මුස්ලිම් නොවන්නෙකු මුස්ලිම්වරයෙකු ව විවාහ කර ගැනීමේ දී ඉස්ලාමය පිළිගන්නා ලෙස ඉල්ලා සිටින්නේ ඇයි?

විවාහය පිළිදබඳ සෑහීමට පත්විය හැකි අර්ථකථනයක් දීමේ දුෂ්කරතාව පිළිබඳව සමාජ හා මානව විද්‍යාඥයින් අවධාරණය කර ඇත. ඊට හේතුව ඒ ඒ සමාජවල විවාහය සඳහා කලින් කලට විවිධ ක‍්‍රම අනුගමනය කිරීමත් එකම කාල පරිච්ඡේදයක් තූළ වුවත් සමාජ දෙකක විවාහ ක‍්‍රමය සමාන නොවන අවස්ථා ඇති බැවිනි. පිරිමියෙකු හා ගැහැණියෙක අතර සිදුවන පිළිගත් නීත්‍යානුකූල ලිංගික සබඳතාව විවාහය ලෙස සරලම අර්ථයෙන් සැලකිය හැකිය. එය ලිංගික සබඳතාවයට අවශ්‍ය වන පිළිගත් නීත්‍යානුකූල බව නීතියෙන් හෝ අදාළ සමාජයේ සදාචාරය හා සංස්කෘතිය තුළින් ලැබිය හැකිය. එය නූතන දියුණු සමාජයේ විවාහය නිසි පරිදි ලියාපදිංචි කර ගිවිස ගැනීමෙන් හා අවශ්‍යය නිශ්චිත කටයුතු කිරිමෙන් ඇති වේ.මින් අදහස් වන්නේ නූතන සමාජය තුළ දෙපාර්ශ්වය ඇතුලත් වී ඇති ‘‘නෛතික ගිවිසුමක්’’ විවාහය යනුවෙන් අදහස් කර ඇති බවයි.

විවාහය පිළිදබඳව සමාජ හා මානව විද්‍යාඥයන් දක්වන ලද නිර්වචන

බි‍්‍රතාන්‍ය මානව විද්‍යා සංගමයේ ප‍්‍රකාශනයක් වන”Notes and Quarterly reviews(1951)” හි විවාහය පහත පරිදි අර්ථ දක්වයි.

‘‘විවාහය යනු එක් මිනිසෙකු හා එක් ගැහැණියෙක අතර ඇති වන සම්බන්ධතාවයේ ප‍්‍රතිඵලය ලෙස ගැහැණිය බිහි කරන දරුවන් නීත්‍යානුකූල යැයි සමාජය පිළිගැනීම හා ඒ දරුවන් දෙමාපිය දෙදෙනාගේම යැයි සමාජය පිළිගැනීමයි’’. ‘Gough Eathlee-1993’

මෙම නිර්වචනය තුළ අවධාරණය වන ප‍්‍රධාන කරුණු දෙකකි.

විවාහය එක් මිනිසෙකු හා එක් ගැහැණියෙක අතර ඇතිවන සම්බන්ධතාවයකි.
ඒ සම්බන්ධතාවයෙන් බිහිවන දරුවන් දෙමාපිය දෙදෙනාගේම යැයි සමාජය පිළිගැනීම.
මේ සියලූ නිර්වචන වලට අමතරව ‘‘සෙරේනා නන්දා’’ විවාහය මෙසේ අර්ථ දක්වයි.
‘‘විවාහය යනු සමාජයක සිරිත් විරිත් නීති රීති වලින් නිර්මිත ඊට අනුව ගොඩනංවන ලද සුවිශේෂී සම්බන්ධතාවයක් වන අතර එහිදී වැඩිහිටි පුරුෂයා හා ස්ත‍්‍රීය අඹු සැමියන් ලෙස ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් දරුවන් ලබති. විවාහය ස්වාමිපුරුෂයා-භාර්යාව හා ඔවුනොවුන්ගේ දරුවන්ගෙන් සුසැදි ඥාතීත්ව සංවිධානයකි.’’ Nanda s.-(1980).

ඉහතින් දක්වන ලද්දේ විවාහය පිළිබඳ ව ඇති පිළිගත් මතයන් කිහිපයකි. විවාහයක දී පුරුෂයා හා ස්ත්‍රිය අතර ගැලපීමක් තිබිය යුතු බව සැමගේ පිළිගැනීමට ලක් වුවකි. මෙසේ ගැලපීමක් නොතිබුනා නම් විවාහ බන්ධනය දිගට පවත්වාගෙන යෑම අසීරු වී එය බිඳ වැටෙන තත්ත්වයක් උදා විය හැක. මෙයින් දරුවන් ඇතුළු අඹු සැමි දෙපාර්ශවය ද ඉතා අසීරු තත්ත්වයකට පත් විය හැක. අප රටේ පොරොන්දම් බැලීම යනුවෙන් හඳුන්වන්නේ ද මෙම ගැලපීම පිළිබඳ සොයා බැලීමයි. මෙයින් කේන්දර ගැලපෙනවාද යන්න සොයා බැලීම විශේෂයෙන් ම සිදු කෙරෙන අතර විවාහ යෝජනා පුවත්පත් දැන්වීම් හි තමාගේ කුලය ද දක්වා තිබීම දැකිය හැක. තම කුලයේම අයෙකු විවාහ වීම මෙයින් අපේක්ෂිතයි.

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව කේන්දර ගැලපීම ප්‍රතික්ෂේප කොට ඇති අතර කුලවාදයක් ද දක්නට නොමැත. ඉස්ලාමීය ඉගැන්වීම් කුල ක්‍රමය සහමුලින්ම ප්‍රතික්ෂේප කරයි. සම්පුර්ණ මනුෂ්‍ය වර්ගයාම එක පියෙකුගෙන් හා එක මවගගෙන් පැවතෙන එකම පවුලේ සාමාජිකයින් බව ඉස්ලාමය උගන්වයි. එහෙයින් වාර්ගික පදනමින් හෝ අන් කිසිදු සාධකයක් පදනම් කරගනිමින් මිනිසා වෙන් කොට සැලකීම සඳහා ඉඩක් නොමැත. සාමාන්‍ය සමාජය තුළ අපට දකින්නට ඇති මිනිසා දුරස්ථ කරන ධනය, බලය, නිලය, කුලය වැනි සාධක අනුව උස්පහත්කම් මැනීම ද ඉස්ලාමය අනුමත නොකරයි.

“මනුෂ්‍යයිනි, ඇත්තෙන්ම අපි ඔබව එක් පිරිමියෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. කෙනෙකු අනිකා හඳුනාගනු පිණිස ඔබ ජාතීන් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. ඔබගෙන් කවුරුන් ඉතාමත් බිය භක්තිකයින් ව සිටින්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියස ඉතා ගෞරවනීය තැනැත්තෙකි. සැබැවින්ම අල්ලාහ් හොඳින් දන්නා අතර හොඳින් දැනුවත්ව සිටින්නේය.” (අල් කුර්ආන් 49:13).

“සියලු මනුෂ්‍යයින් ආදම් හා හව්වා ගෙනි. බිය භක්තිමත් භාවය හා යහකම් හැරෙන්නට අරාබි වරයෙකුට අරාබි නොවන කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම අරාබි නොවන කෙනෙකුට අරාබි වරයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම කළු ජාතිකයෙකු සුදු ජාතිකයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත.” (නබි වදන් – බුහාරී හදීස් අංක 1623, 1626 හා 6361).

ඉස්ලාමය විවාහය දිරිගන්වන දහමකි. විවාහයකදී කරුණු හතරක් සලකා බලන ලෙස මුහම්මද් තුමාණන් දන්වා ඇත. ඒවානම් ධනය, සමාජ තත්ත්වය, රූපාලංකාරය හා ධාර්මිෂ්ඨත්වය වෙයි. නමුත් ධාර්මිෂ්ඨත්වය හා යහ චරිතය සඳහා ප්‍රමුඛතාවක් දෙන ලෙස මෙම උපදේශයේ සඳහන් වෙයි. කේන්දර බැලීම හා කුලය පිළිබඳ ව සොයා බලනවාට වඩා ඉස්ලාමීය ගැලපීම් සාධක ලෙස මෙම කරුණු හතර දැක්විය හැකි අතර එයින් ප්‍රමුඛතාවක් දීමට දිරිගන්වා ඇත්තේ දෙපාර්ශවයේ දැහැමිකමට හා යහ චරිතයටයි. මේ පිළිබඳ ව ඇති අල් කුර්ආන් වැකියක් වෙත අවධානය යොමු කරමු.

“(අල්ලාහ්ට) ආදේශ කරන්නියන් ඔවුන් විශ්වාස කරන තෙක් නුඹලා ඔවුන් ව විවාහ කර නොගනිවූ; ආදේශ කරන්නීය නුඹලාව ආකර්ෂණය කළත් ඇයට වඩා විශ්වාස කළ වහලියක් උසස්ය; නුඹලා (විශ්වාස කළ කාන්තාවන් ව) ආදේශ කරන්නන්ට ඔවුන් විශ්වාස කරන තෙක් නුඹලා විවාහ කර නොදෙවූ; ආදේශ කරන්නා නුඹලාව ආකර්ෂණය කළ ද ඔහුට වඩා විශ්වාස කළ වහලෙක් උසස්ය;” (අල් කුර්ආන් 2:221).

දැහැමි කමේ හා යහ චරිතයේ පදනම ආගමික පිළිවෙත් අනුව ජීවත් වීම බව ඉස්ලාමය උගන්වයි. එහෙයින් ඉස්ලාමීය විවාහ ගැලපීම් සාධක හතරක් දක්වා ඇති අතර එයින් වැඩි අවධානයක් දක්වා ඇත්තේ දැහැමි කමට හා යහ චරිතයට හෙයින් විවාහ ජීවිතයේ පැවැත්මට ද මෙම කරුණු ඉවහල් වනු නිසැක කරුණකි. අන් ආගමිකයින් අතර ද විවාහ ගැලපීම් ඉහතින් ඉදිරිපත් කළ කරුණු මත දක්නට ඇති අතර ඉස්ලාමීය ගැලපීම් සාධකයේ වැදගත් කරුණ වන්නේ ධාර්මිෂ්ඨ කම වන හෙයින් ඉස්ලාම් දහම අනුව අඹු සැමි දෙපාර්ශවය තම ජීවිත සකස් කර ගැනීම වැදගත් යැයි සලකයි.

විවාහයක් සඳහා පහත සඳහන් කරුණු ද සම්පුර්ණ විය යුතුය.

1. යෝජිත මනාලියගේ හා මනාලයාගේ කැමැත්ත තිබිය යුතුය. මනාලයාට හා මනාලියට එකිනෙකා දැකබලාගැනීම සඳහා ඉඩ ප්‍රස්තා සලසා දිය යුතුය.
2. මනාලිය විසින් තීරණය කරනු ලබන විවාහ ත්‍යාගය (මුදල් හෝ අන් දෙයක්) ‘මහ්ර්’ නමින් හැඳින් වේ. එය මනාලයා විසින් මනාලියට ලබා දිය යුතුය. මනාලියගෙන් දෑවැද්දක් ඉල්ලා සිටීම ඉස්ලාමය අනුමත නොකරයි.
3. මනාලියගේ භාරකාරයෙකු හා සාක්ෂිකරුවන් දෙදෙනෙකු සිටිය යුතුය.
4. විවාහය රහසිගත ව සිදු නොකළ යුතුය.
5. විවාහ උත්සවය ‘වලිමා’ නමින් හැඳින් වේ. මෙම සංග්‍රහය මනාලයාගේ වියදමින් සිදු කළ යුතුය.
6. විවාහ උත්සවය ඉතා චාම් අන්දමින් පවත්වන්නට දිරි ගන්වයි.
7. විවාහ උත්සව සංග්‍රහය සඳහා දුප්පත් ජනයාව ද ආරාධනා කරන්නට දිරිගන්වයි.

By: Ibnu Mansoor

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.