මනුෂ්‍ය ජීවිතයේ අරමුණ කුමක් ද? 

‘ජීවිතය’ යන්නෙන් අදහස් වන්නේ කුමක් දැයි ප්‍රශ්න කළ විට විවිධ අයගෙන් විවිධ ආකාරයේ පිළිතුරු ලැබිය හැක. උපතේ සිට මරණය දක්වාවූ කාල පරිච්ඡේදය ‘ජීවිතය’ ලෙස දැකීම එක් අතකින් නිවැරදි අදහසක් ලෙස පිළිගත හැක. ළදරු හා ළමාවිය මේ අතුරින් වයස අවුරුදු දහය දක්වා වෙයි. වයස දහයෙන් පමණ නව යොවුන් විය ආරම්භ වී තරුණ, මැදිවිය හා වයෝවෘධත්වය දක්වා ජීවිතය දික්වෙයි. මේ අතර තුර ජීවිතයේ අවසානය කෙදිනක කෙසේ කොතැනදී සිදු වෙයිද යන්න මිනිසා නොදන්නා කරුණකි.

නවයොවුන් වියෙන් ආරම්භවන වගකීම් සහිත ජීවිතය පිළිබඳ ව මිනිසා විවිධ අරමුණු ඇතිකර ගනී. මෙම අරමුණු මිනිසා ජීවත් වන මෙම ලෝකය පිළිබඳ ව ඇතිකර ගන්නා දැක්ම මත බොහෝ විට පදනම් වෙයි. මෙය මිනිසාගේ ලෝක දෘෂ්ටිය (World View) ලෙස දැක්විය හැක. ඔබට පෙර විසු අනේක සංඛ්‍යාත ජනයාගේ සිත් හි මෙන් ඔබගේ සිතෙහි ද මෙවන් ප්‍රශ්න මතු වූ වාර බොහෝ විය හැක. මා කවරෙක් ද? මා කොහි සිට පැමිණියේ ද? මිහිතලය ඇතුළු මුළු මහත් විශ්වයම බිහිවූයේ කෙලෙස ද? මිහිතලය මත මා කරමින් සිටින්නේ කුමක් ද? මගේ සිතැඟි පරිදි මට කටයුතු කළ හැකි ද? මිහිතලයෙන් සමුගත් පසු මා යන්නේ කොතැනකට ද? මෙම ප්‍රශ්න සියල්ල මිනිසාගේ ජීවිතය හා එහි අරමුණු පිළිබඳ ව යි. ඉහත ප්‍රශ්නවලට ඔබ දෙන පිළිතුරු අනුව ඔබගේ ලෝක දෘෂ්ටිය හෙළිදරවු වෙයි. ලෝක දෘෂ්ටිය යනු මිනිසා ලෝකය දකින හා විග්‍රහ කරන අයුරු මෙන්ම එහි ඔහුගේ භූමිකාව හෙළිදරවු කිරීමයි. ඔබගේ ලෝක දෘෂ්ටිය ඔබගේ සිතුම් රටාවට පමණක් නොව, ඔබගේ ක්‍රියාකලාපයට ද බලපෑම් කරයි. ඔබගේ ලෝක දෘෂ්ටිය ඔබගේ ජීවිතයේ අගයන් තීන්දු කිරීමට ද බලපායි.

මිනිසෙකු වශයෙන් ඉපදී සිටින අප සැමට සුවිශේෂී වූ වගකීම් කිහිපයක් ඇත. එනම් අප මෙලොවට පැමිණියේ කොහේ සිට ද? අපගේ ජීවිතයේ අරමුණ කුමක් ද? අපගේ මරණින් මතුවට සිදුවන්නේ කුමක් ද? මෙවන් ප්‍රශ්න රාශියක් පිළිබඳ මිනිසා නිවැරදි අයුරින් දැනුවත් වීම අත්‍යාවශ්‍ය වෙයි. මේ සියල්ලට පිළිතුරු අපගේ ශාස්තෘවරයා විසින් සොයාගෙන තිබෙනවා යැ’යි ඔබ පැවසීමට ඉඩ ඇත. එවන් පිළිතුරක් දීමෙන් පමණක් අපට සෑහීමට පත්විය හැකි ද? මන්දයත් ඒ සෑම ශාස්තෘවරයෙකු ම අප වැනි මිනිසුන් බැවින් ඔවුන් විසින් පවසා ඇති සියල්ල නිවැරදි ද? නිවැරදි අයුරින් පවසා සිටියද එම වදන් සියල්ල වර්තමානයේ ශාස්තෘවරයා පැවසු අයුරින් ම සුරක්ෂිතව තිබේ ද? මෙවන් ප්‍රශ්න අපගේ චින්තනයේ නිරතුරුව මතුවනු නිසැකය. මේ සියල්ල ගැන සිය බුද්ධියෙන් විචාරා ජීවිතයේ යථාර්ථය සොයන්නට වෙහෙසෙන්නා යනු ගලා බසිනාවූ ගඟක උඩුගං බලා පිහිනා යන්නෙකු මෙනි.\

මානවයාගේ දීර්ඝ ඉතිහාසය තුළ විශ්වය පිළිබඳ විවිධ විග්‍රහයන් ඉදිරිපත් කොට ඇත. විශ්වය සදාතනික ද? එයට ආරම්භයක් තිබේ ද? ආරම්භයක් තිබේ නම් එයට හේතු වූ සාධක මොනවා ද? එහි මිනිසාගේ භූමිකාව කුමක් ද? ඇතැමුන් විශ්වය නපුරු, දුෂ්ට හා අභද්‍ර බලවේගයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුත් ගුප්ත හා අභිරහස් ස්ථානයක් ලෙස දකිති. එවන් ලෝක දෘෂ්ටියක් ඇත්තවුන්ගේ ජීවිත මිත්‍යා, අන්ධ හා අවිචාරවත් විශ්වාසයන්ගෙන් හා බියෙන් යුක්තවුවක් බවට කිසිදු සැකයක් නැත.

තවත් පිරිසක් ලෝකය, ප්‍රභාසම්පන්න, ප්‍රීතිසහගත, අලංකාර හා ඉසුරුමත් තැනක් ලෙස දකිති. මෙම ලෝකය බිහිවූයේ කෙසේ ද? එයට කුමක් සිදුවන්නට යන්නේ ද? මිහිතලය මත ජීවිතයේ අපේක්ෂිත අරමුණු කුමක් ද? මෙවන් ප්‍රශ්න පිළිබඳ තැකීමක් ඔහුගේ චින්තනයේ නොමැත. ජීවිතයේ උපරිම වින්දනය බුක්ති විඳීම ඔවුන්ගේ සන්තුෂ්ටිය බවට පත් ව ඇත. කාලා බීලා ජොලිකරලා කාලය ගත කිරීම ඔවුන්ගේ ජීවිතය බවට පත් ව ඇත. ජීවිතය හා මරණය පිළිබඳ ඔවුන්ට මතක් කොට දුන් විට, අප ජීවත් වී මිය යනවා. එය කාලයාගේ තීන්දුවක් පමණි’ එයින් ඔබ්බට කිසිවක් නොමැත. මෙවන් ලෝක දෘෂ්ටියක් ද අප සමාජයේ සීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතී.

තවත් පිරිසක් ලෝකය, යහකම හා අයහකම, ආලෝකය හා අන්ධකාරය, ධනාත්මක හා සෘණාත්මකත්වය අතර යුද පිටියක් ලෙස දකිති. උදාහරණයකට චීන ප්‍රජාව අතර ‘යින්’ හා ‘යැන්ග්’ යනුවෙන් සංකල්පයක් ඇත. ‘යැන්ග්’ යන්නෙන් ආලෝකය, උණුසුම සහ යහකම අර්ථවත් වෙයි. ‘යින්’ යනු අන්ධකාරය, සීතල, තෙතමනය හා අයහපත යන අරුත් ගෙනහැර දක්වයි. පුරාණත ඉරානී ය ‘සොරොස්ට්‍රියන්’ දහමේ ඉගැන්වීම් අනුව යහකමේ ශක්තිය වූ ‘අහුරා මස්ඩා’ ලොවේ පාලනය උදෙසා අයහකමේ බලය වූ ‘අන්ග්රා මයින්යු’ සමග නිරතුරු ව සටනක යෙදී සිටියි.
තවත් පිරිසක් ඔවුන්ගේ ලෝක දෘෂ්ටිය දහමක් පදනම් කරගෙන සකසා ගනිති. දහම් අතරේ ද විවිධ ආකාරයේ වෙනස්කම් දක්නට ඇත. ඇතැම් දහම් විශ්වයට හා ජීවීන්ට ආරම්භයක් නොමැති බවත් එය මනුෂ්‍ය චින්තනයේ සීමාවන්ගෙන් ඔබ්බට වූ කරුණක් බවත් දන්වා සිටිති. මෙම ඉගැන්වීම් අනුව මිනිසා ඇතුළු අනෙකුත් ජීවීන්, භෞතික දෑ හා තමන් පයගසා ජීවත්වන මිහිතලය ඇතුළු විශ්වය පිළිබඳ නිවැරදි හා විද්‍යාත්මක විග්‍රහයක් හා පිළිතුරක් දීම පැහැර හැරීමක් දක්නට ඇත. භෞතික ලෝකය පිළිබඳ නිවැරදි විග්‍රහයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති ඉගැන්වීම් තුළ මිනිසාගේ මිහිපිට ජීවිතයේ අරමුණ, මරණින් මතු ජීවිතය හා අනෙකුත් පාරභෞතික කරුණු පිළිබඳ නිවැරදි කරුණු ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද යන්න ප්‍රශ්නාර්ථයක් බව අපට පිළිගැනීමට සිදුවෙයි.

ලෝක ජනගහනයෙන් අති මහත් පිරිසක් පිළිගන්නා හා අනුගමනය කරන දහම් අනුව විශ්වය නිර්මාණය කරන ලද්දක් බවත් විශ්වයෙන් පරිබාහිර වූ නිර්මාතෘ කෙනකු හෙවත් විශ්ව අධිපතියෙකු සිටිනා බවත් විශ්වාස කරති. මෙම විශ්ව අධිපති පිළිබඳ විශ්වාසය ද දහමින් දහමට යම් වෙනස්කම් වලින් යුක්ත බව දැකිය හැක. ඇතැම් දහම් මෙම විශ්ව අධිපති ඒකීය බවත් මෙම විශ්ව අධිපති හට පරිපුර්ණ බලය හා ශක්තිය ඇති බවත් එම බලය හා ශක්තිය පිළිබඳ අන් කිසිවෙකුට කිසිදු ආකාරයක කොටසක් හෝ හවුලක් නොමැති බවත් විශ්වාස කරති. තවත් පිරිසක් මෙම විශ්ව අධිපතියාණන් හට සමානයන් හා හවුල් කරුවන් තබමින් තමන්ගේ ලෝක දෘෂ්ටිය සකස් කරගෙන කටයුතු කරති.

වත්මන් සමාජයේ දකින්නට ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මිනිස් ප්‍රජාවේ සැලකිය යුතු ප්‍රමාණයක් දහම් අනුගමනයෙන් දුරස්ථවන ප්‍රවනතාවකි. නිර්මාතෘ දෙවිකෙනෙකු පිළිබඳ මතය මිනිස් චින්තනයේ නිර්මාණයක් පමණක් බව ඇතැමුන් සිතති. මිනිසාට වඩාත් සුදුසු කුමක් ද යන්න පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ හැකියාව හා අයිතිය ඔහු සතු බවය. ඔවුන් තමන් ව අදේවවාදීන් (Atheist), යැයි හඳුන්වා ගනිති. මෙවන් විවිධ වූ ලෝක දෘෂ්ටීන් සහිතව ජීවත්වන මිනිස් ප්‍රජාව වෙත ඔවුන්ගේ ජීවිතයේ සැබෑ අරමුණ සාකච්ඡා කිරීම මෙම ලිපියෙන් අදහස් කළෙමු. පුර්ව නිගමනයන්ගෙන් තොරව, විචාරය හා බුද්ධිය පදනම් කරගෙන විවෘත වූ මනසකින් මෙම සාකච්ඡාවට එක්වන ලෙස නැවත වරක් කාරුණිකව ආරාධනා කරන්නෙමු.

අප මෙලොවට පැමිණියේ මෙයට පෙර වූ භවයකින් ද? එසේත් නොමැති නම් පරිණාමවාදී මතය අනුව වූ ස්වභාවික අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් හේතුවෙන් ද? විශ්වය ඇතුළු සියළු දෑ නිර්මාණය කළ නිර්මාතෘ කෙනෙකු විසින් මිනිසා නිර්මාණය කරණ ලද්දේද? මේ පිළිබඳ ව ඉතා සංක්ෂිප්ත අයුරින් කරුණු කිහිපයක් පහතින් ඉදිරපත් කොට ඇත්තෙමු.
විශ්වයට ආරම්භයක් ඇති බව නුතන විද්‍යාව පවසයි. විශ්වයට ආරම්භයක් තිබේ නම් ආරම්භයක් ඇති සියල්ලට හේතුවක් තිබිය යුතුය. විශ්වය ආරම්භයක් ඇති එකක් නම් ආරම්භවීමට පෙර විශ්වය නොමැති තත්ත්වයක් තිබිය යුතු නේද? එවිට තිබිය හැක්කේ කුමක් ද? විශ්වය හා එහි අඩංගු සියල්ල බිහි කළ අසමසම ශක්තිය බව පිළිගැනීමට කිසිවෙකුට අපහසුවක් තිබිය නොහැක. විශ්වය බිහිවූයේ මහා පිපිරුමකින් බව නුතන විද්‍යාව පවසයි. එය එසේ නොව විශ්වයේ බිහිවීම අහඹු සිදුවීමක් බව පවසන පිරිස ද දකින්නට ඇත. පිපුරුමක් සිදුවීම දැකීමේ අවස්ථාව අප සැමට ලැබී ඇතැයි විශ්වාස කරන්නෙමු. පිපුරමකින් පසු විද්‍යාඥයින්ව ම විස්මයට පත් කරවන ආකාරයේ භෞතික සිද්ධාන්තයන් සහිත අති සියුම් හා සුක්ෂම සැලසුමක් ඇති වීම යමෙකුට සිහිනෙකින්වත් සිතා ගැනීමට හැක්කක් නොවේ. පිපුරුමක් ඇති වූ තැනක දැකිය හැකි වන්නේ ව්‍යාකුලත්වය හා විනාශය පමණි. පිපුරුමක් මගින් මිහිතලය මත සියලු ජීවීන් ඇති වූ බව ඉදිරිපත් කරන තර්කය පිළිබඳ ඇති විද්වත් මත කිහිපයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවන්නට කැමැත්තෙමු.

“පිපුරමකින් පසු ජීවයේ ආරම්භය සිදු වීමට හැකි සම්භාවිතාව මුද්‍රණාලයක සිදු වූ පිපුරමකින් පසු අසංක්ෂිප්ත ශබ්දකෝෂයක් නිරායාසයෙන් බිහිවීම හා සමානය”. (Dr. B. G. Ranganathan – ‘Origins?’ Page 15).
මෙය ඕනෑම සරල ජීවයක් ඇති වීමට හැකි තත්ත්වය ගැන ඇති සඳහනකි. ඉතා සංකීර්ණ හා විවිධත්වයෙන් යුත් ජීවී ප්‍රභේද ගැන මේ අනුව පැවසිය හැක්කේ කුමක් ද යන්න පිළිබඳ ව කරුණාකර මොහොතක් සිතා බලන්න.
තාරකා විද්‍යාඥ හා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රෙඩ් හොයිල් මහාතාගේ අදහස් වලට අවධානය යොමු කරමු. “සංකීර්ණ හා උසස් ජීවීන් මෙලෙස අහඹුවෙන් ඇති වුවා යැයි පැවසීම මහා චණ්ඩ මාරුතයක් අබලි හා සුන්බුන් අංගනයක් හරහා හමා ගොස් එහි තිබු ද්‍රව්‍ය මගින් බෝයිං 747 ගුවන් යානයක් සෑදුණා යැයි පැවසීම හා සමානය”. (‘Nature’, Vol. 294, Nov. 12, 1981, ‘Hoyle on Evolution’ Page 105).

මෙහි කලල විද්‍යාවට අදාළ වැදගත් තොරතුරු අල් කුර්ආනයේ වැකි සමග සැසඳීමක් කරමින් කරුණු ඉදිරිපත් කරන්නට අපහසු වි ඇත්තේ මෙම ලිපියේ ප්‍රමාණය සිමා කරන්නට සිදු වි ඇති හෙයිනි. එහෙයින් ලොව පිළිගත් ප්‍රධාන පෙළේ කලල විද්‍යාඥයින් අල් කුර්ආනයේ ඉගැන්වීම් තුල ගැබ්වී ඇති කලල විද්‍යාත්මක තොරතුරු සසඳා දැක්වූ මත පළමු ව ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. දැනට ලොව ප්‍රධාන පෙළේ වෛද්‍ය විද්‍යාලයන්හි නාරිවේදය පශ්චාත් උපාධිය හදාරණ සිසුන් කලල විද්‍යාව හැදැරිම සඳහා උපයෝගි කර ගන්නේ කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කීත් මුවර් (Keith Moore) විසින් ලියන ලද “The Developing Human” යන ග්‍රන්ථයයි. එතුමාගේ එක් ප්‍රකාශනයක් “This is the Truth” යන ග්‍රන්ථයෙන් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. එතුමාගේ මෙම ප්‍රකාශනයන් අඩංගු දේශනයට අන්තර් ජාලයේ youtube.com වෙබ් අඩවිය මගින් ද ඔබට සවන් දිමට හැකිය. එහි සංක්ෂිප්ත විස්තරයක් පහතින් දක්වා ඇත්තෙමු.

“අප විසින් කලල විද්‍යාව අනුව අල් කුර්ආනයේ හා නබිවරයාගේ වදන් වල සඳහන් කරුණු ගැන මහාචාර්ය මුවර්ගේ විශ්ලේෂණාත්මක අදහස් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි විට මෙම තොරතුරු සොයා බැලූ එතුමා පුදුමයෙනුත් පුදුමයට පත් විය. පසුගිය දශක තුන ඇතුළත විද්‍යාඥයින් විසින් කලලය හා කලලයේ වර්ධන අවධින් සම්බන්ධ ව සොයා ගත් කරුණු මෙතරම් සවිස්තරාත්මක ව හා පුර්ණ නිරවද්‍යතාවකින් යුක්ත ව ශත වර්ෂ 14 කට පෙර මුහම්මද් තුමා විසින් හෙළිදරව් කර ඇත්තේ කෙසේ ද කියා සිතා ඔහු අතිශයින් මවිතයට පත් විය. 1981 දි සෞදි අරාබියේ දමාම් නගරයේ පවත්වන ලද හත් වන වෛද්‍ය සම්මන්ත්‍රණයේ දි මහාචාර්ය මුවර් මෙසේ පැවසිය. “මනුෂ්‍ය වර්ධනය සම්බන්ධයෙන් අල් කුර්ආනයේ අඩංගු කරුණු පිළිබඳ ව පැහැදිලි කිරීමක් කරන්නට අවස්ථාවක් ලැබීම ගැන අතිශයින් සතුට ට පත් වෙමි. මෙම විස්තර මුහම්මද් තුමාට ලැබී ඇත්තේ දෙවිඳුන්ගෙන්ම බව මට ඉතාමත්ම හොඳින් පැහැදිලිය. මෙයට ප්‍රධාන හේතුව මෙම දැනුම මනුෂ්‍ය වර්ගයා තම පර්යේෂණ මගින් දැන ගන්නේ එතුමාට ශත වර්ෂ කිහිපයකට පසුවයි. මේ අනුව මුහම්මද් තුමා නිසැකවම හා නියත වශයෙන්ම දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨ නියෝජිතයෙක් බව ඉතා මනා සේ ඔප්පු වන්නේය”.

මිනිසාගේ නිර්මාණය පිළිබඳ ව එනම් ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංශ්ලේෂණය වීමෙන් හටගන්නා වු (යුක්තානුවේ) කලලයේ වර්ධනය පිළිබඳ ව අල් කුර්ආනය අවුරුදු 1400 කට පෙර විද්‍යාඥයින් විසින් දශක කිහිපයකට පමණක් පෙර සොයා ගත්තා වූ කරුණු ඉතා සවිස්තරාත්මක ව හා පුර්ණ නිරවද්‍යතාවයකින් යුක්ත ව ඉදිරිපත් කිරීමට හැකි නම් පළමු මිනිසාගේ හා ස්ත්‍රියගේ නිර්මාණය පිළිබඳ ව අල් කුර්ආනයේ සඳහන් කර ඇති කරුණු සත්‍යය බව අපට පිළිගන්නට සිදු වෙනවා නොවේ ද?

“මනුෂ්‍යයිනි, සැබැවින්ම අපි ඔබ ව එක් පුරුෂයෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. එකිනෙකා හඳුනා ගැනිම පිණිස ඔබ ව ජාතින් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. (එබැවින් ඔබගෙන් කෙනෙකු තවත් කෙනෙකුට වඩා උසස් යැයි උඩඟු විමට කිසිවක් නැත. එහෙත්) ඔබ ගෙන් කවුරුන් ඉතාමත් බිය බැතියන් ව සිටින්නේද ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියසෙහි ඉතාමත් ගෞරවනීය තැනැත්තෙකි. ඇත්තෙන්ම අල්ලාහ් සර්වඥානි හා සියල්ල දැනුවත්ව ද සිටින්නේය”. (අල්කුර්ආනය 49:13).

මේ අනුව විශ්වයේ හා එහි අඩංගු සියල්ල නිර්මාණය කළ මහා කාරුණික අල්ලාහ් විසින් මිනිසාට දී ඇති මිනිස් ජීවිතයේ අරමුණ අමතක කොට අපට ජීවත් වීමට හැකි ද? අදෘශ්‍ය නිර්මාණයක් වූ ‘ජින්’ නම් පිරිස හා මිනිසා නිර්මාණය කොට ඇත්තේ නිශ්චිත අරමුණක් සඳහාය. ඒ බව අවසන් සිව්‍යමය මඟ පෙන්වීම වූ අල් කුර්ආනය පවසන දෑ කුමක් ද යන්න පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී එය අපට ඉතාම පැහැදිලි අයුරින් දැකිය හැක. සත්ව ලෝකයේ අනෙකුත් සත්වයින් තමන්ට ජන්මයෙන් උරුම සැලැස්ම අනුව ජීවත් වී මිය යෑම හැරෙන්නට අන් කිසිවක් නොමැත. අල් කුර්ආනය වෙත අපගේ අවධානය යොමු කරමු.

“ජින් හා මනුෂ්‍ය වර්ගයා මා නැමදුම් කිරීමට මිස නොමැව්වෙමි.” (අල් කුර්ආන් 51:56).

මෙම අල් කුර්ආන් වැකියේ ඉතා ගැඹුරු අරුතක් ගැබ්වී ඇත. නැමදුම් කිරීම යනු මහා කාරුණික අල්ලාහ් විසින් මනුෂ්‍යය වර්ගයාට දී ඇති සලාතය වැනි නිශ්චිත නැමදුම් පමණක් ඉටු කිරීමට සීමා වන්නක් නොවේ. මිනිස් ජීවිතයේ අරමුණ විය යුත්තේ මහා කාරුණික අල්ලාහ් විසින් මිනිසාට අල් කුර්ආනය මගින් හා මනුෂ්‍ය වර්ගයා අතුරින් පත් කළ අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් විසින් කිරීමට දිරි ගන්වා ඇති දෑ කිරීමත් වැළකෙන ලෙස දන්වා ඇති සියල්ලෙන් වැළකී සිටීමත් ය. මේ අනුව මිනිස් ජීවිතයේ නිවැරදි අරමුණ අවබෝධ කර ගනිමු. ඒ අනුව ජීවත් වීමට කටයුතු කොට මෙලොව හා මරණින් පසු අවසනක් නොමැති ජීවිතයේ ජය ලබන්නට අදිටන් කර ගනිමු.

By: Ibnu Mansoor

www.yayuthumaga.com

One comment

Leave a Reply

Your email address will not be published.