ඉස්ලාමීය මුලාශ්‍රයන් අතුරින් ඉස්ලාමීය සාමයික සහජීවනයේ අලංකාර ඉගැන්වීම් රාශියක් උපුටා දැක්විය හැක. ආගමික හා වාර්ගික සහජීවනය සඳහා ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනයාගේ දායකත්වය කෙරෙහි ද අවධානය යොමු කරමු.
කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ධුරය හෙබවූ ලෝනා දේවරාජ මහත්මිය විසින් සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය’ නමැති ග්‍රන්ථයේ 72 වැනි පිටුවේ මහා වංශය උපුටා දක්වමින් මෙසේ සඳහන් කරයි.

“පණ්ඩුකාභය රජ (ක්‍රි. පූ. 377 – 307) තම අගනුවර වූ අනුරාධපුරයෙහි යම් යම් ඉඩම් අගනුවරට පැමිණි පූර්ව ඉස්ලාමීය අරාබි වෙළෙන්ඳන් වූ යෝනකයන් සඳහා වෙන් කළේය”. (මහාවංශය X – 90 වැනි පිටුව). (මහාචාර්ය ලෝනා දේවරාජ – ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය – පිටු අංක 72).

මෙම ඓතිහාසික තොරතුරු මගින් පැහැදිලි ව පෙනීයන්නේ අරාබි ජාතිකයින් ආක්‍රමණික අපේක්ෂාවන් ඇතිව මෙරටට නොපැමිණි අතර ඔවුන්ගෙන් මෙරට පාලකයින්ට හා ජනයාට විදේශ වෙළඳාම් කටයුතු හා විදේශ සබඳතා කටයුතු සාර්ථක අයුරින් සිදු කරමින් ඉමහත් සේවාවක් ලබා දී ඇති බවය. එසේ නොවුවානම් පාලකයින් මෙලෙස ඔවුන්ව මෙරට රඳවා ගැනීමේ අරමුණින් ඉඩම් හා අනෙකුත් පහසුකම් ලබාදී කටයුතු කරයි ද කියා කරුණාකර මොහොතකට සිතා බලන්න.

නැවත වරක් අවසාන ආක්‍රමණික ජාතීන් තුනෙන් පළමු වැන්නා ලෙස සැලකෙන පෘතුගීසීන්ගේ ක්‍රියා පිළිබඳ විමසා බලමු. පෘතිගීසීන් මෙරටට පැමිණීමත් සමග ඔවුන් විසින් පෘතුගාල රජුගේ උපදෙස් පරිදි බලකොටුවක් ඉදි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එවකට මුස්ලිම් ජනයා විසින් කටයුතු කළ ආකාරය මහාචාර්ය ලෝනා දේවරාජ සඳහන් කරන්නේ පහත සඳහන් අයුරිණි.

“ශ්‍රී ලංකාවේ බලකොටුවක් ඉදි කරන ලෙසට පෘතුගාල රජු දුන් ආඥාවක් අතැති ව 1518 දී ලෝපෝ සෝරස් ද ඇල්බගේරියා ලංකාවට පැමිණියේය. සිංහල සමාජයේ සියලු තරාතිරම්වල ජනයාට කරුණු පහදා දෙමින් බලපෑම් ඇති කරමින් බලකොටුවක් ඉදි කිරීම වැළැක්වීමට මුස්ලිම්වරු ඔවුන්ට හැකි හැම දෙයක් ම කළහ. පෘතුගීසීන්ගේ එකම අභිප්‍රාය රට අල්ලා ගැනීම බැවින් නොබෝ කලකින්ම රජුගේ ස්වෛරී ආධිපත්‍යය දිය වී යනු ඇති බවට ඔවුහු කෝට්ටේ රජුට අනතුරු ඇඟවූහ. තමන් විසින් මෙරටට කරන ලද යහපත් සේවය ගැනත් මේ රටට තමන් ගෙන ආ ධනය සහ සමෘධිය ගැනත් රජු කෙරෙහි ඔවුන් තුළ ඇති ස්ථිරසාර පක්ෂපාතිත්වය ගැනත් තම ආගමික මතවාද අන්‍යයන් මත බලෙන් පැටවීමට තමන් කිසිදාක උත්සාහ නොකළ අයුරු ගැනත් ඔවුහු රජුට සහ ප්‍රභූවරුන් ට මතක් කර දුන්හ. පෘතුගීසි පාලනයේ පදනම වනුයේ අනිකුත් ඇදහීම් මුලෝත්පාටනය කිරීම බැවින් බුද්ධාගමට සිදු විය හැකි තර්ජනය ගැන ඔවුහු මහා සංඝයාට කල් ඇතිව අනතුරු ඇඟවූහ”. (මහාචාර්ය ලෝනා දේවරාජ – ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය – පිටු අංක 89 – 90).

ඉහත සඳහන් අයුරින් උපදෙස් දීම් වලට පමණක් සීමා නොවී පෘතුගීසි බලය මෙරට තුළ ස්ථාපිත වී අනිසි විපාක මතුවන්නට වූ විට සිංහල හමුදාව සමග උරෙනුර ගැටී පෘතුගීසීන්ට එරෙහිව විවිධ හමුදා මෙහෙයුම් වලට ද මුස්ලිම්වරුන් සහභාගී වී ඇති බව ඉතිහාසය අපට සාක්ෂි දරයි.

“රණ ශුරයන් වූ ලංකා යෝනකවරු සිංහල යුද්ධ හමුදාවේ කොටසක් වුහ. ඔවුන්ගේ ඔටු බලකාය (ඔටු පැන්නිය) 17 වන ශත වර්ෂයේදී වැල්ලවාය සටනේදී ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. වැල්ලවායේ දී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සිහි කිරීමක් වශයෙන් මේ ඔටු බලකායට ගෞරව කරමින් දෙවන රාජසිංහ රජු (ක්‍රි. වර්ෂ 1634 – 1684) විසින් හඟුරන්කෙත මහා දේවාලයට පුජා කරන ලද රාජකීය ප්‍රතිඥාත දේව අංගම් රෙද්දෙහි මේ බලකාය සිතුවම් කරන ලදී. මන්නාරමෙහි බෝබ් ගස් දෙකක් තවමත් තිබීම මෙහිලා සැලකිය යුතු කරුණකි. මේ ගස් වල කොළ ඔටුවන්ගේ ආහාරය පිණිස ගනු ලැබීය. මේ ගස් දෙකින් එකක් මන්නාරම් නගරය මැද ඇති අතර අනෙක පිහිටා ඇත්තේ මන්නාරමෙන් සැතපුම් දහයක් ඈත යාපනය පාරේ පපාමොටෙයි ගමෙහිය. මන්නාරම් දිස්ත්‍රික්කයේ මුරුක්කන් සහ සලවතුරෙයි (සිලාවතුර) හරහා යාමෙන් ළඟා විය හැකි අරිප්පු නමැති ස්ථානයේ මුහුදට මුහුණ ලා පිහිටි අත හැර දැමු යෝනක ජල ස්ථම්භයක් දැනුදු දක්නට ඇත.

මෙලෙස ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනයා තම මාතෘභූමිය වෙනුවෙන් විවිධ පරිත්‍යාගයන් කරමින් මෙරටේ ආරක්ෂාව හා අභිමානය සුරක්ෂිත කිරීමට කටයුතු කොට ඇත.

ශ්‍රී ලංකාවට පැමිණි අරාබි ජාතිකයින් තම කාන්තාවන් මෙරටට ගෙන ආ බවට ඓතිහාසික සාක්ෂි කිසිවක් දක්නට නොමැත. එමෙන්ම ලංකාවට පැමිණි අරාබි ජාතිකයන් ‍රාජ්‍ය අනුග්‍රහය ඇතිව දේශීය සිංහල කාන්තාවන් සමග විවාහ වීම නිසා අරාබි සිංහල මිශ්‍ර දේහ ලක්ෂණ වලින් හෙබි සමාජයක් බිහි වන්නට ඇත. මෙම ‍යෝනක සමාජයේ සිටි ඇතැම් ස්ත්‍රීන් පිළිබඳව ඇතැම් සංදේශ කාව්‍යයන් කළ කවීන්ගේ වර්ණනාවට පවා පාත්‍ර විය. පහළොස් වන ශත වර්ෂයේ සාහිත්‍ය කෘති වු සංදේශ කාව්‍ය වල (කෝකිල සංදේශ වර්ණනාව, ඩබ්.එෆ්. ගුණවර්ධන, 74 වන කවිය සහ ගිරා සංදේශ විවරණය, මුණිදාස කුමාරතුංග, 104 වන කවිය) යොන් ලියන් හෙවත් මෙම අරාබි මිශ්‍ර යෝනක කාන්තාවන් ගැන සඳහන් වේ. මේ නිසා අරාබි වරුන් මෙරට සමග ගනු දෙනු කළේ මෑතක සිට නොවන බව සහ ඔවුන් විසින් මෙරට ජනාවාස කර ගත්තේද අද ඊයෙක නොවන බව ද පැහැදිලිය.

‘නිදහස ලබා ගැනීම පිණිස ස්වාධිනතා පනතට අපි පූර්ණ සහාය දෙනවා’
මුස්ලිම් නායක ටී. බී. ජායා නිදහසට පෙර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පැවසු කතාව මේ පිළිබඳව අතිශයින් වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකිය හැක. විවිධ වාර්ගික කොටස් පනහට පනහ වැනි ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටියදී ආචාර්ය ටී. බී. ජයා මහතා කළ කතාව ඓතිහාසිකව අපගේ නිදහස ලබා ගැනීමේ දොරටු විවෘත කිරීමක් ලෙස සඳහන් කළ හැක.
ශ්‍රී ලංකාව නිදහස දිනා ගත්තේ අපේ රටේ එක් ජාතියක උත්සාහයකින් එක් ජාතියක වරප්‍රසාදයක් ලෙස නොවේ. මෙරට 1948 සිටි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු නායකයන්ගේ සියලු ජාතීන්ගේ එකමුතුව ඇතිව ඒ සියලු ජාතීන්ගේ වරප්‍රසාදයක් ලෙස අපි නිදහස ලබා ගත්තෙමු.

ඒ අතර සිංහල දෙමළ නායකයෝ මෙන්ම මුස්ලිම් නායකයෝ ද පෙරමුණ ගත්හ.
ඉංගී‍්‍රසි ආණ්ඩු කාලයේ මුලින්ම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ දී ද දෙවනුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී ද නිදහස ලැබුණු පසු නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ආචාර්ය තුවාන් බුර්හානුදීන් (ටී. බී.) ජායා මහතා මෙරට නිදහස් සටනට උර දුන් සැබෑ දේශපේ‍්‍රමියෙකි. තම ජන වර්ගය වන මුස්ලිම් ජාතියේ යහපතට වඩා සමස්ත ජාතියේ හා දේශයේ යහපත කෙරෙහි එදා ජයා මහතා වැඩි අවධානයක් යොමු කළේය.

නිදහස ලබා ගැනීම සඳහා සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කරගෙන ගිය සටනට එදා ශ්‍රී ලාංකික දේශ හිතෛෂි නායකයෝ සියල්ලෝම සහයෝගය දුන්හ. ඒ එදා සිංහල, දෙමළ, මුස්ලිම් සහයෝගය ඉතා ඉහළම මට්ටමකින් තිබුණේය.

“නිදහස ලබා ගැනීමේ යෝජනාවට පක්ෂ වීමට නම් බහුතර ජනතාවට මෙන්ම සුළු ජනකොටස්වල පනහට පනහ වශයෙන් අයිතිය බෙදී යා යුතුය” යන යෝජනාව පූර්ව කොන්දේසියක් ලෙස ඉදිරිපත්ව තිබූ පසුබිමක 1945 නොවැම්බර් 9 වන දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් වූ ඩොමීනියන් තත්ත්ව පිළිබඳ විවාදය පැවතුණි. මෙම තීරණාත්මක අවස්ථාවේදී මෙරට මුස්ලිම් ජනතාව නියෝජනය කරන නායකයා ලෙසින් ආචාර්ය ටී. බී. ජායා කළ කතාව, තම වර්ගයාට වඩා තම මාතෘ භූමිය ඉහළින් තබා සැලකීම පිළිබඳ උතුම් ආදර්ශය ප්‍රදර්ශනය කළ අවස්ථාවක් විය.

සෝල්බරි යෝජනා රාජ්‍ය මන්ත්‍රණ සභාව ඉදිරියේ විවාද වූ අවස්ථාවේදීත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ශ්‍රී ලංකා ස්වාධිනතා පනත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කළ අවස්ථාවේදීත් මෙරට මුස්ලිම් ජනතාවගේ ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු කළ තීරණාත්මක වූත් ඓතිහාසික වුත් කතාව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට අනාගතයේදීත් තමන් ගමන් කළ යුතු මඟ පිළිබඳ මඟ පෙන්වන ප්‍රකාශයක් ලෙස සැලකීම වටී.

ජයා මහතා මෙසේ පවසා ඇත:
“මෙහිදී මා ගැන කියනවා නම් මා කතා කරනුයේ මුස්ලිම් සංගමයේ සම්පූර්ණ සහයෝගය ඇතිව බව සඳහන් කළ යුතුය. ලංකාවේ මුස්ලිම්වරුන් නියෝජනය කරන මුස්ලිම් සංගමය ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින මුස්ලිම්වරුන්ගේ සංවිධානයන්හි නියෝජිතයන් සමඟ රාජ්‍ය මන්ත්‍රණ සභාව ඉදිරියේ ඇති මේ යෝජනාව ගැන සාකච්ඡා කළ බව ස්ථිර ලෙස ප්‍රකාශ කර සිටීමේ වගකීම මම භාර ගනිමි. දිවයිනේ සිටින මුස්ලිම් ජනතාවගේ පූර්ණ සහයෝගය මෙම නිදහස පිළිබඳ යෝජනාවට තිබෙන බව මෙම මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ ප්‍රකාශ කිරීමට මට හැකිය. ලංකාවේ දේශපාලන නිදහස ගැන සලකා බලන කල එම නිදහස දිනා ගැනීමට කවර ක්‍රියාමාර්ගයකට වුවද අවතීර්ණ වීමට පමණක් නොව තමන් භුක්ති විඳින වාසි සහ ලාභ ප්‍රයෝජන ආදිය පරිත්‍යාග කිරීමට පවා මුස්ලිම් ජනතාව සූදානම්…
සභාපති තුමනි, දේශපාලන ස්වාධීනත්වයට ඉහළින් පවත්නා වැඩිමනත් අයිතියක් ඇතැයි මම නම් නොසිතමි. පටු දෘෂ්ටියකින් බලන කල්හි මුස්ලිම් ජනතාවට මේ පනතේ අවාසිදායක කරුණු ඇති බව මට තේරුම් ගිය ද නිදහස වෙනුවෙන් මෙම පනතට සහාය දීමට අප සූදානම්.

මුස්ලිම්වරුන් ගැන සලකා බලන කල අප කොතැනක කවර තත්ත්වයකින් සිටිය ද මේ රටේ ජනතාවට නිදහස ලබා ගැනීම සඳහා ඇති කවර නම් ව්‍යාපාරයක වුණද පෙරමුණ ගෙන සිටීම අපගේ ප්‍රධාන යුතුකමකි. සටන පූර්ණ ස්වාධීනත්වය සඳහා නම් කිසිදු ලාභයක් හෝ අපේක්ෂාවකින් තොරව කටයුතු කිරීමට මුස්ලිම්වරුන් සූදානම්ය. දැනට පවත්නා සකල විධ විෂමතා ස්වාධීනත්වය විසින් අකාමකා දමන බව අප විශ්වාස කරමු.” යනුවෙන් ජායා මහතා කළ කථාව ඓතිහාසික ප්‍රකාශයක් ලෙස හැඳින්වීමට පුළුවන.ජායා මහතා මුස්ලිම් අයිතීන්ට වඩා තම මවුබිමට ආදරය කළේය. ජාතික – ආගමික සාමය නිතරම ඔහු ප්‍රාර්ථනා කළේය. රටේ සියලු ජාතින් ආගමිකයන් එකට සිටින තාක් කල් අපේ රටේ ශක්තිය සුවිශාල බව ඔහුගේ මතය විය. එය අදට ද සත්‍යයකි.

1505 දී පෘතුගීසීන් ගාලු වරායට ගොඩ බට දිනයේ අපට අහිමි වූ නිදහස අනේක විධ හිරිහැර විඳිමින් සිර ගෙවල්වල තපිමින් ජීවිත පරිත්‍යාග කරමින් ගෙනගිය උත්තරීතර අභීත සටනක ප්‍රතිඵලයක් ලෙස අපට යලි නිදහස හිමිවුයේ 1948 පෙබරවාරි 4 වැනි දිනය. මෙසේ දිනාගත් නිදහසේ අභිමානයට වඩා දිනු නිදහස වඩාත් අර්ථවත් වීමට අත්‍යාවශ්‍ය සාධකයක් වූ ජාතික සමගිය පිළිබඳ සටහනක් තබන්නට කැමැත්තෙමු. කුලවාදය, වර්ණවාදය, ජාතිවාදය, ආගම්වාදය වැනි මිනිසා එකිනෙකාගෙන් දුරස්ථ කරවන මත වාදයන් ඉස්ලාමීය ඉගැන්වීම් තුළ කිසිසේත්ම අන්තර්ගත වී නොමැත. මුස්ලිම් යනු වාර්ගික අනන්‍යතාවක් නොවේ. එය ආගමික අනන්‍යතාවක් පමණකි. එනම් ඉස්ලාමය තම ජීවන මග ලෙස තෝරා ගත් අයෙකු බව හඳුනා ගැනීම පමණි එයින් දැක්වෙන්නේ. එහෙයින් යෝනක මුස්ලිම්, මැලේ මුස්ලිම්, ද්‍රවිඩ මුස්ලිම්, බර්ගර් මුස්ලිම් ආදී වශයෙන් ඇතැම් අවස්ථාවන්හි දී අපට අසන්නට ලැබුණ ද සැබැවින්ම ඉස්ලාමිකයෙකු අනිවාර්යයෙන්ම අල් කුර්ආනය හා නබි තුමාණන්ගේ පිළිවෙත (සුන්නා) පිළිගෙන ඒ අනුව ජීවිතය සකස් කර ගත යුතු වෙයි. මේ අනුව යුක්තිය, සාධාරණත්වය, නීති ගරුක බව මිනිසත්කම හා දේව භක්තිය පදනම් කර ගත් ‘උම්මතය’ නමින් හැඳින්වෙන විශ්ව මිනිස් සහෝදරත්වයේ එක් සාමාජිකයෙකු බවට සෑම ඉස්ලාමිකයෙකුම පත් වෙයි. එහෙයින් ඉස්ලාමිකයෙකුට වාර්ගිකත්වය පදනම් කර ගත් බෙදීමක කොටස් කරුවෙකු විය නොහැක. වාර්ගිකත්වය යථාර්ථයක් බව ඉස්ලාමය පිළිගත්තත් ඉස්ලාමිකයින් අතරේ වාර්ගිකත්වය පදනම් කර ගත් බෙදීමක් හෝ භේදයක් තිබිය නොහැක.
ඔබට අයහපත කරන්නාට ඔබ යහපත කළ යුතු බව අල් කුර්ආනය උගන්වයි. අසල්වැසියන් ඉස්ලාමිකයින්ද නැද්ද යන්න පිළිබඳ තැකීමකින් තොරව මනුෂ්‍යත්වයේ සහෝදර පිරිසක් ලෙස සලකා ඔවුන්ගේ ප්‍රශ්න හා අවශ්‍යතාවන් තමන්ගේ ද වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨ නබි වදන් අපට උගන්වයි. මිනිසාට ඇති එකම ජාතිය මනුෂ්‍ය ජාතිය බවත් අනෙකුත් වාර්ගිකත්වයන් එකිනෙකා හඳුනා ගැනීමේ සාධකයන් පමණක් බවත් ඉස්ලාමය උගන්වයි. ජාතිවාදය හා ආගම්වාදය පිළිකුල් කොට ප්‍රතික්ෂේප කරමු. මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨත්වය රැකෙන පරිදි සියලු මිනිසුන් සමග සහෝදර බැඳීමකින් යුතුව කටයුතු කරමු.

By: Ibnu Mansoor

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.