සත්‍යවූ ඉස්ලාමය පිළිපදින්නන් වර්තමාන ලොව අර්බුදකාරිත්වයට පත්ව ඇත්තේ ඇයි?

වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස විමසුම් ඇසින් නිරීක්ෂණය කිරීමේ දී ගැටලු හා නොසන්සුන්තාවන් ඇති බොහෝ ස්ථානයන් හි ඇතැම් මුස්ලිම් වරුන් ගේ නොහොබිනා ක්‍රියාකාරකම් හේතුවෙන් ඉස්ලාමය ට බලවත් අපකීර්තියක් ඇති කර දීම ට හේතු සාධක වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත. මෙසේ වීමට හේතුව කුමක් ද යන්න විමසා බැලීම මෙම ලිපියේ මූලික අරමුණයි. උම්මතයේ වර්තමාන දුබල අර්බුදකාරී හා අපකීර්තිමත් තත්ත්වය පිළිබඳ ව විමසුමක යෙදීමේ දී අප විසින් අනිවාර්යයෙන් ම මනුෂ්‍ය වර්ගයා ට (හා ජින් වරුන් ට) විශ්වයේ අධිපති මහා කාරුණික අල්ලාහ් විසින් පහළ කරන ලද අවසන් දිව්‍යමය මාර්ගෝපදේශය වූ අල් කුර්ආනය සහ අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් මේ පිළිබඳ ව පවසා ඇති වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය යැයි සිතන්නෙමු. පළමු ව වර්තමාන ලෝක මුස්ලිම් ප්‍රජාවගේ භෞතික සාධක හා තොරතුරු කෙරෙහි අවධානය යොමු කරමු.

අපගේ බලගතුකම

වර්තමාන ලොව සමස්ත ජනගහනය වූ බිලියන 7.122 න් බිලියන 1. 667 ක් ම මුස්ලිම් වරුන් ය. එනම් ලෝක ජනගහනයෙන් 23.4% ක් ම මුස්ලිම් වරුන් ය.
(මුලාශ්‍රය: http://www.lifeofmuslim.com/…/muslim-population-statistics-…)

තවත් අයුරකින් පවසන්නේ නම් ලොව සෑම සතර දෙනෙක් අතරින් එක් අයෙකු මුස්ලිම් වරයෙක් ය. මෙවන් බලගතු ජනගහන ප්‍රතිශතයක් තිබිය දීත් අප අතරේ දුබලතා ඇති විය හැක්කේ කෙලෙස ද යන්න යමෙකුට ප්‍රහේලිකාවක් විය හැකිය.

මෙයට අමතර ව ලොව රටවල් 57 ක් ම මුස්ලිම් රාජ්‍යයන් ලෙස ‘මුස්ලිම් සහයෝගීතා සංවිධානයේ’ (Organization of Islamic Cooperation) සාමාජිකත්වය දරති. මෙවන් බලගතු තත්ත්වයක් ලොව කිසිදු ආගමික හෝ වාර්ගික කණ්ඩායමකට නොමැත. අනෙකුත් සියලු ම ආගමිකයින් අතරේ තම තමන්ගේ ආගමික පොදුතාවක් දක්නට තිබුණ ද වාර්ගිකත්වයෙන් දුරස්ථභාවයක් ඔවුන් තුළ දක්නට ඇත. ඉස්ලාමිකයින්ගේ තත්ත්වය මෙයට හාත්පසින් ම වෙනස් ය. අප අතර ඇති වාර්ගික පටුත්වය ඉවත ලා ‘උම්මතය’ නම් වූ යහකම දැහැමිකම හා අන්‍යෝන්‍ය ගෞරවයෙන් අලංකෘත විශ්ව සහෝදරත්ව පදනමකින් සැවොම දැඩි සබැඳියාවකට ගෙන ඒමට ඉස්ලාමය තුළින් අවස්ථාව සැලසී ඇත. මෙය ද ලෝක මුස්ලිම් ප්‍රජාවගේ ශක්තිය වඩ වඩාත් තහවුරු කරන සාධකයක් ව පවතී. මෙසේ තිබිය දීත් අවාසනාවකට මෙන් අපට දක්නට ඇත්තේ දුර්වල අර්බුදකාරී හා අපකීර්තිමත් තත්ත්වයකට ලෝක මුස්ලිම් ප්‍රජාව කෙමෙන් කෙමෙන් ගමන් කරන අයුරු ය.

“සැබැවින් ම විශ්වාසවන්තයින් (සැවොම) සහෝදරයින් ම ය. එබැවින් නුඹලාගේ සහෝදරයින් දෙදෙනෙකු අතර සුහදතාව ඇති කරවු. තව ද නුඹලා කරුණාව ලැබූවන් වනු පිණිස අල්ලාහ් ට බිය භක්තිමත් වවු”. (අල් කුර්ආන් 49 : 10)

“තමන් ට යහපත් යැයි ඇලුම් කරන දෑ තම සහෝදරයාට ද ඇලුම් කරන තෙක් ඔහුගේ ඊමානය (විශ්වාසය) දුර්වල ව තත්ත්වයක පවතී”. (බුහාරි නබි වදන් ග්‍රන්ථයෙන්)

“ගොඩනැගිල්ලක එක් කොටසක් අනෙක් කොටස ශක්තිමත් කරන්නාක් මෙන් සැබැවින් ම විශ්වාසවන්තයින් එකිනෙකා හා බැඳී සිටිති”. (බුහාරි හා මුස්ලිම් නබි වදන් ග්‍රන්ථයෙන්)

ලෝක සමස්ත ජනගහනයෙන් හතරෙන් කොටසක් නියෝජනය කරමින් හා රටවල් 57 ක් මුස්ලිම් රටවල් ව පවතීන තත්ත්වයක් තුළ අප මෙතරම් අවලංගු කාසියක් බවට පත් ව ඇත්තේ කුමන කාරණා හේතුවෙන් ද? මෙය අප සැමගේ මනසේ නිරතුරුව මතු වන ප්‍රශ්නයක් නොවන්නේ දැයි අසන්නට කැමැත්තෙමු.

මෙයට අමතර ව මැද පෙරදිග රාජ්‍යයන් හයක් එකතු වී පිහිටුවා ගන්නා ලද ‘සමුද්‍රවංක සහයෝගිතා සභාව’ ට (Gulf Cooperation Council) අයත් රටවල් හි ඇති ස්වාභාවික සම්පත් දෙස බලන විට ලොව වැඩිම දළ ජාතික නිෂ්පාදනය (Gross Domestic Production) මෙන්ම වැඩිම ඒක පුද්ගල ආදායම (Per Capita Income) ඇති රටවල් අතර ඉහළම තලය ට පත් වන්නට මෙම රටවල් වලට හැකියාව ලැබී ඇත. ලොව විශාලතම බොර තෙල් නිධි සියල්ලම මෙම රටවල් වලට අයත් ය. මහා කාරුණික අල්ලාහ් මුස්ලිම් වරුන් ට මෙතරම් විශාල ආර්ථික දේශපාලන හා පිරිස් බල ශක්තියක් ලබා දී තිබුණ ද සතර දෙසින් මාධ්‍යයන් මගින් මුස්ලිම් වරුන් පිළිබඳ ව අපට දැන ගන්න ට ලැබෙන්නේ හද සසල කරවන තොරතුරු සමුදායකි. අපගේ මෙම අසරණ බයාදු දුබල අපකීර්තිමත් හා අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ව ඉස්ලාමීය කෝණයෙන් හේතු විමසීමකට කරුණාකර අප හා එකතු වන්න.

අපගේ බලගතුකම දුබල කමක් බවට පත් වුයේ කෙලෙස ද?

ඉස්ලාමීය විද්වතුන් බහුතරයකගේ මතය අනුව මෙම අවාසනාවන්ත තත්ත්වය ට මූලික හේතුව බවට ඔවුන් පෙන්වා දෙන්නේ මුස්ලිම් වරුන්ගෙන් අති මහත් බහුතරයක් නිවැරදි හා ජයග්‍රාහී ඉස්ලාමීය පිළිවෙත් නිසි අයුරින් නොපිළිපැදීමත් නාමික මුස්ලිම් වරුන් බවට පත් වී සිටීමත්ය. මුහම්මද් ධර්ම දුතයාණන්ගේ අලංකාර පිළිවෙත (සුන්නතය) අතහැර විවිධ ආකාරයේ නුතන නව්‍යකරණයන් ඉස්ලාමයේ පිළිවෙත් බවට පත් කර ගනිමින් අති උතුම් අල්ලාහ්ගේ දහම විකෘති කිරීම ට කටයුතු කිරීම මෙම අවාසනාවන්ත තත්ත්වය ට තවත් ප්‍රබල හේතුවක් බව විද්වතුන් පෙන්වා දෙති. මෙම දුබලතාවන් ට එරෙහි නිවැරදි ක්‍රියා පිළිවෙත වහා වහා අල් ර්ආනය හා මුහම්මද් ධර්ම දුතයාණන්ගේ අලංකාර පිළිවෙත වූ ‘සුන්නතය’ පදනම් කර ගෙන සිදු කළ යුතු ව ඇත.

මූලික ප්‍රතිපත්තියක්

ඉස්ලාමීය ඉගැන්වීම් හි මූලික ප්‍රතිපත්තියක් නම් අති උතුම් අල්ලාහ් විසින් මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ම අවසාන ධර්ම දුතයා ලෙස මුහම්මද් තුමාණන් ව පත් කොට එවනු ලැබුවේ මිනිසා ව අල්ලාහ්ගේ සමීපත්වය ට රැගෙන යන සියලු යහපත් දෑ විග්‍රහ කොට පැහැදිලි කර දී ඒවා පිළිපදින ලෙස දිරි ගැන්වීමටත් එලෙස ම මිනිසා ව අල්ලාහ් වෙතින් දුරස්ථ කරවන සියලු අයහපත් දෑ විග්‍රහ කොට පැහැදිලි කර දී ඒවායින් වැළකී සිටින ලෙසත් එහි භයානක ප්‍රතිඵලයන් පිළිබඳ අවවාද කිරීමටත් ය. මෙ අනුව ජීවිතය ගොඩ නැගී ඇති මූලික පදනම් සාධක දෙක අවබෝධ කර ගැනීමට අපට පහසු වනු ඇත.

පළමුව: යහපත් දෑ කුමක් ද යන්න අවබෝධ කර ගැනීම හා ඒවා පිළිපැදීමට අධිෂ්ඨානශීලී මානසිකත්වයක් ගොඩ නගා ගැනීම.

දෙවනුව: අයහපත් දෑ කුමක් ද යන්න අවබෝධ කර ගැනීම හා ඒ සියල්ලෙන් දුරස්ථ වීමට අධිෂ්ඨානශීලී මානසිකත්වයක් ගොඩ නගා ගැනීමට කටයුතු කිරීම.

මෙම කරුණු සියල්ල සිත් හි දරා ගනිමින් වර්තමාන අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කරමු.

උම්මතය මුහුණ පාන්නා වූ සිද්ධීන්

මුහම්මද් ධර්ම දුතයාණන් දැනට වර්ෂ 1436 ක ට පෙර ම වර්තමාන උම්මතය මුහුණ පාන්නා වූ සිද්ධීන් පිළිබඳ පූර්ව දැනුම් දීම් කර ඇති බව නබි වදන් විමසා බැලීමේ දී අපට පැහැදිලි ලෙස ම දැක ගන්න ට හැක. මෙම පූර්ව දැනුම් දීම් වලින් ඇතැම් කරුණු උම්මතය අනාගතයේ භුක්ති විඳින්නා වූ යහපත් පැති පිළිබඳ ව ය. ඔවුන් මිහිතලය මත ස්ථාපිත වී රාජ්‍ය බලය හා ගෞරවය ලබන්නන් බවට පත් වන බව මෙම යහ පූර්ව දැනුම් දීම් මගින් අපට දැක ගත හැකිය.
අනෙකුත් පූර්ව දැනුම් දීම් මගින් අති උතුම් අල්ලාහ්ගෙන් අපව දුරස්ථ කරවන ක්‍රියා පිළිබඳ අවවාදාත්මක අනතුරු ඇඟවීම් කර ඇති අතර එමගින් අනෙකුත් ජාතීන් අබියස උම්මතය පත් වන දුර්වලතාව හා අසරණභාවය පිළිබඳ ව දන්වා ඇත. මෙම නබි වදන් කිහිපයක් මීළඟට විමසා බලමු.

දුර්වලතා පිළිබඳ විග්‍රහයන්

මේ පිළිබඳ ව ඇති නබි වදනක් කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. නබි තුමාණන්ගේ සහගාමියෙකු වූ තව්බාන් තුමා විසින් දන්වා ඇති (අබු දාවූද් – නබි වදන් – හදීස් අංක 4297) නබි වදන වැදගත් තොරතුරු රාශියක් අපට ලබා දෙයි. ඒ අනුව නබි තුමාණන් වරෙක මෙලෙස පවසා ඇත්තාහ. ‘ආහාර බුදින්නන් තම භෝජනය වෙත එක් රොක් වන්නා සේ ජාතීන් (මුස්ලිම් නොවන රාජ්‍යයන්) එකි නෙකා ආමන්ත්‍රණය කරමින් ඔබ වෙත රොක් වනු ඇත’. එවිට එක් අයෙකු ‘එලෙස වන්නේ එදින අප ඉතා කුඩා සංඛ්‍යාවක් ව සිටින නිසා දැ’යි ප්‍රශ්න කර සිටියේය. එයට පිළිතුරු දෙමින් ‘එදින ඔබ සැම ඉතා අධික සංඛ්‍යාවකින් යුක්ත වනු ඇත. නමුත් නුඹලා පෙන පිඩු එනම් ජලයේ පා වෙන (කිසිදු ශක්තියකින් තොර වූ) පෙන පිඩු ලෙස වනු ඇතැයි ද ඔබගේ සතුරාගේ සිතින් ඔබ පිළිබඳ ව තිබු බිය ඉවත් කොට ඔබගේ සිත් තුළ ට දුර්වලතා ව (වහ්න්) අල්ලාහ් විසින් ඇතුළත් කරනු ඇතැ’යි නබි තුමාණන් පවසා සිටියහ. ‘නබි තුමනි, ‘වහ්න්’ යනුවෙන් අදහස් වන්නේ කුමක්දැ’යි තවත් අයෙකු ප්‍රශ්න කර සිටියේය. එයට පිළිතුරු දෙමින් ‘මෙලොව කෙරෙහි ඇති අසීමිත ආශාව හා මරණය පිළිකුල් කිරීම යැ’යි නබි තුමාණන් එවිට පවසා සිටියහ.

මෙම නබි වදන ලොව සැම තැන ජීවත් වන වර්තමාන උම්මතයේ පළමු වර්ගයේ දුර්වලතාව විග්‍රහ කරයි. මෙලොව තාවකාලික ජීවිතය පිළිබඳ අති මහත් ඇල්මකින් හා ආශාවකින් යුක්ත වී ඒ පිළිබඳ ව අසීමිත ලෙස කාලය යොමු කරමින් කටයුතු කරන අතර මරණින් මතු ජීවිතය පිළිබඳ තැකීමකින් තොරව හා එම චින්තනය සහමුලින් ම පාහේ දුරස්ථ වී මරණය පිළිකුල් කරමින් කටයුතු කිරීම පළමු වර්ගයේ දුර්වලතාව ඇති වීමට හේතුව ලෙස මෙම නබි වදන පැහැදිලි කර දෙයි. අප සැවොම මෙම නබි වදන පදනම් කර ගෙන අපගේ සිත්සතන් පිළිබඳ විමසුමක යෙදීම ඉතා වැදගත් යැයි අදහස් කරන්නෙමු. මරණය පිළිකුල් කිරීම තුළින් අයෙකු අති උතුම් අල්ලාහ් හමු වීම පිළිකුල් කරයි. එය සත්‍යය වශයෙන් ම ඉතාම අභාග්‍ය සම්පන්න සිතුවිල්ලක් බව අප සැවොම දන්නා කරුණකි.

මෙම නබි වදනින් මතු වන අනෙකුත් කරුණු කෙරෙහි ද අවධානය යොමු කරමු. 

 මුස්ලිම් නොවන්නන් මුස්ලිම් වරුන්ගේ දුබලතා පිළිබඳ නිරතුරු අවධානයෙන් පසු වෙති. මුස්ලිම් වරුන්ගේ දුර්වලතාවක් දුටු විගස ඒ පිළිබඳ පහර දීම ට ඉදිරිපත් වන අතර එයට එරෙහි බාධාවක් ඇත්නම් කෙලෙස හෝ එම බාධාව සුනු විසුනු කර දමන්න ට කටයුතු කරති. මුස්ලිම් වරුන් ට තමන් ව ආරක්ෂා කර ගැනීමේ හැකියාව නොමැති බව දුටු විගස ඔවුන් විනාශ කර දමන්නට ද කටයුතු කරති.

 මුස්ලිම් වරුන් ට අයත් භුමියේ විවිධ ආකාරයේ ස්වාභාවික සම්පත් අති විශාල ප්‍රමාණයක් ඇති බව ඔවුන් ඉතා හොඳින් දනිති. මුස්ලිම් වරුන් ට අයත් භුමිය ආක්‍රමණය කිරීමට ඔවුන් පෙලඹෙන එක් වැදගත් හේතුවක් ලෙසට මෙය දැක්විය හැකිය. ඒ සඳහා මුස්ලිම් වරුන් එකිනෙකා කෙරෙහි භේද ඇති කර හා විවිධ මත ගැටුම් පදනම් කරගෙන දුර්වල වන අවස්ථා පිළිබඳ ඔවුන් නිරන්තර විමසුමක යෙදී සිටිත්.

 වර්තමාන උම්මතය දෙස විමසුමක යෙදීමේ දී පැහැදිලි ව පෙනී යන සාධකයක් නම් තම දහම ගෞරවය හා සම්පත් ආක්‍රමණකාරී සතුරාගෙන් ආරක්ෂා කර ගැනීමේ හැකියාව ඔවුන් වෙතින් ගිලිහී ගොස් ඇති බව පෙනෙන්න ට ඇත.

 ආහාර බුදින්නන් තම පලඟන ට ආහාර බෙදා ගන්නා සේ ප්‍රතික්ෂේපකයින් විසින් යටත් කර ගනු ලැබූ මුස්ලිම් වරුන්ගේ භුමිය තම තමන් ට අවශ්‍ය පරිදි බෙදා ගනු ඇත.

 ප්‍රතික්ෂේපකයින්ගේ සිත් හි මුස්ලිම් වරුන් පිළිබඳ කිසිදු බියක් නොමැති වී යෑම. නබි තුමාණන්ගේ කාලයෙහි ප්‍රතික්ෂේපකයින්ගේ නොමනා ක්‍රියා පිළිබඳ ව සල වූ වහාම එතුමාණන් හමුදා මෙහෙයුමක යෙදෙන්නට සුදානම් වන බව ආරංචි වූ විගස ඔවුන් බියෙන් තැති ගෙන පලා යන්න ට කටයුතු කිරීම දක්නට තිබුණි. ‘තබුක්’ යුද්ධයේ දී සිදු වුයේ මෙයයි.

“අල්ලාහ් විසින් කිසිදු සාධකයක් පහළ නොකර තිබියදීත් ඔහුට ආදේශ කළ හේතුවෙන් ප්‍රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළ අපි භීතිය හටගන්වන්නෙමු”. (අල් කුර්ආන් 3 : 151)

උම්මතය වෙළා ගන්නා දෙවන ආකාරයේ දුර්වලතාව පිළිබඳ ව විමසීමක් කිරීම සඳහා නබි තුමාණන්ගේ සහගාමියෙකු වූ හුදයිෆා තුමා විසින් දන්වා ඇති නබි වදන (බුහාරි නබි වදන් අංක 7084 සහ මුස්ලිම් නබි වදන් අංක 1847) විමසා බලමු. හුදයිෆා තුමා පවසන අන්දමට ‘ජනයා නබි තුමාණන්ගෙන් නිතර යහපත පිළිබඳ විමසන අතර මම අයහපත පිළිබඳ ව විමසීමට හුරු වී සිටියෙමි. මා එසේ කළේ අයහපත මා වෙත ළඟා වෙයි යන බිය හේතුවෙනි. මම දිනක් නබි තුමාගෙන් ‘අපි නොදැනුවත්කම හා අයහපත තුළ ජීවත් වූයෙමු. එවිට අල්ලාහ් අපට මෙම යහපත (ඉස්ලාමය) ලබා දුන්නේය. මෙම යහපතින් පසු අයහපතක් තිබේ දැ’යි විමසා සිටියෙමි. මෙයට නබි තුමාණන් ‘ඔව්’ යැයි පිළිතුරු දුන්නේ ය. එවිට ‘මෙම අයහපතින් පසු යහපතක් තිබේ දැ’යි විමසා සිටියෙමි. මෙයට නබි තුමාණන් ‘ඔව්, නමුත් එය කිලිටි වූ යහපතක්’ යැයි පිළිතුරු දුන්නේ ය. එම යහපතේ ඇති කිලිට කුමක් දැ යි විමසා සිටි විට නබි තුමාණන් ‘මාගේ පිළිවෙතට අයත් නැති කරුණු කෙරෙහි ජනයා ට මග පෙන්වන අයගේ පිළිවෙතේ ඇතැම් කරුණු ඔබ අනුමත කිරීමත් ඇතැම් කරුණු ඔබ අනුමත නොකිරීමත් යැ’යි පිළිතුරු දුන්නේය. මෙම (කිලිටි වූ) යහපතට පසුවත් අයහපතක් තිබේ දැයි විමසා සිටියෙමි. මෙයට පිළිතුරු දෙමින් ‘ඔව්, නිරයේ දොරටු ව අසල සිට ආමන්ත්‍රණය කොට ආරාධනා කරන්නන්. යමෙක් ඔවුන්ගේ ආරාධනාව පිළිගන්නේද ඔවුන් ව නිරා ගින්න ට වීසි කරනු ලැබේ යැ’යි නබි තුමාණන් පවසා සිටියහ. ඔවුන් ව අපට විස්තර කර දෙන ලෙස ඉල්ලා සිටියෙමි. එවිට නබි තුමාණන් ‘ඔවුන් අප අතුරින් වූවන් ය. අපගේ භාෂාව කතා කරන්නන් යැ’යි ද පැවසූහ. මෙවන් තත්ත්වයක් ඇති වුවහොත් මා කුමක් කළ යුතු දැ’යි එවිට නබි තුමාණන්ගෙන් විමසා සිටියෙමි. ‘එක්සත් මුස්ලිම් සමුහයා (ජමාතය) හා ඔවුන්ගේ ඉමාම් වරයා (නායකයා) සමග බැඳී කටයුතු කරන්නැ’යි නබි තුමාණන් උපදෙස් දුන්හ. එවන් එක්සත් මුස්ලිම් සමුහයක් හෝ ඉමාම් වරයෙක් නොසිටියේ නම් මා කෙලෙස කටයුතු කළ යුතු දැ’යි විමසා සිටි විට ‘සියලු කණ්ඩායම් වලින් ඉවත් වී මරණය ඔබට ළඟා වන තුරු ගසක මුලක් හෝ සපා ගනිමින් කාලය ගත කරන්න යැ’ යි එතුමාණෝ පවසා සිටියහ.

ඉහත නබි වදන පිළිබඳ සංක්ෂිප්ත විග්‍රහයක් පහතින් දක්වා ඇත්තෙමු. එය නබි වදනේ වැකියෙන් වැකිය පදනම් කර ගෙන ඉදිරිපත් කර ඇත්තෙමු.

‘මාගේ පිළිවෙතට අයත් නැති කරුණු කෙරෙහි ජනයා ට මග පෙන්වන අයගේ පිළිවෙතේ ඇතැම් කරුණු ඔබ අනුමත කිරීමත් ඇතැම් කරුණු ඔබ අනුමත නොකිරීමත්’

අර්ථය : මේ පිළිබඳ ව විද්වතුන්ගේ මතය වන්නේ ඔබ ඔවුන්ගෙන් සුන්නතය පිළිගන්නා අතර දහමේ නව්‍ය කරුණු ප්‍රතික්ෂේප කරන බවය.

‘ඔව්, නිරයේ දොරටුව අසල සිට ආමන්ත්‍රණය කොට ආරාධනා කරන්නන්’.
අර්ථය : ආරාධනා කරන්නන් ඔවුන්ගේ අනුගාමිකයින් ව විවිධ වූ නොමග ගිය පිළිවෙත් කරා කැඳවීම හේතුවෙන් එම අනුගාමිකයින් නිරය වෙත යොමු වූ ගමනක යෙදෙන බව.
‘යමෙක් ඔවුන්ගේ ආරාධනාව පිළිගන්නේද ඔවුන් ව නිරා ගින්න ට වීසි කරනු ලැබේ’.
අර්ථය : යමෙක් සුන්නතයෙන් බැහැර වූ නව්‍ය කරුණු කෙරෙහි ආරාධනා කරන්නන් අනුගමනය කරන්නේ ද ඔවුන්ගේ අවසානය නිරා ගින්නයි. ඉහත නබි වදනේ ම කොටසක් ලෙස නබි තුමාණන් පවසා ඇත්තේ ‘දහමේ සියලු නව්‍ය කරුණක් ම නොමග යෑමක් වන අතර සෑම නොමග යෑමක් ම නිරා ගින්නේය’ යනුවෙනි. එහෙයින් දහමේ නව්‍ය කරුණු සියල්ල එහි කර්තෘ වරුන් සමග නිරා ගින්නට අයත් වනු ඇත. එලෙස ම යමෙක් සුන්නතය වෙත ආරාධනා කරන්නන් අනුගමනය කරන්නේ ද ඔවුන්ගේ අවසානය ස්වර්ගයයි.

‘එක්සත් මුස්ලිම් සමුහයා (ජමාතය) හා ඔවුන්ගේ ඉමාම් වරයා (නායකයා) සමග බැඳී කටයුතු කරන්න’.
අර්ථය : ඉස්ලාමීය රාජ්‍යයක් ඇත්නම් ඔවුන් සමග එකතු වී එහි දැහැමි ඉස්ලාමීය නායකයා අනුගමනය කරමින් කටයුතු කරන්න යන්නය.

‘එවන් එක්සත් මුස්ලිම් සමුහයක් හෝ ඉමාම් වරයෙක් නොසිටියේ නම්’.
අර්ථය : මෙය වර්තමාන කාලවකවානුව පිළිබඳ සටහනක් ලෙස ගත හැක. මෙවන් නොමගට හා දහමේ නව්‍ය කටයුතු කෙරෙහි ආරාධනා කරනු ලබන නුතන යුගයේ එවන් කණ්ඩායම් හා පිරිස් අනුගමනය නොකොට හා ඔවුන්ගේ වැරදි ක්‍රියාවන් ට අනුබල දීමක් නොකොට ක්‍රියා කළ යුතු ව ඇති බව අදහස් වේ.

‘සියලු කණ්ඩායම් වලින් ඉවත් වී මරණය ඔබට ළඟා වන තුරු ගසක මුලක් සපා ගනිමින් කාලය ගත කරන්න’.
අර්ථය : මෙයින් තදබල ලෙස ම අවධාරණය කරනු ලබන්නේ සුන්නතය ඉතා ඕනෑකමින් අනුගමනය කරන ලෙසත් එහි අත්තිවාරමින් බැහැර නොවන ලෙසත් ය. මෙහි අර්ථය සියල්ලන්ගෙන් දුරස් වී නිවස තුළට වී සිටීම නොවන බව විද්වතුන් විග්‍රහ කරති. අල්ලාහ්ගේ මග පෙන්වීම පදනම් කර ගත් නබි තුමාණන්ගේ සුන්නතය වෙත ආරාධනා කිරීම මෙන්ම යහපත දිරි ගන්වා අයහපතින් ජනයා මුදවා ගැනීමට කටයුතු කිරීම අප වෙත පැවරී ඇති වැදගත් ම වගකීමකි. එයින් ඉවත් වී සිටීමට අපට කෙලෙසකවත් හැකියාවක් නොමැත. නබි තුමාණන් පවසා සිටියේ ‘මගේ සුන්නතය හා යහමග වෙත මග පෙන්වනු ලැබූ කාලිෆ් (ඉස්ලාමීය නායකයින්) වරුන්ගේ සුන්නතය දැඩි ව අල්ලා ගන්න’ යනුවෙනි (අබු දාවුද් – නබි වදන් අංක 4606). ‘ගසක මුලක්’ යනුවෙන් හැඳින් වෙන්නේ සුන්නතය බව විද්වතුන්ගේ මතයයි. ‘එම තත්ත්වයේ සිටිය දී මරණය ඔබට ළඟා වන තුරු’ යනුවෙන් අදහස් වන්නේ ‘ඉස්ලාමය අනුගමනය කරන්නෙකු ලෙස මිය යෑම’ බව ද විද්වතුන් විග්‍රහ කරති.

“විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ් ට බිය විය යුතු අයුරින් බිය වවු. නුඹලා සැබැවින් ම මුස්ලිම්වරුන් ලෙස ම මිස මිය නොයවූ”. ( අල් කුර්ආන් 3 : 102)

මුහම්මද් ධර්ම දුතයාණන් විවිධ අවස්ථාවන් හි මරණින් මතු ජීවිතය පිළිබඳ නිසි තැකීමකින් තොරව මෙලොව ජීවිතය පිළිබඳ සීමාව ඉක්මවා ඇලුම් කිරීම මුස්ලිම් වරුන්ගේ දුබලතාව ට ප්‍රධාන හේතුවක් බව දන්වා ඇත. මෙයින් අදහස් වන්නේ මෙලොව ජීවිතය සහමුලින් ම ප්‍රතික්ෂේප කොට තාපස ජීවිතයක් ගත කිරීම නොවේ. මරණින් මතු ලෝකය එනම් ‘ආහිරා’ යන පදයත් මෙලොව එනම් ‘දුන්යා’ යන පද දෙකම සමාන ව අල් කුර්ආනයේ 115 වාරයක් සඳහන් වී ඇත. මෙම සමාන සඳහන් කිරීම් පිළිබඳ සටහන නව්‍ය විග්‍රහයක යෙදෙන්නට දරණ උත්සාහයක් ලෙස නොසලකා එහි යථාර්ථය වෙත ඔබගේ අවධානය යොමු කරන්නේ නම් සුදුසු යැ’යි සිතන්නෙමු. ලොව අවසානය දක්වා පවතින අවසන් දිව්‍යමය මාර්ගෝපදේශකය වූ අති උතුම් අල්ලාහ්ගේ අල් කුර්ආනයේ සෑම කරුණක් තුළ ම ගැඹුරු අර්ථයක් ඇත යන්න අපගේ නිහතමානී විශ්වාසයයි. එහි මතු ලොව (ආහිරා) හා මෙලොව (දුන්යා) සම සංඛ්‍යාත්මක අගයකින් සඳහන් කර තිබීමෙන් මිනිසා මෙලොව හා මතු ලොව ජීවිතය අතර සමබරතාවක් ඇති කර ගත යුතු ය යන්න අදහස් වන්නේ දැ’යි චින්තකයින් හා උගතුන්ගේ අවධානය පිණිස ඉදිරිපත් කරමි. එම අදහස එහි නොතිබුණත් සැබැවින්ම මිනිසා මෙලොව හා මතු ලොව අතර සමබරතාවක් ඇති කර ගැනීම වැදගත් යන්න කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නක් නොවන බව අපගේ නිහතමානී මතයයි.

“එලෙස ම නුඹලා (සෙසු) ජනයා ට සාක්ෂිකරුවන් වීම පිණිස ද රසූල් වරයා නුඹලා ට සාක්ෂිකරුවෙකු වීම පිණිස ද අපි නුඹලා ව මධ්‍යස්ථ ප්‍රජාවක් වශයෙන් පත් කළෙමු”. (අල් කුර්ආන් 2 : 143)

මෙම සමබරතාව පවත්වා ගැනීමට අපොහොසත් වන අවස්ථාවන් හි ජන ජීවිතයේ අර්බුදකාරී තත්ත්වයන් ඇති වීම වැළක්විය නොහැක්කක් බවට පත් වනු ඇත. මතු ජීවිතය හා අති උතුම් අල්ලාහ් ව හමු වීම අමතක කොට මෙලොව පිළිබඳ ව පමණක් වැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියා කරන විට අල්ලාහ්ගේ ආශීර්වාදය නැති වී ගොස් දුබලතා හා අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙයි. මෙලොව අමතක කොට මතු ජීවිතය කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් කටයුතු කරන විට තම ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අන් අයගේ උපකාරය පතමින් ක්‍රියා කරන්නට සිදු වන හෙයින් තම ගෞරවයට හානිකර තත්ත්වයක් ඇති වේ. ගෞරවය මූඃමීන් වරුන් ට අයත් බව අල් කුර්ආනය සාක්ෂි දරයි.
“ගෞරවය අල්ලාහ්ට ද ඔහුගේ දුතයාට ද විශ්වාසයින්ට ද අයත් වේ”. (අල් කුර්ආන් 63 : 8)

එහෙයින් මුස්ලිම් වරුන් මෙම සමබරතාව පවත්වා ගෙන යෑම ඉතා වැදගත් ය. නමුත් මෙලොව පිළිබඳ තරඟකාරීත්වය ද මුස්ලිම් වරුන්ගේ දුර්වලතාවට හේතුවක් බව පහතින් උපුටා දක්වා ඇති නබි වදන පැහැදිලි කරයි.

නබි තුමාණන්ගේ සහගාමියෙකු වූ අම්ර් ඉබ්නු අල් අන්සාරී තුමාණන් විසින් දන්වනු ලදුව බුහාරී හා මුස්ලිම් නබි වදන් ග්‍රන්ථයන් හි වාර්තා කොට ඇති පරිදි නබි තුමාණන් විසින් බහරේන් රටින් රැස් කළ බදු මුදල් රැගෙන ඒමට අබු උබයිදා ඉබ්නු අල් ජර්රාහ් තුමාණන් ව යවනු ලැබ එතුමා බදු මුදල් සමග ආපසු එන ලදී. මේ බව ආරංචි වූ මදීනා නගරයේ ඇතැම් වැසියන් (අන්සාරීන් වරුන්) ෆජර් (අලුයම) සලාතය සඳහා නබි තුමාණන් සමග එකතු වූහ. සලාතය අවසන් කළ නබි තුමාණන් නැගිට යන්නට සුදානම් වූ විට මෙම අන්සාරීන් වරුන් නබි තුමාණන් ව හමු වූහ. එවිට සිනාමුසු මුහුණින් යුතු ව නබි තුමාණන් ‘අබු උබයිදා යම් දෑ රැගෙන ආ බව ඔබ සැමට ආරංචි වී ඇතැයි මා සිතනාවා යැ’යි පැවසූහ. ‘සැබැවින් ම එසේය නබි තුමණි යැ’යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට නබි තුමාණන් ඔවුන් අමතමින් ‘සතුටු වන්න, එලෙස ම ඔබ ව සතුට ට පත් කරවන දෑ පිළිබඳ අපේක්ෂාවෙන් ඉන්න. අල්ලාහ්ගේ නාමයෙන් පවසන්නෙමි, ඔබගේ දුගී බව පිළිබඳ ව මා බිය වන්නේ නැත. ඔබට පෙර විසූ ජනයාට මෙලොව සම්පත් විවෘත කර දෙනු ලැබූ අයුරු ඔබ සැම ට ද එසේ වනු ඇතැයි මම බිය වන්නෙමි. එසේ වූ විට ඔබට පෙර සිටියවුන් එම සම්පත් සඳහා එකිනෙකා සමග තරඟ කළ අයුරින් ම ඔබ සැම ද ඒ සඳහා එකිනෙකා සමග තරඟ කරනු ඇත. ඔබට පෙර සිටියවුන් ව එම තරඟය හේතුවෙන් විනාශ වූ අයුරු ඔබ සැම ද එය විනාශ කර දමනු ඇත යැ’යි පවසා සිටියහ.

තවත් නබි වදනකට අනුව මෙලොව පිළිබඳ අසීමිත ආශාව විනාශයට හේතුව බව නබි තුමාණන් විසින් පවසා ඇත. නබි තුමාණන්ගේ සහගාමිකයෙකු වූ අබ්දුල්ලාහ් ඉබ්නු උමර් තුමා විසින් දන්වනු ලැබු ව ඉබ්නුමාජා නබි වදන් ග්‍රන්ථයේ (නබි වදන් අංක 4019) වාර්තා කොට ඇති පරිදි මුහාජිරීන්වරුන් ව (සංක්‍රාමිකයින්) අමතමින් ‘ඔබ කරුණු පහකින් පීඩා තත්ත්වයට පත් වනු ඇත. ඔබ එම තත්ත්වයන් දකින අවස්ථාවන් අල්ලාහ් විසින් වළක්වා ඇත (එනම් එම තත්ත්වයන් ඇති වන කාල වකවානුවට පෙර ඔබ ජීවිතයෙන් සමු ගනු ඇත).

1. ලිංගික අපචාරය හා පරදාර සේවනය පුළුල් ලෙස පැතිර යන තත්ත්වය ඇති වූ විට ඔබගේ පුර්ව පියවරුන් පීඩා නොවිඳි නව රෝගයන්ගෙන් ජනයා පීඩාවට පත් වනු ඇත (මෙය ඒඩ්ස් රෝගය පිළිබඳ නබි තුමාණන් ලෝ වැසියන් හට ලබා දෙන පූර්ව අවවාදයක් බව ප්‍රතික්ෂේප කළ හැක්කේ කා හට ද?)

2. කිරුම් මිනුම් පිළිබඳ වංචනික අයුරින් කටයුතු කරන තත්ත්වය ඇති වූ විට දැඩි නියඟයෙන් හා දුර්භික්ෂයෙන් ජනයා පීඩාවට පත් වනු ඇත. මෙම තත්ත්වය තුළ හිංසාකාරී හා පීඩාකාරී පාලකයින්ගෙන් ද ජනයා දැඩි අපහසුතාවට පත් වනු ඇත.

3. ‘සකාත්’ ගෙවීම නොකරන තත්ත්වය ඇති වූ විට වැසි වැසීම නතර වී යනු ඇත. සතුන්ගේ අවශ්‍යතාව හේතුවෙන් මිස මෙම තත්ත්වය තුළ වැසි වැසීම සදහට ම නැවතී යනු ඇත.

4. අල්ලාහ් හා අල්ලාහ්ගේ රසූල් වරයා (ධර්ම දුතයා) සමග ඇති ප්‍රතිඥා හා ගිවිසුක් කඩ කරන තත්ත්වය ඇති වූ විට එසේ කරන්නන් ට එරෙහිව අල්ලාහ් විසින් සතුරෙකු එවා ඔවුන්ට අයත් වස්තුව බලෙන් උදුරා ගැනීමේ තත්ත්වයක් ඇති කර වනු ඇත.

5. (ඉස්ලාමීය) පාලකයින් අල්ලාහ්ගේ ග්‍රන්ථය (අල් කුර්ආනය) අනුව තම පාලන කටයුතු නොකරන තත්ත්වයක් ඇති වූ විට ඔවුන් කණ්ඩායම් වශයෙන් බෙදී එකිනෙකා සමග ගැටුම් ඇති කර ගනු ඇත’.

සමාප්තිය

මහා කාරුණික අති උතුම් අල්ලාහ්ගේ දැනුම් දීම පරිදි නබි තුමාණන් විසින් අප හට දන්වා සිටින ලද ඉහත කරුණු පිළිබඳ ව අප ක්‍රියා කළ යුත්තේ කෙලෙස ද? සත්‍යය වශයෙන් ම මෙම අවවාදාත්මක කරුණු පිළිබඳ නිවැරදි අවබෝධයකින් යුක්ත ව එවන් තත්ත්වයන්ගෙන් මිදී අල්ලාහ්ගේ තෘප්තියට හේතු වන ජීවිතයක් සකසා ගැනීම අප වෙත පැවරී ඇති වගකීම ලෙස දකින්නෙමු. මෙම දුර්වලතාවන්ගෙන් උම්මතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍යය සියලු කරුණු පිළිබඳ නිවැරදි දැක්මකින් යුක්ත ව අප කටයුතු කළ යුතු ව තිබේ. සැවොම මේ පිළිබඳ ව දැනුවත් කොට සැවොම මෙ තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළක් වහ වහා ක්‍රියාත්මක කළ යුතු ව ඇත. පටු මත වෙනස්කම් ඉවත ලා අප සැවොම අල්ලාහ් විසින් අපට ලබා දී ඇති එකමුතුවේ රන් දම්වැල දැඩි ව ග්‍රහණය කර ගනිමින් ඉස්ලාමයේ ධජය ඉහළට ම ඔසවන්නට අප සැමගේ දෑත් එකට එකතු කොට අධිෂ්ඨානශීලී ඉදිරි ගමනකට සුදානම් වෙමු.

By: Ibnu Mansoor

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.