මළවුන්ගෙන් උපකාර අයැදීම ඉස්ලාමයේ අනුමත ද?

දෙවිඳුන් විසින් පළමු මිනිසා වූ ආදම් තුමාව (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය ඇති වේවා) නිර්මාණය කිරීමෙන් පසු එක් මූලික පණිවිඩයක් නිරතුරුව මනුෂ්‍ය වර්ගයා වෙත පහළ කරන ලදී. මෙම පණිවිඩය වෙත ආරාධනා කිරීම පිණිස කාලයෙන් කාලයට විවිධ ධර්ම දුතයින් ව පත් කරන ලදී. ආදම්, නුහ්, ඉබ්‍රාහිම්, මුසා, ඊසා හා මුහම්මද් (මේ සැවොම වෙත මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) මෙම ධර්ම දූතයින් අතර ප්‍රධාන තැනක් ගන්නා අතර එම මූලික පණිවිඩයේ සාරාංශය පහතින් දක්වා ඇත්තෙමු.

 සත්‍යය දෙවිඳුන් වූ අල්ලාහ් ඒකීය ය

 ඔහුගේ ශක්තියෙහි, බලයෙහි හෝ ගුණාංගයන් හි අන් කිසිදු සහකරුවෙකු හෝ කොටස් කරුවෙකු හෝ නොමැත

 ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙකු නොමැත

 නැමදුමට ඔහු හැර අන් කිසිවෙකු නොමැත

 මෙලොව මතුලොව ජයග්‍රහණය උදෙසා සත්‍යය දෙවිඳුන් ව විශ්වාස කොට ඔහු විසින් මිනිසුන් අතුරින් තෝරාගත් ඔහුගේ ධර්ම දූතයන් මඟින් දෙනු ලැබූ මඟ පෙන්වීම අනුව මිනිස් ජීවිතය සකස් කර ගත යුතුය.

ඉහත පණිවිඩය අනුව ජීවිතය සකස් කර ගැනීම ‘ඉස්ලාමය’ නොහොත් දෙවිඳුන්ට අවනත වී සාමය අත්කර ගැනීම ලෙස දක්වනු ලැබේ. මෙම පණිවිඩය හා අනෙකුත් මඟ පෙන්වීම් ජනයාට ලබාදීම පිණිස සත්‍යය දෙවිඳුන් විසින් කලින් කලට ජනයා අතුරින් තෝරාගත් ධර්ම දුතයින් ව පත් කරන ලදී. එම ධර්ම දුතයින්ගෙන් අපේක්ෂිත වගකීම් කිහිපයක් පහතින් සංක්ෂිප්තව දක්වා ඇත්තෙමු.

1) සත්‍යය දෙවිඳුන් විසින් ලබා දෙන්නාවූ මඟ පෙන්වීම් ජනයා වෙත ලබා දී ඒවා පිළිපැදීමට දිරි ගැන්වීම

2) දෙවිඳුන්ගේ ඒකීයත්වය පිළිබඳ ජනයා වෙත කරුණු පහදා දීම

3) තම ජනයා වෙත පරමාදර්ශී චරිතයක් වීම

4) දෙවිඳුන් පිළිබඳ ව බියබැතිමත්කමින් යුක්තව දෙවිඳුන් ලබා දී ඇති මඟ පෙන්වීම් අනුව ජීවිතය සකස් කර ගැනීමට ජනයාට උපදෙස් දීම

5) තම ජනයා ව ඉස්ලාමීය වත්පිළිවෙත් හා ඉස්ලාමීය සාරධර්ම පිළිබඳ දැනුවත් කිරීම

6) දෙවිඳුන් ලබා දී ඇති නිවැරදි මඟ පෙන්වීමෙන් බැහැරව කටයුතු කරන්නන්, විශ්වයේ අධිපති ඒකීය සත්‍යය දෙවිඳුන් හැර අනෙකුත් මිත්‍යා දෙවිවරු හා ප්‍රතිමා වෘක්ෂ වැනි භෞතික දැයට නමදුම් කරන්නන් වෙත සත්‍යය පහදා දී නිවැරදි මඟට ආරාධනා කිරීම

7) මිනිසාගේ මරණින් මතු ජීවිතය, විනිශ්චය දිනය, අපාය හා ස්වර්ගය වැනි කරුණු පිළිබඳ සත්‍යය පහදා දීම
සත්‍යය වූ මහා කාරුණික දෙවිඳුන් විසින් මුළුමහත් මනුෂ්‍ය වර්ගයාටම ලොව අවසන් දිනය දක්වා වලංගු අවසාන දිව්‍යමය මාර්ගෝපදේශකත්වය ලබා දීම සඳහා තෝරාගනු ලබන්නේ මුහම්මද් තුමාණන් ව ය (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා). එතුමා බිහිවූ කාල පරිච්ඡේදය නම් කොට ඇත්තේ නොදැනුවත්කමේ කාල පරිච්ඡේදය (අයියාමුල් ජාහිලිය්යා) ලෙසය. එම ජනසමාජයේ ක්‍රියාත්මක වෙමින් තිබු ආගමික වත්පිළිවෙත් අනුගමනය කළවුන් ව හඳුන්වා දී ඇත්තේ දෙවිඳුන්ට සමානයන් තබන්නන් (මුෂ්රිකීන්) ලෙසය. අවාසනාවට මෙම ආරම්භක මුෂ්රිකීන් සමාජයේ, එනම් අයියාමුල් ජාහිලිය්යා යුගයේ පැවති ඇතැම් ආගමික වත්පිළිවෙත් වර්තමාන මුස්ලිම් සමාජයේ පිළිගත් ක්‍රියාකාරකම් ලෙස ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් පවතී.

මහා කාරුණික අල්ලාහ්ගේ ප්‍රතික්ෂේපයට ලක්වන මෙම වැරදි ප්‍රතිපදා හඳුනාගෙන ඒවා පිළිබඳ ඔවුන්ව දැනුවත් කොට අල්ලාහ්ගේ අනුමැතිය ඇති මුහම්මද් තුමාණන් (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) විසින් පෙන්වා දී ඇති නිවැරදි පිළිවෙත් අනුගමනය කිරීමට දිරිමත් කිරීම අපගේ වගකීමක් වෙයි. මුස්ලිම්වරුන් හැටියට නොදැනුවත්කමේ යුගයේ එනම් අයියාමුල් ජාහිලිය්යා යුගයේ පිළිවෙත් පිළිපදින්නට වුවනාවෙන් ම අපි කිසිවෙකු ඉදිරිපත් වේ යැයි සිතිය නොහැක.

අල් කුර්ආනයේ ඉගැන්වීම් අනුව අයියාමුල් ජාහිලිය්යා යුගයේ මුෂ්රිකීන් වරුන් අල්ලාහ් ව විශ්වාස කොට ඇත. පහත සඳහන් අල් කුර්ආන් වැකි අපට දන්වා සිටින පරිදි මෙම මුෂ්රිකීන් වරුන් අල්ලාහ් ව උත්තරීතර පරමාධිපති ලෙසත් විශ්වය හා එහි අන්තර්ගත සියල්ල මවා පාලනය කරන්නා හැටියටත් සියලු ජීවාධාර සපයන්නා හැටියටත් විශ්වාස කොට ඇත.

“අහස් හා මිහිතලය මවා හිරු හා සඳු තම වසඟයේ තබා සිටින්නේ කවුරුන්දැයි නුඹ ඔවුන්ගෙන් විමසුවෙහි නම් සැබැවින්ම ඔවුන් ‘අල්ලාහ්’ යැයි පවසති. එසේ නම් ඔවුන් වෙනතකට යොමු කරවනු ලබනුයේ කෙසේද?” (අල් කුර්ආන් 29:61)

“අහසින් ජලය පහළ කොට එමගින් මිහිතලය එය මළ පසු ජීවමාන කරනුයේ කවුරුන්දැයි නුඹ ඔවුන්ගෙන් විමසුවෙහි නම් සැබැවින්ම ඔවුන් ‘අල්ලාහ්’ ම යැයි පවසති. (නබිවරය) ‘අල්ලාහ්ට ම ය සියලු පැසසුම්’ යැයි පවසවූ. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) අවබෝධ කර නොගනිති”. (අල් කුර්ආන් 29:63)

“අහසින් හා පොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරුන් ද? ශ්‍රවණය හා දෘෂ්ටිය සතු වන්නේ කාහට ද? මළ දැයින් ජීවී දෑ මතු කොට ජීවී දැයින් මළ දෑ මතු කරන්නේ කවරෙකු ද? සියලු කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැ’යි (නබිවරය) නුඹ විමසනු. එවිට ‘අල්ලාහ්’ යැයි ඔවුන් පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත්ව කටයුතු කළ යුතු නොවේ දැ’යි නුඹ විමසනු”. (අල් කුර්ආන් 10:31)

“සියලු දෑහි පාලනයන් තම අතෙහි ඇත්තා කවුරුන්දැයි නුඹ විමසනු. තවද ඔහු තීන්දු කරයි. නමුත් ඔහු වෙත තීන්දු කරනු නොලැබේ. නුඹලා දැන සිටියාහු නම් ! (මේ සියල්ල) ‘අල්ලාහ්’ සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා (නොමග වෙත) වශී කරනු ලබනුයේ කෙසේදැ’යි නුඹ විමසනු”. (අල් කුර්ආන් 23: 88-89)

ඉහත අල් කුර්ආන් වැකි අපට ඉතා පැහැදිලි අයුරින් දන්වා සිටින පරිදි අයියාමුල් ජාහිලිය්යා යුගයේ ජනයාගේ විශ්වාසයේ හා අපගේ විශ්වාසය අතර කිසිදු වෙනසක් නොමැති බව පැහැදිලි වෙනවා නොවේ ද? මෙය සත්‍යය වශයෙන් ම අප සැවොම මවිතයට පත් කරවන්නක් නොවන්නේ ද? එසේ නම් ඔවුන් ව මුෂ්රිකීන් ලෙස හැඳින් වුයේ කිනම් හේතුන් නිසාද? ඔවුන්ගේ නිවැරදි විශ්වාසය ට අමතරව ඔවුන් අල්ලාහ් ව නැමදිය යුතු නිවැරදි අයුරින් නැමදුම් නොකොට මෙයට පෙර ජීවත් වූ යහ ධාර්මිෂ්ඨ මිනිසුන්ගේ පිළිරූ සාදා ඒවා මගින් අල්ලාහ්ගේ උපකාරය ඇයද සිටීම මෙයට ප්‍රධාන හේතුව බව පැහැදිලිව දකින්නට ඇත. මක්කාහ්වෙහි ඇති කහ්බා නමැති ශ්‍රේෂ්ඨ මස්ජිදය තුළ ලාත්, උස්සා, මනාත් යන නම්වලින් පෙර ජීවත් වූ යහ ධාර්මිෂ්ඨ මිනිසුන්ගේ පිළිරූ නිමවා ඒවාට විවිධ සත්කාර කරමින් සිටියහ. මහා කාරුණික අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨ ධර්ම දූතයන් වූ ඉබ්‍රාහිම් හා එතුමාගේ පුත් ඉස්මායිල් (මහා කාරුණික අල්ලාහ්ගේ ශාන්තිය එතුමන්ලා වෙත අත් වේවා) යන අයගේ පිළිම ද සාදා කහ්බා වෙහි තබා සත්කාර කරමින් සිටි බව සඳහන් වේ.

මහා කාරුණික අල්ලාහ් ව මෙන්ම අල්ලාහ්ගේ ගුණාංගයන් කෙරෙහි විශ්වාස කරමින් සිටි ජනයා ව ‘මුෂ්රිකීන්’ යැයි හැඳින් වීමට හේතු වූ කරුණු මොනවා ද? අල් කුර්ආනය මේ පිළිබඳ ව ද අපට නිවැරදි විග්‍රහයන් ලබා දෙයි.
“ඔවුහු අල්ලාහ් හැර ඔවුනට යහපත හෝ අයහපත හෝ සිදු නොකරන දැයට නැමදුම් කරති. ‘මොවුහු අල්ලාහ් වෙත අප වෙනුවෙන් මැදිහත් වන්නෝ වෙති’ යැයි ද පවසති. ‘අහස්හි හෝ මහපොළොවේ හෝ ඔහු නොදන්නා දෑ නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහු දැ’යි නුඹ අසනු. ඔහු සුපිවිතුරුය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය”. (අල් කුර්ආන් 10:18)

“දැන ගන්න, පරිශුද්ධ වූ මෙම ධර්මය අල්ලාහ්ට ම හිමිය. ඔහු හැර ආරක්ෂකයින් ගන්නා අය ‘අපි ඔවුන් නමදින්නේ ඔවුන් අප ව අල්ලාහ් වෙත සමීප කිරීමට මිස අන් කිසිවකට නොවේ’ (යැයි පවසති). සැබැවින් ම ඔවුන් කිනම් දෑ හි මතභේද ඇති කරගත්තේ ද, ඒ පිළිබඳ ව ඔවුන් අතර අල්ලාහ් විනිශ්චය කරන්නේය. සැබැවින් ම අල්ලාහ් අසත්‍යයවන්ත දැඩි ප්‍රතික්ෂේප කරන්නන් (කිසිවෙකු)ට යහ මඟ නොපෙන්වන්නේය”. (අල් කුර්ආන් 39:3)

ඉහත අල් කුර්ආන් මාර්ගෝපදේශයන් අපට හඬනගා පවසන්නේ කුමක් ද? සැබෑ විශ්වාසවන්ත ජන කොටසක් ව ‘මුෂ්රිකීන්’ ලෙස නම් කිරීමට ප්‍රධාන වශයෙන් ම හේතුවුයේ අල්ලාහ් සමග මැදිහත් කරුවන් ලෙසත් අල්ලාහ් වෙත තමන් ව සමීප කරවීම පිණිසත් ඔවුන් විසින් මියගිය යහ ධාර්මිෂ්ඨයින්ගේ උපකාරය පැතීමයි. මෙයත් සමග අපගේ වර්තමාන සමාජයේ ඇතැම් ක්‍රියාකාරකම් ‘ජාහිලිය්යා’ නොහොත් නොදැනුවත් සමාජයේ ජීවත් වූ ‘මුෂ්රිකීන්’ වරුන්ගේ ක්‍රියාකාරකම් හා සමවන ආකාරය පැහැදිලිව දකින්නට ඇත. මෙම සමාන්තර ක්‍රියාකාරකම් කුමන ආකාරයේ ආලේපන තැවරුවද එය ‘මුෂ්රිකීන්’ වරුන්ගේ ක්‍රියා බව ප්‍රතික්ෂේප කළ හැක්කේ කාහටද?

‘අව්ලියා’ වරුන් යැයි හඳුන්වන යහ ධාර්මිෂ්ඨයින් මිහිදන් කොට ඇති ස්ථානයන් හි පුජා ස්ථාන ගොඩනඟා වර්තමානයේ අප කරමින් සිටින්නේ ‘ජාහිලිය්යා’ සමාජයේ ජීවත් වූ ‘මුෂ්රිකීන්’ වරුන්ගේ ක්‍රියාකාරකම් නොවේ ද? ‘සියාරම්’ නමින් හැඳින්වෙන මෙම පුජා ස්ථානයන් කරා යන උදවිය ජාහිලිය්යා සමාජයේ මුෂ්රිකීන් මෙන් අල්ලාහ් වෙත මැදිහත් වී කටයුතු කිරීමට අයැදීම් කරති. අල්ලාහ් වෙත තමන් ව සමීප කරවීම පිණිස ද අයැදීම් කරති. මෙම ක්‍රියාව පිළිබඳ ව ජාහිලිය්යා සමාජය හා වර්තමානය අතර ඇති ප්‍රධානතම වෙනසක් නම් ඔවුන් මියගිය යහ ධාර්මිෂ්ඨයින්ගේ පිළිම හදා ඒ මගින් කටයුතු කිරීම හා වර්තමානයේ ඔවුන් ව මිහිදන් කොට ඇති ස්ථානයන් හි ‘සියාරම්’ නමින් පුජා ස්ථාන ඇති කොට කටයුතු කිරීමයි. මහා කාරුණික අල්ලාහ් විසින් රසූල්වරයෙකු පත්කොට එම සමාජයේ පැවති මෙම අති පිළිකුල් සහගත පාපයෙන් මුදවා ගැනීමට කටයුතු කොට ඇති අතර අවාසනාවට වර්තමානයේ අප සමාජයේ ඉස්ලාමයේ නාමයෙන් මෙවැනිම ජාහිලිය්යා සමාජයේ පැවති මුෂ්රිකීන් වරුන්ගේ ක්‍රියා පිළිබඳ ව උගතුන් වියතුන් මුණිවත රකිමින් කටයුතු කිරීම ඉතා වේදනාකාරී තත්ත්වයක් බවට පත් ව ඇත.

“……සැබෑ කරුණ නම් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවකු නොමැත.” (අල් කුර්ආන් 5:72)

“අබ්දල්ලාහ් (අල්ලාහ්ගේ තෘප්තිය ඔහු කෙරෙහි ඇතිවේවා) වාර්තා කොට ඇති පරිදි, මුහම්මද් තුමාණන් (අල්ලාහ්ගේ ශාන්තිය එතුමා කෙරෙහි ඇති වේවා) එක් ප්‍රකාශනයක් කළ අතර මා විසින් එම අර්ථයෙන් ම වෙනත් ප්‍රකාශනයක් කරන ලදී. “අල්ලාහ්ට ප්‍රතිවාදියෙකු ලෙස යමකට අයදිමින් අයෙකු මියයන්නේ ද ඔහු නිරයට ඇතුල් වෙයි’ යැයි මුහම්මද් තුමාණන් පැවසු අතර “අල්ලාහ්ට ප්‍රතිවාදියෙකු ලෙස කිසිවකට අයදින්නේ නොමැති ව අයෙකු මියයන්නේ ද ඔහු ස්වර්ගයට ඇතුළත් වෙයි” යැයි මා විසින් පවසන ලදී” (සහිහ් බුහාරි 6-4497)

අප සැමටම අවවාදයක් ලෙසින් මහා කාරුණික අල්ලාහ් විසින් මුහම්මද් තුමාණන්ට (අල්ලාහ්ගේ ශාන්තිය එතුමා කෙරෙහි ඇති වේවා) මෙම අති භයානක පාපය පිළිබඳ පහත සඳහන් අල් කුර්ආන් වැකියෙන් කරුණු පහදා දී ඇත.
“සැබවින් ම නුඹ වෙත ද නුඹට පෙර සිටියවුන් වෙත ද දේව පණිවිඩයක් පහළ කරනු ලැබීය. (එහි) නුඹ (අල්ලාහ්ට කිසිවක්) ආදේශ කළේ නම් නුඹගේ යහ ක්‍රියා නිෂ්ඵල වන්නේම ය. තවද නුඹ අලාභවන්තයින්ගෙන් කෙනෙකු වන්නේම ය”. (අල් කුර්ආන් 39.65)

“සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීමට සමාව නොදෙන්නේය. ඒ හැර (අනෙකුත්) දෑ ට ඔහු අභිමත අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් නොමඟට විය”. (අල් කුර්ආන් 4:116)

අපගේ පොදු විශ්වාසය වන්නේ ධාර්මිෂ්ඨ ලෙස මෙලොව ජීවිත ගත කළ බව පිළිගත් සැවොම මරණින් මතු තමන්ගේ ‘බර්සක්’ (මරණය හා විනිශ්චය දිනය අතර කාල පරිච්ඡේදය) කාලයේ උත්තරීරර ස්වර්ගයේ සිටින අතර ඔවුන්ට අපගේ ඇයැදීම් හා කන්නලව් සියල්ල ශ්‍රවණය කිරීමට හැකියාවක් ඇති බවය. සත්‍යය වශයෙන් ම මෙය ඉතා වැරදි විශ්වාසයකි. අපගේ මෙම වැරදි ක්‍රියාව මියගිය පිරිසට සැබැවින් ම අදෘශ්‍ය ගුප්ත (ගයිබ්) දෙයකි. අදෘශ්‍ය ගුප්ත දෑ හි පුර්ණ දැනුම මහා කාරුණික අල්ලාහ් පමණක් සතු බව අල් කුර්ආනය ඉතා පැහැදිලි අයුරින් සාක්ෂි දරයි. මුහම්මද් තුමාණන් වෙත පවා මෙම අදෘශ්‍ය ගුප්ත දෑ පිළිබඳ (ගයිබ්) දැනුම නොතිබූ බව පහතින් දක්වා ඇති අල් කුර්ආන් වැකි පැහැදිලි කරයි.

“අල්ලාහ් අභිමත කළේ නම් මිස මා වෙනුවෙන් යම් යහපතක් කිරීමට හෝ හානියක් කිරීමට හෝ මම බලය නොදරමි. ගුප්ත දෑ ගැන මා දැන ගන්නෙකු ව සිටියේ නම් මා යහපත අධික වශයෙන් කරගන්නට තිබුණි. තවද මට නපුරක් ඇති නොවනු ඇත. මා අවවාද කරන්නෙකු හා විශ්වාස කරන ජනයාට ශුභාරංචි දන්වන්නෙකු මිස නැත”. (අල් කුර්ආන් 7:188)

“ගුප්ත දෑ හි යතුරු ඔහු(අල්ලාහ්) සතු ව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නොදනියි. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනීයි. ශාකයක කොළයක් පවා ඔහුගේ දැනුමෙන් තොරව නොවැටෙයි. තවද මහපොළොවේ අන්ධකාරය තුළ ඇති බීජයේ තෙතමනය හෝ වියළිභාවය පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත”. (අල් කුර්ආන් 6:59)

“අල්ලාහ් හැර අහස් හි හා මිහිතලයෙහි කිසිවෙකු ගුප්ත දෑ පිළිබඳ ව නොදන්නේය. තමන් කවදා නැගිටුවනු ලබන්නේ දැයි ද ඔවුන් වටහා නොගන්නේ යැයි (නබිවරය) පවසවූ”. (අල් කුර්ආන් 27:65)

අපගේ පරම දයාබර මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) විවිධ අවස්ථාවන් හි අදෘශ්‍ය ගුප්ත දෑ පිළිබඳ සඳහන් කොට ඇත. මේ සියල්ල එතුමාණන්ගේ දැනුමෙන් පැවසු දෑ බව පිළිගැනීම සෘජුව ම අල් කුර්ආනයේ ඉගැන්වීම් සමග පරස්පරතාවක් ඇතිකර වන්නකි. එය එසේ සිදුවිය නොහැක. එතුමාණන් විසින් විවිධ අදෘශ්‍ය ගුප්ත දෑ පිළිබඳ සඳහන් කිරීම් කොට ඇත්තේ මහා කාරුණික අල්ලාහ්ගෙන් ලැබූ පණිවිඩ මත බව ඉතා පැහැදිලි කරුණකි.

ජාහිලිය්යා යුගයේ පිළිවෙත් අනුගමනය කරමින් කරන්නා වූ අපගේ කන්නලව් හා ඇයැදීම් සියල්ල මිහිදන් කොට ඇති ධාර්මිෂ්ඨ යහ අයට සැබැවින් ම අදෘශ්‍ය ගුප්ත දෑ ය. මේ බව අල්ලාහ්ගේ ග්‍රන්ථය අපට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරයි.
“ජීවමාන අය ද මළවුන් ද සම නොවන්නේය. සැබවින් ම අල්ලාහ් තමා අභිමත අයෙකුට ඇසෙන්නට සලස්වයි. තවද (නබිවරය) ඔබ මිනී වළවල් හි සිටින්නන්ට ඇසෙන්නට සලස්වන්නෙකු නොවන්නෙහි ය” (අල් කුර්ආන් 35:22)

“මළවුන්ට ඇසෙන්නට සැලැස්වීමට ඔබට නොහැකිය. ඇරයුමට පිටු පා දුවන බිහිරන්ට ඇසෙන්නට සැලැස්වීමට ද ඔබට නොහැකිය”. (අල් කුර්ආන් 27:80)

“නුඹලා ඔවුන්ගෙන් ප්‍රාර්ථනා කළේ නම් ඔවුන් නුඹලාගේ ප්‍රාර්ථනයට සවන් නොදෙන්නෝය. ඔවුන් සවන් දුන්නද නුඹලාට පිළිතුරු නොදෙන්නෝය. තවද (මළවුන් කෙරෙන්) නැගිටවනු ලබන දින නුඹලාගේ ආදේශයන් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නෝය. තවද අභිඥාන වන්තයා(අල්ලාහ්)මෙන් (අන් කිසිවෙකු) නුඹට නොදන්වන්නේය”. (අල් කුර්ආන් 35:14)

සහිහ් බුහාරි හදීස් ග්‍රන්ථයේ සඳහන් නබි වදනක් අනුව මුහම්මද් තුමාණන් මෙලොවින් සමුගත්තායින් පසු මිහිපිට සිදුවන දෑ පිළිබඳ දැනුමකින් නොසිටි බවත් ඉස්ලාමයේ මුලික ඉගැන්වීම් වලින් බැහැරව කටයුතු කළ එතුමාගේ පිරිසෙන් කිසිවෙකුවත් එතුමාට ආරක්ෂා කර ගැනීමට හැකියාවක් නොතිබූ බවත් ඉතා පැහැදිලි අයුරින් දක්වා ඇත.

“අස්මා බින්ත් අබුබකර් තුමිය (මහා කාරුණික අල්ලාහ්ගේ තෘප්තිය ඇය කෙරෙහි ඇතිවේවා) විසින් මුහම්මද් තුමාණන් පැවසු බව දන්වා සිටි පරිදි: “මා හවුද් අල් කෞසර් (ස්වර්ගයේ ඇති ජල තටාකයක්) අසල සිටිමින් නුඹලා අතුරින් කවුරුන් පැමිණෙන්නේ දැයි බලමින් සිටිනා විට ඇතැම් අයව මා වෙතින් ඉවතට රැගෙන යනු දකින්නට හැකි වනු ඇත. එවිට මා ‘පරමාධිපතියාණෙනි, ඔවුන් මාගේ පිරිසය, මාගේ අනුගාමිකයින් යැ’යි පවසනු ලබන අතර එවිට ‘ඔබෙන් පසු ඔවුන් කුමක් කළේ දැයි ඔබ දුටුවාද? ඔවුන් සත්‍යය දහමින් දුරස්ථ වූවන් බවට පත්වුහ යැ’යි මා වෙත දන්වා සිටිනු ලැබේ”. (සහිහ් බුහාරි)

මහා කාරුණික අල්ලාහ්ගේ අවසාන හා ප්‍රධානතම ධර්ම දුතයාණන්ගේ තත්ත්වය මෙය නම් ‘අව්ලියා’ යනුවෙන් ජන වහරේ හඳුන්වනු ලබන මියගිය ධාර්මිෂ්ඨ පුද්ගලයින්ගේ තත්ත්වය කෙබඳු එකක් විය හැකි දැයි කරුණාකර මොහොතක් සිතා බලන්න. මෙම ‘අව්ලියා’ වරුන් මියගියායින් පසු කෙලෙස නම් මෙලොව කටයුතු පිළිබඳ ව දැනුවත් විය හැකි ද? තවත් වැදගත් සිදුවීමක් දෙස අපගේ අවධානය යොමු කරමු. මූඃමින්වරුන්ගේ මව්තුමිය වූ ආයිෂා තුමිය පිළිබඳ ව අබ්දුල්ලාහ් බින් උබයි විසින් එතුමියගේ චරිතයට කැළලක් ඇතිවන පරිදි කටකතා පැතිර වූ අවස්ථාවේ මෙහි සත්‍යාසත්‍ය මුහම්මද් තුමාණන් දැනගත්තේ මහාකාරුණික අල්ලාහ් විසින් අල් කුර්ආනයේ 24 වැනි පරිච්ඡේදය පහළ කරමින් ආයිෂා තුමියගේ නිර්දෝෂීභාවය සහතික කළායින් පසුවය. එහෙයින් ‘අව්ලියා’ යනුවෙන් වර්තමාන සමාජයේ හඳුන්වනු ලබන මියගිය පිරිසගෙන් උදව් උපකාර අයැදීමේ ජාහිලිය්යා යුගයේ මුෂ්රික් වරුන්ගේ පිළිවෙත් අනුගමනය කරමින් කරන්නා වූ මහාකාරුණික අල්ලාහ්ගේ කෝපයට බඳුන්වන ක්‍රියාවන්ගෙන් අප වැළකී සිටිය යුතු නොවේ ද?
තවත් සහිහ් බුහාරි හදීස් ග්‍රන්ථයේ සඳහන් වී ඇති නබි වදනක් කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.

“අන්සාරි කාන්තාවක් වූ උම් අල් ආලා අල් අන්සාරි විසින් කාරිජා බින් සෙයිඩ් ට පවසා ඇති පරිදි: ‘මුහාජිරීන්වරුන් ව සීට්ටු ඇදීමෙන් අප අතර බෙදා දෙන ලදී. උස්මාන් බින් මාසුන් තුමා ව මේ අනුව අප වෙත භාර කරන ලදී. ඔහුට අපගේ නිවසේ නැවතී සිටීමට පහසුකම් සපයා දෙන ලදී. මේ අතරතුර ඔහු රෝගී වූ අතර එම තත්ත්වයෙන් ම මරණයට පත් විය. ඔහුගේ දේහය නහවා ඔහුගේ ඇඳුමින් ම කෆන් කරන ලදී. මෙවිට මුහම්මද් තුමාණන් පැමිණි අතර මෘත දේහය අමතමින් ‘අහෝ, අබා අස් සායිබ්! අල්ලාහ් ඔබ වෙත කාරුණික වෙත්වා, අල්ලාහ් විසින් ඔබව ගෞරවනීයත්වයට පත් කොට ඇතැයි මම සාක්ෂි දරමි යැ’යි මා විසින් පවසන ලදී. මෙම අවස්ථාවේ දී අල්ලාහ්ගේ ධර්ම දුතයාණන් මා අමතමින් ‘අල්ලාහ් විසින් ඔහුව ගෞරවනීයත්වයට පත් කොට ඇති බව ඔබ දන්නේ කෙසේ දැ’යි අසා සිටින ලදී. එවිට පිළිතුරු දෙමින් ‘අල්ලාහ්ගේ ධර්ම දුතයාණෙනි, මාගේ පියා ඔබතුමා වෙනුවෙන් කැප වේවා, අන් කවරෙකු කෙරෙහි ද අල්ලාහ් තම ගෞරවය පිරිනමනු ලබන්නේ? යැ’යි පවසා සිටියෙමි. මෙවිට අල්ලාහ්ගේ ධර්ම දුතයාණන් ‘ඔහු සම්බන්ධයෙන් අල්ලාහ්ගේ නාමයෙන් මරණය ඔහු වෙත ළඟා වී ඇත. අල්ලාහ්ගේ නාමයන් ඔහුට සියලු යහපත අල්ලාහ් වෙතින් අත්වේවා යැයි පතමි. මා අල්ලාහ්ගේ ධර්ම දුතයාණන් ව සිටිය ද අල්ලාහ් මා සම්බන්ධයෙන් කුමක් කරාවිදැ’යි මම නොදනිමි’යි පවසා සිටියේය. මෙම සිදුවීමෙන් පසු ‘අල්ලාහ්ගේ නාමයෙන් කිසිවෙකුගේ ධාර්මිෂ්ඨත්වය පිළිබඳ සහතික වීම මා විසින් අත්හැර දමන ලදැ’යි උම් ආලා පවසා සිටියාය”. (සහිහ් බුහාරි)

මුහම්මද් තුමාණන් විසින් ශ්‍රේෂ්ඨතම ජන සමාජය ලෙස හඳුන්වා දුන් තම සමාජයේ අල්ලාහ්, අල්ලාහ්ගේ දහම හා අල්ලාහ්ගේ ධර්මදුතයාණන් වෙනුවෙන් මෙලොව සම්පත් සියල්ල අතහැර මදීනා නගරයට දෙශාන්තරණය කළ ශ්‍රේෂ්ඨ සහාබිවරුන් පිළිබඳ තත්ත්වය මෙය නම් අන් අය පිළිබඳ විනිශ්චයක් අප විසින් සිදු කරමින් ඔවුන්ව අව්ලියා වරුන් යැයි හැඳින් වීමට කටයුතු කිරීම ඉස්ලාමීය ඉගැන්වීම් සමග කොතෙක් දුරට එකඟතාවක් ඇති ක්‍රියාවක් ද යන්න කරුණාකර මොහොතකට සිතා බලන්න. මෙවන් වැරදි නිගමනයන්ට එළෙඹමින් ජාහිලිය්යා යුගයේ මුෂ්රිකීන් වරුන්ගේ පිළිවෙත් අනුගමනය කිරීමට කටයුතු කිරීම සැබැවින් ම පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළ යුත්තක් නොවන්නේ ද? කරුණාකර සිතා බලන්න.

“සැබැවින් ම මා අයදිනුයේ මාගේ පරමාධිපති ය. ඔහුට කිසිවක් ආදේශ නොකරමි යැ’යි (නබිවරය) පවසවූ. සැබැවින් ම නුඹලාට කිසිදු හානියක් කිරීමේ හෝ යහමඟ වෙත රැගෙන් ඒමේ හැකියාව මා සතු නොවන්නේ යැ’යි පවසවූ. සැබැවින් ම (ඔහුට අවනත නොවුයේ නම්) අල්ලාහ්ගෙන් මා බේරා ගැනීමට කිසිවෙකුටත් නොහැක්කේය. ඔහුගෙන් තොරව මා හට කිසිදු පිළිසරණක් ලබාගත නොහැක්කේ ම යැ’යි (නබිවරය) පවසවූ. කෙසේ නමුත් (මට කළ හැක්කේ) අල්ලාහ්ගෙන් වූ (නියෝගයන්) හා දූත පණිවිඩයන් දැනුම් දීම පමණි. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දුතයාට පිටුපාන්නේ ද, එවිට සැබැවින් ම ඔහුට නිරා ගින්නය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති”. (අල් කුර්ආන් 72:20-23)

“සැබැවින් ම පරම හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ අල්ලාහ් වෙතය. තවද ඔහු වර්ෂාව පහළ කරවන්නේය. ගර්භාෂයන් හි ඇති දෑ දනී. කිසිම ආත්මාවක් එය හෙට දින උපයන්නේ කුමක් දැයි නොදන්නේය. කිසිම ආත්මාවක් කවර භූමියක මරණයට පත්වන්නේ දැයි නොදන්නේය. සැබැවින් ම අල්ලාහ් සර්ව ඥානීය, අභිඥානවන්තය”. (අල් කුර්ආන් 31:34)

අප මෙම කරුණු ඉදිරිපත් කිරීම මහා කාරුණික අල්ලාහ්ගේ අවසන් හා ශ්‍රේෂ්ඨතම ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් ව සුළු කොට තැකීමට දරන වෑයමක් ලෙස වැරදි අර්ථ කථනයක් ලබා දීමට ඉඩ ඇත. සහතික වශයෙන් ම එය එසේ නොවේ. මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශනයක් අනුව ඕනෑම අයෙකුට තමන්ගේ පියා, පුතා හෝ මනුෂ්‍ය වර්ගයාගෙන් වූ අන් අයෙකුට වඩා එතුමාණන් ආදරණීය අයෙකු නොවන්නේ නම් එවැන්නෙකු විශ්වාසවන්තයෙකු විය නොහැකි බවය. මහා කාරුණික අල්ලාහ් මත සඳහන් කරමින් අපි එතුමාණන් ට අසීමිත ලෙස ආදරය කරන්නෙමු, ගෞරවය කරන්නෙමු, එලෙසම එතුමාණන්ගේ පිය සටහන් අනුගමනය කරමින් ඒ උත්තරීතර ජීවිතය තම ජීවන මඟ බවට පත්කර ගැනීමට කළ හැකි සියලු උත්සාහයන් හි යෙදෙමින් සිටින්නෙමු. නමුත් මහා කාරුණික අල්ලාහ්ට පමණක් හිමි ගුණාංග එතුමාට ආරෝපණය කිරීමට කිසිසේත්ම කටයුතු නොකරන්නට ඉතා ප්‍රවේශමෙන් වගබලා ගන්නෙමු.
“නුඹලා අල්ලාහ් හැර කවරෙකු අයදින්නේ ද ඔවුහු නුඹලා මෙන් ගැත්තන් ය. නුඹලා සත්‍යවන්තයින් නම් ඔවුන් ඇයද බලන්න. ඔවුහු නුඹලාට පිළිතුරු දෙත්වා” (අල් කුර්ආන් 7:194)

“අහෝ ජනයිනි, (නුඹලාට) උපමාවක් ගෙන හැර පෙන්වන ලදී. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන අය ඔවුන් සියලු දෙනා එකතු වුවද මැස්සෙකු හෝ ඔවුනට මැවිය නොහැක්කේමය. මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් උගෙන් එය ඔවුහු මුදවා ගත නොහැක. අයැදින්නා හා අයැදිනු ලබන්නා දුර්වල විය.” (අල් කුර්ආන් 22:73)

වඩා ආගමුනුකුළ හා වඩා ධාර්මිෂ්ඨ (අප පොදුවේ ‘අව්ලියා’ ලෙස සිතන) අයෙකුට අපට මෙලොවේ දී හෝ මතුලොවේ දී උපකාර කළ හැකි යැයි අපේක්ෂා කිරීම හා විශ්වාස කිරීම ඉස්ලාමීය ඉගැන්වීම් වලට සහමුලින් ම පටහැනි පිළිවෙතකි.

මහා කාරුණික අල්ලාහ්ගේ නබිවරයෙකු වූ ලූත් තුමාට (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) එතුමාගේ බිරිඳ ආරක්ෂා කරගත නොහැකි විය. මෙලොව හා මතුලොව ජයග්‍රහණයේ රන් දොරටුව ඔබගේ අවධානය පිණිස නැවත වරක් ඉදිරිපත් කරන්නෙමු.

 සත්‍යය දෙවිඳුන් වූ අල්ලාහ් ඒකීය ය

 ඔහුගේ ශක්තියෙහි, බලයෙහි හෝ ගුණාංගයන් හි අන් කිසිදු සහකරුවෙකු හෝ කොටස් කරුවෙකු හෝ නොමැත

 ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙකු නොමැත

 නැමදුමට ඔහු හැර අන් කිසිවෙකු නොමැත

 මෙලොව මතුලොව ජයග්‍රහණය උදෙසා සත්‍යය දෙවිඳුන් ව විශ්වාස කොට ඔහු විසින් මිනිසුන් අතුරින් තෝරාගත් ඔහුගේ ධර්ම දූතයන් මඟින් දෙනු ලැබූ මඟ පෙන්වීම අනුව මිනිස් ජීවිතය සකස් කර ගත යුතුය.

“එවිට අපි ඔහුගේ බිරිය හැර ඔහු (ලූත් නබිවරයා) හා ඔහුගේ (සෙසු) පවුලේ උදවිය මුදවා ගතිමු. ඇය විනාශ වූවන් අතුරින් වූවාය”. (අල් කුර්ආන් 7:83)

නූහ් නබි තුමාණන් ට එතුමාණන් ගේ අධාර්මිෂ්ඨ පුත්‍රයා හා බිරිඳ ආරක්ෂා කර ගැනීමට නොහැකි විය.
“(එවිට) නූහ් තම පරමාධිපති අමතා මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මාගේ පුතණුවන් මාගේම පවුලේ කෙනෙකි. තවද නියත වශයෙන්ම ඔබගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද ඔබ තීරකයින් අතුරින් මහා තීරකය යැයි ප්‍රාර්ථනා කළේය. අහෝ ! නූහ්, නියත වශයෙන්ම ඔහු නුඹගේ පවුලෙන් කෙනෙකු නොවේ. නියත වශයෙන්ම ඔහු දැහැමිභාවයෙන් තොර ව ක්‍රියා කළ අයෙකි. එබැවින් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුමක් නොමැත්තේ ද එය මගෙන් නුඹ නොඉල්ලනු. නියත වශයෙන්ම නුඹ අඥානයින් අතුරින් වීම ගැන මම නුඹට උපදෙස් දෙමි යැයි ඔහු පැවසීය”. (අල් කුර්ආන් 11:45-47)

ඉස්ලාමීය ඒක දේවත්වය පිළිබඳ විශ්වාසයක් නොතිබූ නිසාම ඉබ්‍රාහිම් ධර්ම දුතයාණන්ගේ පියාව මහා කාරුණික අල්ලාහ්ගේ දඬුවමින් රැකගැනීමට එතුමාට නොහැකි වූ බව අප සියල්ලන් ම දන්නා කරුණකි.

“ඉබ්රාහීම් තම පියා වෙනුවෙන් සමාව ඇයැදි සිටීම ඔහුට කළ පොරොන්දුවක් මිස (වෙනෙකක්) නොවීය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරෙකු බව ඔහුට පැහැදිලි වූ කල්හි ඔහු එයින් ඉවත් විය. නියත වශයෙන්ම ඉබ්රාහීම් කරුණාවන්ත වූ ඉවසිලිවන්තයෙකු ය”. (අල් කුර්ආන් 9:113-114)

මුහම්මද් තුමාණන් ව දෙවිඳුන් විසින් ලොව අවසන් දිනය දක්වා වලංගු අවසන් දේව මාර්ගෝපදේශකත්වය ජනයා වෙත ඉදිරිපත් කිරීමට තෝරාගත් දිනයේ පටන් සතුරන්ගේ සියලු හිංසනයන්ගෙන් හා ඉතා දුෂ්කර අවස්ථාවන්හි එතුමාණන්ට රැකවරණය ලබා දීමට කටයුතු කළ එතුමාගේ බාප්පා කෙනෙකු වූ අබුතාලිබ් පිළිබඳ නොදන්නා අයෙකු නැති තරම් ය. ඉස්ලාම් විරෝධී මක්කාහ් නගරයේ විසු කුරෛෂ් නායකයින් මුදාහැරිය භීෂණය හා දැඩි පීඩාකාරී තත්ත්වයන් පිළිබඳ ව අබුතාලිබ් විසින් සන්නාහමය පවුරක් ලෙසින් සිට මුහම්මද් තුමාණන් ව රැක ගැනීමට කටයුතු කළ ආකාරය අති ප්‍රශංසනීය ක්‍රියාවක් බව අපි සැවොම පිළිගන්නෙමු.

අබුජහ්ල් විසින් මුහම්මද් තුමාණන් ව ඝාතනය කිරීමට තර්ජනය කළ අවස්ථාවේ බනු හාෂිම් හා බනු මුත්තලිබ් ගෝත්‍රයේ සියලු තරුණයින් ව රැගෙන මක්කාවේ හරම් මස්ජිදය වෙත පැමිණ අබුතාලිබ් විසින් අබුජහ්ල්ට සටනට එන ලෙස ප්‍රසිද්ධියේම අභියෝග කොට සිටියේය. මුහම්මද් තුමාණන්ට හා මුස්ලිම් වරුන්ට එරෙහිව කුරෛෂ් නායකයින් විසින් ආර්ථික හා සමාජ සම්බාධක පැනවූ අවස්ථාවේ අවුරුදු කිහිපයක් ම ඔවුන් ව ‘ෂාබ් ඉ අබුතාලිබ්’ නම් සානු ප්‍රදේශයේ සීමාකොට තබන්නට ඔවුන් කටයුතු කළහ. මෙම අති පීඩාකාරී හා අති දුෂ්කර අවස්ථාවේ මුහම්මද් තුමාණන්ගේ හා මුස්ලිම් වරුන්ගේ පැවැත්ම සඳහා බොහෝ පහසුකම් සැලසීමට කටයුතු කළේ අබුතාලිබ් විසිනි. මෙම සිදුවීම් සියල්ල අපට හඬ නගා පවසන්නේ අබුතාලිබ් විසින් මුහම්මද් තුමාණන් සමග කෙතරම් ආදරයක් හා කැපවීමක් ඇතිව කටයුතු කොට ඇති ආකාරයයි. අබුතාලිබ් මියගිය වර්ෂය ‘ශෝක වර්ෂය’ ලෙස ද මුහම්මද් තුමාණන් විසින් පවසා සිටින ලදී. මුහම්මද් තුමාණන් සමග තිබු ඉතා සමීප ලේ ඥාතිත්වය, එතුමාගේ සියලු කටයුතු වලදී ඉතා කැපවීමෙන් එතුමාව ආරක්ෂා කර ගැනීමට දිවි හිමියෙන් හා කැපවීමෙන් කටයුතු කිරීම හා අනෙකුත් යහ ක්‍රියාවන් සියල්ල පිළිබඳ තැකීමකින් තොරව අබුතාලිබ් රැඳෙන ස්ථානය ‘අපාය’ බව අපි සැවොම දන්නෙමු. මෙම අපුරු සිදුවීම් සියල්ල අපට හඬ නගා පවසන්නේ කුමක් ද? මහා කාරුණික අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන්ට අබුතාලිබ් ව අපායෙන් බේරා ගැනීමට නොහැකි වුවා නම් වර්ෂ සීයක්, දෙසීයක් හෝ තුන්සීයක් වැනි කාලයකට පෙර ජීවත් වී මියගිය ධර්මිෂ්ඨ යහ පිරිසට සොහොන් (සියාරම්) බැඳ එතැන ජාහිලිය්යා යුගයේ වත්පිළිවෙත් ඉටු කරමින් ජාහිලිය්යා යුගයේ මුෂ්රිකීන් වරුන් මෙන් කටයුතු කරන ‘මුස්ලිම්’ නාමයෙන් තමන් ව හඳුන් වා ගන්නා පිරිස කෙතරම් වැරදි මඟක ගොස් ඇත් ද යන්න අවබෝධ කර ගැනීම දුෂ්කර නොවනු ඇත. නැවත වතාවක් ස්වර්ගයේ රන් දොරටුවේ යතුර ලෙස ඉහතින් දැක් වූ කරුණු මතක් කොට දෙන්නට කැමැත්තෙමු. මෙයින් තොරව මෙලොව හා මතුලොව ජය අපේක්ෂා කිරීම සත්‍යය වශයෙන් ම මිරිඟුවක් පස්සේ දිවගොස් මංමුලාවට පත්වීම හැර අන් කිසිවක් නොවන බව මෙයින් පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

“අබු මුසයිබ් තුමා විසින් දන්වා සිටින පරිදි, අබුතාලිබ් මරණාසන්න තත්ත්වයේ සිටින අවස්ථාවේ ඔහුව බැලීමට මුහම්මද් තුමාණන් පැමිණියේය. එම අවස්ථාවේ අබු ජහ්ල් ද එතැන සිටියේය. අබුතාලිබ් අමතමින් ‘මාගේ පියාගේ සහෝදරය, අල්ලාහ් හැර නැමදීමට සුදුසු අන් කිසිවෙකු නොමැත යැයි පවසන්න. මෙම ප්‍රකාශනය ඔබ පිළිබඳ අල්ලාහ් ඉදිරියේ මට කතා කිරීමට උපකාරී වනු ඇත’ යැයි මුහම්මද් තුමාණන් පැවසීය. මෙම ස්ථානයේ සිටි අබුජහ්ල් හා අබ්දුල්ලාහ් බින් උමයියා විසින් අබුතාලිබ් අමතමින් ‘අහෝ අබුතාලිබ්, ඔබ අබ්දුල් මුත්තලිබ්ගේ දහම අතහරින්නටද සුදානම් වන්නේ යැ’යි පවසමින් සිටියහ. අබුතාලිබ්ගේ අවසන් වදන් වුයේ ‘මා අබ්දුල් මුත්ත්ලිබ්ගේ දහමේය’ යන්නය. මෙවිට මුහම්මද් තුමාණන් ‘අල්ලාහ් විසින් වළක්වනු ලබන තෙක් මම අල්ලාහ්ගෙන් ඔබ වෙනුවෙන් පාපක්ෂමාව අයදිමින් සිටින්නෙමි යැ’යි පවසා සිටියේය. මෙම අවස්ථාවේ පහත සඳහන් අල් කුර්ආන් වැකිය පහළ කරනු ලැබීය. ‘නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාසවන්තයින්ට සුදුසු නොවීය’. (අල් කුර්ආන් 9:113)” (නබි වදන් ග්‍රන්ථය – අහ්මද්)

තවත් අල් කුර්ආන් වැකියක් කරෙහි ද අපගේ අවධානය යොමු කරමු.

“(නබිවරය) සැබැවින් ම නුඹ ප්‍රිය කරන කෙනෙකුව යහ මඟ වෙත යොමු කිරීමට නුඹට නොහැකිය. නමුත් අල්ලාහ් තමන් අභිමත කළ අයට යහ මඟ වෙත යොමු කරයි. යහ මඟ ලද්දන් පිළිබඳ ව ඔහු මැනැවින් දන්නාය”. (අල් කුර්ආන් 28:56)

අල් බුහාරි හදීස් ග්‍රන්ථයේ 5:223 ප්‍රකාශනය ද මේ හා සම්බන්ධ ය.
මහා කාරුණික අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨතම හා අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) කෙරෙහි හෝ අන් කිසිදු ධාර්මිෂ්ඨ යහ කෙනෙකු (‘අව්ලියා’ යනුවෙන් වර්තමාන ජන වහරේ භාවිතා වන) වෙත වූ තමන්ගේ ඥාතිත්වය පමණක් තමන්ගේ මරණින් මතු ලොව ජයග්‍රහණය සහතික නොකරන්නක් බව පහතින් උපුටා දක්වා ඇති නබි වදන අපට ඉතා පැහැදිලි ලෙසම සාක්ෂි දරයි. නැවත වරක් ස්වර්ගයේ රන් දොරටුව විවෘත කළ හැකි යතුර පිළිබඳ කෙටි සටහන පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

 සත්‍යය දෙවිඳුන් වූ අල්ලාහ් ඒකීය ය
 ඔහුගේ ශක්තියෙහි, බලයෙහි හෝ ගුණාංගයන් හි අන් කිසිදු සහකරුවෙකු හෝ කොටස් කරුවෙකු හෝ නොමැත
 ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙකු නොමැත
 නැමදුමට ඔහු හැර අන් කිසිවෙකු නොමැත
 මෙලොව මතුලොව ජයග්‍රහණය උදෙසා සත්‍යය දෙවිඳුන් ව විශ්වාස කොට ඔහු විසින් මිනිසුන් අතුරින් තෝරාගත් ඔහුගේ ධර්ම දූතයන් මඟින් දෙනු ලැබූ මඟ පෙන්වීම අනුව මිනිස් ජීවිතය සකස් කර ගත යුතුය.

“අබු හුරෛරා තුමා (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ තෘප්තිය අත්වේවා) වාර්තා කරන පරිදි අල් කුර්ආනයේ 26:214 වැනි වැකිය වූ ‘(නබිවරය), ඔබගේ සමීප ඥාතීන්ට අවවාද කරන්න’ යන්න පහළ වූ පසු මුහම්මද් තුමාණන් (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තම පවුලේ උදවිය අමතා පහත සඳහන් අයුරින් ආමන්ත්‍රණය කළේය. ‘කාබ් බින් ලුවයිගේ පරපුරෙන් පැවතෙන්නනි, අපා ගින්නෙන් ඔබලාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. අල්ලාහ්ගේ දඬුවමින් ඔබව ආරක්ෂා කර ගැනීමට මට උපකාර කළ නොහැක’. ‘මුර්රාහ් බින් කාබ්ගේ පරපුරෙන් පැවතෙන්නනි, අපා ගින්නෙන් ඔබලාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. අල්ලාහ්ගේ දඬුවමින් ඔබව ආරක්ෂා කර ගැනීමට මට උපකාර කළ නොහැක’. ‘අබ්ද් ෂම්ස්ගේ පරපුරෙන් පැවතෙන්නනි, අපා ගින්නෙන් ඔබලාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. අල්ලාහ්ගේ දඬුවමින් ඔබව ආරක්ෂා කර ගැනීමට මට උපකාර කළ නොහැක’. ‘අබ්ද් මනාෆ්ගේ පරපුරෙන් පැවතෙන්නනි, අපා ගින්නෙන් ඔබලාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. අල්ලාහ්ගේ දඬුවමින් ඔබව ආරක්ෂා කර ගැනීමට මට උපකාර කළ නොහැක’. ‘හාෂිම්ගේ පරපුරෙන් පැවතෙන්නනි, අපා ගින්නෙන් ඔබලාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. අල්ලාහ්ගේ දඬුවමින් ඔබව ආරක්ෂා කර ගැනීමට මට උපකාර කළ නොහැක’. ‘අබ්දුල් මුත්තාලීබ්ගේ පරපුරෙන් පැවතෙන්නනි, අපා ගින්නෙන් ඔබලාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. අල්ලාහ්ගේ දඬුවමින් ඔබව ආරක්ෂා කර ගැනීමට මට උපකාර කළ නොහැක’. ‘අහෝ ෆාතිමා, අපා ගින්නෙන් ඔබව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. මට අයත් වස්තුවෙන් ඔබ කැමති දෑ අරගන්න. නමුත් අල්ලාහ්ගේ දඬුවමින් ඔබව ආරක්ෂා කර ගැනීමට මට උපකාර කළ නොහැක” (බුහාරි – මුස්ලිම්)

සත්‍යය තත්ත්වය මෙතරම් භයානක ව තිබිය දී අන් අයගේ වරමින් ස්වර්ගය අත්කර ගැනීමට අපේක්ෂා කිරීම කෙතරම් පදනම් විරහිත පිළිවෙතක් ද යන්න කරුණාකර මොහොතකට සිතා බලන්න. අප සාකච්ඡා කරන මාතෘකාව හා බැඳි ඇති පහත සඳහන් තොරතුරු කෙරෙහි ද කරුණාකර අවධානය යොමු කරන්න.

“ආදේශ තබන්නන් (තමන්ගේ) දේව ප්‍රතික්ෂේපය ගැන තමන්ට එරෙහි ව සාක්ෂි දරන්නන් ලෙස සිටිය දී අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කිරීම ඔවුනට සුදුසු නොවෙති. තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහුය. තවද නිරා ගින්නේ ඔවුහු සදාතනිකයෝ වෙති”. (අල් කුර්ආන් 9:17)

“විශ්වාසවන්තයින්ගේ මව් තුමිය වූ ආයිෂා (මහා කාරුණික අල්ලාහ්ගේ තෘප්තිය එතුමිය කෙරෙහි ඇති වේවා) පවසා සිටින පරිදි, මුහම්මද් තුමාණන් (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) එතුමා මෙලොවින් සමුගැනීමට පෙර ඇතිවූ රෝගී තත්ත්වයේ සිට මෙලෙස පවසා ඇත. ‘තම ධර්ම දුතයින් මිහිදන් කළ ස්ථානයන් නැමදුම් ස්ථානයන් බවට පත්කර ගත් යුදෙව් හා කිතුනුවන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය අත්වේවා’. තවද ‘මාගේ මිහිදන් ස්ථානය ජනයාට නැමදුම් කිරීමේ පිළිරුවක් බවට පත්කර නොගන්න යැ’යි ද එතුමාණන් පවසා ඇත”. (බුහාරි – මුස්ලිම්)

“ජුන්දුබ් බින් අබ්දල්ලාහ් අල් බජ්ලි තුමා (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ තෘප්තිය අත්වේවා) වාර්තා කොට ඇති පරිදි අල්ලාහ්ගේ ධර්ම දුතයාණන් (මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය එතුමා කෙරෙහි අත්වේවා) මෙලොවින් සමුගැනීමට දින පහකට පෙර ‘ඔබට පෙර සිටි ජනයා තම ධර්ම දුතයන්ගේ මිහිදන් ස්ථානයන් මස්ජිදයන් බවට පත්කර ගත්හ. මම නියත වශයෙන්ම ඔබට එවැනි ක්‍රියාවන් තහනම් කරන්නෙමි යැ’යි පවසනු මම අසා සිටියෙමි යැ’යි පවසා ඇත”. (බුහාරි)

“මර්තද් අල් බග්වි තුමා වාර්තා කොට ඇති පරිදි ‘මිහිදන් ස්ථානයන් මත වාඩි නොවන්න. මිහිදන් ස්ථානයන් ඉදිරියේ සලාතය ඉටු නොකරන්න යැ’යි නබි තුමාණන් පැවසුහ”. (මුස්ලිම්)

“ජාබීර් තුමා වාර්තා කොට ඇති පරිදි මුහම්මද් තුමාණන් විසින් මිහිදන් ස්ථානයන් කපරාදු කිරීම හා ඒ මත අකුරු ලිවීම තහනම් කොට ඇත”. (අබු දාවුද්)

“අබු අල් හයියාජ් අල් අසාදි තුමා දන්වා සිටින පරිදි අලි තුමා (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ තෘප්තිය අත්වේවා) විසින් තමන්ට මෙලෙස උපදෙස් දී ඇත. ‘කිසිදු පිළිරුවක් ඉවත් කරන්නේ නැතිව අත නොහරින්න, උස්ව සාදා ඇති සියලු මිහිදන් ස්ථානයන් පොළොවට සමතලා නොකොට අත නොහරින්න යැ’යි මුහම්මද් තුමාණන් විසින් තමන්ට පැවරූ වගකීම ඔබ වෙත පවරන්නෙමි යැ’යි පැවසු බව දන්වා සිටී”. (මුස්ලිම්)

මිහිදන් ස්ථානයන් හි අල් කුර්ආනය පාරායනය කිරීම මුහම්මද් තුමාණන් විසින් හෝ සහාබා වරුන් විසින් නොකළ ක්‍රියාවක් හෙයින් එසේ කිරීම ඉස්ලාමයට පටහැනි ක්‍රියාවකි. ආයිෂා තුමිය විසින් මිහිදන් ස්ථානයන් වෙත යන විට කුමක් පැවසිය යුතු දැයි නබි තුමාණන්ගෙන් විමසා සිටි විට මිහිදන් කොට ඇති අය වෙනුවෙන් ‘සලාමය’ හා ‘දුවා’ ප්‍රාර්ථනයන් කරන පිළිවෙත දන්වා සිටින ලදී. මෙහිදී ‘අල් ෆාතිහා’ පරිච්ඡේදය හෝ අල් කුර්ආනයේ අන් කිසිදු පරිච්ඡේදයක් පාරායනය කරන ලෙස උපදෙස් දී නොතිබුනි. මිහිදන් ස්ථානයන් මත ගොඩ නැගිලි නිර්මාණය කිරීම, සුදු හුණු ආලේප කිරීම හා ඒවා පොළොවේ මට්ටමින් ඉහළට උස් කිරීම මුහම්මද් තුමාණන් විසින් තහනම් කොට ඇත.
වර්තමානයේ අප අතර ප්‍රචලිතව ඇති ජාහිලිය්යා යුගයේ මුෂ්රිකීන් වරුන්ගේ පිළිවෙත් ඉවත් කොට සැබෑ විශ්වාසවන්තයින් බවට පරිවර්තනය වී පිවිතුරු ඉස්ලාමයේ ඉගැන්වීම් අනුව ජීවිතය සකස් කරගෙන මෙලොව හා මරණින් මතු ලොව ජයග්‍රහණය අත් කර ගැනීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමට අපි සැවොම කැපවෙමු.
“තවද මාගේ ගැත්තන් මා ගැන නුඹෙන් විමසූ විට සැබැවින්ම මම සමීපතය. කැඳවන්නාගේ කැඳවුමට මම පිළිතුරු දෙමි. එබැවින් ඔවුන් යහමඟ ලබන්නට හැකි වනු පිණිස ඔවුන් මාගේ පිළිතුර අපේක්ෂා කරත්වා ! මා විශ්වාස කරත්වා !” (අල් කුර්ආන් 2:186)

“යම් පීඩාවක් මිනිසෙකුව ස්පර්ශ කළේ නම් ඔහු අපව ආමන්ත්‍රණය කරන්නේය. පසුව අපගෙන් වූ භාග්‍යයක් ඔහුට අප දායාද කළේ නම් ‘සැබැවින් ම එය මට දෙනු ලැබුවේ දැනුම හේතුවෙන්ම යැ’යි ඔහු පවසන්නේය. එහෙත් එය පරීක්ෂාවකි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් (ඒ පිළිබඳ ව) නොදනිති” (අල් කුර්ආන් 39:49)

“නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවම පැමිණියා නම් හෝ එම හෝරාව (අවසන් දිනය) පැමිණියා නම් අල්ලාහ් හැර සෙසු අයව නුඹලා අයදින්නේ ද?නුඹලා සත්‍යවාදීහු නම් නුඹලා (ඒ ගැන) සිතා නොබැලුවෙහි දැ’යි පවසවූ” (අල් කුර්ආන් 6:41)

“අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා (කොන්ද නමා) රුකූඃ කරනු. තවද (නළල බිම තබා) සුජූද් කරනු. තවද නුඹලාගේ පරමාධිපතිට ගැතිකම් කරනු. තවද යහකම් සිදු කරනු. තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ කැප විය යුතු නියම අයුරින් කැපවනු. ඔහු නුඹලා ව තෝරා ගෙන ඇත. නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වයක් ඔහු ඇති නොකළේය. එය නුඹලාගේ පියාණන් වූ ඉබ්‍රාහීම්ගේ පිළිවෙතයි. මීට පෙර මුස්ලිම්වරුන් යැයි නුඹලාට නම් තැබුවේ ඔහුය. මේ අනුවම රසූල්වරයා නුඹලාට සාක්ෂිකරුවකු වනු පිණිසත් නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත් (නම් තැබීය.) එහෙයින් නුඹලා විධිමත් ලෙස සලාතය ඉටු කරනු. තවද zසකාත් පිරිනමනු. තවද අල්ලාහ් තදින් ග්‍රහණය කර ගනු. ඔහු නුඹලාගේ භාරකරුය. එම භාරකරු යහපත් විය. එමෙන්ම එම උදව්කරු යහපත් විය”. (අල් කුර්ආන් 22:77-78)

“කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. කවරෙකු පිටුපාන්නේ ද අපි නුඹ ව ඔවුන් වෙත ආරක්ෂකයකු ලෙස නොඑව්වෙමු”. (4:80)

“විශ්වාස කළවුනි ! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද බලය ඇත්තවුනට ද අවනත වනු. නමුත් යම් කරුණක නුඹලා එකිනෙකා මත ගැටුම් ඇති කරගත්තේ නම්, නුඹලා අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නන් ව සිටියෙහු නම් එවිට එය අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද යොමු කරනු. එය වඩා ශ්‍රේෂ්ඨය. එමෙන්ම (එහි) අවසානය ද වඩා අලංකාරය”. (4:59)

“තවද නුඹලා කරුණාවට පාත්‍ර විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ්ට ද මෙම රසුල්වරයාට ද අවනත වනු. (3:132)
අල්ලාහ්ට ද රසුල්වරයාට ද අවනත වනු යන්න ආලු ඉම්රාන් 3-32, අන්ෆාල්-8-1/20/46, අල් මුජාදිලාහ්58-13, අල් මායිදාහ් 5-92, අන් නුර් 24-54, මුහම්මද් 47-33, අල් තඝාබුන් 64-12 යන අල් කුර්ආන් වැකියන් හි ද සඳහන් ය.

“සැබැවින්ම තම දහමේ බෙදීම් ඇති විවිධ කණ්ඩායම් බවට පත් වූවන් වන ඔවුන්ගෙන් වූ කිසිම කරුණක නුඹ (කොටස් කරුවෙකු) නොවන්නේය. ඔවුන්ගේ කරුණු (පැවරී) ඇත්තේ අල්ලාහ් වෙතම ය. පසුව ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු ඔවුනට දන්වා සිටිනු ඇත.” (අල් අන්ආම් 6:159)

“අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපට ප්‍රමාණවත් වේ යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදැන සිටියදීත් ඔවුන් යහමඟ ගමන් නොකර සිටියදීත් (ඔවුන් ව ඔවුහු පිළිපදින්නෙහු) ද?” (5-104)

“තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනු යැයි (ඔවුනට) පවසනු ලැබූ විට නැත! අපගේ මුතුන් මිත්තන් කවර දෙයක් මත සිටියෝ ද එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් වටහා නොගෙන තවද යහමඟ නොලැබූ තත්වයක වුව ද (එසේ ඔවුන් අනුගමනය කරති.)” (2:170)

By: Ibnu Mansoor

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.