මුහම්මද් තුමාණන් විසින් බයිබලයෙන් තොරතුරු පිටපත් කර අල් කුර්ආනය සැකසු බව සත්‍යය ද?

මෙහි පළමු ලිපියෙන් මුස්ලිම්වරුන් අනුගමනය කරන්නේ බයිබලයේ පළමු ගිවිසුම බවට ඇති මතය පිළිබඳ ව කරුණු ඉදිරිපත් කළෙමු. මෙම ලිපියෙන් මුහම්මද් තුමාණන් විසින් බයිබලයෙන් තොරතුරු පිටපත් කොට අල් කුර්ආනය සැකසු බවට ඇති මතය විමසා බලන්නට අදහස් කරන්නෙමු. 

මුහම්මද් තුමාණන්ගේ කාලයේ පටන් බොහෝ විවේචකයින්, විශේෂයෙන්ම, වර්තමානයේ ඇතැම් කිතුනු සහෝදරයින් විසින් මෙම චෝදනාව මතු කොට ඇත. මෙම චෝදනාවට අන්තර්ගත කරුණු එකිනෙක ඉතා යථාර්ථවාදී ව හා තර්කානුකුලව විමසා බැලීමක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

1. මුහම්මද් තුමාණන් විසින් කිතුනු රෝම වැසියෙකු වූ කම්මල්කරුවෙකුගෙන් කුර්ආන වැකි ඉගෙන ගන්නා ලදී.
මුහම්මද් තුමාණන්ගේ කාලයේ විසු ඉස්ලාමිකයින් නොවූ අරාබිවරුන් කිහිපදෙනෙකු විසින් මක්කා මායිමේ විසු කිතුනුවෙකු වූ රෝම ජාතික කම්මල්කරුවෙකුගෙන් (යකඩ තලන්නෙක්) මුහම්මද් තුමාණන් විසින් කුර්ආනය ඉගෙන ගත් බව චෝදනා ඉදිරිපත් කළහ. මුහම්මද් තුමාණන් ඇතැම් අවස්ථාවන් හි මෙම කම්මල්කරුගේ වැඩ කටයුතු නැරඹීමට එම ස්ථානයට යෑම සිරිතක් ව පැවතිණි. මේ පිළිබඳ ව ඉතා නිවැරදි හා සත්‍යය විග්‍රහය පහත සඳහන් අල් කුර්ආන් වැකියෙන් ම ඉදිරිපත් කොට ඇත.

“ඔහුට එය (අල් කුර්ආනය) එක් මිනිසෙකු උගන්වන්නේ යැයි ඔවුන් පවසන බව අපි නියත වශයෙන් ම දනිමු. (කෙසේ වෙතත්) මොවුන් ඉඟි කොට පෙන්වන (එම) තැනැත්තාගේ භාෂාව විදේශ වුවකි. මෙය (අල් කුර්ආනය) නම් පැහැදිලි අරාබි භාෂාවෙන්ය”. (අල් කුර්ආන් 16:103)

ඉතා අල්ප වශයෙන් අරාබි භාෂාව හැසිරවීමට හැකියාව තිබු විදේශ භාෂාවක් තම මව් බස වූ පුද්ගලයෙකු, මුස්ලිම් හා මුස්ලිම් නොවන අරාබි භාෂා විශේෂඥයින් විසින් ඒකමතිකව පිළිගත් කරුණක් වූ අල් කුර්ආනයේ උත්තරීතර අරාබි භාෂා යෙදුම් හා අරාබි සාහිත්‍යයේ ප්‍රාතිහාර්යයක් ලෙස සැලකෙන මෙම දේව ග්‍රන්ථය ඉගැන්වීමේ මුල් ගුරුවරයා බවට පත් විය හැක්කේ කෙසේද?. මෙම රෝම කම්මල්කරු විසින් මුහම්මද් තුමාණන් ට අල් කුර්ආනය ඉගැන්වූ බව පැවසීම ඉංග්‍රීසි භාෂාව හරිහැටි නොදැන සිටි චීන සංක්‍රමනිකයෙකු විසින් විලියම් ෂේක්ස්පියර්ගේ ගුරුවරයා ව සිටි බව පැවසීමට සමාන ප්‍රකාශනයකි.

2. කදීජා තුමියගේ ඥාතියෙකු වූ වරඛා ගෙන් මුහම්මද් තුමාණන් විසින් අල් කුර්ආනය හදාරන ලදී
මෙය මේ පිළිබඳ ව ඇති දෙවැනි චෝදනාවයි.

මුහම්මද් තුමාණන්ගේ යුදෙව් හා කිතුනු උගතුන් සමග තිබු සම්බන්ධතාවන් ඉතාමත් ම සීමා සහිතය. එතුමා දැන සිටි ප්‍රධාන පෙලේ කිතුනුවෙකු වුයේ එතුමාගේ පළමු බිරිඳ වූ කදීජා තුමියගේ ඥාතියෙකු වූ අන්ධ වයෝවෘධයෙකු වූ වරඛා ඉබ්න් නෞෆල් ය. ඔහු අරාබි පරපුරක් ඇත්තෙකු වුවද කිතුනු දහම පිළිගෙන කිතුනු දහම පිළිබඳ දැනුමැත්තෙකු විය. මුහම්මද් තුමාණන් විසින් මෙම වරඛා ව මුණගැසී ඇත්තේ දෙවරක් පමණි. ඉස්ලාමීය දේව පණිවිඩය ලැබෙන්නට පෙරාතුව වරක් කාබා හි නැමදුම් කරමින් සිටින විටත් ඉස්ලාමීය දේව පණිවිඩය ලැබුණු විගස මේ පිළිබඳ තොරතුරු විමසීමට ගිය විටත් පමණි. පළමු ඉස්ලාමීය දේව පණිවිඩය ලැබී වසර තුනකින් පමණ වරඛා මෙලොවින් සමුගත් අතර අල් කුර්ආනය වසර විසි තුනක කාලයක් තිස්සේ පහළ කරන ලද්දකි. එහෙයින් මෙම චෝදනාව කිසිදු පදනමකින් තොරවූ අභූත එකක් බව ඕනෑම අයෙකුට නිසැකවම පෙනී යනු ඇත.

3. මුහම්මද් තුමාණන් විසින් කිතුනු ආ යුදෙව්වන් සමග පවත්වන ලද ආගමික සාකච්ඡා මගින් අල් කුර්ආනය සකස් කරන ලදී.

මෙය ඔවුන් ඉදිරිපත් කරන තවත් චෝදනාවකි. මුහම්මද් තුමාණන් විසින් කිතුනු හා යුදෙව්වන් සමග ආගමික සාකච්ඡා පවත්වන ලද බව සත්‍යයකි. නමුත් මෙසේ සිදු කොට ඇත්තේ අල් කුර්ආනයේ අලමු පණිවිඩය පහළ වී වසර දහ තුනකට පසුව මදීන නගරයේදී ය. මෙයද පදනම් විරහිත හා අර්ථ විරහිත අභූත චෝදනාවකි. මෙම සාකච්ඡා මගින් මුහම්මද් තුමාණන් කටයුතු කොට ඇත්තේ ඉස්ලාමීය දහමේ අදහස ඔවුන්ට පහදා දීමටය. යුදෙව්වන් හා කිතුනුවන් ඒකදේවත්යෙන් බැහැර වී වැරදි මගක ගමන් කරමින් සිටිනා බව ඔවුන්ට පහදා දීම පිණිසය. මෙම සාකච්ඡා හේතුකොටගෙන මෙම කිතුනු හා යුදෙව් වැසියන් කිහිප දෙනෙක් ම ඉස්ලාමය වැළඳ ගන්නා ලදී.

4. මුහම්මද් තුමාණන් විසින් අරාබි ප්‍රදේශයෙන් බැහැර ප්‍රදේශයන් හි හමුවූ යුදෙව් හා කිතුනුවන් ගෙන් අල් කුර්ආනය සකස් කරන ලදී.

මෙයද ඉහත චෝදනා ලෙසම ඉතාම අර්ථ ශුන්‍ය චෝදනාවකි. සියළුම ඓතිහාසික තොරතුරු පරිශීලනය කර බැලීමේ දී තමාව මහා කාරුණික දෙවිඳුන්ගේ අවසාන නබිවරයා ලෙස තෝරා ගැනීමට පෙර අරාබියෙන් පිට ගොස් ඇත්තේ තෙවරක් පමණි. වයස නවයේ දී එතුමාගේ මව සමග ඥාතීන් හමුවීමට මදීන නගරයට යෑම, නවය හා දොළහ අතර කාලයේ දී තම පියාගේ සහෝදරයෙකු වූ අබු තාලිබ් සමග සිරියාවට ව්‍යාපාරික ගමනක යෙදීම හා වයස විසි පහේදී කදීජා තුමියගේ ව්‍යාපාරික තවලමේ නායකයා ලෙස සිරියාවට යෑම මෙම අවස්ථා තුනයි අපට දකින්නට ඇත්තේ. මෙම අවස්ථා තුනේදී යුදෙව් හා කිතුනු ජනයා සමග ඇති වෙන්නට ඇති සීමිත කතාබහ පදනම් වී අල් කුර්ආනය සකස් කළ බව පැවසීම ඉතාම බොළඳ චෝදනාවක් බව ඉතාම පැහැදිලිව දකින්නට ඇත.

5. මුහම්මද් තුමාණන් විසින් අල් කුර්ආනය යුදෙව් හෝ කිතුනුවන්ගෙන් ඉගෙන නොගත් බවට ඇති යථාර්ථවාදී සාධක
මුහම්මද් ධර්ම දුතයාණන්ගේ දෛනික ජීවිතය සැමට දැක ගැනීමට හකවන පරිදි වූ විවෘත පුස්තකයක් විය. සැබැවින්ම මුහම්මද් තුමාණන්ට තම නිවසේ පුද්ගලික නිදහස රැකගැනීමට හැකි වන පරිදි අන් අය කටයුතු කළ යුතු බව දේව පණිවිඩයක් ද ලැබ තිබිණි. මිනිසුන් පවසන දේ දේව පණිවිඩයක් ලෙස පැවසීම එතුමා කළේ නම් එය ජනයාගෙන් සැඟවුණු රහසක් ලෙස බොහෝ කල් පැවතීමට ඉඩකඩ නොතිබිණි.

අවුරුදු 23ක් කල් පැවති ධර්මදුත මෙහෙවර කාලයේ දී ඉස්ලාමය වැළඳ ගත් බුද්ධමත් හා විචාරශීලී කුරෛෂ් නායකයින් හට මුහම්මද් තුමාණන්ගේ ධර්මදුත මෙහෙවර පිළිබඳ කිසිදු ආකාරයක සැකයක් නොතිබිණි. මුහම්මද් තුමාණන්ගේ සතුරන් ද එතුමා පිළිබඳ ඔවුන් ඉදිරිපත් කළ චෝදනාව සනාථ කිරීම සඳහා එතුමාගේ සියළු ක්‍රියාවන් පිළිබඳ ඉතාම සමීප නිරීක්ෂණයකින් පසු වූහ. එම යුගයේ කිතුනු හා යුදෙව්වන් සමග අල් කුර්ආනයේ වැකි ඉදිරිපත් කිරීමේ දී කිසිදු ආකාරයක සම්බන්ධයක් පවත්වාගෙන ගිය බවට එතුමාණන්ගේ සතුරන්ට ද ඔප්පු කළ හැකි කිසිදු සාක්ෂියක් නොවීය. එහෙයින් අල් කුර්ආනය පිළිබඳ ව මිනිස් මුලාශ්‍රයක් නොමැති බවට ඓතිහාසුකව හා යථාර්ථවාදීව බලන කෙනෙකුට පෙනීයන සත්‍යයකි. සත්‍යය වශයෙන්ම අල් කුර්ආනය දේව පණිවිඩයක් බව මේ අනුව පෙනී යනු ඇත.

6. මුහම්මද් තුමාණන් හට කිසිදු සාක්ෂරතාවක් නොතිබුණි

අල් කුර්ආනය මුහම්මද් තුමාණන්ගේ නිර්මාණයක් ලෙසත් අන් මුලාශ්‍රයන්ගෙන් පිටපත් කරගත්තක් ලෙසට ඇති සියළු තර්ක ඓතිහාසිකව සනාථ කොට ඇති එතුමාණන්ගේ අනක්ෂරතාවයෙන් බිඳ වැටී යනු ඇත. අල් කුර්ආන්\යේ 29 වන පරිච්ඡේදයේ 48 වැනි වැකිය මේ බවට සාක්ෂි දරයි.

“(නබිවරය) මෙය (අල් කුර්ආනය) ට පෙර නුඹ කිසිදු පුස්තකයක් කියවා නොමැත. තවද නුඹ නුඹගේ දකුණතින් එය ලියා (පුරුද්දක්) ඇති අයෙකුදු නොවන්නේය. එසේ වුයේ නම් මෙම අසත්‍යවන්තයින් (මෙය) ඔබ විසින් මනඃකල්පිත කරගත්තේ යැයි මිස අල්ලාහ් විසින් පහළ කළේ නැතැයි සැක සිතන්නට ඉඩ තිබිණි”. (අල් කුර්ආන් 29:48)

අල් කුර්ආනය දේව පණිවිඩයක් නොවන බව බොහෝ අය සැක හිතන්නට ඉඩ ඇති බව පෙරම දැන සිටි මහා කාරුණික දෙවිඳුන් විසින් මෙම පණිවිඩය පහළ කිරීම පිණිස අනක්ෂරතාවක් ඇත්තෙකු තෝරා ගැනීම තුළින් එම තර්කය සහමුලින්ම පරාජයට පත් කොට ඇත. මේ පිළිබඳ ව ඇති අල් කුර්ආන් වදන් වෙත අවධානය යොමු කරමු.
“කවරෙකු පිළිබඳ ව ඔවුන් සතුව ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සටහන් කර තිබීම ඔවුන් දකින්නේ ද, එම (ලියන්නට කියවන්නට නොහැකි) අනක්ෂර නබිවරයානන්වූ රසුල්වරයානන් අනුගමනය කරන ඔවුන් හට ඔහු යහපත විධානය කරන්නේ ය”. (අල් කුර්ආන් 7:157)

එතුමාගේ අනක්ෂරතාව පිළිබඳ ව අල් කුර්ආන් 7:158 හා අල් කුර්ආන් 62:2 හිද සඳහන් ය.

7. එම යුගයේ අරාබි බෛබලයක් නොතිබිණි
අරාබි බසින් වූ බෛබලයක් මුහම්මද් තුමාණන්ගේ කාලයෙහි නොතිබුණි. පැරණි ගිවිසුමේ අරාබි ග්‍රන්ථයක් එළිදක්වන ලද්දේ වර්ෂ 900 හි දීය. එනම් මුහම්මද් තුමාණන් මෙලොවින් සමුගෙන වර්ෂ 250කට පසුවය. නවගිවිසුමේ අරාබි ග්‍රන්ථයක් පළමු වරට එළිදක්වන ලද්දේ වර්ෂ 1616 හි දීය. එනම් මුහම්මද් තුමාණන් මෙලොවින් සමුගෙන වර්ෂ 1000 කට පමණ පසුවය. එහෙයින් මෙම චෝදනා කිසිවක් සත්‍යයෙන් තොරවූ කිසිදු පදනමකින් නොයුක්තවූ හිස් ප්‍රලාප පමණක් බව ඕනෑම අයෙකුට වැටහෙනු අහ.

8. බෛබලයේ හා අල් කුර්ආනයේ සමානකම් ඇත්තේ පොදු මුලාශ්‍රයක් හේතුවෙනි.
බෛබලයේ හා අල් කුර්ආනයේ ඇතැම් සමාන කරුණු දක්නට ඇත්තේ මහා කාරුණික දෙවිඳුන් මෙම පණිවිඩ දෙකෙහිම මුලාශ්‍රය හේතුවෙනි. ජේසු තුමාණන් හට පහළ කළ ඉන්ජීලය එලෙසම වර්තමාන බෛබලය ලෙස මුස්ලිම් වරුන් නොසලකති. ඉන්ජීලයේ හා තව්රාතයේ ඇතැම් සාධක වර්තමාන බෛබලයේ තිබිය හැක යන්න පමණි අප විසින් පිළිගැනෙනු ලබන්නේ.

9. ඉස්ලාමිකයින් තව්රාත්, සබුර්, ඉන්ජීල් සහ අල් කුර්ආනය සත්‍යය දහම් ලෙස පිළිගනිති

මහා කාරුණික අල්ලාහ් විසින් පහළ කරන ලද පණිවිඩ හතරක් අල් කුර්ආනයේ නම් වශයෙන් සඳහන් කොට ඇත. ඒවා නම් මුසා (මෝසෙස්) ධර්ම දුතයාණන්ට පහළ කරන ලද තව්රාතය, දාවුද් (දාවිත්) ධර්මදුතයාණන්ට පහළ කරන ලද සබුර්, ඊසා (ජේසුස්) ධර්මදුතයාණන්ට පහළ කරන ලද ඉන්ජීලය හා අවසන් ධර්මදුතයාණන් වූ මුහම්මද් තුමාණන් හට පහළ කරන ලද අවසන් දේව පණිවිඩය වූ අල් කුර්ආනයයි. ඉස්ලාමීය විශ්වාසයේ ප්‍රධාන කුළුණු වන්නේ මෙයට පෙර පැමිණි සියළු නබිවරුන් හා සියළු දේව පණිවිඩ සියල්ල සත්‍යය බව පිළිගැනීමයි. දෙවිඳුන් විසින් පළමු මිනිසා වූ ආදම් තුමාව (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය ඇති වේවා) නිර්මාණය කිරීමෙන් පසු එක් මූලික පණිවිඩයක් නිරතුරුව මනුෂ්‍ය වර්ගයා වෙත පහළ කරන ලදී. මෙම පණිවිඩය වෙත ආරාධනා කිරීම පිණිස කාලයෙන් කාලයට විවිධ ධර්ම දුතයින් ව පත් කරන ලදී. ආදම්, නුහ්, ඉබ්‍රාහිම්, මුසා, ඊසා හා මුහම්මද් (මේ සැවොම වෙත මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) මෙම ධර්ම දූතයින් අතර ප්‍රධාන තැනක් ගන්නා අතර එම මූලික පණිවිඩයේ සාරාංශය පහතින් දක්වා ඇත්තෙමු.

 සත්‍යය දෙවිඳුන් වූ අල්ලාහ් ඒකීය ය
 ඔහුගේ ශක්තියෙහි, බලයෙහි හෝ ගුණාංගයන් හි අන් කිසිදු සහකරුවෙකු හෝ කොටස් කරුවෙකු හෝ නොමැත
 ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙකු නොමැත
 නැමදුමට ඔහු හැර අන් කිසිවෙකු නොමැත
 මෙලොව මතුලොව ජයග්‍රහණය උදෙසා සත්‍යය දෙවිඳුන් ව විශ්වාස කොට ඔහු විසින් මිනිසුන් අතුරින් තෝරාගත් ඔහුගේ ධර්ම දූතයන් මඟින් දෙනු ලැබූ මඟ පෙන්වීම අනුව මිනිස් ජීවිතය සකස් කර ගත යුතුය.

ඉහත පණිවිඩය අනුව ජීවිතය සකස් කර ගැනීම ‘ඉස්ලාමය’ නොහොත් දෙවිඳුන්ට අවනත වී සාමය අත්කර ගැනීම ලෙස දක්වනු ලැබේ. මෙම පණිවිඩය හා අනෙකුත් මඟ පෙන්වීම් ජනයාට ලබාදීම පිණිස සත්‍යය දෙවිඳුන් විසින් කලින් කලට ජනයා අතුරින් තෝරාගත් ධර්ම දුතයින් ව පත් කරන ලදී. එම ධර්ම දුතයින්ගෙන් අපේක්ෂිත වගකීම් කිහිපයක් පහතින් සංක්ෂිප්තව දක්වා ඇත්තෙමු.

1) සත්‍යය දෙවිඳුන් විසින් ලබා දෙන්නාවූ මඟ පෙන්වීම් ජනයා වෙත ලබා දී ඒවා පිළිපැදීමට දිරි ගැන්වීම
2) දෙවිඳුන්ගේ ඒකීයත්වය පිළිබඳ ජනයා වෙත කරුණු පහදා දීම
3) තම ජනයා වෙත පරමාදර්ශී චරිතයක් වීම
4) දෙවිඳුන් පිළිබඳ ව බියබැතිමත්කමින් යුක්තව දෙවිඳුන් ලබා දී ඇති මඟ පෙන්වීම් අනුව ජීවිතය සකස් කර ගැනීමට ජනයාට උපදෙස් දීම
5) තම ජනයා ව ඉස්ලාමීය වත්පිළිවෙත් හා ඉස්ලාමීය සාරධර්ම පිළිබඳ දැනුවත් කිරීම
6) දෙවිඳුන් ලබා දී ඇති නිවැරදි මඟ පෙන්වීමෙන් බැහැරව කටයුතු කරන්නන්, විශ්වයේ අධිපති ඒකීය සත්‍යය දෙවිඳුන් හැර අනෙකුත් මිත්‍යා දෙවිවරු හා ප්‍රතිමා වෘක්ෂ වැනි භෞතික දැයට නමදුම් කරන්නන් වෙත සත්‍යය පහදා දී නිවැරදි මඟට ආරාධනා කිරීම
7) මිනිසාගේ මරණින් මතු ජීවිතය, විනිශ්චය දිනය, අපාය හා ස්වර්ගය වැනි කරුණු පිළිබඳ සත්‍යය පහදා දීම මෙම වගකීම් අතුරින් වැදගත් සාධකයන් ය.

මහා කාරුණික දෙවිඳුන්ගේ සියලු ධර්ම දුතයින් අතරේ වූ ඉහතින් දක්වන ලද පොදු වගකීම් හේතුවෙන් සියළු දේව පණිවිඩ අතරේ පොදු සමානතාවන් තිබීම අසාමාන්‍ය කරුණක් නොවන බව ඕනෑම අයෙකුට පැහැදිලිවන සත්‍යයයකි.

10. අල් කුර්ආනය හා බෛබලයෙහි අඩංගු ඇතැම් කරුණු පිළිබඳ විද්‍යාත්මක සැසඳූමක්
බෛබලය හා අල් කුර්ආනය කියවන ඕනෑම අයෙකුට පොදු කරුණු රාශියක් දැකගන්නට හැකිවනු ඇත. නමුත් එම කරුණු පිළිබඳ විශ්ලේෂනාත්මක අධ්‍යයනයක යෙදෙන්නෙකුට මෙම සමාන කරුණු අතුරින් බොහොමයකම අහසට පොළොව මෙන් වෙනස්කම් දැක ගන්නට හැකිවනු ඇත. මෙම කරුණු පිළිබඳ ව ඇති විද්‍යාත්මක සත්‍යයන් කෙරෙහි අවධානය යෙදීමෙන් සත්‍යය ඇත්තේ කොහෙද කියා දැකගන්නට හැකි වනු ඇත.

By: Ibnu Mansoor
www.yayuthumaga.com

One comment

Leave a Reply

Your email address will not be published.